කුවේණියට නව්‍ය මානයක්

ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ ස්ත්‍රී භූමිකාව - 80 ලිපිය
දෙසැම්බර් 2, 2021
කුවේණි - අනුලා බුලත්සිංහල , සෝමපාල ධර්මප්‍රිය සහ චිත්‍රා වරකාගොඩ

ආචාර්ය හෙන්රි ජයසේනයන්ගේ "කුවේණි", ලාංකේය වේදිකාවේ සන්ධිස්ථානයක් සනිටුහන් කළ නාට්‍යයකි.

මානෙල් ජයසේන රූපණයෙන් මතු නොව ගායනයෙන්ද ස්වකීය සදානුස්මරණීය මුද්‍රාව "කුවේණි" (1963) නාට්‍යයේ කුවේණියගේ භූමිකාවෙන් ස්ථාපිත කළාය. ඇය එහි කුවේණිය බවට පත්වූයේ අවසෙස් කිසිදු නිළියකට මෙය රූපණය කිරීමට සිතා ගත නොහැකි පරිද්දෙනි. 

එහෙත් මානෙල් පුත්‍ර සම්පත (සුදාරක ජයසේන) අපේක්ෂාවෙන් සිටි ගර්භිණී සමයේදී කුවේණියගේ භූමිකාව රඟපෑමට වෙනත් නිළියක අවැසි විය.රැඟුමට ගැයුමට හා නර්තනයට එක ලෙස දස්කම් පෑ අනුලා බුලත්සිංහල ඊට සුදුසු බව හෙන්රි - මානෙල් යුවළ ඒකමතිකව තීරණය කළහ. නාට්‍ය නිෂ්පාදනයෙහි අත්දැකීම් ලබා දෙනු පිණිස ආචාර්ය හෙන්රි "කුවේණි" නාට්‍යයෙහි දෙවැනි නිෂ්පාදනය (1969) මෙහෙයවීම මානෙල් ජයසේන ,සැන්ටින් ගුණවර්ධන දෙපළට පැවරුවේය. විජය නන්දසිරි (විජය කුමරු/ නීතිඥයා) හා අනුලා බුලත්සිංහල (කුවේණි) මෙහි ප්‍රධාන චරිත රැඟු අතර විජේරත්න වරකාගොඩ (පූරක), ෆීලික්ස් ප්‍රේමවර්ධන (දඩයක්කරු), නිමල් ජයසිංහ (නීතිඥයා),සෝමපාල ධර්මප්‍රිය (ජීවහත්ත), චිත්‍රා වරකාගොඩ (දිසාලා), ෆිට්ස්රෝයි ද මැල් (නීතිඥයා) යනාදීහුද මෙහි රංගනයෙන් දායක වූහ.මානෙල් ජයසේනයන්ට නොදෙවෙනි ලෙස කුවේණිය නිරූපණය කරමින් ඊට අනුරාගී නව්‍ය මානයක් එක් කීරිමට අනුලාවන් සමත් වූවාය. නාට්‍යවේදියා අපේක්ෂා කළ පරිද්දෙන් සෑම ගැහැනියක ඇතුළත කුවේණියක ජීවත් වූ බව ඇගේ රැඟුමෙන් කුළුගැන්විණ.එමතු නොව නාදපති එච්.එච්.බණඩාර සූරීන් සංගීතවත් කළ "කුවේණි" නාට්‍යයට ඇතුළත් වූ මේ මධුර ගීතය අනුලාගේ සුගායනයෙන් රසගැන්වෙද්දී ඒ ප්‍රවාචය (ඍඥපඵඪධද) නැවුම් වේශයක් ගත් බව මා අමුතුවෙන් කිව යුතුද ?

