“නොදැන කළ වරදටත් මගෙන් සමාවක් නැත”

මැයි 20, 2021
“සඳ ළඟ මරණය” නාට්‍යයෙන්

 

"සඳ ළඟ මරණය" (2005) කෞශල්‍යා මුල්වරට අධ්‍යක්ෂණය කළ නාට්‍යය වේ. මේ වූ කලී ස්පාඤ්ඤ ජාතික සුප්‍රකට නාට්‍යවේදී ෆෙඩ්රිකෝ ගාර්ෂියා ලෝකාගේ "ඕතධධඤ ඹඥඤඤඪදඨ"(1933) නම් වූ ශෝකෝත්පාදක නාට්‍යයෙහි පරිවර්තනයකි. කෞශල්‍යා ප්‍රනාන්දු සහ නදී කම්මැල්ලවීර මේ නාට්‍යය සිංහල බසට නැඟූහ. මුල් කෘතිය පරිවර්තනයේදී වැඩි කාර්යභාරය කෞශල්‍යාගෙන් ඉටු වූ අතර එය මෙරට සමාජයට ඖචිත්‍යපූර්වක ලෙස අනුවර්තනය කරනු වස් බහුලව භාවිත වූ ගීත නදීගේ පරිවර්තන වේ.

මිනිස් ඝාතන, වෛරය, පවුල් අතර පළිගැනීම්, ප්‍රචණ්ඩත්වය, ප්‍රේමය, විප්‍රලම්භ ශෘංගාරය, පලා යෑම්, සංයෝගය, වියෝගය ආදියෙන් සුසැදි ශෝකෝත්පාදක නාට්‍යයක් ලෙස මෙය කැපී පෙනිණ. මනාලියගේ මුල් පෙම්වතා වූ ලෙනාර්ඩෝ සහ මනාලයා එකිනෙකාට වෙඩිතබා ගෙන මියයෑමත් මනාලිය ලේ වැකුණු මංගල ඇඳුමෙන් සැරසී පැමිණීමත් "සඳ ළඟ මරණය" හි කූටප්‍රාප්තිය සනිටුහන් කළ ජවනිකාව විය. කෞශල්‍යාට තම මව සෝමලතා සුබසිංහ අධ්‍යක්ෂණය කිරීමේ අවස්ථාව මේ නාට්‍යය ඔස්සේ හිමි විය. "සඳ ළඟ මරණය" මුල් නිෂ්පාදනයේ කෞශල්‍යා රංගනයෙන් දායක නොවූ අතර මෙහි ප්‍රමුඛ චරිතය වූ මවගේ භූමිකාව සෝමලතා සුබසිංහ රූපණය කළාය. ඇය අවසන් වරට රංගනයෙන් දායක වූ නාට්‍යය ලෙසද මෙය සැලකිය හැකිය. සෝමලතා සුබසිංහ සිරිමතියගේ අභාවයෙන් පසු මේ මවගේ භුමිකාව කෞශල්‍යා නිරූපණය කළාය. ඇය අධ්‍යක්ෂණය කරමින් රංගනයෙන්ද දායක වූ නාට්‍යයක් ලෙසද "සඳ ළඟ මරණය" සුවිශේෂිතය.

සෝමලතා සුබසිංහ/කෞශල්‍යා ප්‍රනාන්දු (මව), චමිලා පීරිස් (මනාලිය), ප්‍රසන්න මහගමගේ/ මයුර කාංචන (මනාලයා), විශ්වජිත් ගුණසේකර (ලෙනාර්ඩෝ), ලක්මිණි සෙනෙවිරත්න (මෙහෙකාර ගැහැනිය), නදී කම්මැල්ලවීර (ලෙනාර්ඩෝගේ බිරිඳ), ශාමේන් ගුණරත්න (නැන්දම්මා), ලූෂන් බුලත්සිංහල (මනාලියගේ පියා), චම්පිකා කන්නන්ගර (අසල්වැසි කාන්තාව), සුරේෂ් ප්‍රනාන්දු (සඳ), නයෝමි ගුණසිරි (මරණය) ඇතුළු නළු, නිළියන් මෙහි රංගනයෙන් දායක වූ අතර රංග වින්‍යාසය හා සහාය අධ්‍යක්ෂණය චන්දන අලුත්ගේගෙනි.

