වටරවුම් වේදිකාවේ මැවුණු සරා

ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ ස්ත්‍රී භූමිකාව - 88 ලිපිය
පෙබරවාරි 3, 2022

ප්‍රේමරංජිත් තිලකරත්නයන්ගේ දැවැන්ත නාට්‍ය නිෂ්පාදනයක් වූ "කෝන්තරේ" (1968) ධම්ම ජාගොඩ හා සුනේත්‍රා සරච්චන්ද්‍ර සුසංයෝගයේ තවත් දිගුවකි. ලෙනාර්ඩ් බර්න්ස්ටයින්ගේ සංගීතය රැගත් "West side story" (1961) නමැති සම්මානනීය ඇමරිකානු සංගීතමය (Musical) චිත්‍රපටය අනුවාදයෙන් ප්‍රේමරංජිත් "කෝන්තරේ" නම් වූ විචිත්‍ර නාට්‍යය අධ්‍යක්ෂණය කළේය. තරුණ අසහනය හා එකිනෙකා නොරුස්සන ,නිතර ගැටෙන කණ්ඩායම් දෙකක් අතර අරගලය මීට වස්තු විෂය විය. කණ්ඩායම් දෙකේ නායකත්වය අතර වෛරය ගොඩනැඟෙන අතර අනෙක් සාමාජිකයන් අතර ප්‍රේමය මතුවෙද්දී ගැටුම උග්‍ර අතට හැරේ. මෙහි ධම්මගේ පෙම්වතිය ලෙස සුනේත්‍රා රඟපෑවාය.ඔහුගේ නැඟනියගේ භූමිකාව නිරූපණය කරන්නී සුවිනීතා වීරසිංහය. ඇය තම සොහොයුරාට එදිරි කණ්ඩායමේ ප්‍රමුඛ තරුණයකුට පෙම් කරන්නීය. මේ තරුණයා ලෙස ලූෂන් බුලත්සිංහල රැඟුවේය. ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ සංගීතය හා ධම්ම ජාගොඩගේ නර්තන වින්‍යාසය "කෝන්තරේ" එකලු කළ බව අතිශයෝක්තියක් නොවේ. ධම්ම ජාගොඩ, සුනේත්‍රා සරච්චන්ද්‍ර , ලූෂන් බුලත්සිංහල , සුවිනීතා වීරසිංහ, මාක් ඇන්ටනි ප්‍රනාන්දු , චන්ද්‍රා කළුආරච්චි, එල්සන් දිවිතුරුගම, ගාමිණි විජේසූරිය, බුද්ධි වික්‍රම, ෂෙල්ටන් සිල්වා, විජය නන්දසිරි, අනුලා බුලත්සිංහල ඇතුළු නළු නිළියෝ රාශියක් මෙහි රඟපෑහ. අධික නිෂ්පාදන පිරිවැයක් දැරීමට සිදුවීම සහ නළු, නිළියන්ගේ කාර්යබහුලත්වය හේතු කොට මේ නාට්‍යය වැඩි කලක් වේදිකාගත කළ හැකි නොවුණි. එහෙත් "කෝන්තරේ" ලාංකේය වේදිකා නාට්‍ය ඉතිහාසයේ සදානුස්මරණීය සන්ධිස්ථානයකි. 

ගුණසේන ගලප්පත්තිගේ "මූදු පුත්තු" නාට්‍යය ඇසුරෙන් ධම්ම ජාගොඩ 1972 දී නව්‍ය පර්යේෂණාත්මක නිර්මාණයක් බිහි කිරීමට උත්සුක වූයේය. එහිදී සම්මත ප්‍රොසීනියම් වේදිකාව වෙනුවට ලයනල් වෙන්ඩ්ට් රඟහලේ රවුම් වේදිකාවක (Arena theatre) මෙය රඟදැක්වීමෙන් ප්‍රේක්ෂකයාට නවමු සහානුභුතියක් ගෙන ආ බැව් මා අමුතුවෙන් පැවසිය යුතු නැත. මහින්ද ඩයස් සූරීන්ගේ ආලෝකකරණය හා පසුතල නිර්මාණය මෙහි ආත්මය බවට පත් විය. සුන්දර හඳපානක සිරි උසුලන ලා නිල් පැහැති ආලෝකයක් මුළු නාට්‍යය පුරාම ප්‍රේක්ෂකයාට දකින්නට ලැබිණ. "මූදු පුත්තු" අරභයා ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණියෝ වරක් මට මෙසේ කීහ.

