හිරි ඔතප් නොමැති කල ජීවිතය කවර කල

සැප්තැම්බර් 2, 2021
 
 
මෙලෙස වෙනස් වන භූමිකාවෙන් භූමිකාවට කමල් අද්දරආරච්චි ස්වකීය ආංගික, වාචික, සාත්වික අභිනයන් ඖචිත්‍යපූර්වකව භාවිත කොට එකම ආහාර්ය අභිනයෙන් එක් එක් චරිතවල අනන්‍යතාව මතු කරද්දී ඔහුගේ හාස්‍යෝත්පාදක රැඟුම්වලට සිනහ නොවන ප්‍රේක්ෂකයකු නොමැති තරම්ය. එහෙත් මේ නාට්‍යයේ මතුපිටින් දිවෙන මේ හාස්‍යයට ඔබ්බෙන් ව්‍යංග්‍යාර්ථයෙහි කුළුගැන්වෙන ගැඹුරු අරුත් ග්‍රහණය වනුයේ ඉසියුම් රසඥතාවක් ඇති සහෘදයන්ට පමණි. කමල් මෙහි විවිධ භූමිකා නිරූපණය කළ අයුරු දුටු කල්හී මා හට සිහිපත් වූයේ අපරදිග රූපණ න්‍යායාචාර්ය කොන්ස්ටන්ටින් ස්ටැනිස්ලව්ස්කිගේ මතවාදයකි. එනම් ශුර  නළුවකු ස්වකීය භූමිකා නිරූපණයේදී අදාළ භූමිකා වටා නිර්මාණාත්මක කව (ඛ්පඥචබඪමඥ ජඪපජතඥඵ) විහිදා ගත යුතු බවය.සබකෝලයා ධනාත්මක චින්තනය අවධාරණය කරන දේශකයකු බවටද පත් වේ. ඔහු පදවා ලෙළවා මෙසේ කියයි.
 
 
 
"ධනාත්මකයි සිත.... ධනාත්මකයි........කයි......කයි.........කයි......."
 
මේ සියලු භූමිකා අතර වරින්වර සබකෝලයා පුද්ගල අභ්‍යන්තරයෙන් එළියට පැමිණෙද්දී ඔහුට වචන පටලැවේ. ජාගර සිත මෙහෙයවන සැබෑ මිනිසා ඉස්මතු වනුයේ සබකෝලයාගේ නැඟීමත්  සමඟිනි.
 
"උඹ කෙළින්  වරෙන්"
 
එක් අවස්ථාවකදී ඔහු තම චිත්ත අභ්‍යන්තරයෙහි සිට වරින් වර ඉස්මතු වන සබකෝලයාට අමතයි. ඉන්පසු ඔහුගේ එක් අතක් සබකෝලයා සංකේතවත් කරනු දැකිය හැකිය. සබකෝලයා නියෝජනය කරන තමාගේම හස්තය සමඟ ඔහු සටන් වදී. සබකෝලයා ගැන කෝප වන ඔහු පොල්ලකින් තමාගේ අතට පහර දෙයි. අත ඇඹරී යමින් සබකෝලයාගේ මරණය සංකේතවත් කෙරේ. ඉන්පසුව දක්නට ලැබෙන්නේ අවමංගල්‍ය සභාවේ කතාවය. එය දීර්ඝ වුවත් මෙහිදී උපුටා දක්වනු වටින්නකි. මක්නිසාද යත් මේ නාට්‍යයෙහි සමස්තාර්ථයෙන් කුළුගැන්වෙන දෘෂ්ටිය එහි පිළිබිඹු වන බැවිනි.
 
