වර්ෂ 2023 ක්වූ October 04 වැනිදා Wednesday
පතිරූපදේසය සහ පෙර පින් ඇති බව....

ලංකාවේ මෙතෙක් පහළ වූ අග්‍රගණ්‍ය නාට්‍යවේදියාණන් වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ (1914-1996) දියණියක ලෙස උපත ලැබීමට ඇය භාග්‍යවන්ත වූවාය. මේ වූ කලී පින් ඇති සරසවි වරමකි.ඇගේ පුණ්‍ය මහිමය එයට මැ සීමා නොවුණි.මවු පිය උරුමයෙන් රූපණය ප්‍රමුඛ කලා කෞශල්‍යයන්ද ඇය උරුම කොට ගත්තාය.මෙය ඕ හට හිමි වූ දෙවැනි පින් ඇති සරසවි වරම ලෙස මම දකිමි.බුදුන් වහන්සේ මහා මංගල සූත්‍රයේ දේශනා කොට වදාළ පරිදි සුදුසු පරිසරයක උපත ලැබීම (පතිරූපදේසවාසෝ ච) මංගල කරුණකි.කලාව පත්තියම් වීමට අවැසි සුදුසු පරිසරය ජන්ම ලාභයෙන්ම ඇයට ලැබිණ. එහෙත් කලාකරුවන් යුවළකගේ දූදරුවන් ලෙස උපත ලැබීමෙන් පමණක් කලාව පත්තියම් වේ යැයි සිතීම මුළාවකි.එහිලා මංගල සූත්‍රයෙහිම බුදුන්වහන්සේ ඊළඟට දේශනා කොට වදාළ පෙර පින් ඇති බව (පුබ්බේ ච කත පුඤ්ඤතා) තිබිය යුතුය.මහාචාර්ය සරච්චන්ද්‍රයෝ මෙය වාසනා ගුණය ලෙස (Sensibility) හඳුන්වති.ඇය මෙකී වාසනා ගුණය සහජයෙන්ම උරුම කොට ගත් හෙයින් මවුපිය උරුමයෙන් ලැබුණු කලාව ඕ හට පත්තියම් වූ බැව් සුපැහැදිලිය. ඔව්......මවිසින් මෙතෙක් සංක්ෂිප්තව විග්‍රහ කරන ලද්දේ ප්‍රතිභාපූර්ණ රූපණවේදිනී සුනේත්‍රා සරච්චන්ද්‍ර ගැනය. ඇගේ කලා ජීවිතයට දැන් අඩසියවසක් ඉක්ම ගොස් ඇත.ස්වකීය මෑණියන් වූ අයිලින් සරච්චන්ද්‍රගේ (1915-1980) ආභාසයද ඇයට ලැබිණ.රංගනයෙන් , ගායනයෙන්, ඇඳුම් නිර්මාණයෙන්, සංගීත අධ්‍යක්ෂණයෙන් අයිලින් සරච්චන්ද්‍ර මෙරට කලා ක්ෂේත්‍රයට ඉටු කළ නිහඬ මෙහෙවර සුනේත්‍රාට අනුප්‍රාණයක් මැ විය. කොළඹ යුනිවර්සිටි කොලීජියේ (1921- 1942 කාලයේ එය යුනිවර්සිටි කොලීජිය වූ අතර 1942 සිට එය මෙරට පළමු විශ්වවිද්‍යාලය බවට පත් විය.) ලතින්, ග්‍රීක, රෝම භාෂා හා ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ උපාධිධාරිනියක වූ අයිලින් බෙලත් , ජනකතා ඇසුරු කොට ගෙන ළමා පරපුර උදෙසා කාව්‍ය ග්‍රන්ථ ලියූ ලේඛිකාවක වශයෙන්ද ප්‍රකට වූවාය. මහාචාර්ය ඊ.එෆ්.සී.