“ඇයි හෙණ ගැහිච්ච නාට්‍යයේ එක් ගැහැනු චරිතයක්....”

නොවැම්බර් 4, 2021

ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල , එච්.ඒ. පෙරේරා සමඟ සම අධ්‍යක්ෂණයෙන් වේදිකාවට ගෙනා "වරෙන්තු" (1995) හී ෆෙලිති නම් වූ දැනුම්වත් පුවත්පත් කලාවේදිනිය, චාන්දනී සෙනෙවිරත්න නිරූපිත භුමිකා අතරින් බැහැර කළ නොහැකිය.මේ නාට්‍යයෙහි දක්නා ලැබෙන එකම කාන්තා චරිතය ෆෙලිතිය. ඉතාලි ජාතික ඩාරියෝ ෆෝ (1926 -2016) බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගෙන් පසුව යුරෝපයේ පහළ වූ විශිෂ්ට ගණයේ නාට්‍යවේදීන් අතරින් කෙනෙකු ලෙස සැලකේ. ඔහුගේ විවාදාසම්පන්න නාට්‍යයක් වූ ""Accidental Death of an Anarchist" " (1970) හී ඉංග්‍රීසි පරිවර්තනයක් ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ලට ලැබුණේ ප්‍රකට විචාරක චාල්ස් අබේසේකරයන් ගෙනි. ඒ 1980 වසරේදීය. පරාක්‍රම මෙය එච්.ඒ.පෙරේරා අතට පත් කොට සිංහලයට නඟන ලෙස ඉල්ලා සිටියේය. එවක (1980) ඩාරියෝ ෆෝ ගේ කිසිදු නාට්‍යයක් සිංහලෙන් නිර්මාණය වී නොතිබිණ. එහෙත් මේ පරිවර්තන කාර්යය සහ නිෂ්පාදනය විවිධ හේතුන් මත කල්යත්ම මේ ඇසුරෙන් අනුවර්තනය කොට ප්‍රවීණ නාට්‍යවේදී විජිත ගුණරත්න නිර්මාණය කළ "සාක්කි" 1987 දී වේදිකා ගත කෙරිණ. "සාක්කි" වේදිකාගත වීමද "වරෙන්තු" පමා වීම කෙරෙහි බලපෑවේය. එච්.ඒ. දිගු කලක් ගත කරමින් තමා සෑහීමට පත් වන තුරු "වරෙන්‍තු" පිටපත දෙවරක් කපා කොටා සකස් කරමින් මේ පරිවර්තන කාර්යය නිම කළේය.ඔහු මෙහිදී ඉංග්‍රීසි පිටපතේ යෙදුම්, වාග් සම්ප්‍රදායන්, නගර නාම ආදිය ගැන දීර්ඝ වශයෙන් අධ්‍යයනය කළ බැව් පෙනේ.

ඩාරියෝ ෆෝ විසින් ""Accidental Death of an Anarchist" " නාට්‍යය රචනා කරන ලද්දේ සත්‍යය සිදුවීමක් ඇසුරෙනි.1969 දී ඉතාලියේ මිලානෝ නගරයේ පොලිස් මූලස්ථානයේ හතරවැනි තට්ටුවෙන් පහතට වැටී තරුණ විප්ලවවාදියකු මියගිය පුවත එවක ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් සිදුවීමකි. ඒ අරභයා නඩුව විභාග කිරීම ඇරඹිණ.මේ සිදුවීම් පෙළ ඩාරියෝ ෆෝ ගේ නිර්මාණයට වස්තු විෂය විය. මේ වූ කලී ගැඹුරු දේශපාලන යථාර්ථයක් හෙළි කළ නාට්‍යයකි.

