“ලොව කැරකෙන වේගෙන් යන්න හරි හයියෙන් අප ගෙනියන්න

ජුනි 3, 2021
ලෙරෝයි ජෝන්ස් හෙවත් අමීරි බරකා

ලාංකේය වේදිකා නාට්‍ය කලාවෙහි නිළි භූමිකා විමසීමේදී ප්‍රතිභාපූර්ණ යොවුන් නාට්‍යවේදී චාමික හත්ලහවත්තගේ නිර්මාණවල නිරූපිත ස්ත්‍රීත්වයෙහි විවිධ පැතිකඩද සිහියට නැඟේ. කොළඹ ආනන්ද විද්‍යාලයේ සිප් සතර හදාරා ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා විශේෂවේදී උපාධිය හදාරන සමයේ එහි අවසන් වසරේ පරීක්ෂණය සඳහා නිර්මාණය කළ “හයිනා” නාට්‍යයෙන් කලා ලොවට පිවිසිණ.චාමිකගේ කුලුඳුල් නාට්‍ය නිර්මාණය වූ “හයිනා” (2003), ඇමරිකානු නාට්‍යවේදී ලෙරෝයි ජෝන්ස් හෙවත් අමීරි බරකාගේ පළමු නාට්‍යය වූ "ච්භබජඩථචද"(1964) හී පරිවර්තනයකි.

ප්‍රවීණ නාට්‍යවේදී එස්.කරුණාරත්නයෝ මෙය සිංහලට නැඟූහ. මෑත භාගයේ වියෝවූ ඔහු නව පරපුරේ ප්‍රතිභාපූර්ණ නාට්‍යවේදීන් දිරිගන්වනු පිණිස ඔවුන් උදෙසා නිර්ලෝභීව විදෙස් නාට්‍ය කෘති රාශියක් පරිවර්තනය කොට දුන් බව මෙහිදී ගෞරවයෙන් සිහිපත් කළ යුතුය. එස්. කරුණාරත්නයන් එවක අංකුර නාට්‍යවේදියකු වූ චාමික හත්ලහවත්තගේ කුලුඳුල් නාට්‍යය උදෙසා “හයිනා” පිටපත පරිවර්තනය කොට දුන්නේ නොමිලයේ බව බොහෝදෙනා නොදනිති. ඔහු ප්‍රවීණ නාට්‍යවේදී බුද්ධික දමයන්තගේ නිර්මාණ සඳහාද (දවස තවම ගෙවුන් නෑ, බන්සි මැරිලා නැහැ, අපේ පන්ති කාමරේ, රැකවලා, පුංචි ආදර බලකිරීමක්, උතුරු කොනට පටු පාරක් යන නාට්‍ය) පිටපත් රැසක් පරිවර්තනය කොට දුන්නේය.

“හයිනා” නාට්‍යය 2004 දී ඉන්දියාවේ භාරත රංග මහෝත්සවය නියෝජනය කළ බැව් අපට අමතක නැත. හයිනා (ඩ්රඥදචඵ) යනු කරබානා වලසා, බලු දිවියා ලෙස නම්වලින් හැඳීන්වෙන මිනී කන සත්වයෙකි. මේ නාට්‍යයේ ප්‍රධාන ස්ත්‍රී භූමිකාව වූ ලූලා මේ සත්වයාට සාම්‍යය ගති පැවතුම් ඇති කෲර ගැහැනියකි. හයිනා යනු ඇය උදෙසා මෙහි භාවිත සංකේතාර්ථයකි. ලාංකේය වේදිකා නාට්‍ය ඉතිහාසයේ අභියෝගාත්මක ස්ත්‍රී භූමිකා අල්පයට “හයිනා” හී ලූලාද අයත් වූ බැව් පැවසීම අතිශයෝක්තියක් නොවේ.චාමික මේ භූමිකාව සඳහා පූර්වයෙහි තෝරා ගත් නිළියෝ රාශියක් මෙය රඟපෑම ප්‍රතික්ෂේප කළහ. අවසන චමිලා පිරිස් මේ අභියෝගාත්මක චරිතය රඟපෑමට කැමැත්ත පළ කළාය. එවර රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිළිය සම්මානයට ඇය මේ උදෙසා නිර්දේශ විය.

