යථාර්ථවාදයෙහිත් කල්පිතයෙහිත් මුසු වීම...

ජුනි 17, 2021
“මකරට” (2014) හී එලීසා තෙරුණි පීරිස්

 

ආචාර්ය ජයලත් මනෝරත්නයන් 2007 වසරේ “මකරා” නාට්‍යය නැවත නිෂ්පාදනය කළ බැව් අපට අමතක නොවේ. මේ වූ කලී "පුත්‍ර සමාගම"(1985) ට පසුව මනෝරත්න පරිවර්තන නාට්‍යයක් අධ්‍යක්ෂණයට අතගැසූ දෙවැනි අවස්ථාව වේ. මනෝරත්නයන්ගේ “මකරා” (2007) හී ලන්ස්ලොට් විසින් මකරා මරා දමනු ලැබූවත් එක් මකරකු මියගියද තවත් මකරකු නුදුරු දිනෙක එනු ඇතැයි යන ඉඟිය සහෘද විෂයෙහි ජනිත කෙරේ. 1972 ආචාර්ය හෙන්රි ජයසේන විසින් පරිවර්තනය කරන ලද පිටපත මනෝ මේ නිෂ්පාදනය උදෙසා පාදක කොට ගත්තේය. ආචාර්ය හෙන්රිගේ “මකරා” (1973) මනෝරත්නයන්ගේ කලා ජීවිතයටද අතිශයින් වැදගත් වූ නාට්‍යයකි. 1966 ඔහු පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී සුනිල් ශ්‍රියානන්දගේ “අස්ප ගුඩුං” නාට්‍යයේ රනා ලෙස මුල්වරට රඟපෑමෙන් පසුව උසස් අධ්‍යාපනය ලබනු පිණස පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයට පිවිසිණ. එහිදී මනෝ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ඇසුර ලැබ මහනුවරදී “මනමේ”, “සිංහබාහු”, “පෙමතො ජායති සොකො” යනාදී නාට්‍යවල රඟපෑමෙන් පසුව මුල්වරට නාට්‍ය රංගනය සඳහා කොළඹ පිවිසෙන්නේ ආචාර්ය හෙන්රි ජයසේනගේ “මකරා” (1973) රඟපෑම උදෙසාය. මේ අවස්ථාව මනෝට ලබා දෙමින් එහිදී පිහිට වූවෝ ඔහුගේ සන්මිත්‍ර නිශ්ශංක දිද්දෙණිය සූරීහුය. ලාංකේය සුවිදග්ධ කලාව සුපෝෂණය කළ තෝතැන්නක් වූ එවක කොල්ලුපිටියේ පිහිටි චිත්‍රසේන කලායතනයේදී “මකරා” හි පුහුණුවීම් පැවැත්විණ.

මනෝගේ “මකරා” (2007) නාට්‍යයේත් පසුව චාමිකගේ “මකරට” නාට්‍යයෙහිත් ලන්ස්ලොට්ගේ භුමිකාව ජගත් චමිල රඟපෑම විශේෂත්වයකි. මනෝගේ නාට්‍යයෙහි එලීසා වූවෝ මාදනී මල්වත්තගේ සහ පබෝදා සංදීපනීය.

 චාමික හත්ලහවත්තගේ “මකරට” (2014) නාට්‍යයෙන්

ජගත් චමිල (ලන්ස්ලොට්), සුසිල් වික්‍රමසිංහ / සෝමපාල පතිරගේ (පූසා), දයාදේව එදිරිසිංහ (ෂාල්මේන්), මාදනී මල්වත්තගේ / පබෝදා සංදීපනී (එලීසා), සම්පත් තෙන්නකෝන් (මකරා), සරත් චන්ද්‍රසිරි (හෙන්රි), ජයලත් මනෝරත්න (පුරපති), සුසිල් වික්‍රමසිංහ , සනත් රත්නායක, සෝමපාල පතිරගේ (කළාල වියන්නෝ), සෝමසිරි කොළඹගේ (හිස් වැසුම් සාදන්නා), සුජිත් විජේසිංහ (කම්මල්කරුවා), අජිත් ලොකුගේ (සංගීත භාණ්ඩ සාදන්නා), මාලි ජයවීරගේ, පුබුදුනී සමරවික්‍රම, ක්‍රිෂ්ණි වර්ණකුලසූරිය (එලීසාගේ යෙහෙළියන්), රුවන් අධිකාරි (නොතාරිස්), වික්‍රම අත්තනගම (මුරකරු), කෝකිල පවන් ජයසූරිය (ළමයා) යනාදීහු මනෝරත්නයන්ගේ “මකරා” නාට්‍යයෙහි රංගනයෙන් දායක වූහ.

