නම්බුකාර ලිසී සහ අත්තනෝමතික බර්නාඩා

මැයි 27, 2021
“බර්නාඩාගේ සිපිරිගෙය” නාට්‍යයේ  කෞශල්‍යා ප්‍රනාන්දු සහ දුලීකා මාරපන

 

 

කලකට ඉහත මම ආචාර්ය හෙන්රි ජයසේනයන් සමඟ සංලාපයෙහි නියැළී සිළුමිණ පුවත්පතට ලිපියක් ලීවෙමි.2009 මැයි 10 වැනිදා එය පළ විය. එහිදී තරුණ පරපුරේ ප්‍රතිභාපූර්ණ නාට්‍යවේදීන් පිළිබඳවත් ඔවුන්ගේ නිර්මාණ අරභයාත් ඔහු මා සමඟ සිහිපත් කළේය. රුවිනි මනම්පේරිගේ “නම්බුකාර විලාසිනිය” නාට්‍යයත් චාමික හත්ලහවත්තගේ “හරි අපූරු දවසක්” නාට්‍යයත් ආචාර්ය හෙන්රි ජයසේනයෝ ඇගැයුමට ලක් කළහ. ඔහු දිවමන් සමයේ “හුණුවටයේ කතාව” නව නිෂ්පාදනය සඳහා සැන්ටින් ගුණවර්ධන රඟපෑ සයිමන් සෂාවාගේ චරිතයට චාමික හත්ලහවත්තත් මානෙල් ජයසේන රඟපෑ ගෲෂාගේ චරිතය උදෙසා රුවිනි මනම්පේරිත් තෝරා ගත් බැව් මෙහිදී අමතක කළ නොහැකිය. ඔවුහු මේ ජනකාන්ත භූමිකාවන්ට ස්වීය අනන්‍යතාව එක් කරමින් නව අර්ථයක් ගෙන දීමට වෙර දැරූහ.

කෞශල්‍යා රඟපෑ භූමිකා අතර “නම්බුකාර විලාසිනිය” (2003) හි ලිසීද සන්ධිස්ථානයකි. මේ වූ කලී ප්‍රංශ ජාතික ෂාන් පෝල් සාත්‍රේගේ "ඊඩඥ අඥඵනඥජබටභත ර්‍ථපධඵබඪබභබඥ"(1946) නාට්‍යයෙහි පරිවර්තනයකි. දිගු කලකට ඉහත ආචාර්ය උදය මල්ලවආරච්චි “නම්බුකාර අබිසරුලිය” ලෙසින් මේ නාට්‍යය සිංහල බසට පරිවර්තනය කොට ග්‍රන්ථයක් පළ කළේය. රුවිනි මනම්පේරි ඒ පරිවර්තන පිටපත ඔස්සේ මේ නාට්‍යය අධ්‍යක්ෂණය කිරීමට මුලින් උත්සුක වූවත් ආචාර්ය උදය මල්ලවආරච්චි ඊට කැමැත්ත පළ කළේ නැත. පසුව සාත්‍රේගේ මුල් කෘතිය ඇසුරෙන් ප්‍රවීණ නාට්‍යවේදී නාමෙල් වීරමුනි පරිවර්තනය කළ පිටපත ඇයගේ "නම්බුකාර විලාසිනිය" ට පාදක විය. පන්ති, වර්ණ භේදවලින් හිස උදුම්මවා ගත් ධනවාදී අර්ථ ක්‍රමයක ජීවත්වන මිනිසුන්ගේ ගැහැටවලට ලක්වන අහිංසක මිනිසුන්ගේ ව්‍යසනය මේ නාට්‍යය ඔස්සේ සූචනය කෙරිණ. සමාජයේ සංස්කෘතික වටිනාකම්, සාරධර්ම ධනවාදී රකුසාට බිලිවන කල්හී කෙතරම් සාධාරණ ලෙස, යහපත් ලෙස ජීවත් වන්නට, ජීවිතය විඳීන්නට වෙර දැරූවත් ඒවා බිඳවැටෙන අයුරු මින් නිරූපණය විය. ජීවිතයේ විවිධ හැලහැප්පීම්වලට ලක් වෙමින් ඛේදවාචකයන්ට මුහුණ පාන ලිසී නම් වූ අබිසරුලියගේ භූමිකාව කෞශල්‍යා මෙහිදී මැනවින් රූපණය කළාය. මේ වූ කලී පුරුෂ චරිත රාශියක් මැදි කොට ගත් එකම ස්ත්‍රී භූමිකාව විය.