ෆෙඩ්රිකෝ ගාර්ෂියා ලෝකාගේ නාට්‍ය රැසකින් ලාංකේය වේදිකාව ආලෝකවත් විය. ගුණසේන ගලප්පත්තිගේ "මූදු පුත්තු" , මහාචාර්ය රංජිනී ඔබේසේකරගේ "ඊඩඥ ඩ්ධභඵඥ ධට ඕඥපදචඤච ඒතඡච", ලලිතා සරච්චන්ද්‍රගේ "යෙර්මා", කෞශල්‍යා ප්‍රනාන්දුගේ "සඳ ළඟ මරණය", ප්‍රියංකර රත්නායකගේ "බර්නාදාගේ සිරගෙය", ප්‍රියන්ත සිරිකුමාරගේ "බර්නාඩාගේ සිපිරිගෙය" යනාදී නාට්‍යයෝ මීට දෘෂ්ටාන්තයෝ වෙත්.

"බොරුවෙන් සහ වේදනාවෙන් පිරුණු වේදිකාවට භක්තියෙන් සහ ආදරයෙන් ගොඩවන්න.....ගොඩවී ප්‍රේමය, දයාව, පරිත්‍යාගය ප්‍රචලිත කරන්න....." යනු ෆෙඩ්රිකෝ ගාර්ෂියා ලෝකාගේ අගනා කියුමකි.

ලොව ශ්‍රේෂ්ඨ නාට්‍යවේදීන් සිව් දෙනෙකු සිටින බැව් බොහෝ විචාරකයෝ පිළිගනිති.එනම් සොෆර්ක්ලීස්, යුරිපිඩීස්, විලියම් ශේක්ෂ්පියර් සහ නූතන යුගයේ හෙන්රික් ඉබ්සන්. එයිනුදු නෝර්වීජියානු නාට්‍යවේදී ඉබ්සන් වැදගත් වනුයේ මනුෂ්‍යත්වය පිළිබඳවත්, සමාජ ප්‍රශ්න පිළිබඳවත් සංවේදී මනසකින් අපූර්ව විවරණ රැගත් නාට්‍ය රචනා කළ විශිෂ්ට නාට්‍යවේදියකු වූ බැවිනි. ඉබ්සන්ගේ නාට්‍ය කෘතිවල දක්නා ලැබෙනුයේ කාව්‍යාත්මක මානව ගුණයකි. ස්ත්‍රීත්වය අරභයා සානුකම්පිත දෘෂ්ටියක් ඔහුගේ බොහෝ නිර්මාණවලින් ප්‍රකට වි‍ය. අවශේෂ නාට්‍යවේදීන්ගේ කෘති හා තුලනය කළ කල්හි ඉබ්සන්ගේ නාට්‍ය වඩාත් සංකීර්ණ බවත් පරිවර්තනය දුෂ්කර බවත් බොහෝ නාට්‍යවේදීන් හා විචාරකයන් දරන්නා වූ මතවාදයකි. ඊට හේතුව ඔහුගේ කෘතිවල ගැබ් වන ගැඹුරු, සංකීර්ණ ජීවන දර්ශනය බැව් පෙනේ. අනෙක් අතට බාහිර ක්‍රියාකාරකම්වලට වඩා ආධ්‍යාත්මික ලක්ෂණවලට නැඹුරු වූ චරිත බහුලව ඒවා හි දක්නා ලැබීමය. ස්වභාවධර්මය, මනුෂ්‍ය සබඳතා, මිථ්‍යාව ඔහුගේ නිර්මාණවල ආත්මය බවට පත් විය.

