රයිනෝසිරස්ලාට එරෙහිව උඩුගං බලා...

අප්‍රේල් 15, 2021

 

"කෝලම් නාටක සාහිත්‍යය" නම් වූ ප්‍රශස්ත ශාස්ත්‍රීය කෘතිය රචනා කළ මහාචාර්ය එම්.එච් ගුණතිලකයන්ගේ "සක්කාය දිට්ඨි" නාට්‍යය එක් අතකින් ප්‍රශස්ත අත්හදා බැලීමකි. කෝලම් නාට්‍ය කලාව අරභයා ගැඹුරෙන් ශාස්ත්‍රීය ලෙස හැදෑරූ මහාචාර්ය ගුණතිලකයෝ මේ නාට්‍යය මුළුමනින්ම කෝලම් නාටක සම්ප්‍රදාය අනුව නිර්මාණය කළහ.දෙවැනි වර නිෂ්පාදනය කළ අවස්ථාවේ ලූෂන් බුලත්සිංහලයන් "සක්කාය දිට්ඨි" නාට්‍යය රූපවාහිනියට නැඟූ අතර ගමයා ලෙස ගාමිණි සමරකෝන් ,ගම හාමිනේ ලෙස ගීතා කාන්ති ජයකොඩි රංගනයෙන් දායක වූහ.ජන සංගීතයෙහි, ජන කලාවෙහි විශාරදවරයකු වූ සැම්සන් සිල්වාගේ (සරසවිය නියෝජ්‍ය කර්තෘ අරුණි මුතුමලීගේ පියාණන්) සංගීත අධ්‍යක්ෂණය මේ නාට්‍යයේ ආත්මය බවට පත් විය.

මහාචාර්ය එම්.එච්. ගුණතිලක පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයෙන් 1957 දී සිංහල අංශයෙන් උපාධිය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්ම දර්ශන ශූරී (ර්‍ථඩ.ඤ) උපාධිය ලබා ගත්තේය. 1974 පෘතුගාලයට ගොස් පෘතුගීසි භාෂාව පිළිබඳ සහතික පත්‍ර විභාගය සමත්ව ශ්‍රී ජයවර්ධනපුර හා කැලණිය යන විශ්වවිද්‍යාලවල සිංහල අංශයේ මහාචාර්ය ධුරය හෙබවූයේය. කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ අංශාධිපති ලෙසත් සෞන්දර්ය අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ලෙසත් සේවය කළ ඔහු සිංහල, ඉංග්‍රීසි, පාලි, සංස්කෘත, පෘතුගීසි භාෂා පිළිබඳ විශාරදයෙකි. ග්‍රන්ථ රාශියක් මහාචාර්ය ගුණතිලකයෝ සිංහල බසට නැඟූහ.

ගීතා කාන්තිගේ නාට්‍ය භූමිකා විමසීමේදී එහි ප්‍රශස්ත සන්ධිස්ථානය ලෙස මා දකිනුයේ ප්‍රවීණ සාහිත්‍යවේදී කපිල කුමාර කාලිංග අධ්‍යක්ෂණය කළ "රයිනෝසිරස්" (1986) හී ඩේසිය. රුමේනියානු - ප්‍රංශ සුප්‍රකට නාට්‍යවේදී ඉයුජින් අයනෙස්කෝගේ (යුශේන් ඉයොනෙස්කෝ) "අඩඪදධජඥපධඵ"(1959) නම් වූ අභූතරූපී (ඒඡඵභපඤ) නට්‍යය කපිල අනුවර්තනය කළේය. මුල් නාට්‍යයෙහි දක්නා ලැබුණු ඇතැම් දීර්ඝ, වෙහෙසකර ජවනිකා ඔහු ඖචිත්‍යපූර්වකව සංක්ෂිප්ත කොට චරිත දෙකක් ඉවත් කළේය. රටක පවතින අධිපතිවාදී මතවාදය සහ ඊට එරෙහිව උඩුගං බලා පිහිනීමට දරන ප්‍රයත්නය අතර ගැටුම මේ නාට්‍යයට වස්තු විෂය විය. එය දාර්ශනික, දේශපාලනික, සංකේතානුරූපී, අභූතරූපී ස්වරූපයකින් මෙහි විවරණය කෙරේ. මිනිසුන් රයිනෝසිරස්ලා බවට පත් වන රෝගයක් පැතිරී යයි. සමාජයේ බහුතරය රයිනෝසිරස්ලා නම් ටික දෙනෙකු පමණක් ඉන් මිදීමෙන් ඇති ඵලය කිම්දැයි නාට්‍යවේදියා මෙහිදී මතු කරන පැනයකි. අධිපතිවාදී මතවාදය එන්නතක් සේ මෙහිදී මිනිස්සුන්ට විදින අයුරු දක්නට ලැබේ. සමාජය දුවන්නන් වාලේ අධිපතිවාදී මතවාදය පසුපස අවිචාරයෙන් ගමන් කරනවා විනා ඉන් මිදීමට, උඩුගං බලා පිහිනීමට ඊට ශක්තියක් නොමැති බව මින් විශද වේ. රැල්ලට ගසා යන සමාජය ඉන් අසරණ වේ. මෙහි ප්‍රධාන භූමිකාව වූ බෙරෙන්ජර් (ආචාර්ය ජයලත් මනෝරත්න) පවතින අධිපතිවාදී මතවාදයට එරෙහිව උඩුගං බලා පිහිනීමට වෙර දරන්නෙකි. ඔහුගේ පෙම්වතිය ඩේසි (ගීතා කාන්ති)ය. බෙරෙන්ජර් සහ ඩේසිගේ සංවාදය ඔස්සේ අධිපතිවාදී මතවාදය සහ ඊට එරෙහි අරගලය මේ නාට්‍යයෙහි නිරූපිත වේ. වඩා ශක්තිමත් රයිනෝසිරස්ලාද මිනිසුන්ද යන පැනය මෙහිදී ඉස්මතු කරමින් වඩා වැදගත් ශක්තිමත් මිනිසුන් බව බෙරෙන්ජර් අවධාරණය කර සිටී. එහෙත් බහුතර ජනතාවගේ මෙන් බෙරෙන්ජර්ගේ නළලේද අඟක් මතුවෙමින් තිබුණත් ඔහු එය වසන් කොට ගනී.

