කොවිඩ් අස්සේ වේදිකාවේ

කාක්කොත් එක්ක බෑ
මැයි 20, 2021

 

- ක්‍රිෂාන්ත වීරමන්

 

කොවිඩ් වසංගතය සමග වේදිකා නාට්‍ය නිර්මාණකරුවෝ සිය ප්‍රකාශන මාධ්‍යයෙන් බැහැර වූහ. ඒ වේදිකා නාට්‍යයක් නිර්මාණය කරනු ලැබුවාට ප්‍රේක්ෂකයෝ ශාලාවට කැඳවා එය වේදිකා ගත කරන්නට ඉඩහසර නොලද හෙයිනි. නමුත් මෙම තත්ත්වය පිළිබඳ තැකීමක් නොකොට ක්‍රිෂාන්ත වීරමන් තම නවතම වේදිකා නිර්මාණය වේදිකාවට ගෙන ඒමට සැලසුම් සකස් කරන ලදී. එම නාට්‍යය නම් කොට තිබුණේ කාක්කොත් එක්ක බෑ යනුවෙනි. දහසකුත් බාධක මැද එය නිර්මාණය කළද ඉලක්කගත තරමේ දර්ශන වාර පැවැත්වීමට නොහැකි වූයේ කොවිඩ් වසංගතයේ දෙවැනි සහ තෙවැනි රැල්ල පැමිණීම හේතුවෙනි. එහෙත් වරින් වර එය ඔහු වේදිකා ගත කෙරුවේය. කාක්කොත් එක්ක බෑ නාට්‍යයේ අන්තර්ගතය සහ එහි ඉදිරියේ පිළිබඳ පැවසීමට එහි අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත වීරමන් අප හා මෙසේ කතාබහකට එක් විය. ක්‍රිෂාන්ත තිරගතවීමට නියමිත කුමරු ඡත්තමානවක චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාය.

 

කාක්කොත් එක්ක බෑ නාට්‍ය මොන වගේ කතා තේමාවක් ඔස්සේද නිර්මාණය වුණේ?

මේක හාස්‍යෝත්පාදක නාට්‍යයක්. මට අවශ්‍ය වුණා ප්‍රේක්ෂකාගාරය පිනවන නාට්‍යයක් කරන්න. ඒ සඳහා මම යොදා ගත්තේ අල්ලස කියන මාතෘකාව. මේ අල්ලස කියනදේ සමාජයට පිළිලයක් වෙලා තියෙන්නේ. සමහර විට අපිට යම් වැඩක් කරගන්නත් බෑ අල්ලසක් නැතුව. මේ පිළිබඳ විවේචනාත්මක සහ හාස්‍යෝත්පාදක ඇසකින් බලා රචනා වුණු පිටපතක් තමයි කාක්කොත් එක්ක බෑ කියලා කියන්නේ.

 

මේ නාට්‍ය ඔබට කිහිප වතාවක්ම වේදිකාගත කරගන්න ගන්න බැරි වුණා මේ කොරෝනා හින්දා?

ඇත්තටම නාට්‍යයේ මංගල දර්ශනයෙන් පසුව අපිට නාට්‍ය දර්ශන වාර විසි දෙකක් ඇවිල්ල තිබුණා. ඒ සියල්ලම කැන්සල් වුණා මේ කොරෝනා හින්දා. අතරින් පතර දර්ශන වාර පැවැත්වුණා. ඒවා වලදී නම් ඉහළ ප්‍රතිචාර ලැබණා.

නිර්මාණ සඳහා මුදල් යොදවන නිෂ්පාදකවරු හිඟයි මේ කාලෙ?

වේදිකා නාට්‍යයකට තියා ටෙලි නාට්‍යයකටවත් නිෂ්පාදකවරු හොයාගන්න අමාරුයි. තත්ත්වය එහෙම තියෙද්දිත් මත මට හමුවුණා දුමින්ද ප්‍රදීප් කියන මෙහි නිෂ්පාදකවරයා. මං මේ වෙලාවේ ඔහුට බෙහෙවින් කෘතඥ වෙනවා මගේ නාට්‍යයට නිෂ්පාදන පිරිවැය දරන්නට එක් වුණාට. ඔහු කොරියාවේ වාසය කරන කෙනෙක්. කොරියාවේ දුක් මහන්සියෙන් හම්බ කළ මුදල් තමයි මේ නාට්‍යයට යෙදෙව්වේ. ඔහුට අවශ්‍ය වුණේ හොඳ නිර්මාණයක් ප්‍රේක්ෂකයන්ට ගෙන එන්න. ඒ නිසා මේ නාට්‍යයට ඔහුව නිෂ්පාදනය කරන්නට මුදල් යොදවන්නට මගෙත් එක්ක එකඟ වුණා.