ලූලා කළු ජාතිකයන්ට දැඩි විරෝධතාවක් දක්වන සුදු ජාතික ගැහැනියකි. දුම්රියකදී ක්ලේ නමැති (ධර්මප්‍රිය ඩයස් රඟපෑ) කළු ජාතික නීග්‍රෝ තරුණයා ඇයට හමු වෙයි. ඇය තම සියලු මායම්, උපක්‍රම යොදා ලිංගිකව ඔහු ආකර්ෂණය කොට ගැනීමට වෙර දරන්නීය. ලූලාගේ ඇඳුම් පැලඳුම්, කතා බහ, ගමන් විලාසය, ඉසියුම් චර්යාවන් සංකේතවත් කරනුයේ ලිංගිකත්වය හැර අන් කුමක්ද ?.ඒ ඇය ක්ලේට ඇති ආදරය නිසා නොවේ. ඇයට අවැසි වනුයේ විසඹ රසයෙන් රවටා ඔහුගේ කළු ජාතික හැඟීම් ඉස්මතු කරමින් පසුව කෲර ලෙස මර්දනය කිරීමටය. ලූලා ඔහුට සිහින ලොවක් මවා දෙන්නීය. ඇය ඔහුට නිවසට ආරාධනා කරන කල්හී ඔහු මෛථුන්‍ය අපේක්ෂාවෙන් සිහින දකියි. ලූලා කළු ජාතික කවීන් අරභයාද ඔහුගේ අවධානය යොමු කරවයි. “හයිනා” නාට්‍යය නරඹන සහෘදයා හට හැරියට් බීචර් ස්ටෝව්ගේ "උදජතඥ ඊධථ'ඵ ජචඡඪද" නවකතාවද සිහිපත් වීම වැළැක්විය නොහැකිය. මෙලෙස ක්ලේගේ කළු ජාතික හැඟීම් උච්ච අවස්ථාවට පත් වූ කල්හි ඇය ඔහුට පිහියෙන් ඇන මරා දමයි. “හයිනා” නාට්‍යය සම්පූර්ණයෙන්ම කෝච්චි පෙට්ටියක් පසුතල කොට ගෙන විකාශනය වීම අපූර්ව අත්හදා බැලීමකි.එසේම මේ නාට්‍යය මුළුමනින්ම ලූලා සහ ක්ලේ යන චරිත ද්වය සංකේන්ද්‍ර කොට ගත්තකි. සෙසු චරිත හුදෙක් දුම්රියෙන් ගමන් ගන්නා මගීන් පමණකි. ඔවුහු බොහෝ විට නින්දේ සිටිති.හිටි ගමන් අවදි වී ගීත ගයා, නටා නැවතත් නින්දට යති. සමාජ, දේශපාලන ආර්ථික, සංස්කෘතික විෂමතා, විපර්යාස, විලම්බෑසි නොදුටුවාක් මෙන් නිද්‍රෝපගතව සිටින බහු ජනතාව නාට්‍යවේදියා මෙමඟින් සංකේතවත් නොකරයිද? ප්‍රදීප් චන්ද්‍රසිරි විසින් නිර්මාණය කරන ලද මේ නාට්‍යයේ දුම්රියක පසුතලය මෙලෙස ප්‍රාබල්‍යය සමාජ සංකේතයක් බවට පත් වේ. මේ පසුතලය වූ කලී වේදිකාව මත කෝච්චි පෙට්ටියක ස්වරූපයෙන් පුටු ස්වල්පයක් තබා සරල ලෙස තනාගත්තකි. පළමු ජවනිකාවේ දක්නා ලැබෙන කෝච්චි පෙට්ටියේ ස්වරූපය දෙවැනි ජවනිකාවේදී ප්‍රේක්ෂකයා අබිමුව දිස්වනුයේ වෙනත් දෘෂ්ටි කෝණයකිනි.

