“බලමුකෝ.... සංගීතය නැතුව නාට්‍යය පෙන්නන හැටි...”

දෙසැම්බර් 9, 2021
මහාසාර - බිසව ලෙස අනුලා

"මහාසාර" නාට්‍යය නිර්මාණය කිරීමේ වස්තුබීජය මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ සිතෙහි පහළ වීමේ නිදාන කතාව ප්‍රවීණ රූපණවේදී නිශ්ශංක දිද්දෙණිය සූරීහු මෙසේ මා සමඟ සිහිපත් කළහ.

"මේ සිදුවීම සිදුවන කාලයේ එනම් 60 දශකයේ මුල, මහාචාර්ය සරච්චන්ද්‍රයන් පෞද්ගලික ජීවිතයේ කිසියම් හේතුවක් මත, බන්දුල ජයවර්ධනයන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවාතැන් ගෙන සිටි ජයතිලක ශාලාවේ කාමරයේ තමාටද නවාතැන් ගැනීමට ඉල්ලීමක් කළා. බන්දුල ජයවර්ධනයන්ද බොහොම කැමැත්තෙන් සරච්චන්ද්‍රයන්ට තමන්ගේ කාමරයේ නවාතැන් ගැනීමට ඉඩ සලසා දුන්නා. සරච්චන්ද්‍රයන් එතෙක් භාවිත කළ වොක්ස් වැගන් වර්ගයේ මෝටර් රථය විකුණා තිබූ නිසා අවශ්‍යතාවකදී බන්දුල ජයවර්ධනයන්ගේ මොරිස් මයිනර් වර්ගයේ මෝටර් රථය ඉල්ලා ගැනීම සිරිතක් වී තිබුණා. (පසු කාලයේ එනම් මා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි කාලයේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් තවත් වොක්ස් වැගන් රථයක් මිලට ගත්තා.එහි නොම්මරයත් තවම මතකයි.5 ශ්‍රී 876) විශ්වවිද්‍යාලයේ තිබෙන නවීන අංගෝපාංග සහිත මුළුතැන්ගෙයක සේවය කළ එක් සේවකයකුට (අපි ඔහුට පීටර් යැයි කියමු) විවාහ මංගල්‍යයකට යෑම සඳහා මේ මෝටර් රථය අවශ්‍ය වුණා. ඔහු බන්දුල ජයවර්ධනයන්ගෙන් ඉතා කාරුණිකව එය ඉල්ලා හිටියා. 

"ආ ....කමක් නැහැ.. තමුසෙ උදේ කාර් එක අරගෙන මඟුල් ගෙදර ගිහින් හවස ගෙනත් දෙනවා "

බන්දුල ජයවර්ධනයනුත් අදාළ දිනයට පීටර්ට මෝටර් රථය ලබා දීමට පොරොන්දු වුණා. පසුදින දේශන අවසන් කොට පැමිණි මහාචාර්ය සරච්චන්ද්‍රයනුත් බන්දුල ජයවර්ධනයන්ගෙන් ඉල්ලා සිටියේ මේ මෝටර් රථය තමාගේ කාර්යයක් සඳහා එදිනට ලබා දෙන ලෙසයි. බන්දුල ජයවර්ධනයන්ට පීටර්ගේ ඉල්ලීම සිහිපත් වුණත් බොහෝ වේලා කල්පනා කොට අවසානයේ අදාළ දිනයේ සරච්චන්ද්‍රයන්ට තම මෝටර් රථය ලබාදීමට තීරණය කළේ පීටර්ටද ඒ බව දැනුම් දෙමින්. අදාළ දිනයට පෙරදා රාත්‍රියේ ධාරානිපාත වර්ෂාවක් ඇද හැලුණා. පසුදා උදෑසන මහාචාර්ය සරච්චන්ද්‍රයන් තමාගේ කාර්යය සඳහා සූදානම් වී බලන විට බන්දුල ජයවර්ධනයන්ගේ මෝටර් රථයේ ටයර් හතරෙහිම හුළං ගිහින්. මෙය කවුරුන් විසින් කරන ලද්දක් දැයි බන්දුල ජයවර්ධනයන් දිගින් දිගටම කල්පනා කළා. අනුමානයක් නෑ විවාහ මංගල්‍යයට යෑම සඳහා මෝටර් රථය ලබා නොදුන්නාට කේන්තියෙන් අර පීටර් මෙය කරන්නට ඇතැයි ඔහුට සිතුණා.

