නම් ගම් මට කුමටද... සිංහාසන කුමටද...

මැයි 6, 2021

 

 

සිහ ශක්ති - පරසිදු කරලියැද්ද

රුව කිරුළිස පැලැන්ද

කුසුමාසන දේවි දෝන කතරිනා

 

කෞශල්‍යා - නම් ගම් මට කුමටද

සිංහාසන කුමටද

සෙංකඩ ගල පුර රජමැදුර සමානා

 

සීහශක්ති - වාහල ඉලංගමට

ගියදා දන්තුරේට

අස් පන්තියේ හරඹ දෑහින් දැකලා

කෞශල්‍යා - රොන්සුනු පුරාලයට

ළඟ එන වසන්තයට

අලුත්ම මලක් වෙලා

පිපෙන්න හිතුණා

 

සීහශක්ති - කපිතන් දියෝගුගෙන්

දැන කඩු ශිල්ප හටන්

කොන්තය ගෙලේ බැන්ද

පරංගි වාඩියේ

 

කෞශල්‍යා - කොණප්පු බණ්ඩාරට

පූජා කළ ප්‍රේමය

මට හීනයක් වගේ

වසන්ත කාලයේ

 

කෞශල්‍යා ප්‍රනාන්දු , සීහශක්ති වාද්‍ය වෘන්දය සමඟ මඳ කලකට පෙර ගැයූ යථෝක්ත සුප්‍රකට ගීතය කේ.බී.හේරත්ගේ "දෝන කතරිනා" (1995)

නාට්‍යය සමඟ කිසිදු සබඳතාවක් නොමැත. එහෙත් මේ ගීතය ගැයුමට කෞශල්‍යාට ඇරැයුම් ලැබුණේ එකී නාට්‍යයෙහි දෝන කතරිනා ලෙස ඇය රැඟු හෙයිනි. උක්ත ගීතය නිර්මාණය වූයේ ජාතික රූපවාහිනිය වෙනුවෙන් උපාලි ආරියසිරි අධ්‍යක්ෂණය කළ සෙංකඩගල රාජධානිය පිළිබඳ සංගීතමය වැඩසටහනක් උදෙසාය. ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහයන් විසින් ලියන ලද මේ ගේය කාව්‍යය නාදපති ආචාර්ය රෝහණ වීරසිංහයෝ සංගීතවත් කළහ. කේ.බී.හේරත්ගේ නාට්‍යයට පාදක වූ ,

