ශාලිකා ආරෝපිත රඟහලෙන් මතු වූ ඈන් ෆ්‍රෑන්ක්

නොවැම්බර් 18, 2021

ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ ස්ත්‍රී භූමිකාව - 78 ලිපිය

 

මිත්‍ර පාක්ෂික හමුදා පැමිණ ෆ්‍රෑන්ක් පවුල ගලවා ගැනීමට ඉතිරී වී තිබුණේ සති දෙකක කාලයක් පමණකි. නිවසෙන් එහා පස පිහිටා තිබෙන පොත්හලක සේවය කරන සේවකයකු හට මේ ගැන සැක පහළ වේ. ඔහු සේවය නිම කොට ස්නානය සඳහා පැමිණෙන ස්ථානය අසල ෆ්‍රෑන්ක් පවුල සැඟවී වී සිටින නිවාසය පිහිටා තිබේ. නිවසෙන් ඇසෙන ඇතැම් ශබ්ද නිසා මෙහි කවුරුන් හෝ රහසිගතව වාසය කරන බව මොහුට සිතෙයි. ඔහු විසින් දෙනු ලබන ඔත්තුවකට අනුව හිට්ලර්ගේ නාසි හමුදා පැමිණ ෆ්‍රෑන්ක් පවුල අත්අඩංගුවට ගනිද්දී ඔටෝ තම බිරිඳගෙන් හා දියණියන් දෙදෙනාගෙන් වෙන් වේ. හිට්ලර් සෘජුවම ඈන් ෆ්‍රෑන්ක් මරා දැමුවේ නැත. ඇයට දැඩි දඬුවම් පමුණුවා තිබිණ.ඒ අනුව නිරුවත් කළ ඈන්ට පැවරුණේ විශාල කළු ගල් වම් පස සිට දකුණු පසට ගොඩ ගැසීමත් එය නිම වූ පසුව යළිත් දකුණේ සිට වමට ගොඩගැසීමත්ය. මෙබඳු පීඩා මැද ඈන් මියයනුයේ වසංගත රෝගවලට ගොදුරු වීමෙනි. මේ සිදුවීම් නාට්‍යයෙහි දක්නා නොලැබේ. මඳ කලකට පසුව ඔටෝ නාසි හමුදා පීඩනයෙන් නිදහස් වී දිවි ගලවා ගෙන පැමිණෙද්දී ඔහුට තම දියණිය ඈන්ගේ දිනපොත දක්නට ලැබේ. තම බිරිඳ සහ දියණියන් දෙදෙනා නැවත ජීවමානව දැක ගැනීමට නොහැකි වන බව ඔහුට දැන් සුපැහැදිලිය. එහෙත් මේ දිනපොත සමඟ ඈන් ෆ්‍රෑන්ක් සදානුස්මරණීය වූ බව ඔටෝ ලෙස රඟන ජයනාත් බණ්ඩාරගේ සාත්වික අභිනයෙන් ඉසියුම් ලෙස පළට කෙරේ.

"ඈන් ෆ්‍රෑන්ක්" නාට්‍යය ජර්මානු සංස්කෘතික ආයතනයේ වේදිකා ගත කිරීමේදී එහි ආලින්දයේ ඈන් ෆ්‍රෑන්ක්ගේ උපතේ සිට මරණය දක්වා චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීම සුවිශේෂත්වයකි. මේවා සාලිය ලියනාරච්චි විසින් සිතුවම් කරන ලදි. සෆීර්ගේ බොහෝ නාට්‍යවල මෙන්ම මෙහිදීද විඩීයෝ දර්ශන භාවිතය දක්නා ලැබේ. නාට්‍යය අවසානයේ ඔටෝ අතීත සැමරුම් සිහිපත් කරද්දී හිට්ලර්ගේ කඳවුරුවල බිහිසුණු සිදුවීම් රැගත් චිත්‍රපට දර්ශන වේදිකා පසුතලයේ සිට චලනය වී වේදිකා භූමියට පතිත කෙරේ. යුරෝපයේ බිහි වූ "Black Box theatre" සංකල්පය ලාංකේය වේදිකාවට හඳුන්වා දුන් පුරෝගාමියා එම්.සෆීර්ය. "Black Box theatre"  යන සංකල්පය හැඳීන්වීමට තවමත් සිංහල වචනයක් බිහි වී නොමැත. මේ අරභයා මම බොහෝ විද්වතුන්ගෙන් විමසා බැලුවෙමි.

