ඇන්ටික් කඩයක මරණයක් සමඟ අශෝක හඳගම වේදිකාවට

අගෝස්තු 12, 2021

වසංගත සමයට අභියෝග කරමින් වේදිකාවට වසන්ත සමයක් උදා කිරීමේ අරමුණින් පසුගිය සති අන්තයේ සිට ලයනල් වෙන්ඩ්ට් රඟහලේ නාට්‍ය උලෙළක් සංවිධානය කෙරුණා. ලබන සති අන්තයට එහි රඟදැක්වීමට නියමිතව ඇත්තේ දිගු කලක් අප රසවත් කළ කැලණි පාලම සහ පසුගිය වසරේ කොරෝනාව නිසා දර්ශන වාර ඇනහිටි ඇන්ටික් කඩයක මරණයක් වේදිකා නාට්‍ය යුගලයි. 15 වැනිදා ඉරිදා දවසට නියමිත ආර්. ආර්. සමරකෝන් නාට්‍යවේදියාගේ 'කැලණි පාලම' පිළිබඳ අප දශක හතරකට අධික කාලයක් කතා කර ඇති නිසා 14 වැනි දා සෙනසුරාදා රඟදැක්වීමට නියමිත 'ඇන්ටික් කඩයක මරණයක්' පිළිබඳ එහි නිර්මාතෘ සිනමා හා නාට්‍යවේදී අශෝක හඳගම සමඟ මෙසේ කතාබහක යෙදුණා.

 

'ඇන්ටික් කඩයක මරණයක්' ආයෙත් සිදුවෙන්න යන්නේ?

ඔවු. පසුගිය මාර්තු මාසයේ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ තමයි අපි මංගල දර්ශනය තිබ්බේ. පසුව එල්ෆින්ස්ටන් සහ වෙන්ඩ්ට් ශාලා දෙකේම දර්ශන වාර කීපයක් රඟ දැක්වූවා. ඒත් අවුරුදුවලින් පස්සේ රට ලොක් ඩවුන් කළ නිසා දර්ශන පටන්ගන්න බැරි වුණා. ආපසු එය ආරම්භ වන්නේ ලබන 14 වැනිදා දර්ශන වාර දෙකක් ලෙස ලයනල් වෙන්ඩ්ට් එකෙන්මයි. (සිනාසී) දන්නේ නෑ මොන තත්ත්වයක් වෙයිද කියලා. ඒත් අපි පුහුණුවීම් කරගෙන යනවා.

 

මෙහි පාත්‍ර වර්ගයා ගැන මතක් කර ඉමු?

ප්‍රධාන භූමිකා සෞම්‍ය ලියනගේ, නිපුණි ශාරදා, පසන් රණවීර, ස්ටෙෆාන් තිරිමාන්න යන අය කරන්නේ. ඊට අමතරව විශාල පිරිසකගෙන් යුතු ගායන හා වාදන වෘන්දයත් වෙනමම නොසිට වේදිකාවේ පාත්‍රවර්ගයාටම අයත් වන ලෙස රංගනයේ යෙදෙනවා. එයට නායකත්වය දෙන්නේ නාට්‍යයට සංගීතය සපයන චින්තක ලක්මාල් ජයකොඩි. අනෙක මෙය වර්තමානයේ ප්‍රවණතාවක් වන පටිගත කළ සංගීතයෙන් තොරව සජීවී සංගීතය සමඟින් කෙරෙන නාට්‍යයක්. එනිසා පූර්ණ වේදිකා නාට්‍යයකින් ලබන සෞන්දර්යාත්මක නාට්‍යමය අත්දැකීම මෙයින් ලබා දෙන්න අපි උත්සාහ කරනවා. එය තමයි ප්‍රධාන ලක්ෂණය.

 

මෙය ගොඩනැඟුණු ආකාරය?

මෙහි ප්‍රධාන භූමිකාව වන ජෝසප් ජාතික කෞතුකාගාරයේ මුර සේවයේ සිට වැඩ තහනම් කළ කෙනෙක්. ඔහුට පුරුදු කෞතුක භාණ්ඩ අතගාලා නිසා පරණ බඩු (ඇන්ටික්) කඩයක් දාගෙන ජීවත් වෙනවා. ඔබට අක්ෂරය චිත්‍රපටය මතක නම් එහිම දිගුවක් ලෙස තමයි මෙය දිවෙන්නේ කියා කියන්නත් පුළුවන්.

