ඉස්සර නාට්‍ය දිව්වා දැන් අරන් දුවනවා - ජූඩ් ශ්‍රීමාල්

අගෝස්තු 19, 2021

 

 

කොවිඩ් වසංගතය අතර ලද නිදහස වේදිකා නාට්‍ය කලාව අගයන්නන් වෙනුවෙන් ද ලබා දීම සඳහා වේදිකා නාට්‍ය සංවිධායක ජූඩ් ශ්‍රීමාල් විසින් කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ පවත්වාගෙන ආ නාට්‍ය උලෙළ අතර මඟ නතර කරන්නට සිදු වූයේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට හිස නමමිනි. කෙසේ වෙතත් අප ඔහු සමඟ මේ සාකච්ඡා කළේ වේදිකා නාට්‍ය සංවිධානයට ඔහුගේ ඇති නොතිත් ආශාව සහ වත්මන් වේදිකාවේ ස්වභාවය පිළිබඳවය.

 

මුලින්ම කියමු ලබන සති අන්තයට සහ ඉන් ඉදිරියට ප්‍රවේශපත්‍ර ලබාගත් රසිකයන්ට මොකද වෙන්නේ කියලා?

 

ඒ ප්‍රවේශපත්‍ර ඒ අයුරින්ම ඉදිරි දිනෙක නාට්‍ය දර්ශන පවත්වන අවස්ථාවකට වලංගු වනවා.

 

මොකක්ද වේදිකා නාට්‍ය කලාවට වේගන එන්නේ?

අපි දිගින් දිගට කරගෙන ආ නාට්‍ය ප්‍රදර්ශනය පාස්කු ප්‍රහාරයත් සමඟ වැටෙන්න පුළුවන් පහළම තැනට වැටුණා. ඒත් ඉන් මාස ගණනාවකට පසු අපි බොහොම අමාරුවෙන් 'රඟපෑම් ඇරඹේ' සහ 'ප්‍රේක්ෂා නාට්‍ය උලෙළ' කළත් කොවිඩ් වසංගතයත් සමඟ නාට්‍යකරුවන් නන්නත්තාර වුණා කීවත් වැරදි නෑ. වේදිකා නාට්‍ය කියන්නේ සජීවී වැඩක් වගේම මේ සඳහා වැය වන මුදලත් වැඩියි. සෑම දර්ශනයකටම වැයවන පිරිවැයක් තිබෙනවා. එය ආවරණය කරන්න ප්‍රේක්ෂකයන් ගෙන්වා ගැනීමේ අසීරු තත්ත්වයක් ආවා. දැනටත් අපි එයින් මිදිලා නෑ. ඒ නිසා කවුරුත් අත ගහන්න බයයි. මම ලැබූ අත්දැකීම නම් ගුරුවරුන්ගේ ප්‍රශ්න ආදි මොන දේ පිළිබඳ කතා කළත් නාට්‍යකරුවන් ගැන කිසිම ආකාරයකින් රජයේ හෝ අවධානයක් කිසිවෙකුට නොමැති කමයි. නාට්‍යකරුවන් කියලා කොටසක් ඉන්නවාද කියලාවත් දන්නේ නැති ආකාරයටයි ඉන්නෙ. පසුගිය වර කොවිඩ්වලින් පසු සිනමා ශාලා විවෘත කරන විටත් රංගශාලා ගැන කියවුණේ නැහැ. අපි ගිහින් ඒ බව පෙන්නූ පසුවයි මෙවර විවෘත කිරීමේදී සිනමා සහ රංගශාලා කියලා යොදන්න වුණේ. ඉතා අඩු තක්සේරුවක තිබෙන දෙයක් මෙය. ඒත් මම විශ්වාස කරන ආකාරයට ඉතා බුද්ධිමත් සහ විධිමත් ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා වේදිකා නාට්‍යවලට. ඔවුන් බොහොම විනයගරුක, තමන්ගේ සීමා හඳුනන, අන් අය ගැනත් හිතන පිරිසක්. ඒ අයට නාට්‍ය නැරඹීමට අවස්ථාව දීම අපේ වගකීම. ඒ වගේම ඒ අවස්ථාව දීම ගැන හිතලා නාට්‍ය නැරඹීමට පැමිණීම ඔවුන්ගේ යුතුකම ලෙස සිතනවා නම් වඩාත් හොඳයි.