ඉබ්සන්ගේ නාට්‍ය කෘති රාශියක් සිංහල බසට නැඟිණ. ඔහුගේ "ච්ධතත'ඵ ඩ්ධභඵඥ" මහාචාර්ය ගණනාථ ඔබේසේකර සහ ආචාර්ය අමරදාස වීරසිංහ "සෙල්ලම් ගෙය" ලෙස පරිවර්තනය කළහ. "ඩ්ඥඤඤච ඨචඡතඥප" මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර පරිවර්තනය කොට "ගැහැනියක්" (1965) මැයෙන් අධ්‍යක්ෂණය කළේය. ඉබ්සන් ශත සංවත්සරය වෙනුවෙන් පකිස්ථානයේ පැවැති ලාහෝර් නාට්‍ය උත්සවයට ඉදිරිපත් කරනු පිණිස, නාමෙල් වීරමුනි "ගින්නයි ආදරයයි" (2006) ලෙස අනුවර්තනය කොට අධ්‍යක්ෂණය කළේද "ඩ්ඥඤඤච ඨචඡතඥප"ය. ඉබ්සන්ගේ "ඊඩඥ ඹ්චඤර ටපධථ බඩඥ ඵඥච" මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රගේ අධ්‍යක්ෂණයෙන් "සයුරෙන් ආ ළඳ" (1966) බවට පත් වූ අතර බුද්ධික දමයන්ත "වෙස්මුහුණු" (2007) නාට්‍යය නිර්මාණය කළේ "ට්ඩධඵබඵ" ඇසුරෙනි. "ඒද ඥදඥථර ධට බඩඥ නඥධනතඥ" (1882) ඉබ්සන්ගේ පතිකෘතියකි (ර්චඵබඥපනඪඥජඥ). මෙය පරිවර්තනය කොට මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර "ජනහතුරා"(1976) නාට්‍යය අධ්‍යක්ෂණය කළේය. ඉබ්සන්ගේ සෙසු නාට්‍ය කෘතිවලටත් වඩා මේ නාට්‍යය වෙනත් බසකට නංවා නිර්මාණය කිරීම දෙස් විදෙස් සියලු නිර්මාණවේදීන්ට අභියෝගයක් වූ බැව් පෙනේ.‍ ඊට හේතුව මුල් කෘතියෙහි දැක්වෙන සංකීර්ණ,ආධ්‍යාත්මික මානය කිසිදු පරිවර්තනයකට හසු නොවීමය. මේ ඇසුරෙන් "ට්චදචඵඩචබඩපභ" (1989) සිනමා කෘතිය තැනූ මහා සිනමාකරු සත්‍යජිත් රේද මේ අභියෝගයට මුහුණ පෑවේය. මහාචාර්ය ආරියරත්න ඇතුගල "රම්‍ය නගරය"(1994) ටෙලි නාට්‍යය නිර්මාණය කළේද මේ නාට්‍යය පාදක කොට ගෙනය. මෙරට ඉංග්‍රීසි වේදිකාව එකලු කළ ආචාර්ය ලක්ෂ්මන් ප්‍රනාන්දු එහි වෛද්‍ය තෝමස් ස්ටොක්මාන්ගේ භූමිකාව මැනවින් නිරූපණය කළ ආකාරය මට අමතක නොවේ. ඉබ්සන්ගේ මේ කෘතිය අනුවර්තනය කොට ප්‍රවීණ නාට්‍යවේදී නාමෙල් වීරමුනි "මුංගෙන් අං" (2003) නාට්‍යය නිර්මාණය කළ අතර කොළඹ නගරයේ කැළි කසළ ප්‍රශ්නයත් ලබුගම ජලාශයත් ඔහු අනුවර්තනයේදී මෙයට ආබද්ධ කොට ගත්තේය.

"ඒද ඥදඥථර ධට බඩඥ නඥධනතඥ" ඇසුරෙන් කෞශල්‍යා ප්‍රනාන්දු "ර්චඵඵක්" (2013) නාට්‍යය අධ්‍යක්ෂණය කළේය. මෙය සෝමලතා සුබසිංහගේ ළමා හා යොවුන් නාට්‍ය පදනමේ නිෂ්පාදනයකි. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රගේ පරිවර්තනය සහ පීටර් වොට්ස්ගේ "ඒද ඥදඥථර ධට බඩඥ නඥධනතඥ" ඉංග්‍රීසි පරිවර්තනය ඇසුරෙන් කෞශල්‍යා ප්‍රනාන්දු සහ කනිෂ්ක ප්‍රනාන්දු මේ පිටපත සංස්කරණය කළහ. සෝමලතා සුබසිංහ නාට්‍ය පදනම පැවැත්වූ සිව් මසක ඩිප්ලෝමා පාඨමාලාව අවසානයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අභ්‍යාසයක් ලෙස මේ නාට්‍යය නිර්මාණය කෙරිණ. රඟපෑම් මතු නොව පසුතල නිර්මාණය, ඇඳුම් නිර්මාණය, රංග භාණ්ඩ, ප්‍රචාරක කටයුතු මෙහිදී විද්‍යාර්ථීහු ආධුනික බවක් නොපෙන්වා මැනවින් ඉටු කළහ. කෞශල්‍යා මෙහි රංගනයෙන් දායක නොවුණි.