ජයලත් මනෝරත්න (බෙරෙන්ජර්), ගීතා කාන්ති ජයකොඩි (ඩේසි), එච්.ඒ. පෙරේරා (ජීන්), නවනන්දන විජේසිංහ (බොටාර්ඩ්), වසන්ත විට්ටච්චි (පැපිලන්), චන්ද්‍රා කළුආරච්චි (බොයෙප් මහත්මිය / සාප්පු හිමි බිරිඳ ), අජිත් ජිනදාස (ඩුඩාර්ට්), සෝමපාල පතිරගේ (සාප්පු හිමියා), බන්දුල චන්ද්‍රසේකර (ආගන්තුකයා), පුෂ්පා රම්ලනී (අවන්හල් සේවිකාව), අනුලා හඳුවල (ගෘහිණිය), කපිල කුමාර අටුපෙලගේ (නවාතැනේ වෘද්ධ පුද්ගලයා), ජයලාල් රෝහණ, බන්දුල චන්ද්‍රසේකර, කපිල කුමාර අටුපෙලගේ, එස්.බී. බුළුමුල්ල (රයිනෝවරු) යනාදීහු මෙහි රංගනයෙන් දායක වූහ.

"රයිනෝසිරස්" හී අන්තර්ගත සේන වීරසේකරගේ සංගීත අධ්‍යක්ෂණයෙහි අපූර්ව අත්හදා බැලීමක් දක්නට ලැබිණ. එනම් ටිම්පනි නම් වූ ඩ්‍රම්ස් වර්ගයේ වාද්‍ය භාණ්ඩය ලාංකේය වේදිකා නාට්‍ය සංගීතය උදෙසා භාවිත කළ ප්‍රථම අවස්ථාව මෙය විය. විශාල වාද්‍ය භාණ්ඩයක් වූ මෙය හමුදා තූර්ය වාදක කණ්ඩායමේ පමණක් එවක භාවිත කෙරිණ. හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයකු විසින් මේ වාද්‍ය භාණ්ඩය එදා නාට්‍යය උදෙසා වාදනය කරන ලදි. මෙයින් උපදවන අපූර්ව නාදය "රයිනෝසිරස්" නාට්‍යයේ අසූචනීය මනෝභාවයන් ප්‍රේක්ෂක හදවත් හී ජනිත කළේය. මේ නාට්‍යය නිර්මාණය කළ යුගයේ (1986) කපිල කුමාර කාලිංග අයනෙස්කෝගේ විදෙස් නාට්‍යයෙහි කිසිදු නිෂ්පාදනයක් නරඹා නොතිබිණ. ඔහු සතු වූයේ විදෙස් නිෂ්පාදනයෙහි එක් කළු සුදු සේයාරුවක් පමණි. එහෙයින් "රයිනෝසිරස්" සිංහල නාට්‍යය මුළුමනින්ම පිටපත අනුව ඔහුගේ පරිකල්පනය මත ගොඩනැඟුණු නිෂ්පාදනයක් සේ සැලකීම සහේතුකය. එවක පැවැති රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිෂ්පාදනය හා හොඳම අනුවර්තනය යන සම්මාන ද්වය මේ උදෙසා කපිල කුමාර කාලිංගට පිරිනැමිණ. ඩේසි ලෙස රඟපෑ ගීතා කාන්ති ජයකොඩිට කුසලතා සහභාගීත්ව සහතිකය හිමි විය. ඉයුජින් අයනෙස්කෝගේ "ඒථඥඤඥඥ ධප ඩ්ධඹ බධ ඨඥබ පඪඤ ධට ඪබ" නම් වූ සුප්‍රකට අභූතරූපී නාට්‍යයද කපිල කුමාර කාලිංගයන් මෑතකදී සිංහලයට අනුවර්තනය කළ අතර "සහතික නොකළ මරණයක්" නමින් මේ නාට්‍යය සුදත් මහදිවුල්වැව අධ්‍යක්ෂණය කළේය. ජයලත් මනෝරත්නයෝ මෙහි ප්‍රධාන චරිතය රැඟුහ."රයිනෝසිරස්" 80 කණ්ඩායමේ ඉදිරිපත් කිරීමකි. 