ඛේදජනක ඉරණමකට ගොදුරු වූ දෝන කතරිනා නම් වූ ඓතිහාසික ගැහැනියගේ භුමිකාව කෞශල්‍යාගේ රූපණ ප්‍රතිභා ප්‍රභාව එළිපෙහෙළි කළ බැව් පෙනේ. බොහොමයක් නාට්‍යවල ඇයට රඟපෑමට අවස්ථාව ලැබුණේ අනුවර්තන, පරිවර්තන ඔස්සේ යුරෝපීය සමාජ සන්දර්භයෙන් උද්භේද වූ විප්ලවීය භුමිකා වේ. එහෙයින් "දෝන කතරිනා" හී දෝන කතරිනාගේ භුමිකාව ලාංකේය සමාජ ව්‍යුහයෙන් ඓතිහාසිකව පැනනැඟුණු චරිතයක් ලෙසින් සුවිශේෂිතය. පෙරදිග ගැහැනියට පමණක් උරුම වූ ඉසියුම් ලක්ෂණ සේම ලොව සමස්ත ස්ත්‍රී වර්ගයාටමැ ආවේණික පොදු ලක්ෂණද එකසේ කැටි කොට කෞශල්‍යා මේ චරිතයට ඉටු කළ සාධාරණය එවර රාජ්‍ය නාට්‍ය උලෙළේ (1996) හොඳම නිළියට හිමි සම්මානය ඇයට හිමිවීමෙන් ඇගැයුමට ලක්විණි. ඉන්පෙර වසරේ (1995) හොඳම නිළිය ලෙස රාජ්‍ය නාට්‍ය උලෙළේ සම්මානයට පාත්‍ර වූයේද ඇයමය. ඒ සෝමලතා සුබසිංහ අධ්‍යක්ෂණය කළ "ඇන්ටිගනී" නාට්‍යයෙහි ඇන්ටිගනීගේ භුමිකාව උදෙසාය. "දෝන කතරිනා" හා "ඇන්ටිගනී" ඈ නාට්‍ය ද්වය දින දෙකකදී නැරැඹීමෙන් ඇගේ රූපණ කෞශල්‍යය අරභයා විද්‍යාර්ථීන්ට තුලනාත්මක දැනුමක් ලබා ගත හැකි වේ. දෝන කතරිනා වූ කලී කරලියැද්ද පරපුරෙන් තමාට උරුම වූ සිහසුන අහිමි වූ ගැහැනියකි. රාජ්‍ය උරුමයක් නොමැතිව, හුදෙක්ම ඇය විවාහ කොට ගැනීමෙන් රජකම හිමි කරගන්නා පළමුවැනි විමලධර්මසූරිය රජු සහ ඔහුගේ අකල් මරණයෙන් පසු සොහොයුරු සෙනරත් රජු යන දෙදෙනාගේම බිසව බවට පත් වීමට ඇයට සිදු වේ. ඉන්පසු රාජ්‍යත්වය උරුමයෙන් නොලැබුණු නිසාම හීනමානයෙන් පෙළුණු රජ පරම්පරාවක් බිහි වූ බැව් පෙනේ. සෙනරත් රජුගේ පුත් දෙවැනි රාජසිංහ රජතුමාත්, ඔහුගේ පුත් දෙවැනි විමලධර්මසූරිය රජතුමාත්, ඔහුගේ පුත් වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාත් දකුණු ඉන්දියානු වඩුග රාජ කන්‍යාවන් විවාහ කොට ගත්හ. ඒ අර කී හීනමානය ඉන් වසා ගනු පිණිසය. මෑතකදී පළ වුණු ජැක්සන් ඇන්තනි විසින් විරචිත "කන්ද උඩ ගින්දර" නවකතාවෙහි මේ අරභයා මැනවින් ඉඟි කොට ඇත. වඩුග බිසව රන්දෝලිය වීම හේතු කොට අවසන සිංහල රජ පරපුර නිම වී වඩුග රජවරුන් බලයට පත්වීම දක්වා මේ හීනමානය දුර දිග ගියේය.

පළමුවැනි විමලධර්මසූරිය රජුට හා සෙනරත් රජුට දාව සුළු කලකදී දරුවන් හත් දෙනකු ප්‍රසූත කිරීමට කුසුමාසන දේවි හෙවත් දෝන කතරිනාට සිදුවිය.ඇගේ වැඩිමහල් පුතු මරා දමනු ලැබිණ. දෙවැනි විවාහයේ දියණිය තමා මෙන්ම වයස 13 දී රජුගේ බිරිය බවට පත්වීම වැනි ඛේදවාචක රාශියකට ඇයට මුහුණ දීමට සිදු වෙයි. දෝන කතරිනා ජීවත්ව සිටියදීම සෙනරත් රජු ඇගේ දියණියන් හා සබඳතා පැවැත් වූ බැව් පෙනේ. එක් අතකින් දෝන කතරිනා යනු ව්‍යභිචාරයට (ධ්දජඥඵබ) ගොදුරු වූ ගැහැනියකි. අවසන අකාලයේ මියයන විට ඇයගේ වයස අවුරුදු 33 කි. කෘතහස්ත නාට්‍යවේදී කේ.බී.හේරත් මේ නාට්‍යය ඔස්සේ දෝන කතරිනාගේ භූමිකාව ඉතා සංක්ෂේපයෙන් ශූර ලෙස විවරණය කළේය. නාට්‍යයේ අවසන ,කුටප්‍රාප්තිය (ඛ්තඪථචය) දිස්වන අනුවේදනීය ජවනිකාව මේය.

