තිසරුන් ආසයි මුහුණ බලන්නට...

ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ ස්ත්‍රී භූමිකාව - 83 ලිපිය
දෙසැම්බර් 23, 2021

“තාරාවෝ ඉගිළෙති" නාට්‍යයට පූර්වයෙහි ලූෂන් - අනුලා සුසංයෝගයේ පළමු උත්කෘෂ්ට ඵලය "රතු හැට්ටකාරි" (1974) ය. සමාජයෙන් පීඩාවට ලක් වූ ස්ත්‍රීත්වය මෙහි අනුලා බුලත්සිංහල රඟපෑ භුමිකාවෙන් නිරූපිත විය."රතු හැට්ටකාරි" ඇගේ රූපණ දිවියේ ප්‍රශස්ත චරිත නිරූපණය ඇතුළත් වූ නාට්‍යය ලෙස නොපිළිගන්නෝ කවරහුද ? මේ වූ කලී ලෝක ධර්මී, නාට්‍ය ධර්මී ධාරා ද්වයෙහි සහසංකලනයෙන් බිහි වූ නිර්මාණයකි. අවසෙස් නාට්‍යවලදී මෙන්ම මෙහිදීද අනුලාගේ රැඟුමට ආලෝකයක් වූයේ ඇගේ ගායන හා නර්තන ප්‍රතිභා ප්‍රභාව බැව් පෙනේ."රතු හැට්ටකාරි" නාට්‍යය අරභයා වරක් ප්‍රවීණ නාට්‍යවේදී බන්දුල ජයවර්ධනයෝ (එහි තෙවැනි නිෂ්පාදනයේ සමරු කලාපය) මෙසේ කීහ. 

"රතු හැට්ටකාරී අමුතුම මාදිලියේ නිෂ්පාදනයක් විය. එහි රචනය 1974 කලා මණ්ඩලයේ සම්මානලාභී රචනයක් විය. එය නව පරපුරට හඳුන්වා දිය යුතු නාට්‍යයක් යැයි මම විශ්වාස කරමි. අතීතයත් අනාගතයත් අතර සැරිසරන රතු හැට්ටකාරිය තුළින් පැන නඟින උත්ප්‍රාසය හා උපහාසය වර්තමානයට බෙහෙවින් අදාළ යැයි මම සිතමි."

60 දශකය අග භාගය වන විට මෙරට සියලු කලා මාධ්‍ය එතෙක් පැවැති පුද්ගල කේන්ද්‍රීය නැඹුරුවෙන් සමාජ කේන්ද්‍රීය නැඹුරුව වෙතද ප්‍රවිෂ්ට වූ බැව් පෙනේ. එනම් කලාව පුද්ගල යථාර්ථය විග්‍රහ කිරීමෙන් නොනැවතී සමාජ යථාර්ථය විග්‍රහ කිරීමටද භාවිත විය යුතු බවට තර්ක, විතර්ක, විසංවාද මතුවිය.

රුසියාවේ සමාජවාදය හා යුරෝපයේ විරෝධාකල්ප සාහිත්‍යයේ බලපෑම් මෙරට විවිධ කලා මාධ්‍යවල නියැළුණු කලාකරුවන් විෂයෙහි බලපෑම 70 දශකයේ මුල් භාගය වන විට ප්‍රවණතාවක් , ප්‍රවේගයක් බවට පත්වී තිබිණ. ලාංකේය නාට්‍යවේදීහුද වඩාත් දේශපාලන ප්‍රස්තුත බහුලව පාදක කොට ගෙන නාට්‍ය තැනූහ. මේ අතර ඇතැම් නාට්‍ය ගැඹුරින් දේශපාලනය විග්‍රහ කළ ප්‍රශස්ත නිර්මාණ වූ අතර බහුතරයක් රැල්ලට ගසා ගිය අවර ගණයේ නිමැවුම් විය. මේ ප්‍රවණතාව කොතෙක් වර්ධනය වීද යත් ආචාර්ය ගුණදාස අමරසේකරයෝ අවර ගණයේ දේශපාලන නාට්‍ය "පපඩම් නාට්‍ය" ලෙස හඳුන්වා උපහාසයට ලක් කළහ. ලාංකේය නාට්‍යවේදීන් තරුණ අසහනය ප්‍රමුඛ යොවුන් හා කම්කරු ගැටලු ප්‍රස්තුත කොට ගත් නාට්‍ය වෙත බෙහෙවින් නැඹුරු වූ අයුරු එකල දැක්ක හැකිය.බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ දුරස්ථීකරණ සංකල්පයද (ඒතඪඥදචබඪධද ඥටටඥජබ) යුරෝපයේ සාංදෘෂ්ටිකවාදයද (Existentialism) මෙරට බොහෝ නාට්‍යවේදීන්ට ආභාසය විය.එස්.ඒ.ප්‍රේමරත්න නිෂ්පාදනය කළ , ලූෂන් බුලත්සිංහලයන් පිටපත රචනා කළ "රතු හැට්ටකාරි" වූ කලී බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ දුරස්ථීකරණයෙහිත් සාංදෘෂ්ටිකවාදයෙහිත් අභූතරූපී නාට්‍ය රීතියෙහිත් මුසුවකි. මීට ඇතුළත් වනුයේ මුල, මැද, අග සහිත වෘත්තාන්තයක් නොව සමාජ දේශපාලන ප්‍රහසනයක තතු පෙන්වන සිද්ධි මාලාවකි. නාට්‍යයෙහි චරිත එහි සංකේත ලෙස උපයුක්ත කොට ගෙන ඇත."රතු හැට්ටකාරී" නව්‍ය ආකෘතියකින් හෙබි ස්වතන්ත්‍ර නාට්‍යයකි. දේශීය නාට්‍ය කලාවෙහි දක්නා ලැබෙන ගුරුන්නාන්සේ සහ ගෝලයාගේ පාත්‍ර ආභාසය එකී අභිනව ආකෘතියෙහි වුව දැක්ක හැකිය.මීට ඇතුළත් වූයේ ඉතිහාසයත් වර්තමානයත් මුසු වූ සන්දර්භයකි. 