අක්ෂරයේ දරුවා අතින් තමන්ගේ මව ඝාතනය වෙනවා. ඔහු පරිවාසයට ගොස් නිදහස් වී එන දවසේ සිට තමයි නාට්‍යය ඇරඹෙන්නේ. එහි කටුගේ සිටි මුරකරුවා තමයි මේ ඇන්ටික් කඩය දාගෙන ඉන්නේ. ඔහුගේ දුව දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. තරුණයා කුඩා කල මතකය අනුව මුරකරුගේ දියණිය සොයාගෙනයි එන්නේ. එහිදී ඇතිවන ගැටුම තමයි කතාවේ දිගහැරෙන්නේ.

 

චිත්‍රපට මාධ්‍යයෙන් දුටු කතාවක දිගුවක් වේදිකා නාට්‍යයකින් කීමේදී ප්‍රේක්ෂකයාගේ රසවින්දනය කෙබඳු වෙයිද?

අක්ෂරය චිත්‍රපටයේ දිගුවක් ලෙස කෙනකුට මෙය කියවගන්න පුළුවන් වුවත් චිත්‍රපටය නරඹා තිබීම නාට්‍යය නැරඹීමට අත්‍යවශ්‍ය කරුණක් නොවෙයි. චිත්‍රපටයෙන් ස්වාධීනවයි නාට්‍යය ඉදිරිපත් කරන්නේ. නාට්‍යය රසවිඳීමට අවශ්‍ය සියලුම පසුබිම් සිදුවීම් මේ නාට්‍යය තුළ නැවත පුනරාවර්තනය වනවා. එය තමයි මේ නාට්‍යයේ සුවිශේෂත්වය. මේ වගේ නාට්‍යයක් මීට පෙර වේදිකාවේ කෙරිලා නෑ.

 

ඒ සුවිශේෂත්වය ඇති කරන්න පාදක කරගත් දේවල් මොනවාද?

අවුරුදු තිස් එකක් විතර මම වේදිකාවෙන් ඈත් වෙලා හිටියේ. 1989 මාඝාත නාට්‍යයෙන් පසු තමයි මේ නාට්‍යය කරන්නේ. ඒ කාලය තුළ මම නිකම්ම හිටියේ නෑ. චිත්‍රපටවලට අමතරව හොඳ වේදිකා නාට්‍ය ගොඩ නැඟෙන හැටි, ඒවායේ භාවිත කරන තාක්ෂණය ආදිය පිළිබඳ යම් හැදෑරීමක හිටියා. නාට්‍යයක් කියන්නේ සජීවී අත්දැකීමක් නිසා එය බොහෝ වෙහෙස මහන්සි විය යුතු අභ්‍යාසයක්. පසුගිය වසරේ රැකියාවෙනුත් විශ්‍රාමගත් විට මට ඒ විවේකය ලැබුණා. මෙහි පසුතල නිර්මාණය පවා වෙනස්. වේදිකාවයි ප්‍රේක්ෂාගාරයයි රංග අවකාශය විදිහට භාවිත කරනවා. වේදිකාවේත් විවිධ තල භාවිත කෙරෙනවා.

 

ඒ කියන්නේ ප්‍රොසීනියම් වේදිකා රාමුවෙන් මිදෙනවා?

ඔවු. ලයනල් වෙන්ඩ්ට් වේදිකාව ප්‍රොසීනියම් නිසා ඒ ආකාරය වෙනස් කළ නොහැකි වුවත් රංග අවකාශය වේදිකාවම වන්නේ නැහැ. ප්‍රේක්ෂාගාරයත් සමඟ අන්තර්ක්‍රියාවක් පාත්‍රවර්ගයා සිදු කරන විට සක්‍රීයව ප්‍රේක්ෂකයා නාට්‍යයට සම්බන්ධ වෙනවා. මෙය අලුත් දෙයක් නොවේ. ඒත් 'තියටර්' කියන දේ අපෙන් බොහෝ මඟ හැරුණා. අනෙක පිරිවැය සහ රංග ශාලාවල ස්වභාවය. අපට ඕනෑ විදිහට රංග ශාලාව වෙනස් කරන්න බැහැ. තියෙන විදිහට අපි රංගය වෙනස් කරනවා මිසක, අලුත් විදිහට රංගාවකාශය හදාගෙන කරන්න හැකියාව හරි අඩුයි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී විවෘත වේදිකාවක මෙය රඟ දැක්වීමට. එවිට අත්දැකීමත් වෙනස් වෙයි.