සත්සියක් කපු මල් 
රැගෙන මම 
සත්සියක් සුදු කෙඳී 
රැගෙන මම

සත්සියක් කපු පිළි 
වියන මම 
සත්සියක් දෙන පලඳීතේ 
සත්සියක් දෙන පලඳීතේ 
සත්සියක් රත් 
මල් රැගෙන මම 
සත්සියක් රන් හුය 
රැගෙන මම 
සත්සියක් මල් දම් 
ගොතන මම 
සත්සියක් ගෙල පලඳීතේ 
සත්සියක් ගෙල පලඳීතේ

සත්සියක් මායා 
බෙලෙන් මම 
සත්සියක් බන්ධන 
බෙලෙන් මම 
සත්සියක් සක්වළ 
සොයා මම 
ගෙන් වු කුමරුන් අද එතේ 
ගෙන් වු කුමරුන් අද එතේ

(මේ ලිපිය සමඟ පළ කිරීමට දුර්ලභ සේයා රූ මා හට ලබාදුන් ප්‍රවීණ ඡායාරූප ශිල්පී කුමාර එදිරිසූරිය, ප්‍රවීණ රංගවේදී නිමල් ජයසිංහ මහත්වරුන්ට මගේ කෘතවේදීත්වය හිමි වේ.)

"කුවේණි" නාට්‍යය ඔස්සේ අනුලා රැඟුමට, ගැයුමට මතු නොව නැටුමෙන්ද පෑ දස්කම් මෙරට ප්‍රමුඛ පෙළේ නාට්‍යවේදීන්ගේ අවධානයට ලක් වූ බැව් පෙනේ. මගේ මතකයේ හැටියට ගුණසේන ගලප්පත්ති සූරීන්ගේ නාට්‍යවල හැර මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර , සුගතපාල ද සිල්වා, ආචාර්ය හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන යන මෙරට විදග්ධ නාට්‍ය කලාවේ මහා නාට්‍යවේදීන්ගේ නිර්මාණවලට රැඟුමෙන් ගැයුමෙන් දායක වීමට ඇයට භාග්‍ය ලැබිණ.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ "මහාසාර" නාට්‍යයෙහි දෙවැනි නිෂ්පාදනයෙහි (1974) බිසවගේ චරිතය අනුලාගේ කලා ජීවිතයේ සන්ධිස්ථානයකි.ඇය බිසවගේ චරිතය තමා සතු රංගන, ගායන හා නර්තන ප්‍රතිභාව එක් කොට ශූර ලෙස නිරූපණය කළාය.සරච්චන්ද්‍රයන්ගේ "මහාසාර" (1967) මුල් නිෂ්පාදනය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන සේවක මඬුල්ල දායක වූ අතර එහිදී මනුලා බටුගෙදර බිසවගේ භූමිකාව නිරූපණය කළ බැව් සිහිපත් වේ.

1974 සරච්චන්ද්‍රයෝ හවායි විශ්වවිද්‍යාලයේ "East -West Center" හී මහාචාර්ය ධුරයක් ලැබ ඒ සඳහා පිටත්ව යෑමට සූදානම් වී සිටියහ.එහෙයින් "මහාසාර" නව නිෂ්පාදනය මෙහෙය වීම ධම්ම ජාගොඩ හට පැවරී තිබිණ. මේ අරභයා රසබර අතීත සිදුවීම් පෙළක් ප්‍රවීණ රූපණවේදී නිශ්ශංක දිද්දෙණිය සූරීහු මා සමඟ සිහිපත් කළහ.

" මහාචාර්ය සරච්චන්ද්‍රයන් විදෙස්ගත වීමට සුදානම් වී "මහාසාර" මෙහෙය වීම ධම්ම ජාගොඩට පැවරීම පිළිබඳ නාට්‍යයට සම්බන්ධ වූ බොහෝ ශිල්පීන් කැමැත්තක් දැක්වූයේ නැහැ. ඊට හේතුව ධම්ම දැඩි නීති රීතිවලින් යුතු විනයානුකූල පිළිවෙතක් අනුගමනය කළ නිසයි. වයසෙන් මුහුකුරා ගිය මට අද ධම්මගේ අගය වැටහුණත් එදා යොවුන් වියේ සිටි අනුලා ඇතුළු අපි කට්ටියට ඔහුගේ පිළිවෙත් ඇල්ලුවේ නැහැ. මේ නිසා මේ අකැමැත්ත සරච්චන්ද්‍රයන්ට පැවසීමට අපි තීරණය කළත් කවුරුවත් කෙළින් ගිහින් එතුමාට මේ ගැන පැවසීමට ඉදිරිපත් වුණේ නැහැ. අවසානයේ ඒ වැඩේ මටත් මෙහි අප සමඟ රඟපෑ දන්තුරේ බණ්ඩාරටත් පැවරුණා.පසුව අපි දෙදෙනා විශ්වවිද්‍යාලයට ගොස් සරච්චන්ද්‍ර මහතා හමු වුණා.