මිලාන් නගරයේ බෝම්බයක් පිපිරී යයි. මේ හේතු කොට ඒ නගරයේ පොලීසිය, පාලන තන්ත්‍රයට එරෙහිව ක්‍රියාකරන වාමාංශිකයකු අත් අඩංගුවට ගනී.පොලිස් මුලස්ථානයේ පැය කීපයක ප්‍රශ්න කිරීමෙන් පසුව වරද පිළිගත් මේ චූදිතයා හතරවෙනි තට්ටුවෙන් පැන සියදිවි නසාගත් බව පොලීසිය සඳහන් කරයි. එහෙත් පොලීසිය එලෙස පැවසුවද මේ පුද්ගලයා ජනේලයෙන් බිමට පනින කල්හීද මියගොස් සිටි බවට සාක්ෂි පළ වේ. මේ අරභයා සිදුකෙරෙන නඩු විභාගය "වරෙන්තු" නාට්‍යයට වස්තු විෂය වේ.

කිසියම් බසක වදනක් නිවැරැදිව පරිවර්තනය කළ හැකි වචනයක් වෙනත් භාෂාවක නොමැති බව වරක් අර්නස්ට් කැසිරර් නම් ජර්මන් පඬිවරයා ප්‍රකාශ කළේය.ඔහු එමඟින් පළට කළේ පරිවර්තන කාර්යයෙහි බැරෑරුම් බවය. ලොව සෑම භාෂාවක්ම එය බිහිවූ සමාජයෙහි සංස්කෘතිය හා අත්‍යන්තයෙන් බද්ධ වී ඇත. මෙහිදී එක් එක් භාෂාවන්ගේ වාච්‍යාර්ථයෙන් හා ව්‍යංග්‍යාර්ථයෙන් ප්‍රකට වන ඇතැම් අරුත්, ඔවුන්ගේ සංස්කෘතිය හා වාග් සම්ප්‍රදාය නිසි ලෙස වටහා නොගෙන පරිවර්තන කාර්යය සිදුකළ නොහැකිය. මෙය නිවැරැදිව වටහා ගනු ලබූවත් එක් බසක අරුතක් වෙනත් බසකට නැඟුණු කල්හී පරිවර්තිත බසෙහි අනන්‍යතාව හා උප විඥානය එහිදී ඉස්මතු වනු වැළැක්විය නොහැක්කකි.එවිට මුල් බසෙහි අරුතට වෙනස්කම් සිදු විය හැකිය.මුල් බසෙන් භාෂා කීපයකට නැඟුණු කල්හි මේ වෙනස්කම්වල පරතරය තවත් වැඩිවේ. එනම් මුල් ඉතාලි බසින් ඉංග්‍රීසියට නැඟුණු කල්හීත් ඉංග්‍රීසි බසෙන් නැවත එය සිංහලයට නැඟුණු කල්හීත් වෙනස්කම් සිදුවීම ස්වාභාවික ධර්මතාවකි. ශුර පරිවර්තකයා යනු මෙලෙස සිදුවන අරුත් වෙනස්කම්වල පරතරය හැකි තාක් අවම කොට, සෑහෙන දුරට මුල් බසෙහි අරුතට සමීපව තම බැරෑරුම් කාර්ය සඵල කොටගන්නාය. මේ නාට්‍යය පරිවර්තනයේදී එච්.ඒ. පෙරේරා හට දිගු කලක් ගත වීමට හේතුව මේ යැයි මම සිතමි. ඩාරියෝ ෆෝගේ ව්‍යංග්‍යාර්ථවත් උත්ප්‍රාසාත්මක, උපහාසාත්මක වදන්වලින් සූචිත නිවැරැදි අරුත් සොයා යෑමට ඔහු ඉමහත් පරිශ්‍රමයක් දැරූ බැව් පෙනේ. මෙහි ෆෙලිති නම් වූ පුවත්පත් කලාවේදිනිය පවතින ධනේශ්වර සමාජ ක්‍රමය, ප්‍රජාතන්ත්‍රවාදය හා නීතිය ආරක්ෂා කරන සංවිධානවල යථාරූපී ක්‍රියාකාරීත්වය පිළිබඳ ගැඹුරු දේශපාලන දැනුමකින් සන්නද්ධ වූ කාන්තාවකි. සැබැවින්ම එබඳු භූමිකාවක් නිරූපණය කරන රංග ශිල්පිනියටද මේ අරභයා පෘථුල දැනුම් සම්භාරයක්, දේශපාලනික කියැවීමක් තිබිය යුතුමය. චාන්දනී සෙනෙවිරත්න මැනවින් මේ භුමිකාවට පණපෙවීමට ඇය සතු මේ දේශපාලනික සවිඥානයද එක් හේතුවක් වූ බැව් පෙනේ. නාට්‍යයේ අවසන් භාගයේ දේශපාලනය හා සබැඳුණු නීතියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ උන්මාද (එච්.ඒ.පෙරේරා රඟපෑ ) සමඟ ෆෙලිති නඟන තර්ක , විතර්ක, විසංවාද ඔස්සේ එච්.ඒ.පෙරේරාගේත් චාන්දනී සෙනෙවිරත්නගේත් මුහුණට මුහුණ ගැටෙන ශුර (Confrontation)  රඟපෑමක් දක්නට ලැබේ. උන්මාද සහ ෆෙලිති අතර ඇති වන්නා වූ මෙකී විවාද ඔස්සේ ධනේශ්වර සමාජ ක්‍රමයෙහි ජඩ ස්වරූපයත් එය ආරක්ෂා කිරීමට වෙර දරන නිලධාරීවාදයත් තියුණු විවේචනයට ලක් කෙරෙන අතර ව්‍යංග්‍යාර්ථයෙන් මෙහි ගැඹුරු දේශපාලන යථාර්ථය විවරණය වේ. ප්‍රජාතන්ත්‍රවාදයෙහිත් නීතියෙහිත් ආරක්ෂකයන් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටින ඇතැම් පොලිස් නිලධාරීන්ගේ ක්‍රියා කලාපය ඩාරියෝ ෆෝ මේ නාට්‍යයෙන් හාස්‍යයට ලක් කළ බැව් පෙනේ.

