මගෙ මංගල්ලෙට ඔහෙලත් එන්නයි...

ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ ස්ත්‍රී භූමිකාව - 84 ලිපිය
දෙසැම්බර් 30, 2021
“මධුර ජවනිකා” - අනුලා බුලත්සිංහල සහ ජැක්සන් ඇන්තනි

අනාගතයේ තම විවාහය පිළිබඳ සිහින මාළිගා තැනූ පීඩිත යුවතියගේ හැඟීම්, රතු හැට්ටකාරිය විලස අනුලා බුලත්සිංහල ගයන, මෙකලත් ජනකාන්ත මේ ගීතයෙන් කුළුගැන්වේ.

දීකිරි දීකිරි ගෙනාව දීකිරි 
මිහිපිට කාටත් 
ගුණ දෙන දීකිරි

පැටියා මෝරපු 
දෙනගෙන් ගත් කිරි 
හොඳ හැටි උණු කොට 
හින්දා ගත් කිරි 
නැවුම් මුට්ටියේ 
වත් කළ මේ කිරි 
පණමට ලාබයි  
මං දෙන මේ කිරි

කිරි විකුණාලා  
කාසි සොයන්නයි 
අනාගතේ මාළිගා තනන්නයි 
කුමාරයෙක් 
ගෙදරට කැන්දන්නයි 
මුට්ටිය බිඳුණොත් 
ඔක්කොම ඉවරයි

හිස මගෙ දෙදරයි 
දෙපා රුදා දෙයි 
රෑ වෙන්නට පෙර 
ගෙදරට යන්නයි 
පණමේ කිරි ගෙන 
පිහිටක් වෙන්නයි 
මගෙ මංගල්ලෙට 
ඔහෙල්ලත් එන්නයි

සාලිය ජනපුත්‍ර සහ අන්ධ තරුණයා ලෙස රඟපෑ ප්‍රවීණ නාට්‍යවේදී නිශ්ශංක දිද්දෙණිය සූරීහු "රතු හැට්ටකාරි" පිළිබඳ අතීත මතක මෙලෙස මා සමඟ සිහිපත් කළහ.

"ඒ යුගයේ සිටම ලූෂන් සහ මගේ සමීප මිත්‍රත්වයක් තිබුණා. අපි එකට කන බොන නාට්‍ය , චිත්‍රපට බලන යාළුවෝ. අනුලාට රසට උයන්න පුළුවන්. ඒ නිසා ඇයගේ ආගන්තුක සත්කාර ලූෂන්ගේ නිවසේදී අපට කිසිදු අඩුවක් නෑ.'රතු හැට්ටකාරි' නිර්මාණශීලී ගුණයෙන්, ජනප්‍රසාදයෙන් සම්මානනීය වූ නාට්‍යයක්. නාට්‍යය ආරම්භ කිරීමට තිරය විවෘත වන විට ඔස්ටින් මුණසිංහයන්ගේ තේමා සංගීතය ඇසෙත්ම ප්‍රේක්ෂක ජනතාව අත්පොළසන් දුන්නා.ඒ තරමට මේ ප්‍රාරම්භ සංගීත වාදනය (ධමඥපබභපඥ) ප්‍රේක්ෂකයන්ට දැනුණා. මනෝරත්න මෙහි රජුගේ චරිතය රඟපාද්දි ඇතැම්විට පිටපතෙත් නොමැති උපහාසාත්මක දෙබස් ඉතා ඖචිත්‍ය පූර්වකව මීට එක් කළ බව මගේ මතකයට නැඟෙනවා. එවැනි දේ කළ හැකිවන්නේ මනෝරත්න වැනි ඉතා දක්ෂ නළුවකුට පමණයි. මට මතකයි එක්වරක් 70 දශකයේ මැද 'රතු හැට්ටකාරි' නාට්‍යයේ දර්ශනයක් අම්පාරේ පැවැත්වුණා.ඊට පෙරදා මට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ "සිංහබාහු" නාට්‍යයේ දර්ශනයක් තිබුණු නිසා 'රතු හැට්ටකාරි' නාට්‍ය කණ්ඩායම සමඟ බස්‍ රථයේ හෝ කෝච්චියේ අම්පාරේ යන්න මට බැරි වුණා. ඉතින් කෙටි කාලයක් ඇතුළත පසුදා උදෑසන මා අම්පාරට යායුතු නිසා රත්මලාන ගුවන් තොටුපොළෙන් ඇව්රෝ ගුවන් යානයක නැඟී මඳ වේලාවකින් අම්පාරේ උහන ගුවන් තොටුපොළෙන් බැස්සා. නාට්‍ය දර්ශනයක් සඳහා මෙරට ඇතුළත ප්‍රදේශයකින් ප්‍රදේශයකට ගුවන් යානයේ ගමන් කළ පළමු ලාංකේය වේදිකා නාට්‍ය නළුවා මා විය හැකියි.රතු හැට්ටකාරී නිෂ්පාදනය කළ එස්.ඒ. ප්‍රේමරත්න මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.නීතිවේදියෙක්.ඔහු සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යයත් සංවිධානය කළා."