දෝන කතරිනා - ( සිර කුටිය තුළ සිටින දෝන කතරිනා සූරියකුමාරිගේ හඬින් කලබල වේ. ඇය කුටිය තුළ ඒ මේ අත දුවයි.) දුව ! සූරියකුමාරි ! ආමේලියා මගේ මගේ දුව ! අනේ මගේ දුව ආමේලියා !

සූරියකුමාරි - (ආමේලියා විසින් සිරකුටිය අසලින් ගෙන යනු ලබයි.) මෑණියනි අනේ මෑණියනි, ඔවුන් මං මරන්නද හදන්නෙ ?

දෝන කතරිනා - (සිර කුටිය තුළ සිට) මගේ දුව ! ඔබ දැන් මෙතනින් පළා යා යුතුයි.

සූරියකුමාරි - මෑණියනි !

සෙනරත් රජු - (සූරියකුමාරි අල්ලා ගනී)

දෝන කතරිනා - (සිර කුටිය තුළ අරගල කරමින්) මගේ පුංචි දුවේ මං ඒ කාලෙ වාගෙ උඹත් තාම ළදරුවෙක්. ඒත් එකම දේ නැවත නැවතත් සිද්ධ වෙනවා. දෙවි හාමුදුරුවනේ මේ දුකින් අපි ගලවන්නෙ නැත්තේ ඇයි ? (දෝන කතරිනා සිර කුටිය තුළ මැරී වැටෙයි. සෙනරත් රජු සූරියකුමාරි මනමාලියක් ලෙස අල්ලාගෙන සිටී.) "

ශ්‍රියන්ත මෙන්ඩිස් (සේනාරත්න හිමි සහ සෙනරත් රජු) ,කෞශල්‍යා ප්‍රනාන්දු (දෝන කතරිනා), ලාල් කුලරත්න (විමලධර්මසූරිය), මල්කාන්ති ජයසිංහ (ආමේලියා), ප්‍රසන්නජිත් අබේසූරිය (ඉමැනුවෙල්), රිචඩ් මානමුදලි (කුමාරසිංහ), චන්ද්‍රසෝම බිංදුහේවා (අන්තෝනි පූජක), කුමාර කරුණානන්ද (මහ ඇමැති), වසන්ති රන්වල (ළමා දෝන කතරිනා සහ සූරියකුමාරි), දැහැමි පාරින්ද (මහාස්ථාන කුමරු), හේපති කුලරත්න (පෘතුගීසි හේවායා), නිමල් බණ්ඩාර ,කුමාර අබේවර්ධන (සිංහල හේවායෝ) ඈ නළු, නිළියෝ මීට රංගනයෙන් දායක වූහ. සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහගෙනි.

සොෆර්ක්ලීස්ගේ "ඒදබඪඨධදඥ" නමැති සුප්‍රකට ග්‍රීක නාට්‍යය ඇසුරෙන් සෝමලතා සුබසිංහ විසින්ම පරිවර්තනය කරන ලදුව අධ්‍යක්ෂණය කළ "ඇන්ටිගනී" (1994) හී ඇන්ටිගනීගේ භූමිකාව පූර්වයෙහිද

ම විසින් සඳහන් කරන ලද පරිදි කෞශල්‍යා මෙරට වේදිකාවේ ස්ථාපිත කළ විප්ලවීය නිළි ප්‍රතිරූපයෙහි දිගුවකි.