එච්.ඒ.පෙරේරා (උන්මාද), චාන්දනී සෙනෙවිරත්න (ෆෙලිති), ශ්‍රීනාත් මද්දුමගේ (අධිකාරි), වසන්ත විට්ටච්චි, කුමාර තිරිමාදුර (බර්ටෝසෝ), සෝමසිරි කොළඹගේ (කොස්තාපල්), ලලිත් රාජපක්ෂ (පිසානි) මෙහි චරිත නිරූපණය කළ අතර අධ්‍යක්ෂණයෙන් පරාක්‍රම නිරිඇල්ල සහ එච්.ඒ.පෙරේරාද වේශ නිරූපණයෙන් වසන්ත විට්ටච්චිද වේදිකා පරිපාලනයෙන් කුමාර තිරිමාදුරද වේදිකා නිර්මාණයෙන් ආචාර්ය සාලමන් ෆොන්සේකා හා ලුවොලින් වැන්ඩවෝල්ද, වෙස් නිර්මාණයෙන් කමල් අද්දරආරච්චිද, සංගීත අධ්‍යක්ෂණයෙන් එච්.ඒ පෙරේරාද, නිෂ්පාදන කළමනාකරණයෙන් ජූඩ් ශ්‍රීමාල්ද

"වරෙන්තු" උදෙසා දායක වූහ.

