ගලප්පත්තිගේ “සරා”ලෝකාගේ “යෙර්මා” නොවේ...

ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ ස්ත්‍රී භූමිකාව - 75 ලිපිය
ඔක්තෝබර් 28, 2021
මූදු පුත්තු - සෝමලතා සුබසිංහ සහ  පුෂ්පා අබේකෝන්

 

ෆෙඩ්රිකෝ ගාර්ෂියා ලෝකා නමැති විශ්ව කීර්තිධර ස්පාඤ්ඤ නාට්‍යවේදියා පිළිබඳව මුල්වරට ලාංකේය වේදිකාවේ සංකථන ගොඩනැඟූණේ කෘතහස්ත නාට්‍යවේදී ගුණසේන ගලප්පත්ති සූරීන් නිසාවෙනි. ඔහුගේ පතිකෘතිය (Masterpiece) වූ "මූදු පුත්තු" (1963) නාට්‍යය උදෙසා ඇසුරු වූයේ ෆෙඩ්රිකෝ ගාර්ෂියා ලෝකාගේ "Yerma" " නාට්‍යය බව ඔහු ප්‍රකාශ කළේය. "මූදු පුත්තු" යනු "Yerma" " ආභාසයෙන් බිහි වූ නාට්‍යයක් විනා එහි පරිවර්තනයක් හෝ අනුවර්තනයක් නොවේ. ""Yerma" " සේවනයෙන් ගුණසේන ගලප්පත්ති සූරීන් ලැබූ රසාස්වාදයෙන් උත්තේජනය ලැබ නිර්මාණය කළ "මූදු පුත්තු" එක් අතකින් ඔහුගේ ස්වාධීන නිර්මාණයක් වැන්න.මේ නාට්‍ය ද්වය තුලනාත්මකව ගැඹුරින් නොවිමසූ ඇතැම් ඊනියා (අ) විචාරකයෝ "මූදු පුත්තු" සහ " "Yerma" " එකම නාට්‍යයක් බැව් පැවසූහ."මූදු පුත්තු" හී සරා එතෙක් ස්වතන්ත්‍ර සිංහල නාට්‍යවල දක්නා නොලැබුණු වෙසෙස් ස්ත්‍රී භුමිකාවකි. තේගිරිස් නම් වූ තම සැමියාගෙන් දරුවකු නොලැබු සරා, තම සැමියාගේ සහෝදරයා වූ දියෝනිස්ට දාව දරුවකු ලබා ගැනීමෙන් උද්ගත වන ගැටලු ඔස්සේ පවුල් ජීවිතය දෙදරා යයි. අවසන තම සැමියා අතින් දරුවා මියයයි. ගාර්ෂියා ලෝකාගේ යෙර්මා දැඩි ආගමික භක්තියෙන් හික්මුණු කාන්තාවකි.ගුණසේන ගලප්පත්තිගේ සරා ධීවර පසුබිමකින් ජනිත වන, සම්මතයෙන් නොහැකි නම් අසම්මතයෙන් හෝ තම අභිලාෂය ඉටු කොට ගැනීමට වෙර දරන්නා වූ ගැහැනියකි. "මූදු පුත්තු" හී සරා පුතු වෙනුවෙන් ගයන "මුහුදු පතුල යට ඉදලා" ගීතයෙහි (ගේය කාව්‍ය - මහගම සේකර, ස්වර සංරචනය - සෝමදාස ඇල්විටිගල) මතු දැක්වෙන ඛණ්ඩයෙන් තේගිරිස්ට සහ දියෝනිස්ට මැදි වූ ඇගේ චිත්ත ස්වභාවය මෙලෙස ඉසියුම් ලෙස විවරණය වේ.

 

වෙරළෙන් කිරි

කවඩි සොයා

කෙනෙක් පුතුට

ගෙන එනවා

තවත් කෙනෙක්

පාට පාට

පබළු කඩෙන්

ගෙන එනවා

ඒ පබළුයි මේ කවඩියි

එක නූලේ අමුණනවා

ඒවායින් කවඩි සදා

පුතුගේ ඉනේ පලඳීනවා

පුතුගේ ඉනේ පලඳීනවා

 