ඊඩිෆස් රජුගේ දියණියක වූ ඇන්ටිගනී තමන්ගේ මියගිය සොහොයුරන්ගෙන් එක් සොහොයුරකුට ලැබුණු ගෞරවනීය ආදාහනය අනෙක් සොහොයුරාටද එක ලෙස හිමි විය යුතු බවත් රුධිර බැම්මෙහි සහ සොහොයුරු ප්‍රේමයේ අගයත් කියාපාමින් නිර්භය ලෙස රාජ්‍ය නීතිය සමඟ අරගල කරන්නීය. මේ නාට්‍යයෙහි මුඛ්‍ය ගැටුම (ඛ්ධදටතඪජබ) පවතින්නේ ඇන්ටිගනී හා ක්‍රෙයෝන් (ජනක කුඹුකගේ) අතරය. මෙහි දක්නා ලැබෙන ඇන්ටිගනී සහ ඉස්මේන් (නයනා හෙට්ටිආරච්චි) අතර ඇතිවන සංවාදයකදී ඇය මෙසේ පවසන්නීය. කෞශල්‍යා මේ ජවනිකාවේදී ඇන්ටිගනීගේ භුමිකාවේ අභ්‍යන්තරිකව පැනනැඟෙන ආවේගශීලි බව හා සංයමය අතර ගැටුම මැනවින් විදාරණය කරන අයුරු විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනයට ලක්විය යුතු වේ.

"මියගිය පසු වරද කළ එකකු වුව නිසි මළගමක් නොපැවැත්වීමෙන් ඔවුන් හට කුමන සෙතක් ද ලැබෙන්නේ ජීවත්වන්නවුන් හට.....(තමාට).....ශක්තිමත් විය පොලිනීසියස් එඩිතර විය ඔහු මා පියා සේ.

බාරව සිටි රාජ්‍ය පාලනය දිගු කලක් බලයට හුරු වී ද ක්‍රෙයෝන්. තර්ජනය වීද පොලිනීසස් ඔහු හට. එවැනිය පැනය මා සිත තුළ පහළවන. පියා ගැන ඔබගේ, මාමණ්ඩිය ගැන මගේ, සමාවන්න හේමෝන් මා හට මෙවන් වදනට. පාලනය කර ගත නොහැක මට මගේ සිත් කම්පනය."

"ඇන්ටිගනී" නාට්‍යයේ ඇන්ටිගනීගේ චරිත නිරූපණය උදෙසා හොඳම නිළියට හිමි සම්මානය කෞශල්‍යාට පිරිනමද්දී රාජ්‍ය නාට්‍ය උලෙළේ කියැවුණු හේතු පාඨය මෙසේය.

"ධෘතිමත් චේතනාවෙන් තම උදාර අරමුණ වෙනුවෙන් කැප වූ ස්ත්‍රී භූමිකාවක් ඛේදාන්තයකින් අපේක්ෂිත කාරුණ්‍ය හා භය වැනි භාව විශෝධනයට තුඩු දෙන අයුරින් කළ ප්‍රශස්ත රංග කාර්යය උදෙසා 1994 වසරේ හොඳම නිළියට හිමි ත්‍යාගය හා තිළිණය ඇන්ටිගනී නාට්‍යයේ ඇන්ටිගනී කෞශල්‍යා ප්‍රනාන්දුට පිරිනැමුණු වගයි."

මේ නාට්‍යයේ අධ්‍යක්ෂණ සහායෙන්ද ඇය දායක වූවාය. කෞශල්‍යා ප්‍රනාන්දු (ඇන්ටිගනී), නයනා හෙට්ටිආරච්චි (ඉස්මේන්), ජනක කුඹුකගේ (ක්‍රෙයෝන්), ප්‍රසන්නජිත් අබේසූරිය (ටයිරීසියස්), දමයන්ත පෙරේරා (හේමෝන්), ගිහාන් ප්‍රනාන්දු (මුර සෙබළා), අතුල රණසිංහ (පණිවුඩකරු), නයනා හෙට්ටිආරච්චි (ඉයුරිඩයිස් රැජන), ශාලික සුමේන්ද්‍ර (ළමයා) යනාදීහු මෙහි ප්‍රමුඛ චරිත රඟපෑහ. සංගීත නිර්මාණය සංගීත් නිපුන් පී.වී. නන්දසිරි සූරීන්ගෙනි.

 

ඉතිරි කොටස ලබන සතියේ...