"Little Red Riding Hood"  නමින් ළමා පරපුර අතර ජනප්‍රිය වූ සුරංගනා කතාව සිංහල ජනතාව අතර සුප්‍රකට වූයේ රතු හැට්ටකාරි නාමයෙනි. ලූෂන් මේ නාමකරණය පමණක් සුරංගනා කතාවෙන් උපුටා ගනු ලැබුවත් අර කී කතාවත් මේ නාට්‍යයත් අතර කිසිදු සබඳතාවක් නොමැත. ප්‍රවීණ සංගීතවේදී ඔස්ටින් මුණසිංහයන්ගේ ස්වර සංරචනා මේ නාට්‍යයෙහි ආත්මය වැන්න."දීකිරි දීකිරි ගෙනාවා දීකිරි", "යස ඉසුරු පිරුණු තැනා" වැනි මෙකල් හීද ජනකාන්ත බවෙන් තොර නොවූ සුමධුර ගීත මේ නාට්‍යයට ඇතුළත් විය.රාජ්‍ය නාට්‍ය උලෙළේ 1974 හොඳම රචනය (ලූෂන් බුලත්සිංහල), හොඳම නළුවා (ජයලත් මනෝරත්න), හොඳම සංගීත අධ්‍යක්ෂණය (ඔස්ටින් මුණසිංහ) ඈ සම්මාන සහ රංගනය සඳහා කුසලතා සහතිකය (අනුලා බුලත්සිංහල) "රතු හැට්ටකාරී" උදෙසා පිරිනැමිණ.මේ නාට්‍යය 1977 දෙවැනි වරටත් 1998 ලෝක නාට්‍ය දිනය වෙනුවෙන් තෙවැනි වතාවටත් නිෂ්පාදනය වූ බැව් පෙනේ.එහිදි මෙහි සංගීතයෙහි වෙනසක් දිස්විය. ඔස්ටින් මුණසිංහයන්ගේ පුත් තරුපති මුණසිංහත් ලූෂන්-අනුලා යුවළගේ පුත් හර්ෂ බුලත්සිංහලත් තෙවැනි නිෂ්පාදනයේදී සංගීතයට දායක වූහ. එහිදී ඔස්ටින් මුණසිංහයන්ගේ මුල් ස්වර සංරචනාවලට ප්‍රසංවාද (Harmony)  මුසු කිරීමෙන් ඔවුහු ඊට නව්‍ය මානයක් එක් කිරීමට උත්සුක වූහ.