 

ඔබ මෙවර නාට්‍ය උලෙළ අරඹන්නේ දැඩි අවදානමක?

ඔව්. එය දැන් වඩාත් පැහැදිලියිනේ. ඒත් මෙය පටන් ගත් අලුත සමාජ මාධ්‍යවලින් ප්‍රචාරය කරන විට පුදුම විදිහේ ඉල්ලුමක් ආවා. සති එකහමාරක් පමණ ඇතුළත ඒ ඉල්ලුම අඩු වුණා. ඩෙල්ටා නිසා අපට බුල්ටො එකක් ලැබෙන්න යන බව හොඳටම තේරුණා. හිතාගන්න බැරි පාඩුවක් වෙන්න පුළුවන් කියලත් දැනුණා. ඒත් අතහැරියේ නෑ.

අපට සියයට පනහයි ප්‍රේක්ෂාගාරය පුරවන්න අවස්ථාව දී තිබුණේ. එවැනි අවස්ථාවලදි ඉදිරියේදි වුණත් අධ්‍යක්ෂවරු, නළු නිළියන්, ශාලා හිමියන් ආදි මේ සියලු දෙනා ඒ ගැන හිතලා සියයට පනහේ සීමාවට පහළට බහින්න ඕනේ. නැත්නම් මෙය අනාගතයේත් පවත්වාගෙන යන්න බැරිවෙයි.

ඉස්සර ප්‍රාදේශීය වශයෙන් සංවිධානය වූ පිරිස් හිටියා. ඒත් දැන් ඒවා පුද්ගලයන් සහ සංවිධානවලින් ගිලිහිලා. මොකද මෙය එතරම්ම දුෂ්කර කටයුත්තක් නිසා. සංවිධායකයකු ලෙස මගේ බලාපොරොත්තුව ජීවිතයේ ඉදිරි වැඩවලට මුදලක් ඉතිරි කරගන්න ලාභයක් ඉපයීම. ඒත් නාට්‍යය කරගෙන යද්දි එය වරදිනවා කියලා තේරුණාම ලාභයක් නැතත් කමක් නෑ වියදම පියවගන්න පුළුවන් වුණොත් ඇති කියලා හිතෙනවා. ඒත් අන්තිම සතිය විතර වෙද්දි හිතෙනවා කමක් නෑ මට මුකුත් නැතත් මේ පිරිසට ගෙවාගන්න ගාණක් හම්බුණොත් ඇති කියන තැනට එනවා. ඒකත් නෑ අන්තිමට කාගෙන් හරි ණයට ඉල්ලලා හෝ බඩුවක් මූට්ටුවක් උගස් කරලා තමයි ගෙවන්න වෙන්නේ. ගෙදර රත්තරන් බඩු පවා උගස් කළ වෙලාවල් තිබෙනවා මමත්. එය දැඩි පීඩනයක්. ඒ නිසයි කවුරුත් නොකරන්නේ. මම මුලින් කළේ වතුර පැකට් කළ එක. එය තවත් අය පටන්ගෙන පානීය ජල බෝතල් පවා බිහි වුණා. ඒත් මට මෙහි තිබෙනවා පීඩනය යට කරගෙන ලබන වින්දනයක්. ඉදිරියටත් සියලු නීතිරීතිවලට අනුගතව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව, පාඩු පිට වුණත් මෙය කරගෙන යන්නේ, මට මේක 'පිස්සුවක්' නිසා.

 

ඔබ මුල්ම සතියට ගත්තේ 1959 බිහිවූ මනමේ වැනි පැරැණි නාට්‍ය, මේ තේරීමේ පදනම?

මනමේ, සිංහබාහු, නරිබෑනා වැනි නාට්‍ය අමතක කරන්න බැරි විදිහට අපේ ඇඟට කා වැදුණු නිර්මාණ. මනමේ නාට්‍යයට අවුරුදු 50 පිරෙද්දි මම අවුරුදු 25ක් ඒ නාට්‍යය සමඟ දුවලා තිබෙනවා. නොගිය පළාතක් නෑ ලංකාවේ.මෙය බලන පිරිස් කීපයක් ඉන්නවා. පළමු පිරිස කවදාවත් ලයනල් වෙන්ඩ්ට් එකෙන් පිට නාට්‍ය නොබලන අය. තවත් පිරිසක් ඉන්නවා පාසල් මට්ටමින් නාට්‍ය නරඹන. සාමාන්‍ය ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා ඔවුන්ට නාට්‍යවල තල සම්බන්ධ ප්‍රශ්නයක් නෑ, රසවිඳීය හැකි නම් ඕනෑම නාට්‍යයක් නරඹනවා. ඒ පිරිස නාට්‍ය ක්ෂේත්‍රයේ පැවැත්මට වඩාත් උපකාරී වනවා.