 

පවතින වසංගත තත්ත්වය සමඟ මේ ප්‍රවේශය කෙබඳු වෙයිද?

අපි දැන් කොවිඩ් සමඟ අවුරුදු එකහමාරක් පමණ ගත කළා. නාට්‍ය, සිනමාව කියන්නේ ගෙවල්වල ඉඳලා බලන්න පුළුවන් දෙයක් නෙවෙයි. සාමූහික රසවින්දනයක්. එය සමාජයකට අවශ්‍යයි. සාමූහික විඥානයක් ඇති වන්නේ සාමූහික රසවින්දනයකින්. එයයි අපට මඟහැරුණෙත්. ඒ නිසා ලැබෙන ඉඩප්‍රස්තාව තුළ හැකිතාක් ඒ දේවල් පවත්වා ගැනීමට එක්තරා විදිහක උත්සාහයක් දරනවා. මෙය ආදායමකට වඩා වියදමක් තමයි. ඒත් අපේ නාට්‍යයේ පිරිස බොහොම සතුටින් එය බාරගෙන මේ ඉදිරිපත් කිරීම කරන්නේ මේ වකවානුවේ මේ දේවල් පවත්වාගෙන ගියේ නැත්නම් විශාල කඩාවැටීමකට ලක්වන නිසායි. එය සිදු නොවන තැනට ගෙන ඒමටයි මේ උත්සාහය. ඇත්තම කතාව නම් රංගශාලාවලින් කොවිඩ් බෝ වෙලා නෑ මේ ලංකාවේ තාම. මොකද සුපිරි වෙළෙඳ සැලකට ගන්නවාට වඩා ආරක්ෂිත ක්‍රමවේදයකට තමයි අපි ප්‍රේක්ෂකයන් ශාලාවට ඇතුළු කරන්නේ සහ නාට්‍යය රඟ දක්වලා පිට කරන්නේත්. උදාහරණයකට ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ වායු සමීකරණය පවා ඇතුළත වායුව පිටතට ඇද දමන ක්‍රමවේදයකට සකස් කළ එකක්. ඒ නිසා මෙයින් කොවිඩ් බෝ වෙයි කියලා අනවශ්‍ය බියක් ඇති කරගන්න අවශ්‍ය නැති තරමට අපි පරෙස්සම්. ශාලාවෙනුත් සියයට පනහයිනෙ ඇතුළු කරන්නේ.

 

ඔබේ දිගු කාලීන අධ්‍යයනයේදී සමස්ත වේදිකාවේ වෙනස්කම් දුටුවේ කෙසේද?

අනූව දශකය මැද පමණ වන විට පැරැණි නාට්‍ය භාවිතය එක්තරා කෙළවරකට ඇවිත් එය අතීතයට එක් වුණා. අනූව දශකයේ නාට්‍යකරුවන් වෙනස් රංගන අත්දැකීමක් බවට පත් කරගෙන තමයි වේදිකාව මෙතෙක් පැවතුණේ. රංගාලෝකය, ශබ්ද ආදියේ සිදු වූ‌ වෙනස මම දකින්නේ ධනාත්මකව. පිටරටවලත් අද තියටර් කියන දේ දියුණුයි. ඒ නිසා දැන් වේදිකා නාට්‍යයක් කියන දේ සඳහා පූර්ණ අත්දැකීමකට මිනිස්සු කැමැතියි.

 

නාට්‍යවල ගුණාත්මකබවේ ප්‍රශ්නයක්ද?

නෑ. ඇත්තෙන්ම කොළඹ වේදිකාවට හොඳ ප්‍රේක්ෂාගාරයක් තිබෙනවා. නැත්තෙ පිට. අපේ නාට්‍යයේ මංගල දර්ශනය බලන්න ඈත පළාත්වලින් කොළඹට සෙනඟ ඇදුණා. නාට්‍ය තිබෙනවා. ප්‍රේක්ෂකයනුත් ඉන්නවා. පෙන්නන්න තැන් තමයි නැත්තේ. හදලා තිබෙන ශාලාත් ඉතා මිල අධිකයි. ඒ නිසා සංවිධායකයන්ටත් පිටපළාත්වල සංවිධානය කිරීම අසීරු වෙලා.

