වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
අත්තල රිදෙන තුරු ගිගුම් දුන් අත්පොළසන් හඬ

පූර්වයෙහි කී ලෙස "කදා වළලු" (1963) නාට්‍යයෙන් ධම්ම ජාගෙඩ සහ සුනේත්‍රා සරච්චන්ද්‍ර සුසංයෝගය ඇරැඹිණි. එහෙත් එහි ප්‍රශස්ත දිගුව සනිටුහන් වූයේ "වෙස්මුහුණු" (1966) නාට්‍යයෙනි. මේ වූ කලී ටෙනිසි විලියම්ස්ගේ "A Streetcar Named Desire" (1947) නම් වූ සුප්‍රකට නාට්‍යයෙහි අනුවර්තනයකි. කොන්ස්ටන්ටින් ස්ටැනිස්ලව්ස්කිගේ තත්විධ රූපණ න්‍යායේ (Theory of method acting) ආරම්භක රූපණවේදියා මාලන් බ්‍රැන්ඩෝ බව බොහෝ විචාරකයෝ අවිවාදයෙන් සලකත්. බ්‍රැන්ඩෝ සිනමා රංගනයේදී මෙකී තත්විධ රූපණ න්‍යාය මුල්වරට විදාරණය කළේ එලියා කසාන් යථෝක්ත නාට්‍යය ඇසුරින් අධ්‍යක්ෂණය කළ " A Streetcar Named Desire" (1951) චිත්‍රපටයෙන් බැව් අප අමතක නොකළ යුතුය. මේ චිත්‍රපටයෙහි මාලන් රඟපෑ ස්ටැන්ලි කොවල්ස්කිගේ භූමිකාව "වෙස්මුහුණු" නාට්‍යයෙහි සැම්සන් සිල්වා බවට පත් වූ අතර ධම්ම ජාගොඩ එය ශූර ලෙස නිරූපණය කළේය. මෙහි නූතන අඹුසැමි යුවළකගේ කුටුම්භයෙහි පැනනඟින ගැටලු සහ තරුණ පරපුරෙහි කාලීන අදහස් ගැබ් වේ. චිත්‍රපටයෙහි විවියන් ලේ රැඟු බ්ලාන්ච්ගේ චරිතය නාට්‍යයේ කුමාරි උඩුවෙල නම් වූ අතර එය පළමුව රොමා ද සොයිසාත් දෙවනුව අයිරාංගණි සේරසිංහත් තෙවනුව රුක්මණී දේවිත් රඟපෑහ. චිත්‍රපටයෙහි කිම් හන්ටර් රඟපෑ ස්ටෙලා කොවල්ස්කිගේ චරිතය "වෙස්මුහුණු" නාට්‍යයෙහි ස්වර්ණා (උඩුවෙල) සිල්වාගේ භුමිකාව බවට වූ අතර මීට උපරිම සාධාරණය සුනේත්‍රා සරච්චන්ද්‍රගෙන් ඉටු වූ බැව් පෙනේ. 1966 රාජ්‍ය නාට්‍ය උත්සවයේදී සැම්සන් සිල්වාගේ භුමිකාව රඟපෑ ධම්ම ජාගොඩ හොඳම නළුවා ලෙසත් සැම්සන්ගේ පීඩාවන්ට ලක් වන ස්වර්ණාගේ සංකීර්ණ භූමිකාව රැඟු සුනේත්‍රා සරච්චන්ද්‍ර හොඳම නිළිය ලෙසත් සම්මාන ලැබූ අතර කුමාරි උඩුවෙලගේ චරිතය රඟපෑ රොමා ද සොයිසාට කුසලතා සම්මානයක් හිමි විය. 1966 හොඳම නිෂ්පාදනයට හිමි සම්මානයත් "වෙස්මුහුණු" නාට්‍යයට හිමි විය. 1966 මෙරට වේදිකාව ඇමරිකානු නාට්‍යවේදී ටෙනිසි විලියම්ස්ගේ වසරක් බැව් කිව හැකිය. ඊට හේතුව එවර රාජ්‍ය නාට්‍ය උලෙළේ තරඟ වැදුණු ප්‍රමුඛ නාට්‍ය ත්‍රිත්වය ටෙනිසි විලියම්ස්ගේ නාට්‍ය අනුවර්තන වීමය.