චමිලා පීරිස් සහ ධර්මප්‍රිය ඩයස්ගේ ශූර චරිත නිරූපණ මේ නාට්‍යයට විශාල ආලෝකයක් විය. ක්ලේගේ භූමිකාව උදෙසා ධර්මප්‍රිය එවර හොඳම නළුවා ලෙස රාජ්‍ය නාට්‍ය උලෙළේ දී සම්මානයට පාත්‍ර විය. නාමල් ජයසිංහගේ රංගවින්‍යාසයද (ඛ්ඩධපඥධඨපචනඩර) සහ තරුපති මුණසිංහගේ සංගීත අධ්‍යක්ෂණයද “හයිනා” හීදී කැපී පෙනිණ. මේ නිෂ්පාදනය කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ ප්‍රයත්නයකි.

එසේ වුවත් ඉන් පරිබාහිර ධර්මප්‍රිය ඩයස්, චමිලා පීරිස්, නාමල් ජයසිංහ ආදී ප්‍රතිභාපූර්ණ කලාකරුවන්ගේ දැනුම එවක අංකුර නාට්‍යවේදියකු වූ චාමිකගේ දැනුම, අත්දැකීම් මුවහත් කළ බැව් පෙනේ.

චාමිකගේ “හරි අපූරු දවසක්” (2008) යනු දිළිඳු පෙම්වතුන් යුවළක් (සරත් - ධර්මප්‍රිය ඩයස් සහ කුමුදු - රවිනි අනුරාධා පෙරේරා) රුපියල් 171.50 කින් එක් ඉරිදා දවසක් ගත කිරීමට ප්‍රයත්න දරන ආකාරය පාදක කොටගත් නාට්‍යයකි. ශ්‍රේෂ්ඨ ජපන් සිනමා කවි අකිර කුරොසව අධ්‍යක්ෂණය කළ "ර්‍ණදඥ ඹධදඤඥපටභත ඵභදඤචර"(1947) චිත්‍රපටයේ තිරපිටපත මහාචාර්ය ආරිය රාජකරුණා විසින් සිංහලට පරිවර්තනය කරන ලදි. චාමික එකී පරිවර්තනය ඇසුරෙන් ලියූ ස්වතන්ත්‍ර නාට්‍යයකි, “හරි අපූරු දවසක්”. එවර රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම වේදිකා නාට්‍යය ඇතුළු සම්මාන 8 කට මෙය පාත්‍ර විය. හොඳම නිළිය ලෙස රවිනි අනුරාධා පෙරේරා මේ උදෙසා සම්මාන ලැබුවාය. එපමණකුදු නොව 2009 ඊජිප්තුවේ කයිරෝ අන්තර්ජාතික නාට්‍ය උලෙළටත් 2011 නේපාලයේ කත්මන්දු අන්තර්ජාතික නාට්‍ය උලෙළටත් ලංකාව නියෝජනය කළ නාට්‍යයක් ලෙස මෙය සුවිශේෂ වේ.