ලාංකේය නාට්‍ය සම්මාන ඉතිහාසයේ වාර්තාවක් තැබීමට ප්‍රතිභාපූර්ණ කලාවේදී එච්.ඒ. පෙරේරා මේ නාට්‍යයෙන් සමත් වූයේය. එනම් එවර රාජ්‍ය නාට්‍ය උලෙළේ 1995 වසරේ එකම නාට්‍යයක් උදෙසා එකම කලාකරුවකු සම්මාන පහකට පාත්‍ර වීමෙනි. "වරෙන්තු" උදෙසා එච්.ඒ. හොඳම සම අධ්‍යක්ෂ, හොඳම නිෂ්පාදක,හොඳම නළුවා,හොඳම පරිවර්තක,හොඳම සංගීත අධ්‍යක්ෂ යන සම්මාන පහම දිනා ගත්තේය. එච්.ඒ. හා චාන්දනී හැරුණු විට මෙහි වඩාත් කැපී පෙනුණු රංග ශිල්පියා ශ්‍රීනාත් මද්දුමගේය.ශ්‍රීනාත් මෙහි අධිකාරිගේ භූමිකාව ශූර ලෙස නිරූපණය කළ අතර වසරේ හොඳම සහය නළුවාගේ සම්මානයට පාත්‍ර වෙමින් ඔහුට සාධාරණය ඉටු විය.

නීතියේ නාමයෙන් සිදු කෙරෙන ඇතැම් අත්අඩංගුවට ගැනීම්වලදී පොලීසිය අතින් මියයන පුද්ගලයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණවලදී මරණයට වගකිවයුතු නීතියේ ආරක්ෂකයන් සැබෑ කරුණු වසන් කොට අසත්‍ය පුවත් ගොතන ආකාරය මෙහි මැනවින් විවරණය කොට ඇත.මේ අසත්‍ය කතා පසුව ඔවුහු මැ පටලවා ගනිති; පිළිතුරු නොමැතිව නිරුත්තර වෙත්.මේ නාට්‍යයෙහි හමු වන බර්ටෝසෝ, අධිකාරි, කොස්තාපල්, පිසානි යනාදීහු ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය රැක ගැනීමට වෙර දරන පොලිස් නිලධාරීහු වෙති. අර්වින්

පිස්කැටර්, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් අනුදත් තදාත්ම්‍ය විඝටනය හෙවත් දුරස්ථීකරණය (Alienation Effect)  මේ නාට්‍යය පුරා සියුම් හුයක් සේ දිවේ.ඊට එක් දෘෂ්ටාන්තයක් මේය.

 

පිසානි (ලලිත් රාජපක්ෂ) - කර්තෘවරයාගේ අදහස මෙහෙම විකෘති කිරීමක් නම් අපි අහලා නැහැ.

උන්මාද (එච්.ඒ.පෙරේරා) - එයාට එයාගෙ රෝයල්ටි ගණන ලැබෙයි. කවුද කෙඳීරිගාන්නෙ (වැලපෙන්නෙ) ?

පිසානි (ලලිත් රාජපක්ෂ) - පිටපතට බනිනවා.

අධිකාරි (ශ්‍රීනාත් මද්දුමගේ) - මේක ඩාරියෝ ෆෝට කරන අපහාසයක්.

ෆෙලිති (චාන්දනී සෙනෙවිරත්න) -

හොඳයි මට තියෙනවා එයත් එක්ක පොඩි රණ්ඩුවක් අල්ලන්න. ඇයි මේ හෙණ ගැහිච්ච නාට්‍යයේ එක ගැහැනු චරිතයක් විතරක් තියෙන්නෙ. මම තනි වෙලා වගේ මට හැඟෙනවා.

උන්මාද (එච්.ඒ.පෙරේරා) - කර්තෘවරයා කාන්තා විරෝධියෙක්.

ෆෙලිති (චාන්දනී සෙනෙවිරත්න) - එයා ප්‍රාග් ඓතිහාසිකයෙක්.

බර්ටෝසෝ (වසන්ත විට්ටච්චි/ කුමාර තිරිමාදුර) - එහෙනම් අපි මොකටද කරදර වෙන්නෙ ?

උන්මාද (එච්.ඒ.පෙරේරා) - එයා ප්‍රාග් ඓතිහාසික ප්‍රාඥයෙක්. හා හා වැඩේට බහිමු.

මතු සම්බන්ධයි...