වඩවා පෙම් සිතු ලොලා අනුලා පෑ හාවභාව ලීලා

නොවැම්බර් 25, 2021
රංජිත් යායින්න, අනුලා බුලත්සිංහල, චන්ද්‍රා කළුආරච්චි, හේමදාස වික්‍රමාරච්චි , විල්සන් බමුණුසිංහආරච්චි ඇතුළු “ලෙඩක් නැති ලෙඩෙක්” නාට්‍යයට දායක වූ ශිල්පීන් සමඟ ආර්.ආර්.සමරකෝන්

නිළියකට අඩනිරුවතින් හෝ අවයව ප්‍රදර්ශනය කිරීමෙන් හෝ ආහාර්ය අභිනයෙන් හෙවත් ඇඳුම් පැලඳුම්වලින් හෝ ඉතා පහසුවෙන් අනුරාගයේ සංකේතයක් (Sex symbol) බවට පත් විය හැකිය. එහෙත් ඒ කිසිවක් භාවිත නොකොට හුදෙක් සාත්වික අභිනයෙන් (Facial expression)  පමණක් රති භාවය ශෘංගාර හෙවත් සිරිඟර රසය , අනුරාගය දැන විය හැකි වනුයේ ප්‍රතිභාපූර්ණ රූපණවේදිනියකට පමණි. ඒ සඳහා ස්වකීය මුව මඬලේ සෑම අංගයක්ම මැනවින් භාවිත කිරීමට සතතාභ්‍යාසයෙන් යුත් නිළියකට පිළිවන. ලාංකේය සිනමාවේ නිළි රැජන, ආචාර්යාණි මාලිනි ෆොන්සේකා හුදෙක් සාත්වික අභිනයෙන් පමණක් මෙලෙස සහෘදයා වෙත අනුරාගය අනුප්‍රවේශ කළ චිත්‍රපට ගණනාවක් මා හට සිහිපත් වේ. 

මෙරට වේදිකාවේ මෙතෙක් මා දුටු අනුරාගී රංග ශිල්පිනිය කවුරුන්දැයි මගෙන් යම් සහෘදයෙක් විමසුවහොත් මා එකවරමැ පිළිතුරු දෙනුයේ "ඒ අනුලා බුලත්සිංහල" බවය. එසේ කී පමණින් මේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියගේ, ගායන ශිල්පිනියගේ කලා මෙහෙවර කිසිසේත් ලඝු නොවේ.මේ වූ කලී ඇගේ බොහෝ රැඟුම්වලින් මා දුටු වෙසෙස් ලකුණක් පමණකි. ලූෂන් බුලත්සිංහලයන්ගේ "තාරාවෝ ඉගිළෙති", දයානන්ද ගුණවර්ධනයන්ගේ "මධුර ජවනිකා", ආචාර්ය හෙන්රි ජයසේනයන්ගේ "කුවේණි" ඈ නාට්‍යවල ඇගේ හාවභාව ලීලා (අනුරාගී රැඟුම්) හා කටාක්ෂ නිරීක්ෂණය (ඇස් කොනින් බැලීම) මගේ කියුම සමර්ථනය කරනු ඇත. අනුලාවන් ගැන කෙරෙන මේ ඇගැයුම ඇය ජීවත්ව සිටියදී කළ හැකි වී නම් මම බෙහෙවින් සතුටු වෙමි. 