ප්‍රේමරංජිත් තිලකරත්නගේ

"ශ්‍රී වික්‍රම" (1978), සුගතපාල ද සිල්වාගේ "දෑවැද්දෝ" (1979), මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රගේ "පොකුරු වැස්ස" (1979), දයානන්ද ගුණවර්ධනගේ "මධුර ජවනිකා" (1983) අනුලා රඟපෑ සෙසු නාට්‍ය අතර වෙසෙසින් සඳහන් කළ යුතුය.

1978 එවක අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මහතා ටවර් රඟහල පදනම ස්ථාපිත කිරීමෙන් පසු එමඟින් නැවත නිෂ්පාදනය කළ දෙවැනි නාට්‍යය ප්‍රේමරංජිත් තිලකරත්න අධ්‍යක්ෂණය කළ "ශ්‍රී වික්‍රම" වේ. ජෝන් ද සිල්වා සූරීන්ගේ නුර්තියෙහි ලක්ෂණ රැකගනිමින්ද , මුල් පිටපත අනුවාදයක් ලෙස නැවත රචනා කරමින්ද, රංගාලෝකය, කටහඬ, පසුබිම් සංගීතය හා සමූහ චලන වැනි නවීන රංග උපක්‍රම මුසු කරමින්ද ඉපැරැණි නුර්ති නාටකය නව්‍යකරණයට ලක් කිරීමට ප්‍රේමරංජිත් තිලකරත්නයෝ උත්සුක වූහ. නුර්ති නාටකයත් නූතන නාට්‍යයත් මුසු වූ මේ සංගීත නාටකය සැබැවින්ම අභියෝගාත්මක වෑයමකි. මෙහිදී ප්‍රේමරංජිත් පොතපතින් හැදෑරූ සහ මනසින් පරිකල්පනය කළ රංග උපක්‍රම භාවිත කළ බැව් පෙනේ. ඇහැළේපොළ කුමාරිහාමි ලෙස මෙහි අනුලා රංගනයෙන් දායක වූවාය. ඇගේ රූපණයෙහි සහ සුගැයුම් හී දක්නා ලැබුණේද නුර්ති නාටක සහ නූතන නාට්‍ය රංගන, ගායන ශෛලීන් හී සහසංකලනයකි.

ෆැසිස්ට්වාදය හා බල උන්මාදය අතර අරගලය කලාත්මක සංයමයකින් යුතුව නිරූපණය කළ ගැඹුරු දේශපාලනික තේමාවකින් සුසැදි නාට්‍යයකි, සුගතපාල ද සිල්වාගේ "දෑවැද්දෝ" (1979) නම් වනුයේ. සම්මුතියට එරෙහිව නැඟුණු විරෝධාකල්ප ගණයේ නාට්‍යයක් වූ මෙහි යොවුන් ප්‍රේමයටද ඉඩක් තිබිණ. කාක දීපය හා හංස දීපය අතර දේශසීමා අරගලය හේතුකොට ඇති වන්නා වූ යුද්ධය, අවි සැපයුම් හා සාමය පිළිබඳ ගැටුම් නාට්‍යවේදියාගේ ඉසියුම් දෘෂ්ටියට හසුවේ. මෙහි ආචාර්ය දුමින්දගේ (දයා තෙන්නකෝන් රඟපෑ) බිරිඳ සමාරා ලෙස අනුලා රඟපෑවාය.