"හරියට දේවස්ථානයකට පිරිස ඇතුළු වෙනවා වගේ මේ නාට්‍යයේ සියලු පාත්‍රවර්ගයා නාට්‍යය ආරම්භයේදී වේදිකාවට ඇවිල්ලා පසුපසින් අසුන්ගෙන ඉන්නවා, තමන් වේදිකාවට පිවිසෙන්න අවශ්‍ය වෙලාව එනතුරු. වේදිකාවේ ප්‍රේක්ෂකයනුත් අසුන්ගෙන සිටින්නේ රවුමට. ඔවුන්ට පේනවා පාත්‍රවර්ගයා අසුන්ගෙන ඉඳලා නියමිත වෙලාවට වේදිකාවට පිවිසෙන බව. එදා අපට මෙය අපූර්ව අත්දැකීමක් වුණා."

ආචාර්ය රවීන්ද්‍රගේ යථෝක්ත කීම අනුව අපට පැහැදිලි වනුයේ සාම්ප්‍රදායික ගැමි නාටකයේත් බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ දුරස්ථීකරණ හෙවත් තදාත්ම්‍ය විඝටන සංකල්පයෙහිත් (Alienation effect)  ඇසුර මේ නාට්‍ය‍ය නිර්මාණයේ දී ධම්ම ජාගොඩ කෙරෙහි බලපෑ බවය.

සුනේත්‍රා සරච්චන්ද්‍ර , ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය, ලෙස්ලි රාමනායක ,ස්වර්ණා මල්ලවාරච්චි, සුමින්ද සිරිසේන ආදීහු මෙහි රංගනයෙන් දායක වූහ. සුනේත්‍රා මෙහිදී සරාගේ ප්‍රධාන භූමිකාව නිරූපණය කළාය. සරා වූ කලී තම සැමියා වූ තේගිරිස්ට (ලෙස්ලි රාමනායක රඟපෑ) හා ඔහුගේ සොහොයුරු දියෝනිස්ගේ (රවීන්ද්‍ර රන්දෙණිය රඟපෑ) ප්‍රේමයට මැදිව පීඩා විඳීන, අවසන සැමියා අතින් දරුවා අහිමි වන අනුවේදනීය සංකීර්ණ ස්ත්‍රී භූමිකාවකි. වටරවුම් වේදිකාවක මැවුණු සරාට සුනේත්‍රා නව්‍ය අර්ථකථනයක් එක් කළාය. "මූදු පුත්තු" නිෂ්පාදන ද්වයක රඟපෑමේ අවස්ථාව ඇයට හිමිවිය. 1972 වසරේ ධම්ම ජාගොඩගේ නිර්මාණය පළමුවැන්න වේ. පෙර කී ලෙස එහි සරා ලෙස ප්‍රධාන චරිතය රඟපෑ ඇය පසුකලෙක සෝමලතා සුබසිංහ යළිත් වරක් "මූදු පුත්තු" (1990) අධ්‍යක්ෂණය කළ අවස්ථාවේ එහි ඉසෝ නැන්දා ලෙස වැඩිහිටි භූමිකාවක් නිරූපණය කළාය.

පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේවයන් මේ සඳහා අභිනව ගීත නිර්මාණය කළ නමුදු පෙර ගුණසේන ගලප්පත්තිගේ "මූදු පුත්තු" නාට්‍යය සඳහා සෝමදාස ඇල්විටිගලයන් නිර්මාණය කළ මධුර තනු තරමට ඒවා ජනකාන්ත නොවීය. ගීත ගායනයෙන් ආචාර්ය රෝහණ වීරසිංහ, මාලිනි බුලත්සිංහල හා බන්දුල විජේවීර දායක වූහ. ධම්ම නාට්‍ය නිෂ්පාදනය හා ඉගැන්වීම පිළිබඳ බ්‍රිතාන්‍ය නාට්‍ය මණ්ඩලයේ සහතිකධාරියෙකි. මහාචාර්ය සුචරිත ගම්ලත් සමඟ නාට්‍ය විෂය සඳහා ශබ්දකෝෂයක් ඔහු සම්පාදනය කළේ මේ කාල වකවානුවේදීය.