"සංවේගයට පත් අවමංගල්‍ය සභාවෙන් අවසරයි ! මේ රැස්ව සිටින අප සියලු දෙනා මේ සිදුවෙමින් පවතින සෑම දෙයක් දෙසම නිකං බලා සිටිනවා හැර එක වචනයක්වත් කියාගන්න බැරිව කම්පනයට පත්ව එක් වී සිටින්නේ, මෙතෙක් අප සමඟ ජීවත් වූ ඒ උත්තම පුරුෂයා අප හැර ගොස් ඇති අවසන් මොහොතේ, කාගේත් විප්ලවීය ආචාරය පුද කරමින් ශෝකය පළ කරන්නයි. මෙතුමා මේ සසර කතරින් අත්මිදිලා ගිහින් සැනසුම කරා ළඟා වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා. මෙතුමා ගැන යමක් කියනවා නම් එතුමා හෘද සාක්ෂියට අනුව ජීවත් වූ අවංක නිර්භය කෙනෙක්. ඒ නිසා එතුමා ඉන්න තැන කාටවත් බොරු කියන්න බැරි වුණා. බොරු කරන්න බැරි වුණා. එතුමා අවදි වන විට බොරුව නිහඬ වුණා. ඒත්.....දැන් ඉතින් ඒ බොරුව  නොඉවසන තැනැත්තා තවත් අප සමඟ  නෑ. අප සමඟ සිටි සද්ගුණවත් එකම තැනැත්තා තවත් අප අතර නෑ. අපේ එඩිතර තැනැත්තා තවත් අප අතර නෑ. කියන්න දුකයි, අපේ අවංක යුක්තිගරුක එකම තැනැත්තා දැන් අප අතර නෑ.
ඒ වගේම අප සමඟ සිටි දේශ හිතෛෂියා. පණ වගේ රටට ආදරය කළ ඒ තැනැත්තා දැන් කෝ ? අප අතර ඉන්නවද ? මියගිහින්. ඒ නිසා ඉතාමත් කනගාටුවෙන් දැන් කියන්න වෙලා තියෙන්නේ. අප සමඟ  සිටි නිර්භයව ඇත්ත කතා කරපු ඒ තැනැත්තා තවත් අප අතර නෑ කියන එකයි. සබකෝලයා අපෙන් ඈත් වෙලා ගිහින්. ඉතින් ඒ නිසා අද ඉඳලා අපට අහන්න ලැබෙන්නේ බොරු විතරයි. අපි බොරු කියන කොට අපිව වළක්වන්න දැන් කවුරුත් නෑ. ඇයි ? සබකෝලයා නෑ. සබකෝලයා නෑ. දැන් ඉතින් අපි ඕනෑ කෙනෙකුට නිදහසේ ඕන තරම් බොරු කියන්න පුළුවන්. ඒ විතරක් නෙමේ. දැන දැනම ඒවා ඇත්ත වගේ අහගෙන ඉන්නත් පුළුවන්. මොකද ? අපට දැන් සබකෝලයා නෑ. දැන් ඉතින් බොරුව, වංචාව අස්සේ අපි කාටත් කිසි ගාණක් නැතුව ලස්සනට ජීවිතේ ගෙනියන්න පුළුවන්. මොකද ? සබකෝලයා නෑ. ඒ විතරක් නෙමෙයි. දැන් අපි හැමෝටම ඕනෑ විදියකට රඟපාන්න පුළුවන්. මොකද ? අපට....සබකෝලයා නෑ. ඔව්. ඒවා වළක්වන්න දැන් සබකෝලයෙක් නෑ. බොරුව, වංචාව රඟපෑම් විතරක් ඉතිරි කරලා සබකෝලයා අපිව අත ඇරලා සදහටම යන්න ගිහින්. සබකෝලයා !  ඔබ නැතුව අපි කොහොමද ජීවත් වෙන්නේ "
"රඟපෑම් ඉවරයි" නාට්‍යය නිර්මාණය කිරීමේදී තමාට ආභාසයක් වූ කරුණු දෙකක් පිළිබඳව වරක් ප්‍රවීණ නාට්‍යවේදී  උදයසිරි වික්‍රමරත්න මා හට හෙළි කළේය. මේ වූ කලී ප්‍රවීණ, කෘතහස්ත නාට්‍යවේදී දයානන්ද ගුණවර්ධනයන් සහ මහාචාර්ය නලින් ද සිල්වාණන් දැරූ මතවාද ද්වයකි.
නාට්‍ය නිර්මාණයේදී සවනෙහි ප්‍රබලත්වය දයානන්ද ගුණවර්ධනයෝ වරක් අවධාරණය කළහ. එනම් ඔහු ස්වකීය නාට්‍ය පුහුණුවීම්වලදී රඟහලේ ඈතින්ම අසුන් ගෙන නාට්‍යය නරඹනු වෙනුවට ඇස් පියාගෙන ඊට සවන්දීම සිරිතකි. එහි දෙබස් , ගීතවල හඬ අනුව තම නාට්‍යය සිතෙහි මැවේ නම් එය සාර්ථක යැයි දයානන්ද ගුණවර්ධනයෝ විශ්වාස කළහ. මේ මතවාදය උදයසිරිට බලපෑවේය.