මම, ජයන්ත චන්ද්‍රසිරි, ශ්‍රියන්ත මෙන්ඩිස්, කමල් අද්දරආරච්චි අපි සියලු දෙනා වේදිකාවට ආවේ 1979 'අනේ අබ්ලික්' කියන නාට්‍යයෙන්. මම පාසල් ශිෂ්‍යයෙක් එතකොට. ඒත් ලයනල් වෙන්ඩ්ට් එකේ අවුරුද්දකට එක නාට්‍යය බැගින් පෙන්වන්න ගත්තා. පස්සේ ඒ ගණන දෙක, තුන වෙලා විස්සක් පමණ දක්වා වැඩි වුණා. මුල් කාලේ පෙම්වතුන් විදිහට ආව අය පසුව දරුවන්, මුනුපුරන් සමඟ පවා ඇවිත් නාට්‍ය බලලා, මට ස්තුති කරලත් යනවා. එය මට බොහෝ දැනෙන අත්දැකීමක් වුණා. ඒ නිසා ලයනල් වෙන්ඩ්ට් වගේම මගේ උපන් ගම වන මීගමුවෙත් කොහොම හරි දර්ශනයක් පෙන්වනවාමයි.

මනමේ, මධුර ජවනිකා, කැලණි පාලම සහ ඇන්ටික් කඩයක මරණයක් ප්‍රදර්ශනය අවසන් වුණා 15 වැනිදා වන විට. ඉදිරි සති අන්තවලට යෙදුණේ, පුංචි අපට දැන් තේරේ සමඟ තොප්පි වෙළෙන්දා, ගුරුතරුව, රාස්ස පරාස්ස, රාජකපුරු සහ සඟ වෙදගුරු ගොවි කම්කරු චමිල ප්‍රියංකරගේ අලුත් නාට්‍යයේ මංගල දැක්ම. මේ තෝරා ගැනීම කළේ රසිකයන් නරඹන්න කැමැති නාට්‍ය ගැන හිතලා.

 

ඔබ මේ සමඟ තවත් උලෙළක් සංවිධානය කරමින් සිටියා?

 

ඔව්. එල්ෆින්ස්ටන් ශාලාවේ ඔක්තෝබර් 10 සිට 17 දක්වා සහ ඊළඟ සති අන්තය අතුළත්ව මාස දෙකක් එකදිගට නාට්‍ය පෙන්වන්න සූදානම් කළේ. එයට මේ උලෙළට ගන්න බැරි වුණු නාට්‍ය 14ක් ඇතුළත් වීමට නියමිතව තිබුණා. එය ඒ වන විට පවතින තත්ත්වය අනුව සැලසුම් කරන්න වෙනවා. අද සියලු වියදම් ඉතා ඉහළ මිලකින් පවතින නිසා ප්‍රවේශපත්‍රවල මිලත් ඉහළ යනවා. අද පවුල්වල ඉතුරුමක් නැති තරම්. කාලා බීලා ළමයින්ට උගන්වලා තවත් කීයක් හරි ඉතිරු වුණොත් තමයි නාට්‍යයක් බලන්න එන්නේ. එය සොච්චමක් වුණොත් කලාව මඟහැරෙනවා. අපි කොතරම් රජයෙන් සහයෝගය ඉල්ලුවා වුණත් ඒකත් ලේසි නෑ මොකද රජයන්ටත් මීට වඩා ප්‍රශ්න තිබෙනවා අවධානය යොමු කරන්නන. එනිසා තමතමන් පුළු පුළුවන් විදිහට නාට්‍ය පවත්වා ගන්න අපි උත්සාහ දරනවා.මෙයට කවරුහරි අතගහන්න ඕනෙ. අනෙක් අයත් උත්තේජනයක් ලබන්නේ එවිටයි. නැත්නම් ඔහොමම නැතිවෙලා යයි.