සඳුන් විජේසිරි (ආරියදාස), සෝමවීර චන්ද්‍රසිරි (පවුලිස්), යූ.ආරියවිමල් (ධනසේන), ධම්ම ජාගොඩ (මහ අදිකාරම), ලූෂන් බුලත්සිංහල (ධනදාස), දයා තෙන්නකෝන් (ආචාර්ය දුමින්ද), අනුලා බුලත්සිංහල (සමාරා), නිමල් ලක්ෂපතිආරච්චි (ජනදාස), මර්සි එදිරිසිංහ (ලීලාවති), නන්දසේන හේවගේ (කර්නල්), ග්‍රේස් තෙන්නකෝන් (ඇග්නස්), දේවිකා පෙරේරා (සාමා), ගාමිණී හෙට්ටිආරච්චි (තෝමස්), කරුණාතිලක හඳුවල (කවි කොළකාරයා) යනාදීහු මෙහි රංගනයෙන් දායක වූහ.

මෙරට සංචාරක ව්‍යාපාරයේ ඛේදනීය පක්ෂය හෙළි කළ "පොකුරු වැස්ස" (1979), මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ ප්‍රථම ස්වතන්ත්‍ර නාට්‍යය වේ. සංචාරක ව්‍යාපාරය හේතු කොට මෙරට ගම්මාන සදාචාරයෙන් හා මානව දයාවෙන් පරිහානියට පත් වන අයුරු හා ළමා මනස විකෘති වන අයුරු මේ නාට්‍යයෙන් කුළුගැන්විණ."පොකුරු වැස්ස"

සියලු පාසැල්වලටත් මීගමුවේ සිට තංගල්ල දක්වා මුහුදු බඩ තීරයේ වෙසෙන ජනතාවටත් පෙන්විය යුතු නාට්‍යයක් බව ප්‍රවීණ මාධ්‍යවේදිනී සුමනා සපරමාදු මහත්මිය වරක් පැවැසුවාය."පොකුරු වැස්ස" හී ධීවර ගම්මානයක සුමනා නම් තරුණියගේ භූමිකාව අනුලා රඟපෑවාය. ඇයගේ සොහොයුරා (ලූෂන් බුලත්සිංහල රඟපෑ) ආබාධිත මැන්ඩලීන් වාදකයෙකි. ඔවුන්ගේ මව ලෙස ලියෝනි කොතලාවලත් මේ ධීවර ගම්මානයට පැමිණෙන පොන් හැගාර්ඩ් නමැති බර්ගර් ජාතිකයා ලෙස සඳුන් විජේසිරිත් රඟපෑහ. සුමනාට පෙම්බඳීන මේ විදෙස් ජාතිකයා අවසන ඇය අතරමං කොට හැර යයි.සඳුන් විජේසිරි මේ භූමිකාව නිරූපණය කිරීම සඳහා විදෙස් ජාතිකයන්ගේ ස්වභාවය ගැඹුරෙන් හැදෑරූ බැව් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයෝ වරක් මා සමඟ කීහ.

දයානන්ද ගුණවර්ධන සූරීන්ගේ "මධුර ජවනිකා"(1983) හී නෙයිනගෙ සූදුව අංකය, නාට්‍ය නිර්මාණයෙන් බැහැරවද ප්‍රේක්ෂකයා අතර ප්‍රකට වූ බැව් පෙනේ. එහිලා අනුලා බුලත්සිංහලගේ (රෝසනෝනා ලෙස) සහ ජැක්සන් ඇන්තනිගේ (ජැංඩි සිංඤෝ) ශූර රූපණය, ගායනය හා නර්තනය ඉවහල් වූ බව මා අමුතුවෙන් කිව යුතුද ? දුවන ගිරියක් තල්ලු කොට ගෙන සභාවට එන ඔවුහු රබානක් වයමින් නෙයිනගෙ සූදුව අරභයා දීර්ඝ විරුදුවක් ගයති. එහි පළමු විරිදුව මේය. 