මේ වූ කලී වින්දනයත් ප්‍රේක්ෂක ඥානනයත් කැටි වූ නාට්‍යයකි. එසේම සමාජ යථාර්ථය හා කල්පිතය සුසංයෝගී වූ උත්ප්‍රාසාත්මක (ධ්පධදර) නිර්මාණයකි. මෙහි දක්නා ලැබෙන චරිත වරින් වර තෙපලන සංවාද ඛණ්ඩ ඔස්සේ මිනිසුන් තුළත් සැඟවී සිටින මකරුන් හඳුනා ගත හැකි වේ. එසේම දෝරේ ගලනා මනුෂ්‍යත්වය පිළිබඳ උදාරත්වය හා එහි සදාතනික වටිනාකමත් මෙහි ව්‍යංග්‍යාර්ථයෙහි ගැබ් වී තිබේ.

චාමික හත්ලහවත්තගේ “මකරට” (2014) නාට්‍යයේ එලීසා වූයේ යොවුන් කුසලතා සපිරි නිළි තෙරුණි පීරිස්ය. ආචාර්ය හෙන්රි ජයසේනගේ “මකරා” (1973) සහ ධර්මසිරි බණ්ඩාරනායකගේ “මකරාක්ෂයා”(1985) ට වඩා චාමිකගේ “මකරට” හී වෙනස්කම් දක්නට ලැබිණ. එය ඇරැඹෙනුයේ උමතු රෝහලක රෝගීන් පිරිසකගෙනි. ඔවුහු මෙහිදී “මකරා” නාට්‍යය රඟ දක්වති. චාමික “මකරට” හී ලන්ස්ලොට් උදෙසා මෙහිදී වෙස් මුහුණක් භාවිත කළේය.

මේ වෙස් මුහුණෙහි එක් පසෙක ලන්ස්ලොට්ගේ මුහුණත් අනෙක් පස මකරාගේ මුහුණත් පිළිබිඹු කිරීමෙන් නාට්‍යවේදියා ගැඹුරු සමාජ , දේශපාලනික යථාර්ථයක් ප්‍රේක්ෂකයා අබිමුව තැබූ බැව් පෙනේ. රටම භීතියෙන් ඇලළූ මකරා මරා දමා රට සහ කන්‍යාවන් බේරා ගන්නා ලද්දේ ලන්ස්ලොට් නමැති කුමාරයා විසිනි. එහෙත් ඉක්බිතිව ක්‍රමිකව ඔහු මකරකු බවට පත් වන අයුරු මෙහි නිරූපිතය. වරක් එලීසා මෙලෙස ලන්ස්ලොට් හට මේ අරභයා පවසන්නීය.

 

එලීසා - මේ, මේ

ලන්ස්ලොට් - මං ඇහුවේ මෙයාගෙන්

එලීසා - පිස්සු නටන් නැතුව මේක දාගන්න. මම සුපර්මාකට් එකට බඩු ගන්න ගියහම මේ මූණ දැකලා ඔබට අරගෙන ආවා. ගෙදරටත් හොඳයි.රටටත් හොඳයි.

 

එලීසා බෑගයෙන් වෙස් මුහුණක් ගෙන ලන්ස්ලොට් වෙත දිගු කරයි. ඔහු එය තම මුහුණට දමයි. එහි එක් පසෙක ලන්ස්ලොට්ගේ මුහුණත් අනෙක් පස මකරාගේ මුහුණත් ඇත.

 

එලීසා - දැන් ඉතින් ඔබ මරන්න අලුත් වීරයෙක් ඕන නෑ. මකරත් ඔබ වීරයත් ඔබ. ජනතාවනි මේ සදාකාලික වීරයා පිළිගන්න.

 

ජයලත් මනෝරත්න/ ජගත් චමිල (ලන්ස්ලොට්), නලින් ප්‍රදීප් උඩවෙල /සනත් විමලසිරි (මකරට), සංජීව දිසානායක (පූසා), සරත් කරුණාරත්න (පොතේ ගුරු/කම්මල්කරු), තෙරුණි පීරිස් (එලීසා), මධුෂාන් හත්ලහවත්ත,එස්.අයි.සමරක්කොඩි, දේවින්ද වික්‍රමසිංහ, අකලංක ප්‍රභාෂ්වර (උන්මත්තකයෝ) යනාදීහු මෙහි රංගනයෙන් දායක වූහ. මේ නාට්‍යයෙහි රංග වින්‍යාසය භානු ප්‍රසන්න හා මනුබන්දු විද්‍යාපතිගෙනි.