ශානක ප්‍රනාන්දු (වෛද්‍ය තෝමස් ස්ටොක්මාන්), පූජන දන්දෙණිය /කනිෂ්ක ප්‍රනාන්දු (හව්ස්ටඩ්), විමුක්ති කිරිඇල්ල / බුද්ධික එදිරිසිංහ (පීටර් ස්ටොක්මාන්),කුමුදුනී වික්‍රමතන්ත්‍රී/ යශෝධා රසඳුනි (ස්ටොක්මාන් මහත්මිය), ගීතා අලහකෝන් /තිලක්ෂිණි රත්නායක/ගීත් රත්නායක (පෙට්‍රා), මේඝ කොළඹගේ (බිලින්ග්), චාමර ගම්ඇතිගේ (ඇසලැක්සන්), රොහාන් විජේතුංග (කැප්ටන් හෝස්ටර්),විමුක්ති කිරිඇල්ල/ බුද්ධික එදිරිසිංහ (මෝර්ටන් කීල්) ඇතුළු නළු, නිළියන් මෙහි රංගනයෙන් දායක වූ අතර සහාය අධ්‍යක්ෂණය කනිෂ්ක ප්‍රනාන්දුගෙනි ; ආලෝකකරණය චන්දන අලුත්ගේගෙනි. කෞශල්‍යා මේ නාට්‍යය පුද කළේ තම ආදරණීය පියාණන් වූ, කීර්තිමත් පරිපාලන නිලධාරියකු වූ , ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපතිවරයකු වූ , රංගන ශිල්පියකු ලෙසද ඉඳහිට කැපී පෙනුණු ('මනමේ' නාට්‍යයේ සහ 'තිලක හා තිලකා' චිත්‍රපටයේ) ලයනල් ප්‍රනාන්දු මහතා වෙත ගෞරවයෙනි. මේ වූ කලී ඔහුගේ සමාජ මෙහෙවර උසස් ලෙස අගයනු පිණිස දියණියකගේ අනර්ඝ සම්ප්‍රදානයකි.

මෙකී නාට්‍යයෙහි තෝමස් ස්ටොක්මාන් නමැති වෛද්‍යවරයා සියලු බාධක, අභියෝග හමුවේ පොදු ජනතාවට පොදු පහසුකම් පිළිබඳ යථාර්ථය වටහා දෙන්නටත් ඔවුන් එමඟින් දැනුම්වත් කොට නගරයේ පොකුණුවල ජලය අපවිත්‍ර බව ඒත්තු ගැන්වීමටත් දැඩි ප්‍රයත්නයක් දරයි. එහෙත් මේ යථාර්ථය වටහා ගැනීමට තරම් බුද්ධිමත් ප්‍රජාවක් නොමැත. එහෙයින් එය වටහා දීම අපහසු කාර්යභාරයක් වේ. මේ එකම "ජනමිතුරා" අවසානයේ "ජනහතුරා" බවට පත් වනුයේ එහෙයිනි. මන්නිසාද යත් නිරුවත් සමාජයක ඇඳුම්වලින් සැරසී සිටින එකම මිනිසා, වඳ වී යන, උමතු වූ, නිරුවත් මිනිසකු ලෙස අවට සමාජයට පෙනෙන බැවිනි. වෛද්‍ය තෝමස් ස්ටොක්මාන් ලෝකයම තමාට එරෙහි වුවත් ඉන්ද්‍රකීලයක් සේ නොසැලී සිටින අදීනයෙකි. වරෙක ඔහු මෙසේ පවසනු ඇසේ.

"නොදැන කරන වරදට සමාව දෙනවයි කියන ජාතියේ මිනිහෙක් නොවෙයි මම"

 

 

ඉතිරි කොටස ලබන සතියේ...