ජැංඩි සිංඤෝ (ජැක්සන්) -

පළමුව මම වැන්ද බුදුන් 
සිහි කරගෙන ඒ ගුණ කඳ

රෝසනෝනා (අනුලා) - දෙවනුව සද්ධර්මේ උතුම් මුදුනත් කර මෙන්න වැන්දා 
ජැන්ඩි සිංඤෝ (ජැක්සන්) - තෙවනුව මහ සංඝරත්නෙ වැඳ සුරන්ට පින් දී සොඳ

දෙදෙන - කියනවා අපි 
මේ නෙයිනගෙ සූදුව 
කවියෙන් කර ප්‍රබන්ද

දීර්ඝ විරුදුවෙන් පසුව ජැන්ඩි සිංඤෝ සහ රෝසනෝනා අතර හුවමාරු වූ හාස්‍යෝත්පාදක දෙබස් ඛණ්ඩයකි, මතු දැක්වෙනුයේ.

ජැන්ඩි සිංඤෝ (ජැක්සන්) - ස්තුතියි නෝනාවරුනි, මහත්වරුනි ඒ සින්දුව කිව්වේ අපි දෙන්න. රෝසනෝනා සහ ජැන්ඩි සිංඤෝ. රෝසනෝනා කියන්නේ මගේ අනියම් භාර්යාව.

රෝසනෝනා (අනුලා) - චී.....ලැජ්ජ නැද්ද ඔහොම සභාවක් ඉස්සරහ එහෙම කියන්න.

ජැන්ඩි සිංඤෝ (ජැක්සන්) - වැඩි ආදරේටයි එහෙම කිව්වේ සුන්දරී.

රෝසනෝනා (අනුලා) - ඒ මොකද වැඩි ආදරේට කිව්වේ....

ජැංඩි සිංඤෝ (ජැක්සන්) - ඇයි යෝදියෙ වැඩි ආදරයක් ඇතිවෙන්නේ තමාගේ භාර්යාවට නෙවෙයිනෙ, අනියම් භාර්යාවටනෙ.

ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී.හේරත්ගේ "දෝන කතරිනා" නාට්‍යයෙහි දෝන කතරිනාගේ භූමිකාව කෞශල්‍යා ප්‍රනාන්දු නිරූපණය කළ බව සහෘදයෝ දනිති. එහෙත් එක් කාලයකදී ඇයට මේ දර්ශනවලට සහභාගි විය නොහැකි විය. කේ.බී මේ භූමිකාව සඳහා අනුලා බුලත්සිංහලට ඇරැයුම් කළේය. ඇය නොපැකිළව ඒ ඇරැයුම පිළිගෙන දෝන කතරිනාට නව්‍ය අර්ථ කථනයක් එක් කරමින් කෞශල්‍යා යළි ඊට එක් වන තෙක් එය නිරූපණය කළාය. මෙහි විශේෂතාව වනුයේ කෞශල්‍යා වැනි තමාට වඩා පසු පරම්පරාවක අනුප්‍රාප්තික නිළියක වෙනුවෙන් තාවකාලිකව මේ ප්‍රවීණ රංග ශිල්පිනිය ඒ භූමිකාව නිරූපණය කිරීමට භාර ගැනීමය. එහිදී දුටු අනුලාගේ නිහතමානීත්වය තමාට සිතා ගත නොහැකි වූ බව කේ.බී.හේරත් සූරීන් වරක් මට පැවසුවේය.

(මේ ලිපිය සඳහා ඇතැම් දුර්ලභ සේයාරූ ලබාදුන් ප්‍රවීණ ඡායාරූප ශිල්පී කුමාර එදිරිසූරිය මහතාට මගේ කෘතඥතාව හිමි වේ. අනුලා බුලත්සිංහල රූපණවේදිනිය ජීවත්ව සිටියදී ඇගේ සේයාරූ සංරක්ෂණය කිරීම කුමාර මහතාට භාර කළාය. ඉන් ඇතැම් සේයාරූ ඔහු විසින්ම කාචයට නඟන ලදි.)

මතු සම්බන්ධයි...