රාජ්‍ය නාට්‍ය උලෙළේ දී හොඳම නිළිය උදෙසා කිසිදු සම්මානයක් පිරිනැමුණේ නැත.එමඟින් අනුලා බුලත්සිංහලගේ ප්‍රශස්ත රංගනයට නිසි ඇගැයුමක් නොලැබී එය කුසලතා සහතිකයකට සීමා විය. මේ උලෙළේ දී "අසාතමන්තරේ" හී සුනේත්‍රා සරච්චන්ද්‍රටත් "තහනම් දේශය" හි මර්සි එදිරිසිංහටත් එබඳුම කුසලතා සහතික පිරිනැමිණ.හොඳම නිළියට සම්මානයක් පිරි නොනැමීමෙන් මේ ප්‍රතිභාපූර්ණ රූපණවේදීනීන් තිදෙනාටම සිදුවූයේ අසාධාරණයකි. කැකිල්ලේ රජ්ජුරුවන්ට සමාන "රතු හැට්ටකාරි" හි රජුගේ චරිතය රඟපෑ ආචාර්ය ජයලත් මනෝරත්නයන්ට හොඳම නළුවාගේ සම්මානය පිරිනැමුයේ හුදෙක් ඒ භූමිකාව උදෙසාම පමණක් නොවීම විශේෂත්වයකි. ගාමිණි සමරකෝන් සහ සුනේත්‍රා සරච්චන්ද්‍රගේ "අසාතමන්තරේ" හී පොතේ ගුරු , රංජිත් ධර්මකීර්තිගේ "හිරු නැති ලොව" හි මුහන්දිරම් සහ "රතු හැට්ටකාරි" හි රජු යන එකිනෙකට වෙනස් චරිත ත්‍රිත්වය මනෝරත්නයන් ප්‍රශස්ත ලෙස රඟපෑ බව අගය කළ විනිසුරුවෝ "රතු හැට්ටකාරි" සඳහා පමණක් ඔහුට සම්මානය පිරිනැමූහ.

ජයලත් මනෝරත්න (රජ සහ නර), අනුලා බුලත්සිංහල (රතු හැට්ටකාරි), නිශ්ශංක දිද්දෙණිය (සාලිය ජනපුත්‍ර සහ අන්ධ තරුණයා), ජය ශ්‍රී චන්ද්‍රජිත් (සෙබළා), ලාල් කුලරත්න, එන්. අබේසුන්දර (පත්තරකාරයෝ), විලාද් ද අල්විස් (මහල්ලා),අනිල් හත්තොටුවේගම (මහ ඇමැති), නවනන්දන විජේසිංහ (පූජක), විනී වික්‍රම, අමරසේන පීරිස් (ඇමැතිවරු) යනාදීහු ප්‍රථම නිෂ්පාදනයට රංගනයෙන් දායක වූහ. අංග රචනය බුද්ධදාස ගලප්පතිගෙනි. ජය ශ්‍රී චන්ද්‍රජිත්, විලාද් ද අල්විස් , අනිල් හත්තොටුවේගම යන රංග ශිල්පීහු වත්මනෙහි විදෙස්ගත වී සිටිති. නිරූපණ ශෛලියෙන් හෙබි, යුග ගණනක් ජන සිත් රංජනය කළ සුමධුර ගේය කාව්‍ය කීපයක් ලූෂන් බුලත්සිංහලයෝ "රතු හැට්ටකාරි" උදෙසා සම්ප්‍රදානය කළහ. අනුලා බුලත්සිංහල නිරූපණය කළ රතු හැට්ටකාරියගේ රූප සෞන්දර්යෙන්, අගපසඟවලින් ඉස්මතු වූ සිරිඟර හෙවත් ශෘංගාර රසය, ඇය පොලඹවා ගැනීමේ චේතසින් සෙබළා (ජය ශ්‍රී චන්ද්‍රජිත්) ගයන මේ ගීතයෙන් හෙළි වේ. මෙබඳු ශෘංගාරාත්මක ස්ත්‍රී වර්ණනයකදී කෘතහස්ත ගේය කාව්‍ය රචකයකු තුළ පැවතිය යුතු සංයමය, ශික්ෂණය මෙන්ම ව්‍යංග්‍යාර්ථ දනවන සේ බසෙහි ව්‍යංජනා ශක්තිය උපයුක්ත කොට ගන්නා අයුරු ආදිය නව පරපුරේ ගීත රචකයෝ ලූෂන්ගෙන් උගනිත්වා. මෙරට චිරන්තන,සම්භාව්‍ය කාව්‍ය ඇසුර මේ උදෙසා ඔහුට ලැබී ඇති අයුරු බලනු මැනව. 

රතු හැට්ටෙ පළල් මදි
දෙතන පෙනෙන්නට
තිසරුන් ආසයි
මුහුණ බලන්නට
උස්සල තනපට
තද කරපන්
රන තිසරු පනී
බැඳපන්

සේලෙ පළන්
නුඹෙ කලව පෙනෙන්නට
සුළිය වගේ
නාභිය පෙනෙන්නට
උස්සල පස්ස ටිකක් හදපන්
ඉඟ සේලෙ තදින් බැඳපන්

පාරට්ටු ළඳේ
නුඹෙ මුහුණ පෙනෙන්නට
නීල දෙබැම දිගු දෑස දිලෙන්නට
උස්සල කෙස්ස තදින් බැඳපන්
රන්තෝඩු කනේ දමපන්

මතු සම්බන්ධයි...