 

මෙය වේදිකාවේ අනාගතයට බලපානවා?

ඔවු. ඇත්තෙන්ම අපි ඉස්කෝලේ යන කාලේ නාට්‍ය කළේ කෑගල්ලේ. අනුරාධපුරේ, හොරණ වගේ ප්‍රාදේශීයව ගොඩනැඟුණු නාට්‍ය සංස්කෘතියක් ඒ කාලේ තිබුණා. එයින් බිහිවුණු අය තමයි ජාතික තලයේ නිර්මාණ කළේ. දැන් එහෙම අය නෑ. ඒ උනන්දුව අඩුවෙලා නිසා. එය අනාගතයට විශාල වශයෙන් බලපානවා.

 

නාට්‍ය අනුමණ්ඩලය මේ ගැන කටයුතු කළ යුතුයි නේද?

කළ යුතුයි. ඒත් ඒ අය කරන්නේ නාට්‍ය සම්මාන උලෙළ සංවිධානය පමණයි. ඔවුන්ට හැකියාව තිබෙනවා විශාල වැඩ කොටසක් මේ රටේ නාට්‍ය කලාව වෙනුවෙන් කරන්න. අඩුම තරමේ රජයේ රංග ශාලාවන්වත් පහසු මිලකට සංවිධායකයන්ට ලබා දෙන්න. ඒවා කෙරෙන්නේ නෑ ඉතිං....ඒක හරි අවාසනාවන්ත තත්ත්වයක්.

 

මොකක්ද ඔබේ යෝජනාව

රටක මිනිසුන්ට සංස්කෘතික ජීවිතයක් තිබිය යුතුයි. එයට නාට්‍ය ආදිය රඟ දැක්වීම, ඒවා නැරඹීම අයත්. එය පෞද්ගලිකව වුවත් නාට්‍යකරුවන්ට පවත්වාගෙන යා හැකියි. ඒත් යටිතල පහසුකම් අවශ්‍යයිනේ. ඒ සඳහා රජය මැදිහත් විය යුතුයි. සෑම දිස්ත්‍රික්කයකම සංස්කෘතික මධ්‍යස්ථානයක් කියා තිබෙනවානේ. ඒත් ඒවායෙන් තනා තිබෙන ශාලා නාට්‍ය රඟදැක්වීමට තැනූ ඒවා නෙවෙයි. බහුකාර්ය වැඩසටහන්වලට හැදූ ඒවායේ නාට්‍ය රඟදක්වන්න බෑ. එය වෙනම කාර්යයක්.

නාට්‍යයක් චිත්‍රපටයක් බලන පුරුද්ද මඟහැරුණොත් එක්තරා විදිහකට අපට අපේ ජීවිතය මඟහැරෙනවා. ඊට පස්සේ අපි කාලා බීලා ටීවී එක දිහා බලාගෙන ගෙදරට වෙලා ඉන්න වියළි මිනිසුන් කොටසක් බවට පත්වෙනවා. එහෙම විය යුතු නෑ මේ ලැබූ මිනිස් ජීවිතයේ. වෙන රටවල රට වැහුණාම මිනිසුන්ගේ රසවින්දනය වෙනුවෙන් පවතින මාධ්‍යවල වැඩසටහන් ආදිය ඊට අනුකූලව වෙනස් වෙනවා. පොත්පත් ආදිය කියවීමට පහසුකම් සැපයෙනවා. අපට එහෙම නැති නිසා තමයි ජීවිතේ බෝරිං වෙලා ගෙදර ඉන්න බැරි වෙන්නේ. ඒ ගැන අපි නොහිතන එකයි ප්‍රශ්නය. එහෙම හිතන රටවල් මේ තත්ත්වයෙන් ඉක්මනින් ගැලවී තිබෙනවා. ඒ නිසා අපිත් ආරක්ෂිතව මේ වෑයම දරනවා. ඔබත් ආරක්ෂාකාරීව එය රසවිඳගන්න කියා මම ආරාධනා කරනවා.