සරත් සහ කුමුදු යන පෙම්වතුන් යුවළ මේ නාට්‍යයේ කේන්ද්‍රීය භුමිකාවෝ වෙත්. සරත් මුලින් සංගීත කණ්ඩායමක ගිටාර් වාදකයෙකි. පසුව ඔහු හමුදා සේවයට එක් වේ.නොයෙක් ජවනිකාවල දක්නට ලැබෙන සෙසු චරිත එතරම් මෙහි ඉස්මතු නොවීම විශේෂත්වයකි. එහෙත් කාලය හා අවකාශය විදාරණය කරනු පිණිස මේ සුළු චරිත ඉටු කරන මෙහෙවර සුළු පටු නැත. ඔවුන් හරහා මේ පෙම්වතුන් එක තැනක මන්දගාමීව තනි කොට කාලයේ වේගවත් ගලා යෑම නාට්‍යවේදියා ධ්වනිත කරන අයුරු දැක්ක හැකිය. අන්‍යයන්ට දින ගණනාවක් ගත වුවත් මේ පෙම්වතුන්ගේ කාලය එකතැන නැවතී ඇති සෙයකි. සුළු මුදලක් අතෙහි තබා ගෙන මේ පෙම්වතුන් ජීවිතය ව්ඳීමට මේ දවසෙහි වෙර දරන අයුරු දක්නට ලැබේ. වරෙක ඔවුහු ලොතරැයි දිනුමක් උරගා බලති ; කෙදිනක හෝ විවාහයෙන් පසුව පදිංචි වීමට සුදුසු නිවහනක් සොයා යති. සංගීත සන්දර්ශනයක් නැරැඹීමට විටෙක උත්සාහ දරා පසුව සරත් තම ගිටාරය වයමින් ගීතයක් ගයමින් ඇය හා හුදෙකලා වින්දනයක් ලබනු පෙනේ. ඔහු තම පෙම්වතිය කැඳවාගෙන නිවෙසට ගියත් එහි ඇත්තේ කුඩා කාමරයක් පමණි. වරෙක ඔවුහු සතුන් වත්තට යති. එහි උද්ධමනයක් නොමැති හෙයින් සැබැවින්ම සතුටින් සිටිනුයේ සතුන් පමණකැයි ඔවුහු සිතති. සරත් තම අතීත මිතුරකුට අයත් හෝටලයකට ඇය සමඟ ගොඩවැදුණත් මේ මිතුරා සැඟවී ඔවුන් මඟ හරින බැව් පෙනේ. කාලය සහ මුදල් මිතුරු සම්බන්ධතා වෙනස් කොට ඇති සේය. මේ නාට්‍යය දෙස විමංසනාක්ෂිය හෙළීමේදී මෑත භාගයේ තිරගත වූ , ශමීර රංගන නාඔටුන්න අධ්‍යක්ෂණය කළ “මෝටර් බයිසිකල්” (2016) චිත්‍රපටය මා හට සිහිපත් විය. මේ චිත්‍රපටයේ අවසාන ඛේදජනක දර්ශනය හැර බොහෝ සිදුවීම් අතර සාම්‍යයක් නාට්‍යයේත් චිත්‍රපටයේත් දක්නට ලැබීම මීට හේතුව වේ. යොවුන් සිනමාවේදී ශමීර රංගන නාඔටුන්න හට “මෝටර් බයිසිකල්” චිත්‍රපටය නිර්මාණයේදී චාමිකගේ “හරි අපූරු දවසක්” (2008) නාට්‍යයේ හෝ මේ නාට්‍යයට පාදක වූ අකිර කුරොසවගේ "ර්‍ණදඥ ඹධදඤඥපටභත ඵභදඤචර"(1947) චිත්‍රපටයේ හෝ අභාසයක් ලැබී ඇතැයි මම සිතමි.

“හරි අපූරු දවසක්” නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය බුද්ධික රුඩ්රිගු ගෙනි. ධනේශ්වර අර්ථ ක්‍රමයක් තුළ නිර්ධන පන්තියේ පෙම්වතුන් යුවළකගේ ප්‍රේමයේ අපේක්ෂා ඵල දැරීමේ අවිනිශ්චිත බව මේ නාට්‍යයෙන් ඉඟි කෙරේ.මෙහි තේමාව මැනවින් හකුළා දැක්වූ ගීතයක් “හරි අපූරු දවසක්” නාට්‍යයට අන්තර්ගත විය. සරත් (ධර්මප්‍රිය ඩයස්) ගිටාරය වයමින් ගයන මේ ගීතය චාමික හත්ලහවත්තගේම පබැඳුමකි.

 

“මන්ද මන්දගාමී මන්ද

අන්ද මන්ද වී අපි ඉන්ද

සින්ඳ බින්ඳ දුක් ගිනි කන්ද

යන්ද අපේ පැතුමට යන්ද

 

බඩුමිල පරදා යන්න

ඩොලරය තළලා කුඩුවෙන්න

ලොව කැරකෙන වේගෙන්යන්න

හරි හයියෙන් අප ගෙනියන්න”

 

 

ඉතිරි කොටස ලබන සතියේ...