 

"ආ දිද්දෙණිය , දන්තුරේ මොකද මේ පැත්තේ" සරච්චන්ද්‍රයන් ඇසුවා.

"සර් , අපට ධම්ම එක්ක මේ නාට්‍යය කරන්න අපහසුයි" මා කීවා.

"ආ....එහෙමද ? ...හොඳයි...හෙට මාව ලයනල් වෙන්ඩ්ට් එකේදී හමු වෙන්න.''

සරච්චන්ද්‍රයන් පැවසුවා.

පසුදින අපි ලයනල් වෙන්ඩ්ට් එකට යන විට සරච්චන්ද්‍රයන් හා ධම්ම ජාගොඩ එක ළඟ අසුන් ගෙන සිටිනවා.

"ආ දැන් මොකක්ද ප්‍රශ්නය..ධම්මත් එක්ක මේ නාට්‍යය කරන්න කවුද අකැමැති...'' සරච්චන්ද්‍රයන් අපි දෙන්නගෙන් ඇහුවා.

මායි, දන්තුරේ බණ්ඩාරයි මුහුණට මුහුණ බලා ගත්තා.

"නැහැ...නැහැ...සර් ....අපේ අකැමැත්තක් නැහැ "

එකවරම අපට කියැවුණා.

ධම්ම දෙස බැලූ සරච්චන්ද්‍රයන්

"ආ...දැන් හරි නේ ඔක්කොම ප්‍රශ්න..... දැන් වැඩේ කරගෙන යන්න" යැයි පැවසුවා.

මේ විදිහට අපි "මහාසාර" නාට්‍යයේ ධම්මගේ නිෂ්පාදනයට එක් වුණා.ධම්ම මට එහි වැඳීරියගේ චරිතය පවරමින් මගේ උපරිම හැකියාවන් උකහා ගත්තා. මුලින් මා අකැමැති වුණා තමයි ඒත් රූපණ කලාව පිළිබඳ විද්‍යාත්මක පුහුණුවක් ලබා සිටි ධම්ම යටතේ මේ නිර්මාණයට දායක වීමට ලැබීම මගේ භාග්‍යයක්. එදා සිදුවීම ගැන පසුකලක බන්දුල ජයවර්ධනයන් මට පැවසූ දෙයක් කිව යුතුයි.ඒ සිදුවීමෙන් පසුව කිසියම් ස්ථානයක මේ දෙදෙනා (සරච්චන්ද්‍ර සහ බන්දුල ජයවර්ධන) හමුවී මධුවිතෙන් සප්පායම් වී සිටියදී සරච්චන්ද්‍රයන් මෙසේ කීවාලු.

"බලන්න බන්දුල ....දිද්දෙණිය ඇතුළු ඔක්කොම කණ්ඩායම ධම්ම එක්ක මේ නාට්‍යය කරන්න මුලින් බැහැ කිව්වනේ..හරි නම් මං නේද ධම්ම එක්ක අමනාප වෙලා ඔහු අත් හරින්න ඕනෑ"

සරච්චන්ද්‍රයන් එසේ කීවේ තම දියණිය සුනේත්‍රා සමඟ විවාහ වී සිටි ධම්ම ඒ වන විට විවාහයෙන් වෙන් වී සිටි නිසයි.

මා මේ සිදුවීම සිහිපත් කළේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් මොනතරම් පරිණත විදිහට ජීවතය, කලාව, කලාකරුවන්ගේ අගය, මනුෂ්‍ය සම්බන්ධතා විනිවිද දුටු මුනිවරයකු සදිසි ප්‍රාඥයෙක්දැයි පෙන්වා දෙන්න. සරච්චන්ද්‍රයන් ධම්ම තම බෑණා වී සිටි බව අමතක කොට විශිෂ්ට කලාකරුවා අගය කළා.මේවා සියලු කලාකරුවන්ට ජීවිත ප්‍රඥාව ලබා දෙන සිදුවීම්."

මතු සම්බන්ධයි...