ලුඩොවයික්, නිව්මන් ජුබාල්, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර යනාදී කෘතහස්ත නාට්‍යවේදීන්ගේ නිර්මාණවලට (වෙදහටන, මැනේජර්,කපුවා කපෝති, පබාවතී, කදා වළලු) රංගනයෙන් දායක වූ අයිලින්, "බිලිපූජාව" ළමා නාට්‍යය නිෂ්පාදනය කළාය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ "ගම්පෙරළිය" චිත්‍රපටයෙහි පියල්ගේ (ආචාර්ය හෙන්රි ජයසේනගේ) මවගේ චරිතය රඟපාමින් සිනමාවට පිවිසි ඇය "ළමා නාට්‍ය" නමින් ග්‍රන්ථයක්ද ලියා පළ කළාය.ඇය පාසල් රාශියක (කොළඹ බිෂොප්, කොළඹ වෙස්ලි, මහනුවර කිංස්වුඩ්) පෙර අපර දෙදිග සංගීතය, නාට්‍ය හා රංග කලාව ඉගැන්වූ ගුරුවරියකි.1946 මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ "කපුවා කපෝති" මුල් නිෂ්පාදනයේ නැන්දාගේ චරිතය රඟපෑවේ අයිලින්ය.එහිදී සරච්චන්ද්‍ර යුවළගේ දෙටු දියණිය නන්දිතා මෙහි සාපින් නමැති මෙහෙකාර දැරියගේ භූමිකාව නිරූපණය කළාය.පසුකලෙක ප්‍රවීණ මුද්‍රා නාට්‍ය ශිල්පී බැසිල් මිහිරිපැන්න සමඟ විවාහ වූ නන්දිතා , 2018 වසරේදී කයෙන් සමුගත්තාය.
මෙරටට පැමිණි ඔස්ට්‍රියානු ජාතික නිව්මන් ජුබාල්ගේ "වෙද හටන" (1953) හී රඟපෑමට අවස්ථාව ලැබීම අයිලින් හට ලැබුණු මහත් භාග්‍යයකි.මේ නිෂ්පාදනයේදී ජුබාල් හට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර හා දයානන්ද ගුණවර්ධන සහය වූහ.එහිදී මත ගැටුම් ඇති වූවත් නාට්‍ය අධ්‍යක්ෂණය පිළිබඳ බොහෝ දේ අරභයා මහාචාර්ය සරච්චන්ද්‍ර හා දයානන්ද ගුණවර්ධන දැනුම්වත් වූවෝ ජුබාල් ඇසුරෙනි.එනම් නාට්‍ය වූ කලී නළුවාගේ කලාවක් නොව අධ්‍යක්ෂවරයාගේ කලාවක් බැව් (Director's Art) ජුබාල් දැඩිව විශ්වාස කළේය.
සුනේත්‍රා වේදිකා රංගනයට ප්‍රවිෂ්ට වූ කාලයේ යාන්තම් දස හැවිරිදි වියෙහි පසුවූ දැරිවියකි.1959 වසරේදී ඇය ප්‍රසිද්ධ වේදිකාවට පිවිසුණාය. ඒ "කපුවා කපෝති" නාට්‍යයෙනි.1946 දී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් මුල්වරට නිර්මාණය කළ "කපුවා කපෝති" නාට්‍යය වූ කලී සුප්‍රකට රුසියානු සාහිත්‍යවේදී නිකොලායි ගොගොල්ගේ "Marriage" (1842) හී පරිවර්තනයකි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර , ඒ.පී.ගුණරත්න සහ ඩී.ජී.දයාරත්න එය සිංහලයට නැඟූහ.එදා 1946 "කපුවා කපෝති" හී ප්‍රධාන චරිතය රඟපෑ රිචඩ් තේනබදු 1959 දී යළිත් එය අධ්‍යක්ෂණය කළ අවස්ථාවේ එහි සාපින් නමැති මෙහෙකාර දැරියගේ භූමිකාව රඟමින් සුනේත්‍රා හා පුරා කියා වේදිකාවට පිවිසුණාය.