"ඇත්ත කියනවා... තමුසෙ නේද මේ ටයර් හතරේ හුළං ඇරියේ."

බන්දුල ජයවර්ධනයන් පීටර් ගෙන්වා විමසුවා.

"අනේ නැහැ සර්, මං කවදාවත් එහෙම වැඩ කරන්නේ නැහැ සර්, මේ විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න මහත්වරුත් මේ වගේ වැඩ කරන්නේ නැහැ කියලා මට විශ්වාසයි සර් "

"හොඳයි තමුසෙ දැන් යනවා..මං හොයා ගන්නම්කො" ජයවර්ධනයන් කේන්තියෙන් පැවසුවා. පසුව ඔහු මේ ගැන සොයා බැලීම සඳහා ආරක්ෂක අංශයේ සිටි මාෂල්වරයකුට පැවරුවා.ඔහු පීටර් ගෙන්වා බැණ වදිමින් මඳක් පහර දෙමින් "ඇත්ත නොකිව්වොත් පොලීසියට භාර දෙනවා" යැයි කියමින් ප්‍රශ්න කළා. මුලින් පිළිගත්තේ නැතත් පසුව එය ඔහු කළ බව පීටර් පිළිගත්තා. 

මෝටර් රථය නවතා තිබූ තැනට ඔබ්බෙන් තිබුණේ හිස් ඉඩමක්. ඒ අසල වැලි ගොඩක් තිබුණා. කලින් දින ධාරානිපාත වර්ෂාව නිසා මේ වැලිගොඩෙන් මෝටර් රථය යට වෙලා. වඩාත් විමසා බලන විට කොයි කාටත් පැහැදිලි වුණේ මේ වැලිගොඩ වැටීම නිසා රෝද හතරේ හුළං ගිය බවයි. පසුව බන්දුල ජයවර්ධනයන් පීටර්ගෙන් ඇහුවා

"ඇයි තමුසෙ නොකළ වරදක් කළා කියලා බොරුවට පිළිගත්තේ" කියලා.

"නැහැ සර් , මං ඉතින් ඇත්ත කීවත්, බොරු කීවත් අවසානයේ පිළිගන්නෙ මං කියන්නේ බොරුවක් කියලා. ඒ නිසා මං බොරුවක්ම කිව්ව සර්. කෝකත් එකයි නේ සර් " පීටර් පැවසුවා.