 

දිගින් දිගටම දර්ශනවාර පවත්වන්නට නොහැකි වෙද්දී නිෂ්පාදකවරයා මොනවද කිව්වේ?

ඔහු මේ තත්ත්වය තත්ත්වය තේරුම් අරගෙන තියෙන්නෙ. ඔහු නිතරම කියන්නේ මේක ස්වභාවික ආපු ව්‍යසනයක්, අපිට විතරක් බලපෑම් කරන එකක් නෙමෙයි... ඒ නිසා පුළුවන් කාලේ නාට්‍ය පෙන්වමු කියලා. නිතරම අපි ප්‍රාර්ථනා කරන්නේ එහෙම වෙන්න කියලයි.

 

නාට්‍යට කාක්කොත් එක්ක බෑ කියල නම තිබ්බේ ඇයි?

මම අර කලින් කිව්වා වගේ මෙයට පාදක වෙලා තියෙන්නේ අල්ලසෙන් වන විනාශයනේ. ඉතින් මේ අල්ලසට කටවහරෙන් කියන්නේ ජරාව කියලා. ජරාව නිතර කන්නේ කවුද...කාක්කා.. මං මේ පිටපත කියවාගෙන් යද්දි මට ඒක මතක් වුණා. එහෙම කල්පනාවට ආවට පස්සෙ තමයි කාක්කො කියන පදය ඇතුළත් වන මේ නම හොඳයි කියලා හිතුණෙ.

 

ඔබ හිතනවද වේදිකා නාට්‍යයකින් ආදර්ශයක් දෙන්න පුළුවන් කියලා සමාජයට?

අනිවාර්යයෙන්ම. අනෙක් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යන්ට වඩා වේදිකා නිර්මාණයකින් ප්‍රේක්ෂකයන්ට පණිවුඩයක් දෙන්න පුළුවන්. මොකද අපි වේදිකා නාට්‍යයක් රඟදක්වන්නෙ සජීවීව. මෙම සජීවීව ලබා දෙන පණිවුඩය ප්‍රේක්ෂකයන්ට හොඳීන් දැනෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මගේ නාට්‍ය විතරක් නෙවෙයි. පෙර නිර්මාණය වූ බොහෝ නාට්‍යයන්වලින් සමාජයට ආදර්ශවත් පණිවිඩයක් ලබා දීම සිදු කළා.

 

වේදිකා නාට්‍යයක් නිර්මාණය කරද්දී ආරම්භයේ සිටින නළු නිළියෝ පසුකාලීනව වෙනස් වෙනවා?

ඒක සාමාන්‍ය පොදු කාරණයක්. බොහෝ නාට්‍යවල මුලදී රඟපාන්න හිටපු නළු නිළියන් පසුකාලීනව ඉවත් වෙනවා යම් යම් හේතූන් මත. මේකෙත් ප්‍රධාන චරිතය රඟපාන්න හිටපු නළුවත් රිහසල් අතරතුරදී පෞද්ගලිකව දැන්නුවා මට මේ නාට්‍යයේ රඟපෑම ඉදිරියට කරගෙන යන්න අමාරුයි කියලා. ඒ තත්ත්වය මත මම තීරණය කළා ප්‍රධාන චරිතය රජිත හිරාන්ට දෙන්න. පෙරලුන පිට හොඳයි කියල වගේ ඒක හරි ගියා.

නාට්‍යයට සම්බන්ධ පිරිස මතක් කළොත්?

රජිත හිරාන් අපේ පිං පොං, නිල්මිනි කෝට්ටේගොඩ, ආරියසේන ගමගේ, සරත් පීරිස්, ගයාන් මාපලගම, ජයතිලක් හේරත්, ලක්මිණි කරුණාරච්චි සහ මම මෙහි රඟපානවා. අංග රචනය අරවින්ද කමල්ගෙන්. ශ්‍යාමලී රංගමා සහාය අධ්‍යක්ෂණයෙන් එකතු වෙනවා.