කෞශල්‍යා ප්‍රනාන්දු (ලිසී), සංජීව උපේන්ද්‍ර (කල්ලා), අතුල පතිරණ (ෆ්‍රෙඩී), ගිහාන් ප්‍රනාන්දු (සෙනටර්), ධර්මප්‍රිය ඩයස් (ජෝන්), තුමිඳු දොඩන්තැන්න, සම්පත් පෙරේරා, ටෙනිසන් දසනායක (පිරිස) යනාදීහු මෙහි රංගනයෙන් දායක වූහ. වේශ නිරූපණය ප්‍රියන්ත සිරිකුමාරගෙනි.රුවිනි මනම්පේරි සහ සංජීව උපේන්ද්‍ර පසුතල නිර්මාණය කළහ.රුවිනි මනම්පේරි නිපදවා අධ්‍යක්ෂණය කළ “නම්බුකාර විලාසිනිය” නාට්‍යය උදෙසා රාජ්‍ය නාට්‍ය උලෙළේ සම්මාන රැසක් (හොඳම නිළිය ලෙස කෞශල්‍යා ප්‍රනාන්දු ,හොඳම සහාය නළුවා ලෙස ගිහාන් ප්‍රනාන්දු, හොඳම පරිවර්තක ලෙස නාමෙල් වීරමුනි, හොඳම අංග රචක ලෙස ප්‍රියන්ත සිරිකුමාර,රංග කුසලතා උදෙසා සංජීව උපේන්ද්‍ර, හොඳම වස්ත්‍ර නිර්මාණය සඳහා රුවිනි මනම්පේරි, හොඳම අධ්‍යක්ෂණයට ජූරියේ විශේෂ සම්මානය රුවිනි මනම්පේරි) හිමි විය. එසේම ස්වකීය පළමු නාට්‍ය නිර්මාණය රාජ්‍ය නාට්‍ය උලෙළේ අවසානයට තෝරා පත් වීම වෙනුවෙන් ජූරියේ විශේෂ ඇගැයුම් සම්මානයක්ද රුවිනි මනම්පේරිට ලැබිණ.

 

ප්‍රියන්ත සිරිකුමාර 

ෂාන් පෝල් සත්‍රේගේ "ඊඩඥ අඥඵනඥජබටභත ර්‍ථපධඵබඪබභබඥ" ඇසුරෙන් මින් ඉහත නීතිඥ ඩග්ලස් සිරිවර්ධනයන් "සුභ සැන්දෑවක්" (1982) නාට්‍යය අධ්‍යක්ෂණය කළ අතර මවිසින් ලියනු ලබන මේ ලිපි පෙළෙහි එක් ලිපියක ඒ නාට්‍යය අරභයා කලින් විග්‍රහ කළ බව සහෘද ඔබට මතක ඇත.“සුභ සැන්දෑවක්” හි රත්නා ලාලනී ජයකොඩි සහ “නම්බුකාර විලාසිනිය” හී කෞශල්‍යා ප්‍රනාන්දු ලිසීගේ එකම භුමිකාව නිරූපණය කළ ආකාරය අධ්‍යයනය කිරීම නාට්‍ය හා රංග කලාව හදාරන විද්‍යාර්ථීන්ට අතිශයින් වැදගත් බැව් මම හඟිමි. එකිනෙකට වෙනස් අනන්‍යතාවලින් හෙබි දක්ෂ රූපණවේදීනීන් එකම චරිතයකට ලබාදුන් අර්ථකථන පිළිබඳ තුලනාත්මක අවබෝධයක් විද්‍යාර්ථීන්ට ඉන් ලැබේ. ලිසීගේ භූමිකාවේ පෙරදිග ස්ත්‍රීත්වය රත්නාගෙනුත් අපරදිග ස්ත්‍රීත්වය කෞශල්‍යාගෙනුත් සූචනය වූ හයි මම සිතමි.