මේ සැබෑ සිදුවීමට සමාන සිදුවීමක් මහාචාර්ය සරච්චන්ද්‍රයන් මහාසාර ජාතකයෙන් දුටුවා. එතුමාට "මහාසාර" නාට්‍යය නිර්මාණය කිරීමට සිතුණේ මේ නිසා. ඒ නාට්‍යයේ අහිංසක ගැමියාත් පීටර් වගේ. "මහාසාර "දෙවැනි නිෂ්පාදනය හා සබැඳුණු තවත් අමතක නොවන සිදුවීම් දෙකක් මට සිහිපත් වෙනවා."මහාසාර"මුල් නිෂ්පාදනය සංගීතවත් කළේ එච්.එච්.බණ්ඩාරයන්.ජයන්ත අරවින්දයනුත් ඊට දායක වුණා.ධම්ම ජාගොඩ අධ්‍යක්ෂණය කළ "මහාසාර" දෙවැනි නිෂ්පාදනයේදී සංගීතයේ යම් වෙනසක් සිදු කිරීමට මහාචාර්ය සරච්චන්ද්‍රයන්ටත් ධම්මටත් අවශ්‍ය වුණා. ඒ වන විට ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් නව රැල්ලේ දක්ෂ සංගීතවේදියකු ලෙස කීර්තියක් දිනා සිටියා. කේමදාසයන් ලවා "මහාසාර" දෙවැනි නිෂ්පාදනය සංගීතවත් කොට ගැනීමට මේ දෙදෙනාම සිතුවා. ඒ අනුව මාස්ටර් මෙහි සංගීතය නිර්මාණය කළා. බොරැල්ලේ තරුණ බෞද්ධ සමිති ශාලාවේ (කර්ඕඒ) අපි නාට්‍යයේ පුහුණුවීම් කරමින් සිටියා. මාස්ටර් මෙහි සංගීතය පුහුණු කිරීමට එවා තිබුණේ සුප්‍රකට චෙලෝ වාදන ශිල්පී බර්ටි. චෙලෝ වාදනයට දක්ෂ නමුදු ඔහුට සර්පිනාව වාදනය කරමින් මේ කාර්යය සිදු කිරීමේ නුහුරු බවක් තිබුණ.මේ දෙස බලා සිටි සංගීතයෙහිද නිපුණ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට වැඩි වේලාවක් ගත වීමට පෙර එය වැටහුණා. සරච්චන්ද්‍රයන්ට නොසන්සුන් හැඟීමක් දැනුණම එතුමා කරන්නේ අත්දෙක පිටුපසට බැඳගෙන එක් අතකින් පිටුපසට තට්ටු දමමින් බිම බලාගෙන එහාට මෙහාට ඇවිදීමයි. අනුලා බුලත්සිංහල, මම ඇතුළු කණ්ඩායම දැන් මේ සිදුවීම දෙස බලාගෙන ඉන්නවා.උපහාස කතා කීමේ ශූරයකු වන සරච්චන්ද්‍රයන්

"ආ...කමක් නැහැ...සංගීතය නැතුව වුණත් මේ නාට්‍යය කරන්න පුළුවන් මට" යැයි බර්ටි හට පැවසුවා.

"ආ...එහෙනම් මං ඒක මාස්ටර්ට කියන්නම් සර්" යැයි කියමින් බර්ටි සිනාසෙමින් පිටවී ගියා. එයින් පාඩුවක් නොවී අපේ කණ්ඩායමේ සිටි කේ.එච්. විමලසේන සමඟ අපි සංගීතය පුහුණු වෙලා නාට්‍යයේ පුහුණුවීම් කටයුතු ඉදිරියට කරගෙන ගියා.

බොරැල්ලේ තරුණ බෞද්ධ සමිති ශාලාවේ නාට්‍යය පෙන්වූ දිනයේ 2.30 දර්ශනයේදී අපූර්ව සිදුවීමක් සිදුවුණා.දැන් නාට්‍යය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන්ගෙන් ශාලාව පිරිලා. මහාචාර්ය සරච්චන්ද්‍රයනුත් ආචාර්ය කේමදාසයනුත් පෙනෙන්නට නැහැ. අපේ කණ්ඩායම නාට්‍යය පෙන්වන්න බලාගෙන ඉන්නවා . 3.00 ට පමණ කලබලෙන් ශාලාවට පැමිණි කේමදාසයන් එහි දොරටුව ගාව කේන්තියෙන්, දත්මිටි කමින් එහාට මෙහාට ඇවිදිනවා.

"සංගීතය නැතුව නාට්‍යය පෙන්වන්න...ආ.....හොඳයි බලමුකෝ සරච්චන්ද්‍ර සංගීතය නැතුව නාට්‍යය පෙන්වන හැටි...හ්හ්හ්... මටත් ඒක තමයි බලන්න ඕනෑ"

කේමදාසයන් ප්‍රකෝප වී එසේ කියමින් මඳ වේලාවක් එහාට මෙහාට ඇවිද ඉන්පසු පිටව ගියා.කුමකින් කුමක් සිදු වේදැයි සිතා ගත නොහැකිව අපි බලා සිටියා. මඳ වේලාවකින් සරච්චන්ද්‍රයන් හා කේමදාසයන් කරට අත දමා ගෙන ශාලාවට පැමිණ "හරි ඔක්කොම හරි...අපි නාට්‍යය පටන් ගමු" කියා සිනාමුසු මුහුණින් නාට්‍යය දර්ශනය ආරම්භ කළා.සිදුවී ඇති දේ පසුවයි අපි දැනගත්තේ.කෝපයෙන් පිටවී ගියත් සරච්චන්ද්‍රයන් හා කේමදාසයන් බොරැල්ලේ රිට්ස් සිනමා ශාලාවට යාබද ගොඩනැගිල්ලේ පිහිටි අවන්හලක හොඳ හැටි මධුවිතෙන් සප්පායම් වෙලා. සියලු වාද භේද අමතක කොට අවසානයේ කරට අතට දමාගෙන ශාලාවට පැමිණිලා. 