මේ හාස්‍යෝත්පාදක නාට්‍යයේ විවාහ අපේක්ෂාවෙන් සිටින සේපාලිකා සමරසේකරගේ ප්‍රධාන චරිතය සුනේත්‍රාගේ දෙටු සොහොයුරිය නන්දිතා සරච්චන්ද්‍රත් ඇගේ නැන්දාගේ චරිතය මව අයිලින් සරච්චන්ද්‍රත් රඟපෑහ.ඒ අනුව එකම පවුලක තිදෙනකු (මව සහ දියණියන් දෙදෙනා) මෙහි ප්‍රමුඛ චරිත රඟපෑම වෙසෙස් සිදුවීමකි.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ "කදා වළලු" මුල්වරට වේදිකාගත වූයේ 1958 වසරේදීය.සේරිවාණිජ ජාතකය එහිලා ඇසුරු විය.ජපානයේ නෝ නාට්‍ය සම්ප්‍රදාය සේවනයෙන් සරච්චන්ද්‍රයන් ලැබූ ආභාසය මේ නාට්‍යයෙහි දිස් වේ. "කදා වළලු" පළමු නිෂ්පාදනයේ සේරිවාණිජ ලෙස එඩ්මන්ඩ් විජේසිංහත් කච්ඡපුට ලෙස ආචාර්ය සරත් අමුණුගමත් රඟපෑහ.පසුව අයිලින් සරච්චන්ද්‍ර මෙය 1963 දී යළිත් අධ්‍යක්ෂණය කළාය.එහිදී වාණිජ්‍යත්වයේ සිහිනවලින් සිටු දුව රැවටීමට වෙර දරන සේරිවාණිජ ලෙස සිරිල් වික්‍රමගේත් , ඇයට නිවැරදි මඟ පෙන්වන කච්ඡපුට ලෙස ධම්ම ජාගොඩත් , සිටු දුව ලෙස සුනේත්‍රා සරච්චන්ද්‍රත් මිත්තනිය ලෙස ශාන්ති ලේඛාත් ප්‍රධාන චරිත රඟපෑහ. "කදා වළලු" නාට්‍යයේ ප්‍රධාන සංගීත අධ්‍යක්ෂවරු දෙදෙනෙක් සිටියහ. ඒ සෝමදාස ඇල්විටිගල හා එඩ්වින් සමරදිවාකරය. මහාචාර්ය සුනිල් ආරියරත්න පෙන්වා දෙන පරිදි ඇල්විටිගල එහි අතීත වක්තෘ ගයන ගීත පන්තිය නිර්මාණය කළ අතර, සමරදිවාකර සේරිවාණිජගේ ගීතය (අතට වළලුද පයට ගිගිරිද ලා ගනී කිඳුරඟන සොබනා) තැනුවේය. අතීත වක්තෘ විසින් සිදු කරන්නට යෙදුණේ නාඩගමෙහි පොතේ ගුරුගේ කාර්යභාරය හෙවත් සංස්කෘත නාට්‍යයෙහි සූත්‍රධරගේ කාර්යභාරය වේ.එබැවින් අතීත වක්තෘගේ ගීත, කේවල ගීත වශයෙන් ප්‍රචලිත නොවීය. එහෙත්, ඒවා නාටකය හා ඓන්ද්‍රිය ලෙස බැඳුණාවූ නිර්මාණයෝ වෙත්."අතීතෙහි මෙම කපට පෙර වූ කපෙහි පස්වැනි බෝසතාණෝ", "ළමා සිතුවිලි බෝ මැවෙන්නේ", "කූට වෙළෙන්දා එදා දෙවුදත් තෙරහු" යනු ඒ ගී පෙළ වේ. "කදාවළලු" නාට්‍යයේ එක් ගී තනුවක් අමරදේවයන් නිර්මාණය කළ බව මට පැවසුවේ සංගීත විශාරද ජයන්ත අරවින්දය. "තොටියෝ තොටියෝ" යන වචන ඇතුළත් කාව්‍යාත්මක සංවාදය මහාචාර්ය සරච්චන්ද්‍රයෝ ලියා ඊට ගැළපෙන තනුවක් යොදන්නැයි කියා අමරදේවයන්ට පැවරූහ.ලාංකේය වේදිකා නාට්‍ය ඉතිහාසයේ සුසංයෝග පිළිබඳ අධ්‍යයනය කිරීමේදී අමරණීය පරිච්ඡේදයක් සනිටුහන් කරන ධම්ම ජාගොඩ සහ සුනේත්‍රා සරච්චන්ද්‍ර සුසංයෝගය ඇරැඹෙනුයේ 1963 වසරේදී "කදා වළලු" නාට්‍යයෙනි.
මතු සම්බන්ධයි...