මිනිසකුට තමන්ගේ අඛණ්ඩ අවධානය එක් දෙයක් වෙත යොමු කොට තබා ගත හැකි වනුයේ විනාඩි 20 ක පමණ කාලයක් බව වරක් මහාචාර්ය නලින් ද සිල්වා පවසනු උදයසිරිට ඇසුණි. ප්‍රේක්ෂක අවධානය අඛණ්ඩව ඊට වඩා වැඩි කාලයක් රඳවා තබා ගැනීමට ඔහු මේ නාට්‍යය නිර්මාණය අත්හදා බැලුවේය. ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරද මෙය වේදිකාගත කෙරිණ. මෙහි ලලිත් වික්‍රමරත්නගේ සංගීතය ඖචිත්‍යපූර්වක විය.
"රඟපෑම් ඉවරයි" නාට්‍යයේ සබකෝලයා,  සමාජයේ යහපත් මිනිසකු , උසස් පුරවැසියකු තුළ අනිවාර්යයෙන් පැවැතිය යුතු "හිරි ඔතප්" සංකේතවත් කෙරේ. සබකෝලයා බඳු චරිතයක් ලාංකේය සිනමාවේ කිසිදු චිත්‍රපටයකින් මා තවමත්  දුටුවේ නැත. මුදල පරම බලය කොට ගත්  ධනේශ්වර සමාජ ව්‍යුහයක ධනවත් බව මනිනුයේ හුදෙක්ම මිනිසකුගේ ආර්ථික වත්පොහොසත්කම අනුවය. එහෙත් මෙරට සභ්‍යත්වයෙහි නියමුවාණන් වූ බුදුන් වහන්සේ දේශනා කොට වදාළ "සප්ත ආර්ය ධනය" වූ කලී සියලු භෞතික සාධකවලට වඩා බොහෝ සේ උසස් ආධ්‍යාත්මික ධනවත් භාවයකි. මෙකී ආධ්‍යාත්මික ධනවත් භාවයෙන් විනිර්මුක්ත භෞතික ධනවතා සැබැවින්ම දිළින්දෙකි. බුදුන් වහන්සේ දේශනා කොට වදාළ "සප්ත ආර්ය ධනය" ට හිරි,ඔතප් ද ඇතුළත් වී ඇත. එනම් සත්පුරුෂයකු සතුව අනිවාර්යයෙන් තිබිය යුතු , තමන්ට සහ අන්‍යයන්ට අයහපතක් ,පාපයක්, විපතක් සිදු කිරීමට ලැජ්ජාවීම හා භය වීමය. මෙලොව උපන් මිනිසකු බියට හා ලැජ්ජාවට පත් විය යුතු වන්නේද මේ කරුණු ද්වයට පමණි. පුරාතනයෙහි පටන් "දේව ධර්ම" ලෙස සැලකෙනුයේද මේ හිරි සහ ඔතප් බැව් පෙනේ. හිරි, ඔතප් හී අවසන් උත්කෘෂ්ට ඵලය වනුයේ සංසාර දුකට බිය වීමය. පව් කිරීමට බිය වන්නාගේ මේ ප්‍රඥාව "ඔතපුවන් නුවණ" ලෙස පස්වැනි කාශ්‍යප රජු විසින් රචනා කරන ලද දම්පියා අටුවා ගැටපදයෙහි දැක්වේ. බෞද්ධ දර්ශනයෙන් උපත ලැබූ ලාංකේය කලා සභ්‍යත්වය අපට නිර්දේශ කළ "පහන් සංවේග" (ඉඥපඥදඥ ණධර) සංකල්පයද මේ හා බැඳී ඇත.
සමාජයේ කවර තරාතිරමක ජීවත්වන පුද්ගලයකුගේ වුවත් ජීවිතයේ හිරි , ඔතප් පැවතීමේ වැදගත්කම උදයසිරිගේ "රඟපෑම් ඉවරයි" නාට්‍යයෙහි සමස්තාර්ථයෙන් සහෘදයාට සන්නිවේදනය කෙරේ. අනෙක් අතට බෞද්ධ දර්ශනයෙහි විග්‍රහ කෙරෙන ආධිපත්‍ය ත්‍රිත්වය මේ ඔස්සේ සහෘදයාට සිහිපත් වේ. එනම් ඕනෑම පුද්ගලයකු යම් කිසි ක්‍රියාවක් කිරීමට පෙර ආධිපත්‍ය ත්‍රිත්වයකට අනුගතව එය සිදු කළ යුතු බවය.
1.අත්තාධිපත්‍ය - මේ ක්‍රියාව තමන්ගේ හෘද සාක්ෂියට අනුකූල දැයි විමසා බැලීම.
2. ධර්මාධිපත්‍ය - මේ ක්‍රියාව ධර්මයට අනුකූල දැයි විමසා බැලීම
3. ලෝකාධිපත්‍ය - මේ ක්‍රියාව ලොව ප්‍රඥාවන්ත ජනතාව විසින් සම්මත කරන ලද පිළිවෙත්වලට අනුකූල දැයි සොයා බැලීම.
 