1."හෙලේ නැග්ග ඩෝං පුතා" - සුගතපාල ද සිල්වා - ටෙනිසි විලියම්ස්ගේ "Cat on a Hot Tin Roof"
2."අහස් මාලිගා" - ආචාර්ය හෙන්රි ජයසේන - ටෙනිසි විලියම්ස්ගේ "The Glass Menagerie"
3. "වෙස්මුහුණු" - ධම්ම ජාගොඩ - ටෙනිසි විලියම්ස්ගේ "A streetcar Named Desire"
හෙක්ටර් රූපසිංහ, චිත්‍රා වාකිෂ්ඨ, සිරිල් වික්‍රමගේ,නෝමන් දයානන්ද , කීර්ති ශ්‍රී කරුණාරත්න, අනිල් වීරකෝන්, අයිලින් සරච්චන්ද්‍ර "වෙස්මුහුණු" හී සෙසු චරිත රඟපෑහ.1973 ධම්ම ජාගොඩ තම රංග ශිල්ප ශාලිකාව ඔස්සේ මේ නාට්‍යය යළිත් අධ්‍යක්ෂණය කළ අවස්ථාවේ රවීන්ද්‍ර රන්දෙණිය, සෝමලතා සුබසිංහ, ශාන්තා පද්මපෙරුම, සුමින්ද සිරිසේන, තිලක් ගුණවර්ධන, බුද්ධදාස විතානාරච්චි සහ ලෙස්ලි රාමනායක ඊට රූපණයෙන් දායක වූහ. චූලනී රාමනායක මෙය නිෂ්පාදනය කළාය. ස්ටැනිස්ලව්ස්කිගේ තත්විධ රූපණ න්‍යාය (Theory of Method Acting) පිළිබඳ ගැඹුරින් හැදෑරීමටත් ඉක්බිතිව ලී ස්ට්‍රැස්බර්ග්ගේ "ඒජබධපඵ ඉබභඤඪධ" සංකල්පය අනුව යමින් 1969 දී රංග ශිල්ප ශාලිකාව ස්ථාපිත කිරීමටත් ධම්මගේ අවධානය යොමු වූයේ "වෙස්මුහුණු" නිර්මාණය කළ කාල වකවානුවේදී බැව් පෙනේ. කෙසේනමුදු ධම්ම ජාගොඩ සහ සුනේත්‍රා සරච්චන්ද්‍ර යන කෘතහස්ත රූපණ යමකයේ ස්වර්ණමය මුද්‍රාව ලාංකේය වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ ස්ථාපිත කෙරෙමින් ඔවුන් කෙරෙහි එවක ප්‍රවීණ පෙර පරපුරෙහි දෑස් විවර වූයේ "වෙස්මුහුණු" නාට්‍යයෙන් බව සත්‍යයකි. මේ අරභයා කදිම විවරණයක් ආචාර්ය හෙන්රි ජයසේනයෝ "නිම්නැති කතාවක් 1 " නම් වූ ස්වකීය ස්වයං ලිඛිත අපදානයෙහි ( පිටු 237, 239) ලිවූහ. මේ වූ කලී මමංකාරයෙන් අස්මීමානයෙන් තොර අනතිමානී ශ්‍රේෂ්ඨ කලාකරුවකුගේ රුවන් වැකියක් වැන්න. තමන්ගේ රඟපෑම් පමණක් විශිෂ්ට යැයි සිතා සම්මානවලට පොරබදින කලාකරුවන්ට මෙය පූර්වාදර්ශයකි.