ගුණසේන ගලප්පත්තිගේ "මූදු පුත්තු" (1963) සහ ලලිතා සරච්චන්ද්‍රගේ "යෙර්මා" (1999) එකිනෙකට තුලනය කළ කල්හී ලාංකේය සභ්‍යත්ව විඥානයට වඩාත් සමීප නාට්‍යය "යෙර්මා" යැයි මම සිතමි. මෙරටට වඩා ලිංගිකත්වය දෙස විවෘත, නිදහස් ඇසකින් බලන ස්පාඤ්ඤය වැනි රටක පවා "යෙර්මා" දැඩි කිතුනු ආගමික හැඟීම්වලින් හික්මුණු ගැහැනියක ලෙස නිරූපණය කිරීම මීට හේතුව වේ. ලාංකේය "මූදු පුත්තු" හී සරා යුරෝපීය නිදහස් ලිංගික සිතුම් පැතුම්වලින් මඩනා ලද සමාජයෙන් උජ්වලිත ගැහැනියක වැන්න. ස්පාඤ්ඤයේ ""Yerma"" හී යෙර්මා පරපුරුෂ සේවනයෙන් වැළකුණු බෞද්ධ සභ්‍යත්ව විඥානයෙන් හික්මුණු ගැහැනියක වැන්න. ගුණසේන ගලප්පත්ති "මූදු පුත්තු" (1963) නිර්මාණය කිරීමේදී ආචාර්ය ගුණදාස අමරසේකරගේ "කරුමක්කාරයෝ"(1955) නවකතාවෙන් යම් ආභාසයක් ලබා ඇතැයි විටෙක මට සිතේ.

"මූදු පුත්තු" හී සරාගේ භුමිකාව සුවිශිෂ්ට අයුරෙන් එදා සෝමලතා සුබසිංහ නිරූපණය කරද්දී ඇගේ සොයා ගැනීමක් වූ ප්‍රිය ශිෂ්‍යයාව චාන්දනී සෙනෙවිරත්න "යෙර්මා" හී යෙර්මා නිරූපණය කිරීම එක් අතකින් දෛවෝපගත සිදුවීමකි.මේ ගුරුවරිය සහ සිසුවිය අතර පංචේන්ද්‍රියට ගෝචර නොවන අදෘශ්‍යමාන සබඳතාවක් ඇතැයි මම සිතමි.එය ගුරු ආශීර්වාදය විය හැකිය.

ලිංගික ගැටලු තේමා කොට ගත් කලා නිර්මාණ මෙකල මෙන් 60 දශකයේ සුලබ නොවීය. එහෙයින් "මූදු පුත්තු" එකල ආන්දෝලනයට ලක් වූ බැව් පෙනේ. මේ නිර්මාණයෙහි ප්‍රශස්ත බව නොදුටු ඊනියා විචාරකයෝ මෙය අසභ්‍ය නාට්‍යයකැයි කීහ. අවසන මේ අරභයා පාර්ලිමේන්තුවේ පවා සාකච්ඡාවට ලක් වී මුලින් තහනම් කළ බවත් අප අමතක නොකළ යුත්තකි. "මූදු පුත්තු" හී සරා තමාට දරුවකු ලැබීමට පෙර හමු වූ ගර්හිණී කාන්තාවකට දරු ගැබ පිළිබඳ අත්දැකීම් පැවසීම එක් අතකින් ස්වාභාවික නැත. එහෙත් ගාර්ෂියා ලෝකාගේ "කඥපථච" හී දරුවකු නොමැති යෙර්මාට ගර්භිණී තත්ත්වයෙහි පසුවන මරියා හමු වීමෙන් එහිදී දරුගැබ පිළිබඳ අත්දැකීම් යෙර්මා මරියාගෙන් දැනගැනීම අව්‍යාජ, යථාර්ථවාදී සිද්ධි නිරූපණයකි. ලලිතා සරච්චන්ද්‍රගේ "යෙර්මා" නාට්‍යයෙහි දක්නා ලැබෙන යෙර්මා (චාන්දනී සෙනෙවිරත්න) සහ මරියා (සකුන්තලා පීරිස්) අතර අදාළ සංවාදය මේය.

 

 

යෙර්මා - උඹ කොහේ ගිහින් එන ගමන්ද ?

මරියා - කඩේට ගියා.

යෙර්මා - කඩේට ගියා ? ඔච්චර උදෙන් ? මරියා- මට ඕනෙ කරපු දේ ගන්න කඩේ අරින කං උණත් ඉන්ඩ ලෑස්තිවෙලයි.

මං ගත්තෙ මොකක්ද කියලා හිතන්න පුළුවන්ද ?

යෙර්මා - උඹ උදේට කෝපි ගන්න ඇති.සීනි....පාන්...එහෙම......

මරියා - නෑ මම රෙදි කෑලි තුනකුයි, ලේස් කෑලි තුනකුයි, රිබනුයි, ටසල් හදන්න පාට පාට වූල් ටිකකුයි ගත්තා.අපේ එක්කෙනා ගාව සල්ලි තිබුණා. මං අහන්නෙවත් නැතුව එයා මට දුන්නා.