"හිරි ඔතප්" නොමැති කලාකරුවන්ගේ "හිරි ඔතප්" නොමැති නිර්මාණ විවිධ කලා මාධ්‍ය ඔස්සේ කොතරම් නම් මෙතෙක් බිහි වී ඇත්දැයි විමසා බලනු වටී.
 
"රඟපෑම් ඉවරයි" හී ප්‍රවීණ රූපණවේදී ශ්‍රියන්ත මෙන්ඩිස් විසින් නිරූපණය කරනු ලබන මළ මිනිසාගේ භූමිකාවේ සමස්තාර්ථය ඔහුගේ මේ දෙබස් ඛණ්ඩයෙන් හෙළි  වේ.
 
"මෙතන ඉන්න බය නැති එකම මිනිහා මැරුණු මං විතරයි. හොඳයි ඔබ දැන් කැමැති කොයි වගේ වෙන්නද ? මං වගේ මැරුණු මිනිහෙක් වෙන්නද ? නොමැරුණු ඔබ වගේ වෙන්නද ?  මං වගේ බය නැති මැරුණු මිනිහෙක් වෙන්නද ? ඔබ වගේ බය නොමැරුණු මිනිහෙක් වෙන්නද ? ඔබට දැන් හිතෙනවා ඇති , මං වගේ බය නැති මැරුණු මිනිහෙක් වෙන්න. හිතන්න.... හිතන්න....එහෙම හිතනවාට මං ගොඩක් කැමැතියි. ඔබ මැරුණු මිනිහෙක් වෙනවාට. ඊටත් වඩා ඔබ තමුන්නාසේලාට දුක ඇති මං මැරුණු මිනිහෙක් නොවීම ගැන. නොමැරුණු මිනිස්සු වැඩියෙන්ම ආදරේ මැරුණු මිනිස්සුන්ට. ඒ නිසා ඔබ තමුන්නාන්සේලා මටත් ආදරය කරමින් සිටියා. ඒත් මට කරන්න දෙයක් නෑ. මටත් ඔබ තමුන්නාන්සේලාට වගේම මැරුණු මිනිහෙක් වෙන්න බෑ. ආයුබෝවන්.....ඒකෙ තේරුම බොහෝ කාලයක් ජීවත් වේවා කියන එක. ඔබ තමුන්නාන්සේලා එක්කත් මාත් එක්කත් මගේ තියෙන තරහ උපරිම වශයෙන් පිරිමහ ගන්න පුළුවන් එකම වචනේ ඒක. ආයු බොහෝ වේවා.. ආයුබෝවන්." 
 
 
කුසලතාපූර්ණ රංගවේදිනී සුබුද්ධි ලක්මාලි මෙහි රඟපෑ එකම ස්ත්‍රී භූමිකාවේ සමස්තාර්ථය ඇයගේ මේ වදන්වලින් සූචනය කෙරේ.
 
"මට හරියටම කියන්න පුළුවන් සිහිනය..... සිහිනය ඔබ වගේ කියලා. ඔබට සීමා මායිම් තියෙනවද ? ඔබට අණක් ගුණක් තියෙනවද ? ඔබව කාටත් තේරුම් ගන්න පුළුවන්ද?  ඔබ සිහිනයකට වඩා වෙනස්ද ? නෑ ඔබ සිහිනයක්. ඒ ඔබ.... එතකොට මම කවුද ? මමත් ඔබ වගේම තමයි කිසිම වෙනසක් නෑ. ඔබත් සිහිනයක් මාත්  සිහිනයක්. එතකොට අපි ? අපි කියලා කවුරුත් නෑ. සිහින විතරයි. අණක් ගුණක් නැති සීමා මායිම් නැති සිහින විතරයි."
 
(ඉතිරි කොටස ලබන සතියේ)