"සිංහල වචනයක් ඕනෑ නෑ "Black Box" ඉංග්‍රීසි වචනයම භාවිත කරන්න" ඔවුහු පැවසූහ.එහෙත් මම ඊට එකඟ නොවෙමි. ලොව ඕනෑම සංකල්පයක් හඳුන්වා දීමට පොහොසත් ජීව භාෂාවක් ලෙස සිංහල බස මා සලකන බැවින් මීට සුදුසු වදනක් නිර්මාණය කිරීමට මම සිත් යොමු කළෙමි. එහිදී මේ ඉංග්‍රීසි වදනෙහි වාච්‍යාර්ථය නොව ව්‍යංග්‍යාර්ථය මගේ සැලකිල්ලට යොමු විය. "ඕතචජඬ ඕධය" යන්නෙහි ව්‍යංග්‍යාර්ථයෙහි "Studio theatre"  යන අරුත ගැබ් වී ඇත. ඒ අනුව යමින් මම "ශාලිකා ආරෝපිත රඟහල" යන සිංහල පාරිභාෂික වදන මේ ලිපියෙන් හඳුන්වා දෙමි. මේ වූ කලී කාල වර්ණ බිත්තිවලින් සහ පැතලි පොළොවකින් සමන්විත සම චතුරස්‍රාකාර, සංවෘත කාමරයක් වැන්න. "Living room theatre"  ලෙස මුලින් මෙය හැඳීන්විණ.වේදිකාව සහ ප්‍රේක්ෂකයන්ගේ අන්තර් ක්‍රියාකාරකම් අතර සම්බන්ධතාව තව තවත් තීව්‍ර කිරීමේ අභිලාෂයෙන් මේ සංකල්පය පහළ විය. ඇඩොල්ෆි ඇපියා (1862-1928) නම් වූ ස්විස් ජාතික ගෘහ නිර්මාණ ශිල්පියා,වේදිකා පසුතල හා ආලෝකකරණ ශිල්පියා මීට පුරෝගාමී වූයේය. ඇන්ටොනින් ආර්ටවුඩ් නමැති ප්‍රංශ ජාතික සුප්‍රකට නාට්‍යවේදියාද මේ සංකල්පය අනුදත්තේය. 20 වැනි සියවසේ ඇමරිකානු කලාවේ පුරෝගාමීන් (Avant garde)  සමඟද මෙහි මුල් විහිදී ඇත. 50, 60 දශකවල ඇමරිකානු නාට්‍ය හරහා මෙය වර්ධනය විය. ආසන 10 සිට 200 දක්වා වර්ධනය වූ කුඩා ප්‍රේක්ෂකාගාරයක් මෙහි දක්නට ලැබිණ. රංග ශාලාවල ප්‍රධාන ධාරාවෙන් පැන නැඟී වර්තමානයෙහි මෙය ලොව පුරා ව්‍යාප්ත වී ඇත. මෙය නිදන කාමරයක, පන්ති කාමරයක වැනි ඕනෑම විකල්ප කුඩා අවකාශයක ලාභදායී ලෙස නිර්මාණය කොට ගත හැකිය. අද්‍යතනයෙහි ජර්මනියේ ප්‍රධාන ධාරාව බවට පත්ව ඇත්තේ මෙකී ශාලිකා ආරෝපිත රඟහල (Black Box theatre)  බැව් පෙනේ. කොරියාවේ සෝල් නුවර කෙටි දුරක දී ආසන 50 - 200 දක්වා ඇති මෙබඳු රංගශාලා 150 ක් පමණ දක්නා ලැබේ. නාට්‍යවේදියා අභිමත ආකාරයෙන් වේදිකා වින්‍යාසය සකස් කොට කැමැති කුඩා ප්‍රමාණයක ප්‍රේක්ෂකාගාරයකට නාට්‍යය පෙන්වීමට මෙහිදී හැකියාව ලැබේ. නාට්‍යයේ නළු නිළියන් සහ ප්‍රේක්ෂකයන් අතර මතවාදීව (Ideological) සහ ප්‍රායෝගිකව (Practical)  ගොඩනැඟෙන සබඳතාව මේ ක්‍රමවේදය ඔස්සේ තීව්‍ර කෙරේ.

එම්.සෆීර් විසින් ශාලිකා ආරෝපිත රඟහල (Black Box theatre) ලාංකේය වේදිකාවට හඳුන්වා දෙන ලද්දේ "බිනීට ඇත්තෙන්ම ඕනෑ" නාට්‍යයෙන් 2008 වසරේදීය. හේමන්ත ප්‍රසාද් සහ නාලක ජිතේන්ද්‍ර මෙහි රඟපෑහ. 2009 දී ඔහුගේ "හිස් අවකාශයේ පුටුව අරන්" නාට්‍යයද මේ රංග ආකෘතියෙන් (Format)  ඉදිරිපත් කෙරිණ. නාලක ජිතේන්ද්‍ර සහ නදීකා තරංගනී මෙහි රඟපෑහ. වරක් සෆීර් මේ අරභයා මා සමඟ මෙසේ පැවසූවේය.

"අද අපි වසංගතයකට මුහුණපා තිබෙන යුගයේ නාට්‍ය කලාව තව කාලයක් ඉදිරියට පවත්වා ගන්න වෙන්නේ සීමිත ප්‍රේක්ෂකාගාරයකටයි. එහිදී "Black Box theatre"  ක්‍රමය ඉතාමත් ගැළපෙනවා කියා මා සිතනවා. සෞඛ්‍යාරක්ෂිත කුඩා ප්‍රේක්ෂකාගාර ඉන් බිහි කළ හැකියි."

 

සෆීර් "ඈන් ෆ්‍රෑන්ක්" නාට්‍යය නිර්මාණයේදී ජර්මානු සංස්කෘතික ආයතනයේ රඟහල මුළුමනින්ම ඈන් ෆ්‍රෑන්ක්ගේ නිවසෙහි පසුතලය බවට පත් කළේය. එහි වටේට කුඩා ප්‍රේක්ෂකාගාරයකට නාට්‍යය නැරඹීමට ආසන සකස් කෙරිණ.

ශාලිකා ආරෝපිත රඟහලේ (Black box) ආකෘතිය මේ නාට්‍යයට තවත් නැවුම් බවක් එක් කළේය. කොවිඩ් වසංගතය හේතු කොට මේ සිංහල සහ ඉංග්‍රීසි නාට්‍ය ද්වය මංගල දර්ශනවලට පමණක් සීමා විය.

 

මතු සම්බන්ධයි...