අනුලා බුලත්සිංහල කලා ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූයේ කෘතහස්ත නාට්‍යවේදී ආර්.ආර්. සමරකෝනුන්ගේ "ලෙඩක් නැති ලෙඩෙක්" (1965) නාට්‍යයෙහි රැඟුමෙන් හා ගැයුමෙන් දායක වීමෙනි.එවක යන්තම් අටළොස් වැනි වියෙහි යෞවනියක වූ ඇය අනුලා මෙන්ඩිස් නම් වූවාය. පසුකලෙක ලූෂන් බුලත්සිංහලයන් හා විවාහ වීමෙන් ඉක්බිතිව ඇය ප්‍රකට වූයේ අනුලා බුලත්සිංහල නාමයෙනි. සමරකෝනුන්ගේ කුලුඳුල් නාට්‍ය නිර්මාණය වූ "ලෙඩක් නැති ලෙඩෙක්" ස.තො.ස සේවක සුබ සාධක සංගමයේ ඉදිරිපත් කිරීමකි. එවක සමරකෝන් සහ අනුලා සතොස හී සේවය කළහ. මධ්‍යම පාන්තික පවුල් සංස්ථාවේ දෙමාපිය දූ දරු සබඳතා පිළිබඳ සංකීර්ණ අත්දැකීමක් මීට වස්තු විෂය විය. රංජිත් යායින්න, චන්ද්‍රා කළුආරච්චි, අනුලා බුලත්සිංහල, හේමදාස වික්‍රමාරච්චි , විල්සන් බමුණුසිංහආරච්චි මෙහි චරිත රැඟුහ.මධ්‍යම පාන්තික පවුලක එකම පිරිමි දරුවා දෙමවුපියන්ගේ දැඩි ආදරය රැකවරණය මත හැදී වැඩෙයි.පසුව ඔහු උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාලයටද ඇතුළත් වේ.සීමාව ඉක්මවූ හුරතලය, ආදරය, රැකවරණය දෙමවුපියන්ගෙන් ලැබීම හේතු කොට මේ තරුණයා අභ්‍යන්තරිකව මානසික අරගලයක යෙදෙන අයුරු දක්නට ලැබේ.අවසන ක්‍රමිකව ඔහු මානසික රෝගියකු බවට පත් වේ.

ආර්.ආර් සමරකෝන්ගේ හඳුන්වාදීමක් වූ අනුලා ඉක්බිතිව ඔහුගේ "චරිත දෙකක්" (1967) නාට්‍යයටද රංගනයෙන් දායක වූවාය. මේ වූ කලී ස්ත්‍රී පුරුෂ සබඳතා පිළිබඳ මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයක් අන්තර්ගත වූ නාට්‍යයකි.විවාහ දිවියට පිවිසෙන යුවළක් අතර අන්‍යෝන්‍ය සැකය හේතු කොට ඇතිවන කුටුම්භයේ ගැටලු "චරිත දෙකක්" හී තේමාව විය. රංජිත් යායින්න හා චන්ද්‍රා කළුආරච්චි මෙහි අඹුසැමි යුවළ ලෙස ප්‍රධාන චරිත රැඟුහ. අනුලා බුලත්සිංහල, හේමදාස වික්‍රමාරච්චි, සරත් දීගල හා සුසිලා ද සිල්වා මෙහි සෙසු චරිත රඟපෑහ.සමරකෝන්ගේ නාට්‍යවල ප්‍රබල සංවාද බාහුල්‍ය හේතු කොට ඔහු සංගීතය භාවිත නොකිරීම වෙසෙස් ලකුණකි. එහෙත් "චරිත දෙකක්" නාට්‍යයෙහි පමණක් ඔහු සංගීතය උපයුක්ත කොට ගත්තේය.ඔස්ටින් මුණසිංහ මෙහි සංගීත අධ්‍යක්ෂවරයාය.ඒ හැරුණු විට සමරකෝන්ගේ "ජේලර් උන්නැහේ" (1986) නාට්‍යයේ එන සිහින ජවනිකාවෙහිදී විනාඩි 10 ක පමණ වයලීන වාදනයක් ඇතුළත් විය. ආර්.ආර්.සමරකෝනුන්ගේ නාට්‍ය පිළිබඳ වැඩිදුර අධ්‍යයනයට රිස්සෝ මෑත භාගයේ පළ වූ එඩ්වඩ් චන්ද්‍රසිරි මහතා විසින් ලියන ලද "රසාලිප්ත රඟමඩලක උරුමක්කාරයා : ආර්. ආර්.සමරකෝන්" නම් වූ මාහැඟි ග්‍රන්ථය කියවත්වා!

ප්‍රේමරංජිත් තිලකරත්න 60 දශකයේ අග භාගයේ නිර්මාණය කළ නාට්‍ය ත්‍රිත්වයකට අනුලා තෝරා ගැනීම ඇගේ රංගන දිවියෙහි ඉදිරි ගමනට විසල් රුකුලක් මැ විය. ඔහු ස්වකීය කලා දිවියේ සුලකුණ තැබූ "වහලක් නැති ගෙයක්" නාට්‍යයේ දෙවැනි නිෂ්පාදනයට අනුලා රංගනයෙන් දායක වූවාය. ප්‍රේමරංජිත් , මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ "සිංහබාහු" නාට්‍යයෙහි ආභාසය ලබා මෙය නිර්මාණය කළේ තාත්වික නාට්‍ය ධාරාවෙනි. ප්‍රබුද්ධ විචාරකයෝ මෙහි දක්නා ලැබුණු විශ්ව සාධාරණ ,සර්වකාලීන පිය පුතු අරගලය නොඑසේනම් සිංහබාහු ප්‍රවාදයේ නූතන ප්‍රතිනිර්මාණයට වශීකෘත වූහ. 