යෙර්මා - උඹ හැට්ටයක් මහන්න යනවද ?

මරියා - නෑ මොකද දන්නවද... උඹට කියන්න පුළුවන්ද ?

යෙර්මා - මොකක්ද ?

මරියා - මොකද දන්නවාද ? ......

(ඇය උදරය දෙස බලයි)

(යෙර්මා නැඟිට විස්මයෙන් හා සතුටෙන් ඈ දෙස බලයි)

යෙර්මා - මාස පහකින් ?

මරියා - ඔව්

යෙර්මා - උඹට ඒක දැනෙනවද ?

මරියා - සත්තකින්ම

යෙර්මා - (කුතුහලයෙන්)

මොනවද උඹට දැනෙන්නෙ ?

මරියා - මං දන්නෙ නෑ. දුකක් ? අමුත්තක් ?

යෙර්මා - දුකක් ? අමුත්තක් ?

(ඇයව අල්ලා ගනියි)

කොයි දවස්වල ඉඳන්ද ? මට කියපන්කො. උඹ බලාපොරොත්තුවෙන් හිටියෙ නෑනෙ.

මරියා - නෑ මං මං බලාපොරොත්තුවෙන් හිටියේ නෑ.

යෙර්මා - උඹ සින්දු කිය කිය ඉන්න ඇති...නේ ?

මරියා - ඒ ගැන මගෙන් අහන්න එපා. උඹ කවදහරි දවසක පණපිටින් කුරුලු පැටියෙක් මිට මොළවගෙන ඉඳලා තියෙනවද ?

යෙර්මා - ඔව්.

මරියා - හරි ! අන්න ඒ වගේ.

යෙර්මා - කොච්චර අගේද ?

 

චාන්දනී සෙනෙවිරත්න (යෙර්මා), සරත් කුලාංග (යුවාන්), දීපානි සිල්වා (මැහැල්ල), නීල් අලස් (වික්ටර්), සකුන්තලා පීරිස් (මරියා), එච්.එම්.නවරත්න (ඩොලොරෙස්), කුමාරි මැණිකේ, නිහාරි සමන්කුමාරි (ස්ත්‍රීන් දෙදෙනා), හංසමාලා ජානකී ( 1 තරුණිය), යශෝධරා සරච්චන්ද්‍ර (2 තරුණිය), පුෂ්පකුමාරි ජයවර්ධන (1 නෑනා),කසුනි ජයවර්ධන (2 නෑනා), අශෝකා පෙරේරා (1 ස්ත්‍රිය), කුමාරි මැණිකේ, සුභාෂිණි හෙට්ටිආරච්චි, නන්දනී හෙට්ටිආරච්චි, රජිතා රණවීර, නදීෂා මේධානි, ශිරාණි ද කොස්තා, අශෝකා පෙරේරා , කල්පනා කෝදාගොඩ, හංසමාලා ජානකී, නිහාරි සමන්කුමාරි (රිදී නැන්දලා) යනාදීහු මෙහි රංගනයෙන් දායක වූහ. සංගීත අධ්‍යක්ෂණයෙන් රොහාන් නෙත්සිංහ, වෙස් නිර්මාණයෙන් ලලිතා සරච්චන්ද්‍ර, ප්‍රයුංජනයෙන් කමල් කාන්ති බෝගොඩ, ධනපාල බෝගොඩ, අංග රචනයෙන් බුද්ධදාස ගලප්පත්ති, විදුලි ආලෝකකරණයෙන් තුශාන් ඩයස්, පසුතල නිර්මාණයෙන් නිමල් බුලත්සිංහල, රංග වින්‍යාසයන් ලලිතා සරච්චන්ද්‍ර මීට එක් වූහ.මෙරට වේදිකා ආලෝකකරණයට, පසුතල නිර්මාණයට කෘතහස්ත මෙහෙවරක් ඉටුකළ මහින්ද ඩයස්ගේ පුත් තුශාන් ඩයස් විසින් ලාංකේය වේදිකා නාට්‍ය කලාවට ඩිජිටල් ආලෝකකරණය මුල්වරට හඳුන්වා දෙන ලද්දේ "යෙර්මා" නාට්‍යය ඔස්සේය. ඉන්පසුව ජෙරොම් ද සිල්වාගේ "කවුරුවත් එන්නෙ නෑ" (2004) නාට්‍යයෙහි දක්නා ලැබුණු තුශාන්ගේ ඩිජිටල් ආලෝකකරණය මෙහි තවත් ප්‍රශස්ත දිගුවකි.

 

මතු සම්බන්ධයි...