"මෙවර නාට්‍ය උත්සවයේ ආරාධිත අංශයේ හොඳම පිටපත, හොඳම නළුවා, හොඳම නිළිය ආදී වශයෙන් සම්මාන රැසක්ම දිනාගන්නා ලද්දේ ධම්ම ජාගොඩගේ වෙස්මුහුණු නාට්‍යය ය. මෙවර ඇත්ත වශයෙන්ම තියුණු තරඟයක් වූ බැව් කිව යුතුය. විශේෂයෙන්ම නළු නිළියන් අතර මෙම තරඟය වඩාත් ම සැරට පැවැත්තේය. සුගත්ගේ "ඩෝං පුතා" නාට්‍යයේ වික්‍රම බෝගොඩ, ප්‍රේමා ගනේගොඩ හා ධර්මසිරි වික්‍රමරත්න ප්‍රධාන චරිත රඟපෑහ. මගේ අහස් මාළිගා හි මාත්, මානෙලුත්, ග්‍රේස් ද සිල්වාත් ප්‍රධාන චරිත තුන රඟපෑවෙමු. තරඟය සඳහා වූ මුල් දර්ශනයේ ගෙදරට එන නොඑසේ නම් ජිනසේන විසින් ගෙදරට ගෙන්වනු ලබන අමුත්තාගේ අතිශය කේන්ද්‍රීය උප ප්‍රධාන චරිතය රඟ දක්වන ලද්දේ සැන්ටින් ගුණවර්ධන විසිනි. ධම්ම ජාගොඩගේ වෙස්මුහුණු නාට්‍යයේ ප්‍රධාන චරිත රඟපාන ලද්දේ ධම්ම, ඔහුගේ බිරිඳ සුනේත්‍රා ජාගොඩ හා රොමා ද සොයිසා විසිනි. අප අතරින් ධම්මත්, සුනේත්‍රාත් පළපුරුද්ද අතින් අපට වඩා බොහෝ අඩු අත්දැකීම් ලද අය වූහ. වයසින් ඔවුන් දෙදෙනා අපට වඩා ළාබාලයෝ වූහ. ඒ එසේ වුවද මා, මානෙල්, බෝගොඩ, ප්‍රේමා ඇතුළු අප සැම අබිබවා ගිය අපුර්ව ප්‍රතිභාපූර්ණ, සංයත රංගයක් වේදිකාවේ ඉදිරිපත් කිරීමට ධම්මත්, සුනේත්‍රාත් සමත් වූහ. එම දෙදෙනාට හොඳම නළුවාටත් නිළියටත් හිමි සම්මාන ලැබෙන විට අපි කවුරුත් අත්තල රිදෙන තුරු අත්පොළසන් දුනිමු. ශාලාව දෙදරන තරමට අත්පොළසන් දුනිමු. ඒ මතකය සිහි වෙන අද පවා මා ඉන් ලබන්නේ අප්‍රමාණ ප්‍රීතියකි.
ඒ කෙසේ වෙතත් ඇතැම් විචාරකයනුත් ඇතැම් ප්‍රේක්ෂකයනුත් මේ නාට්‍ය (වෙස්මුහුණු , අහස් මාලිගා ,හෙලේ නැග්ග ඩෝං පුතා) දක්නා ලද්දේ අගතිගාමී ඇමරිකානු නාට්‍ය ලෙසය. අපේම පහළ මැද පන්තිය සමඟ සසඳා බලන විට මෙහි එක්තරා න්‍යායික සත්‍යයක් නැත්තේද නොවේ. ධම්මගේ වෙස්මුහුණු නාට්‍යයේ ෆුට්බෝල් ගසන, බීර බොමින් කාඩ් ගසන කථානායකයා (ධම්ම) ගෙදරටද ඇඳ සිටියේ ෆුට්බෝල් පිටියේ ක්‍රීඩකයන් අඳීන අත් දිග ඉරි වැටුණු කමිසයක් හා එතරම් පොඩිපට්ටම් නොවූ දිග කලිසමක්ය. ඔහු ෆුට්බෝල් සපත්තු වැනි පාවහන්ද දමා සිටිය බවය මට නම් මතක. ඔහුගේ සගයන් හැඳ පැලඳ සිටියේ එසේමය. මේ තත්ත්වය ඇමරිකානු පහළම පහළ මැද පන්තියට වුව සරිලන්නකි. එහෙත් අපේ රටේ පහළම මැද පන්තියේ අය නම් සරම් බැනියම් ඇඳීය යුතුය. ඒත් නැත්නම් කොට කලිසම් ඇඳීය යුතුය. කාඩ් ගසන අවස්ථාවක, බීර නොව ගල් අරක්කු වැනි යමක් පානය කළ යුතුය."
මතු සම්බන්ධයි...