"මහාසාර" නාට්‍යය හා සබැඳුණු එක් බිහිසුණු සිදුවීමකුත් මට සිහිපත් වෙනවා.මෙහි දර්ශනයක් ජන රංග සභාවේ සංවිධානයෙන් අම්බලන්ගොඩ නගරයේ පැවැත්වුණා. පිට පළාත්වලට නාට්‍ය දර්ශන පැවැත්වෙද්දී එදා තරුණ අපට එය විනෝද ගමනක්. ගඟක නාලා, කෑමෙන් බීමෙන් සප්පායම් වෙලා විනෝද වෙන්නත් බලාගෙන කලින් එන්න කියලා අපට සංවිධායකයෝ ආරාධනා කළා.ඒ අනුව අපි කලින් ගියා.දිය නෑමට ලෑස්තිවෙලා අනුලා, මම ඇතුළු අපේ කණ්ඩායමේ 22 ක් (මගේ බිරිඳත් එවක මේ නාට්‍යයේ රඟපෑවා.) ගඟේ ඔරුවක් පැද්දා. ඔරුවේ සිට මම ගඟට පනිද්දි ගත්ත ගැම්ම නිසා ඔරුව සම්පූර්ණයෙන්ම කණපිට පෙරළුණා.නෑමට දිය රෙදි ඇඟලා සිටි අනුලා ඇතුළු කාන්තාවන් මෙන්ම අපේ 22 දෙනාම දැන් ගඟේ වැටිලා.අපේ කණ්ඩායමේ මටයි, චන්ද්‍රසෝම බිංදුහේවාටයි පමණයි පිහිනන්න පුළුවන්කම තිබුණේ. වාසනාවට මේ සිදුවීම සිදුවුණේ ගඟේ ගොඩබිමට ආසන්න හරියේදි.එකිනෙකාට උදව් කරමින් අපි කට්ටියම ගොඩට ආවා.ගඟේ ගැඹුරුම තැනක මෙය සිදුවුණා නම් එදා අපේ ජීවිතවලට කුමක්වේදැයි කියන්න බැහැ"

විජේරත්න වරකාගොඩ (රජු), අනුලා බුලත්සිංහල (බිසව), නිශ්ශංක දිද්දෙණිය (වැඳීරිය), විජය නන්දසිරි (යසවර්ධන සිටාණන්), ඉන්ද්‍රා රාමනායක (නගරශෝභිනී), ආචාර්ය ජයලත් මනෝරත්න (කෝසිය පණ්ඩිත/රජු), කරුණාරත්න හඟවත්ත (කෝසිය පණ්ඩිත), ලෙස්ලි රත්නායක (ගැමියා), ජයසේකර අපෝන්සු සහ ජය ශ්‍රී චන්ද්‍රජිත් (හේවායෝ), දන්තුරේ බණ්ඩාර, අනුර ෆොන්සේකා, රත්නා කරුණාශීලී, ස්වර්ණමාලී දන්තුරේ බණ්ඩාර යනාදීහු ධම්ම ජාගොඩ අධ්‍යක්ෂණය කළ "මහාසාර" දෙවැනි නිෂ්පාදනයේ ප්‍රමුඛ චරිත රඟපෑහ.

මේ ලිපිය උදෙසා "මහාසාර" නාට්‍යයේ දුර්ලභ සේයාරුවක් මා හට ලබාදුන් ප්‍රවීණ ඡායාරූප ශිල්පී කුමාර එදිරිසූරිය මහතාට මගේ කෘතඥතාව හිමි වේ.

මතු සම්බන්ධයි...