ධම්ම ජාගොඩ 1967 දී කෙටි නාට්‍ය ද්වයක් අධ්‍යක්ෂණය කළේය. ශ්‍රේෂ්ඨ රුසියානු සාහිත්‍යවේදී ඇන්ටන් චෙකොෆ්ගේ The Bear"  (1888) ඇසුරෙන් "පෝරිසාදයා" නමින්ද "A marriage proposal"(1889) ඇසුරෙන් "පරස්තාව" මැයෙන්ද ඔහු නාට්‍ය ද්වයක් නිර්මාණය කළ අතර මේවා සිංහලට පරිවර්තනය කරන ලද්දේ මහාචාර්ය තිස්ස කාරියවසම් විසිනි. "පෝරිසාදයා" හී වින්ස්ටන් සේරසිංහ සහ අයිරාංගණී සේරසිංහ යුවළ ප්‍රධාන චරිත රගපෑහ. සැබැවින්ම ඉංග්‍රීසි නාට්‍යවල එකට රඟපෑ මේ දෙදෙනා සිංහල නාට්‍යයක ප්‍රධාන චරිත රඟපෑ ප්‍රථම අවස්ථාව මෙය විය.

"පරස්තාව" හී ප්‍රධාන භූමිකා රැඟුවෝ සුනේත්‍රා සරච්චන්ද්‍ර , සරච්චන්ද්‍ර සමරක්කොඩි හා බුද්ධි වික්‍රම ය. මීට ඇතුළත් වූයේ මතුපිටින් දිවෙන හාස්‍යය ඔස්සේ ගැඹුරු ජීවිත විවරණයක් ගෙනෙන තේමාවකි. නටල්යා (සුනේත්‍රා සරච්චන්ද්‍ර) ක්‍රමිකව වියපත් වෙමින් සිටින අවිවාහක කාන්තාවකි. කවුරුන් හෝ පුරුෂයකුගෙන් තමාට විවාහ යෝජනාවක් එන තෙක් ඇය බලාපොරොත්තුවෙන් සිටින්නීය. නටල්යාට සිටින්නේ පියා (බුද්ධි වික්‍රම) පමණකි. අසල්වාසී තරුණයකු වූ ලොමොව් (සරච්චන්ද්‍ර සමරක්කොඩි) ඇයට විවාහ යෝජනාවක් ගෙන ඒමට නිවසට පැමිණේ. මේ විවාහ යෝජනාව ඔහු පියාට ඉදිරිපත් කරන අතර නටල්යා මේ බව නොදනී. ඉන්පසුව ලොමොව් සහ පියා ඉඩකඩම් පිළිබඳ වාද භේදයකට පැටලෙති. නටල්යාද ක්‍රමයෙන් පසුව ඔහු සමඟ විව්ධ මාතෘකා අරභයා දැඩි මත ගැටුම් ඇති කර ගනිමින් අමනාප වන්නීය. ඔහු විවාහ යෝජනාව ඇයට ඉදිරිපත් කිරීම පසෙකලා අමනාපයෙන් නිවසෙන් පිටවී යයි. ලොමොව් පැමිණියේ ඇයට විවාහ යෝජනාවක් ඉදිරිපත් කිරීමට බව පියා පවසන්නේ ඉක්බිතිවය. මින් ඇය දැඩි ලෙස කම්පා වන්නීය. "අනේ ඇයි මට කලින් මේ ගැන නොකීවේ. අනේ කොහොම හරි එයා හොයාගෙන එන්න" නටල්යා ශෝකයෙන් පියාට පවසන්නීය. "හොදයි මං කොහොම හරි ඔහු හොයාගෙන එන්නම්" පියා ලොමොව් සොයා පිටත් වී යත්ම නාට්‍යය අවසන් වේ. ඉසියුම් මානුෂික සබඳතා අවබෝධ කර ගනු වෙනුවට මිනිසුන් ධනය හා සමෘද්ධියට ලොල් වී ව්‍යාජ ජීවිත ගත කරන අයුරු මින් ගැඹුරින් විවරණය කෙරේ. "පරස්තාව" හී ලොමොව්ගේ භූමිකාවට මුලින් තෝරා ගැනුණේ ටෝනි රණසිංහයන්ය. ඔහු නාට්‍යයෙහි පුහුණුවීම්වලටද සහභාගි වූයේය. එහෙත් පසුව මතභේදයක් හේතුකොට ටෝනි ඉන් ඉවත් වූ අතර සරච්චන්ද්‍ර සමරක්කොඩි මේ භූමිකාව රූපණය කළේය.

මතු සම්බන්ධයි...