80 කණ්ඩායම යනු කිම ? මේ වූ කලී ප්‍රතිභාවෙන් හා ජවයෙන් යුතුව නාට්‍ය කලාවෙහි නියැළුණු තාරුණ්‍යයේ සංවිධානයකි. මේ කණ්ඩායම පිහිටුවීමට එදා මූලික වූයේ ප්‍රවීණ රංගවේදී අජිත් ජිනදාස සහ නිමල් ඒකනායකය.ප්‍රවීණ නාට්‍යවේදී නිමල් ඒකනායක සහ නැසීගිය ප්‍රවීණ මාධ්‍යවේදී සුනිල් මිහිඳුකුල 80 කණ්ඩායම යන නාමය ඊට තැබූ බව මට පැවසුවේ ප්‍රවීණ නළු අජිත් ජිනදාසය. අජිත් සහ නිමල් සමඟ ආචාර්ය ජයලත් මනෝරත්න, නිශ්ශංක දිද්දෙණිය, චන්ද්‍රා කළුආරච්චි, නීල් අලස්, ජය ශ්‍රී චන්ද්‍රජිත්, බුද්ධදාස ගලප්පත්ති, කපිල කුමාර කාලිංග, කේ.බී.හේරත්, ප්‍රසන්න විතානගේ, ලාල් කුලරත්න යනාදීහුද එකල 80 කණ්ඩායමට එක් වී ක්‍රියාකාරී වූහ. නීල් අලස්ගේ "සිහින සාප්පුව", කේ.බී හේරත්ගේ "මායාදේවි", ජයලත් මනෝරත්නගේ "පුත්‍ර සමාගම", කපිල කුමාර කාලිංගගේ "රයිනෝසිරස්", කේ.බී.හේරත්ගේ "නාග ගුරුළා", ජයලත් මනෝරත්නගේ" තල මල පිපිලා", නිමල් ඒකනායකගේ "උක්දඬු ගින්න" වැනි නාට්‍යය සෘජුවම 80 කණ්ඩායමේ ඉදිරිපත් කිරීම් විය. අයනෙස්කෝගේ "අඩඪදධජඥපධඵ" නාට්‍යයෙහි අන්තර්ගත වනුයේ 1938 දී රුමේනියාවෙන් නික්ම යෑමට පූර්වයෙහි ඔහු තුළ ජනිත වූ හැඟීම් සමුදාය වේ. එකල ඔහු හඳුනා ගෙන සිටි බහුතර සගයෝ අයන්ගාඩ් මැයෙන් හැඳීන්වුණු ෆැසිස්ට් ව්‍යාපාරයට පක්ෂව සිටියෝය."අඩඪදධජඥපධඵ" නැවත කියවීමේදී මා හට සිහිපත් වූයේ ෆ්‍රෙඩ්රික් ජෙම්සන් නම් වූ දාර්ශනිකයා යුරෝපීය ධනේශ්වර අර්ථ ක්‍රමය වාණිජවාදී ධනවාදය, ඒකාධිකාරී ධනවාදය සහ බහු ජාතික ධනවාදය වශයෙන් එහි විකාශනය (කියවන්න - ඔහු විසින් විරචිත "ර්‍ථධඵබථධඤඥපදඪඵථ ධප, බඩඥ ඛ්භතබභපචත ඹ්ධඨඪජ ධට ඹ්චබඥ ඛ්චනඪබචතඪඵථ" ග්‍රන්ථය) විග්‍රහ කළ ආකාරයයි. අයනෙස්කෝගේ මේ නාට්‍යයෙන් එකී සමාජ යථාර්ථය හෙළි නොවේද ? නූතන ධනවාදී රැලිවලට මිනිසුන් හසු වී ගසා ගෙන ගොස් සීඝ්‍රයෙන් රයිනෝසිරස්ලා බවට පත්වීම මෙහි ව්‍යංග්‍යාර්ථයෙන් කුළුගැන්වී ඇති බැව් ඕනෑම බුද්ධිමතකු හට පසක් වේ. කපිල කුමාර කාලිංගයන්ගේ "රයිනෝසිරස්" නාට්‍යය අරභයා ප්‍රවීණ සාහිත්‍යවේදී ආරියවංශ රණවීර සූරීන් විසින් ලියන ලද විචාරයක දක්නා ලැබෙන කියුමක් මා හට සිහිපත් වේ.

"අපි බෙරෙන්ජර් සමඟ , ගඟ දියේ පහළ නොගොස් උඩුගං බලා යන අසීරු ගමනට හවුල් වන්නෙමු."

 

ඉතිරි කොටස ලබන සතියේ...