වේදිකාවේ අපටත් පිහිටක් වෙනවා නම් හොඳයි

- ශාන්ත පි‍්‍රයදර්ශන
ජුනි 10, 2021

 

මේ දවස්වල අපි ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන්. මම කියන්නේ අනිත් මිනිස්සු බොහොම සතුටින් ජීවත් වෙනවා කියලා නෙවෙයි. නමුත් වේදිකා නාට්‍ය ශිල්පියෝ විදිහට අපි මොන වසංගතය ආවත් පළමුව පීඩාවට පත්වෙනවා. කොරෝනා වසංගතයේ තෙවැනි රැල්ල ඇවිල්ලා රට වසා දමන්නට තීරණය කරද්දි අපිට මාස ගණනාවකට වේදිකා නාට්‍යය ෂෝස් ඇවිල්ල තිබුණේ. ඒ දර්ශනයකට සම්බන්ධ වුණොත් තමයි අපිට අත මිටට කියක් හරි හම්බවෙන්නේ. එහෙත් දැන් වෙලා තියෙන දේ බලන්නකෝ. මම විතරක් නෙමෙයි, වේදිකා නාට්‍ය ශිල්පියෝ සියල්ලම වගේ මේ තත්ත්වයට මුහුණ දෙනවා. ඔවුන් සියලු දෙනා වෙනුවෙන් තමයි මම මේ කතා කරන්නේ.

මෙහෙම සංවේගයෙන් කතාබහ ඇරැඹුවේ වේදිකා නාට්‍ය රංගන ශිල්පී ශාන්ත ප්‍රියදර්ශන. ඔහු ඔබ වඩාත් හඳුනන්නේ බන්ටි ළමයා කියන අනවර්ථ නාමයෙන්. වේදිකා නාට්‍ය පමණක් නොව ඔහු රූපවාහිනී නාට්‍ය ගණනාවකටද රංගනයෙන් දායක වුණා. විශේෂයෙන්ම ඔහු වඩාත් ජනප්‍රිය බන්ටි ළමයා නැමැති වේදිකාවේ රඟ දක්වන චරිතය නිසා. පාසල් දර්ශන වාර රැසක්ද ඔහු පැවැත්වූවා.

 

ශාන්ත වේදිකා නළුවෙක් විදිහට දැනෙන පීඩාව ගැන කතා කළොත්?

ඇත්තටම කියන්නෙ මම අර කලින් කිව්වා වගේ මාස ගණනාවකට අපිට වේදිකා නාට්‍ය ෂෝස් තිබුණා. අපි වගේ නළුවන්ට හැම නාට්‍යයකටම කතා කරන්නේ නෑනේ. හාස්‍යෝත්පාදක චරිත තිබුණොත් විතරයි අපිටත් කතා කරන්නේ. වේදිකා නාට්‍ය තිබුණු හින්දා ආර්ථික පැත්තෙන් ලොකු අපහසුතාවයකට පත් වුණේ නැහැ. නමුත් හදිසියේම මේ රට වසා දැමීම නිසා අපි ලොකු පීඩාවකට පත් වුණා. මම කියන්නේ රට වසා දැමීම අසාධාරණයි කියලා නෙවෙයි. නමුත් වේදිකා නාට්‍ය ශිල්පියෙක් විදිහට හෝ විශේෂයෙන්ම පොදුවේ ගත්තොත් කලාකරුවෝ විදිහට රජයෙන් මීට වැඩිය බලන්න ඕනේ කියලා මම කියනවා. මොකද මම විතරක් නෙමෙයි වේදිකා නාට්‍ය ශිල්පියෝ දහස් ගණනකට මේ වන විට රැකියාව අහිමි වෙලා තියෙනවා. ඉන් සමහර අය ඉතාම ජනප්‍රිය තැනැත්තෝ. ඔවුන්ට ගිහිල්ලා පන්දහසේ දීමනාව හෝ සහන බඩු මල්ලක් දෙන්න කියලා ඉල්ලීම් කරන්නට බැහැ. මම ඇතුළු ඔවුන් සියලු දෙනා මේ වෙලාවේ අසරණයි. අපි බොහෝ දෙනෙක් දරු පවුල්කාරයෝ. මටත් අවුරුදු දොළහක දුවෙක් ඉන්නවා. නිකම් හිතන්නකෝ ජොබ් එකක් නැති වුණාම මොන වගේ පාඩුවක්ද සිද්ධ වෙන්නේ කියලා. ඒ වගේ දෙයක් තමයි අපිට දැන් මේ වෙලා තියෙන්නේ.

ඔබ මෑතකදී ටෙලි නාට්‍යවලට රංගන දායකත්වය සැපයුවේ නැද්ද?

සමහර වෙලාවල්වලට වේදිකා නාට්‍ය රඟ දක්වන්න යන්න තියෙන නිසා අපි ටෙලි නාට්‍ය වැඩිපුර භාරගත්තේ නැහැ. නමුත් ඒවා අතෑරලා නෑ. ටෙලිනාට්‍යයේ රංගනයෙන් අපි හැකි පරිදි නියැළුණා. නමුත් වේදිකාව කියලා කියන්නේ සක්‍රීය කලාවක්. සජීවි කලාවක් නිසා එහි රැඳී සිටින්නටයි වැඩිපුරම කැමැත්ත තිබුණේ.

 

ඔබ මොන වගේ ඉල්ලීමක්ද මේ වෙලාවේ වගකිවයුත්තන්ගෙන් ඉල්ලනෙ?

ඇත්තටම රජයෙන් මොනවාහරි දෙයක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සියලු වේදිකා නාට්‍ය නළු නිළියන් වෙනුවෙන් මම මේ වෙලාවේ අපේම අයගෙන් යම් ඉල්ලීමක් කරන්නට කැමතියි.

 

ඒ මොකක්ද?

මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. වේදිකා නාට්‍ය නළුනිළියෝ මේ වනවිට ගෙවල්වලට වෙලා ඉන්නවා. ඔවුනට ටෙලිනාට්‍ය රංගනය සඳහා ආරාධනා කරන්න. මොකද ටෙලි නාට්‍ය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමෝපාය භාවිත කරමින් තවම රූගත කිරීම් කරනවා. අපව ටෙලිනාට්‍යවලට හරි ගත්තොත් අපිට යම්කිසි ආදායමක් ලැබෙනවා. ඒක මේ වෙලාවේ ලොකු සහනයක්. මම විතරක් නෙමෙයි මේ බහුතර වේදිකා නාට්‍ය නළු නිළියන්ගේ ඉල්ලීමත් ඒක තමයි.

 

කලාකරුවෙක් වීම ගැන දුකින්ද ඉන්නේ?

නැහැ. එහෙම දුකක් ගැන නෙමෙයි මම කතා කරන්නේ. පුළුවන් හැම වෙලාවෙම අපි මිනිස්සුන්ව පිනෙව්වා. බන්ටි ළමයා කියන චරිතය ගම් පළාත්වල ඉතාම ජනප්‍රියයි. මම ඒ නමින්යන ප්‍රසංගයකුත් මම අරගෙන ගියා. ඒ හැම දෙයක්ම කළේ ඒ මුදල් බලාපොරොත්තුවටත් වැඩිය ප්‍රේක්ෂකයින් පිනවීම උදෙසායි. ඉතින් මම හිතෙනවා කලාකරුවෝ විදිහට අපිට රජයෙන් හෝ විධිමත් වෙනත් ක්‍රමෝපායකින් විශ්‍රාම වැටුපක් ලැබුණ නම් ඒක වටිනවා.

මේ ශාන්තගේ දුරකථන අංකය 0772360566.