මම තරම් නාට්‍ය නිෂ්පාදනය කරලා නැහැ කවුරුවත් ලංකාවේ. මම දැනට නාට්‍ය 35ක නිෂ්පාදකයෙක්. ඒ නාට්‍ය එකක්වත් මම මෙවර උලෙළට ගත්තේ නැහැ.එල්ෆින්ස්ටන් උලෙළෙදි ඒවායින් කීපයක් වේදිකාගත කරන්නයි නියමිත. 361, කටානායකතුමනි, බල්ලොත් එක්ක බෑ, චරිතෙ හොරු අරන් වගේ නාට්‍ය ඒ උලෙළේදි දැකගන්න පුළුවන්. එල්ෆින්ස්ටන් සහ ටවර් හෝල් යන ශාලා දෙක අඩු මිලට ලබා දෙන්න තීරණයක් ආ නිසා අපට ප්‍රේක්ෂකයන්ටත් සහනයක් සලස්වන්න පුළුවන් ඒ අවස්ථාවෙදි. නාට්‍යවලට කැමැති අයට හොඳ අවස්ථාවක් වෙයි එය.

 

අවුරුදු 42ක අත්දැකීම කොහොමද?

70 සහ 80 දශකවල නාට්‍ය දිව්වා. ඒ කාලෙනාට්‍ය සංවිධායකයන් වටකරගෙන මිනිස්සු නාට්‍ය ඉල්ලද්දි අපි ඒ අයව එළවලා තියෙනවා වෙන කාගෙන් හරි අහන්න කියලා. ඉන්පසු 90 සහ දෙදහ කාලවකවානුවල අපි නාට්‍ය දිවෙවුවා. දන් අපට සිදුවෙලා තිබෙන්නේ නාට්‍යය අරන් දුවන්න. එන්න එන්නම අවදානම වැඩි වෙනවා. මිනිසුන් අවදානම් ගන්නවා අඩුයි. අද අපිට ගිහින් වඳීන්න වෙලා තියෙන්නේ. එය ප්‍රශ්නයක්. ඒත් ජයගන්න බැරි නෑ.

 

නාට්‍ය අනුමණ්ඩලයෙන් සහායක් පැතුවේ නැද්ද?

1979 සිට දිගු කාලයක් සෑම වසරකම මම රාජ්‍ය නාට්‍ය උලෙළ රැසකට සහභාගි වුණා ඒ ඒ නාට්‍ය කණ්ඩායම්වල නියෝජිතයකු ලෙසින්. ඒ සාකච්ඡාවලදි නාට්‍ය අනුමණ්ඩලවල හිටිය සභාපතිවරුන් අපට කීව, පෙන්වා දුන්, පොරොන්දු ඉෂ්ට වුණා නම් අද ආසියාවේවත් අපව අබිබවා යන නාට්‍ය කලාවක් නැති වෙන්න තිබුණා. ඒත් ඒවා නිකම්ම අපව අන්දන වචන විතරයි. එනිසා ඊටපස්සේ අපි යන එකත් නැවැත්තුවා කාලය නාස්ති වන නිසා. මම කියන්නේ යමක් දුන්නොත් ගත්තට කමක් නෑ, ඒත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙලා වැඩකුත් නෑ. තමන්ට පුළුවන් විදිහෙන් කරගෙන යන එකයි තියෙන්නේ.

 

එවිට වේදිකාව යළි දියුණු කරගන්න අවශ්‍ය නැද්ද?

කාටද දියුණු කරන්න ඕනෙ කමක් තිබෙන්නේ. තම තමන්ගේ නාට්‍ය දන්නා තරමින් ඉහළ ප්‍රමිතියකින් තමන් කරනවා හැර රාජ්‍ය නාට්‍ය උලෙළේ මිනුම්දඬුවලට ප්‍රේක්ෂකයන් එකඟද? ඉස්සර නම් රාජ්‍ය නාට්‍ය උලෙළේ අවසාන වටයට තේරෙන නාට්‍යවලට පවා හොඳ ඉල්ලුමක් තිබුණා. අද අවසාන වටයේ හොඳම නාට්‍යයට තේරෙන එක තමයි දුවාගන්න අමාරුම නාට්‍යය බවට පත් වන්නේ. මොකද මිනිස්සු හිතනවා ඒ නාට්‍යය අපට තේරුම් ගන්න බැරි මහා 'අලකලංචියක්' කියලා. එතකොට වැරැදිලා තියෙන්නේ කාටද? ප්‍රේක්ෂකයන්ටද? විනිශ්චය මණ්ඩලවල සාමාජිකයන්ටද? සාහිත්‍ය කෘතිවලටත් වෙලා තියෙන්නේ ඒකනේ. දිනන කෘති කියවන්න ගත්තම අතර මඟදි තෑගි දෙන්න හිතෙනවා තරහාකාරයෙකුට.