ස්පාඤ්ඤ ජාතික ෆෙඩ්රිකෝ ගාර්ෂියා ලෝකාගේ "ඊඩඥ ඩ්ධභඵඥ ධට ඕඥපදචඤච ඒතඡච"(1945) නම් වූ සුප්‍රකට නාට්‍ය කෘතිය ඇසුරෙන් ප්‍රියන්ත සිරිකුමාර අධ්‍යක්ෂණය කළ “බර්නාඩාගේ සිපිරිගෙය” (2011) හී 60 හැවිරිදි බර්නාඩා ඇල්බාගේ භුමිකාව කෞශල්‍යාගේ රූපණ අතර අමතක කළ හැකි වනුයේ කවරකුටද ? දිගු කලකට පෙර මහාචාර්ය රංජිනි ඔබේසේකර විසින් පරිවර්තනය කරන ලදුව ඉංග්‍රීසි භාෂාවෙන් නිෂ්පාදිත නාට්‍ය පිටපත මේ උදෙසා ඉවහල් වූ බැව් පෙනේ. "ඕතධධඤ ඹඥඤඤඪදඨ" , "රඥපථච" සහ "ඊඩඥ ඩ්ධභඵඥ ධට ඕඥපදචඤච ඒතඡච" ඈ නාට්‍ය ෆෙඩ්රිකෝ ගාර්ෂියා ලෝකා විසින් ස්පාඤ්ඤ ග්‍රාමීය ජන ජීවිතය අරභයා නිර්මාණය කරන ලද නාට්‍ය ත්‍රිත්වයක් ලෙස බොහෝ බටහිර විචාරකයෝ සලකති. කෞශල්‍යා ප්‍රනාන්දු, චාන්දනී සෙනෙවිරත්න,චමිලා පීරිස්, දුලීකා මාරපන, නදී කම්මැල්ලවීර, මල්කාන්ති ජයසිංහ, සමාධි ලක්සිරි, වත්සලා රණසිංහ, නිල්මිණි බුවනෙක, යමුනා වීරසූරිය, සුදර්ශනී හැලනිගම යනාදීහු මෙහි රංගනයෙන් දායක වූහ. මේ වූ කලී මුළුමනින්ම ස්ත්‍රී භූමිකාවන්ගෙන් සුසැදි නාට්‍යයකි. එහෙත් ගාර්ෂියා ලෝකා මේ සියල්ලන් පුරුෂාධිපත්‍යයෙහි දැවැන්ත සෙවණැල්ලට නතු වූ ස්ත්‍රීන් බැව් ව්‍යංග්‍යාර්ථයෙන් අපට ඉඟි නොකරයිද ? අනෙක් අතට ස්ත්‍රීන්ට පරම බලය හිමි වූ කල් හී ඇය කෙසේ ක්‍රියා කරනු ඇත්දැයි බර්නාඩාගේ චර්යාවන් දෙස විමංසනාක්ෂියෙන් සහෘදයාට පසක් වේ.්‍