ප්‍රේමරංජිත් එතෙක් මෙතෙක් බිහි කළ දැවැන්ත නාට්‍ය නිෂ්පාදනය වූ "කෝන්තරේ" (1968) හී එවක ප්‍රමුඛ පෙළේ නළු නිළියන් රාශියක් සමඟ එක්ව රඟපෑමට අනුලාවන්ට අවස්ථාව ලැබිණ. ලෙනාඩ් බර්න්ස්ටයින්ගේ රසාලිප්ත සංගීතය රැගත් "West Side Story" (1961) නමැති සම්මානනීය ඇමරිකානු චිත්‍රපටය ඇසුරෙන් "කෝන්තරේ" නම් වූ මහා පරිමාණයේ සංගීත නාටකය ප්‍රේමරංජිත් අධ්‍යක්ෂණය කළේය. තරුණ අසහනය හා තරුණ කණ්ඩායම් දෙකක් අතර අරගලය "West Side Story" සංගීතමය (Musical)  චිත්‍රපටය ඔස්සේ ඉස්මතු විය. ෂාරුක් ඛාන් සහ ඓශ්වර්යා රායි රඟපෑ "Josh"  (2000) හින්දි චිත්‍රපටය බිහි වූයේ මෙය ඇසුරු කොටගෙනය. 60 දශකයේ අග භාගයේ මෙරට වර්ධනය වෙමින් තිබූ විරැකියාව, තරුණ අසහනයද මීට ප්‍රතිපක්ෂ නොවුණි. ප්‍රේමරංජිත් "කෝන්තරේ" නාට්‍යය බිහි කළේ මෙහි අනුවාදයෙනි. ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ සංගීතය හා ධම්ම ජාගොඩගේ නර්තන වින්‍යාසය මීට එක් කළ ආලෝකය සුළුපටු නැත. ලූෂන් බුලත්සිංහල, මාක් ඇන්ටනි ප්‍රනාන්දු, ධම්ම ජාගොඩ, සුවිනීතා වීරසිංහ, සුනේත්‍රා සරච්චන්ද්‍ර, චන්ද්‍රා කළුආරච්චි, එල්සන් දිවිතුරගම, ගාමිණි විජේසූරිය, බුද්ධි වික්‍රම, ෂෙල්ටන් සිල්වා, විජය නන්දසිරි, අනුලා බුලත්සිංහල ඇතුළු නළු නිළියෝ රැසක් මෙහි ප්‍රධාන චරිත රඟපෑහ. ලාංකේය වේදිකා නාට්‍ය ඉතිහාසයේ ප්‍රාබල්‍යය සංධිස්ථානයක් ලෙස බොහෝ විචාරකයෝ මේ නාට්‍යය සැලකූහ. කාර්යබහුල නළු, නිළියන් වැඩි පිරිසක් හා අධික පිරිවැයකින් යුක්ත වූ "කෝන්තරේ" මේ හේතු කොට වැඩිකල් පවත්වා ගත නොහැකි විය. "මුහුණු සයකි, රූකඩයකි" (1970) අනුලා රංගනයෙන් දායක වූ ප්‍රේමරංජිත්ගේ නාට්‍ය අතුරින් තෙවැන්න වේ. ලූෂන් බුලත්සිංහල, ලියෝනි කොතලාවල, සඳුන් විජේසිරි, දයා අල්විස්, මර්සි එදිරිසිංහ, ප්‍රසන්න ෆොන්සේකා හා අනුලා බුලත්සිංහල රංගනයෙන් දායක වූ මෙය හාස්‍යය හා ගැඹුරු වින්දනය සහසංකලනය වූ නාට්‍යයකි. ප්‍රේමරංජිත් ඉතාලියානු නාට්‍යවේදී ලියුජි චියරෙලිගේ "Mask and the Face" නම් වූ ප්‍රහසන නාට්‍යය පාදක කොටගෙන "මුහුණු සයකි, රූකඩයකි" නිර්මාණය කළේය.

මේ ලිපිය සමඟ පළ කිරීමට දුර්ලභ ඡායාරූප දෙකක් මා හට ලබා දුන් එඩ්වඩ් චන්ද්‍රසිරි මහතාට මගේ ගෞරවනීය කෘතවේදීත්වය හිමි වේ.

මතු සම්බන්ධයි...