 

මොකක්ද ඔබ දකින හේතුව?

මෙයට රටේ පවතින තත්ත්වය, මිනිසුන්ට තිබෙන ප්‍රශ්න බලපානවා. රසිකයන්ට අවශ්‍ය නම් මේ දේවල් බැහැර කරන්න පුළුවන්. අද තිබෙන කුණු ටෙලි නාට්‍යයි, සංගීත සන්දර්ශනයි, මුහුණු පොතේ විකාරයි බලලා ප්‍රේක්ෂක රසවින්දන මට්ටමත් සෑහෙන පහළ මට්ටමක තිබෙන්නේ. අද ළමයකු හෝ වේදිකා නාට්‍යවලට යොමු කරන්න ප්‍රධාන කාරණාව වෙලා තිබෙන්නේ පෙළ පොත්වල නාට්‍ය කීපයක් තිබීම. අපි නාට්‍ය බැලුවේ ඉව කර කර හොයාගෙන ගිහින්. හරි නම් ඒ තත්ත්වයටයි රට හැදෙන්න ඕනෙ. අද තිබෙන අලුත් තාක්ෂණයත් නාට්‍යවලට මෙන්ම සිනමාවට පවා විශාල හානියක්. මට මතකයි ඉස්සර චිත්‍රපට එන්නෙ සිකුරාදා දවස්වලට. අපි ශත 55ට ගැලරියේ වවුල්ලු වගේ එල්ලිලා පොරකකා යන්නේ හවුස්ෆුල් ෂෝස්වලට. ඒත් ළඟදි චිත්‍රපටයක් බලන්න ගියාම තව ජෝඩුවකුත් හිටියා, වෙන දෙන්නෙක් ඇවිත් ශාලා කළමනාකරු සමඟ මොනවද කතා කළාට පස්සේ මගෙන් ඇවිත් අහනවා වෙන චිත්‍රපටයක් පෙන්නුවාට කමක් නැද්ද කියලා. මම ඇහුවා ඔයගොල්ලො පෙන්නනවා කියලා තියෙන්නේ මම බලන්න ආව චිත්‍රපටය නේද කියලා. ඒ අයට චිත්‍රපට හතරක් තියෙනවා එයින් ඕනෙ එකක් පෙන්වන්න පුළුවන් කීවා. පස්සේ කොහොම හරි වාද කරලා මම කැමැති චිත්‍රපටය බැලුවා.

ඊට කලින් දවසකත් හොඳ චිත්‍රපටයක් බලන්න ගියාම ශාලාවේ මම විතරයි. පස්සේ මම ගිහින් කීවා ඔයාලාට පාඩුයිනේ මම යන්නම් කියලා. ඔවුන් කීවා කමක් නෑ මහත්තයා චිත්‍රපටය බලන්න කියලා. ලංකාවේ ශාලාවල කරන වැරැදි වැඩක් තමයි චිත්‍රපටය ඉවර වෙනවත් එක්කම බෙල් එකක් ගහලා පිටිපස්සේ දොර අරින එක. මම ඒ ගැන දොස් කියලත් තියෙනවා. කොහොම හරි මම හැරිලා බලද්දි මෙන්න හෝ ගාලා ජෝඩු නැඟිටිනවා. ඒ කියන්නෙ සිනමා ශාලා අද දුවන්නේ රසිකයන්ගෙන් නෙවෙයි. පෙම්වතුන්ගෙන්.

 

මේ මොහොතේ ඔබ ප්‍රේක්ෂකයන්ට දෙන පණිවිඩය?

ශ්‍රී ලංකාවේ වේදිකා නාට්‍ය යනුවෙන් යමක් ඇත. ඔබත් එය ජීවිතයට ළං කරගෙන ඒ හා රසවත්ව පවතින්න. නාට්‍ය ශාලාවේ කවුන්ටරයෙන් ප්‍රවේශපතක් ගන්න ඇතුළු කරන අත තමයි නාට්‍ය කලාව ජීවත් කරවන්නේ. ඉදිරියේදී යළි දර්ශන වාර ඇරඹූ විට ඒ අත අපට දිගු කරන්න කියන එකයි මගේ ඉල්ලීම.