විවාහ දෙකකින් තමන්ට ලැබුණු දියණියන් පස්දෙනෙකු දරදඬු ලෙස පාලනය කරන බර්නාඩා ඇල්බා නම් වූ මහලු මවගේ භූමිකාව කෞශල්‍යා මෙහි නිරූපණය කළාය. පළමු සැමියාට දාව ඇයට ලැබුණේ වැඩිමහල් දියණිය අන්ගුස්තියස් (චාන්දනී සෙනෙවිරත්න) පමණි.දෙවැනි සැමියාට දාව ඇයට ලැබුණු දියණියෝ සිව්දෙනෙකි (මග්දලේනා - නිල්මිණි බුවනෙක,මාර්ටිරියෝ -චමිලා පීරිස්, එමිලා - -සමාධි ලක්සිරි සහ ඇඩෙලා - නදී කම්මැල්ලවීර). මේ දියණියෝ වයස අවුරුදු 20 සිට 39 දක්වා වයස්වලට අයත් වෙති. පළමු සැමියා තම දියණියට ප්‍රමාණවත් ධනයක් ඉතිරි කොට තබා මියගියේය.එහෙත් දෙවැනි සැමියාගෙන් සෙසු දියණියන්ට ඉතිරි වූ දෙයක් නැත.දියණියන් අතර ගැටුම්, ඊර්ෂ්‍යාව, ප්‍රේමය , අසහනය වඩාත් තීව්‍ර වනුයේ මවගේ දරදඬු, අත්තනෝමතික ගෘහ පාලනය, දැඩි ප්‍රතිපත්ති, පිළිවෙත්,නීති රීති, ආගමික මතවාද හේතු කොට ගෙනය. තම මව බර්නාඩා ඇල්බාගේ නිවස දියණිවරුන්ට සිපිරිගෙයක් වනුයේ එහෙයිනි. ඇය තම දෙවැනි සැමියාගේ මරණය හේතු කොට වසර 8 ක ශෝක කාලයක් නිවසේ සිය දියණියන්ට පනවන්නීය.මේ කාලය තුළ බාහිර සමාජ සම්බන්ධතා මුළුමනින්ම ඔවුන්ට තහනම් වේ. බර්නාඩාගේ මහලු මව මාරියා ජෝසප් (මල්කාන්ති ජයසිංහ) සහ නිවසේ ගෘහ සේවිකාව වූ පොන්ෂියාගේ (දුලීකා මාරපන) භුමිකාද මෙහිදී කැපී පෙනේ. පොන්ෂියාගේ චරිතය ශුර ලෙස රඟපෑ දුලීකා මාරපන එවර රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම සහාය නිළිය ලෙසින් සම්මානයට පාත්‍ර වූවාය. එපමණකුදු නොව එහිදී හොඳම අධ්‍යක්ෂණය (ප්‍රියන්ත සිරිකුමාර) හොඳම නිෂ්පාදනය (ප්‍රියන්ත සිරිකුමාර), හොඳම පසුතල නිර්මාණය (නුවන් සනුරංග),හොඳම ආලෝකකරණය (රංග සමරකෝන්),හොඳම නිෂ්පාදන කළමනාකරණය (අරුණ සංජය) යනාදී සම්මාන රාශියක් "බර්නාඩාගේ සිපිරිගෙය" නාට්‍යයට හිමි විය.

ගාර්ෂියා ලෝකාගේ අවසන් නාට්‍යය ලෙස 1936 ජූනි 19 වැනිදා මෙය ලියා නිම කළේ ස්පාඤ්ඤ සිවිල් යුද සමයේ ඔහු ඝාතනයට ලක් වීමට මාස දෙකකට ඉහතදීය. ඔහු මේ නාට්‍යය හැඳීන්වූයේ ස්පාඤ්ඤයේ ගම්මානවල ස්ත්‍රීන්ගේ නාට්‍යය (ච්පචථච ධට ඹධථඥද ඪද බඩඥ මඪතතචඨඥඵ ධට ඉනචඪද) ලෙසිනි. ෆෙඩ්රිකෝ ගාර්ෂියා ලෝකා ස්ත්‍රීත්වය අරභයා හෙළූ සානුකම්පිත , මානවහිතවාදී ජීවන දෘෂ්ටිය සියුම් හුයක් සේ ඔහුගේ සමස්ත නාට්‍ය කෘති සේවනයෙන් සහෘදයාට සූචනය වේ.

 

ඉතිරි කොටස ලබන සතියේ...