එවර රාජ්‍ය නාට්‍ය උලෙළේ අධ්‍යක්ෂණයට හිමි ජූරියේ විශේෂ සම්මානය (චාමික හත්ලහවත්ත), හොඳම රචනය දෙවැනි ස්ථානය (චාමික හත්ලහවත්ත), හොඳම සහය නළුවා (සරත් කරුණාරත්න), හොඳම සංගීත අධ්‍යක්ෂණය (ළහිරු මාඩිවිල), හොඳම අංග රචනය (ප්‍රේම් ජයන්ත කපුගේ), හොඳම රංගාලෝක නිර්මාණය (චන්දන අලුත්ගේ), රංග කුසලතා (තෙරුණි පීරිස්), හොඳම පසුතල නිර්මාණය (ප්‍රදීප් චන්ද්‍රසිරි), හොඳම රංග වස්ත්‍ර නිර්මාණය (සුවිනීතා පෙරේරා) යනාදී සම්මානවලට “මකරට” පාත්‍ර විය. මෙහි එලීසා ලෙස රඟපාමින් කුසලතා සම්මානයට පාත්‍ර වූ තෙරුණි, ඉන් ඉහත බුද්ධික දමයන්තගේ “සින්දු කිරිල්ලී” (2011) නාට්‍යය උදෙසා හොඳම නිළිය ලෙස රාජ්‍ය නාට්‍ය උලෙළේ සම්මානයට පාත්‍ර වූවාය. මේ වූ කලී ඇයගේ රංගන ජීවිතයේ සන්ධිස්ථානයකි. ඊට හේතුව එවර උලෙළේ එකිනෙකට නොදෙවෙනි නිර්මාණ අතර දැඩි තරඟකාරිත්වයක් පැවැති බැවිනි. ප්‍රියන්ත සිරිකුමාරගේ “බර්නාඩාගේ සිපිරිගෙය” (2011) හී ප්‍රතිභාපූර්ණ ප්‍රවීණ නිළියෝ රාශියක් රඟපෑහ. එහෙයින් එවක යන්තම් විසිවැනි විය ඉක්මවූ අංකුර නිළියක වූ තෙරුණි පීරිස් “සින්දු කිරිල්ලී” උදෙසා වසරේ හොඳම නිළිය වීමෙන් ඇගේ රංගන ජීවිතයට වැටුණු ආලෝකය සුළුපටු නැත. තෙරුණිගේ ඊළඟ මංසලකුණ වූයේ චාමිකගේ “මකරට”ය.

එහෙත් වත්මනෙහි මෙරට කලා ක්ෂේත්‍රයෙහි දක්නා ලැබෙන අර්බුදය නම් ප්‍රතිභාවෙන් පිරිපුන් දක්ෂ නළු නිළියන්ටත් ස්වකීය වෘත්තීය පැවැත්ම උදෙසා “ටෙලි නාට්‍ය” නාමයෙන් බිහිවන බොහෝ අවර ගණයේ “බාල මෙගා වෙළෙඳ භාණ්ඩවල” ඒකාකාරී පැතලි රංගන ඉදිරිපත් පත් කොට තම ප්‍රතිභාව අපතේ යවමින් හෝ ආනයනිත ඇතැම් වසුරු ටෙලි නාට්‍යවලට සිංහල හඬ කවමින් හෝ දිවි රැක ගැනීමට සිදුවීමය. කවර කලා මාධ්‍යයක හෝ විශිෂ්ට ගණයේ නිර්මාණ විරල වන කල්හි ඔවුන් තම වෘත්තීය පැවැත්ම, කුටුම්භ පෝෂණය උදෙසා අන් කුමක් කරන්නද ?

මෙකල ලොවමැ වෙළාගෙන තිබෙන කොරෝනා වසංගත සමයේ වුවත් ඇතැම් වසුරු මෙගා වෙළෙඳ භාණ්ඩ තනන්නෝ කොහේ හෝ තැනක දර්ශන තලයක් අටවමින්, හේතු ඵල සබඳතා නැති කුමක් හෝ දුර්කතාවක් ගොතමින්, මේවා නරඹන ප්‍රේක්ෂකයාගේ රස භාව මොට කරමින්, ඔවුන්ට තණකොළ බුදින්නට සලසා තම පැවැත්ම රැක ගනිති. කෙබඳු දුෂ්කරතා මධ්‍යයේ වුවද අවර ගණයේ වෙළෙඳ භාණ්ඩවලට එක් නොවී, විශිෂ්ට කලා කෘතිවලටමැ පමණක් තම දායකත්වය ලබා දීමේ දෘඪ ප්‍රතිපත්තියක පිහිටා සිටිමින්, වෘත්තීය ගරුත්වය රැක ගන්නා ඇතැම් කලාකරුවෝ දුක් අනුභව කරත්.

චාමිකගේ “මකරට” නාට්‍යය උදෙසා වරක් ප්‍රවීණ රූපණවේදී ආචාර්ය ජයලත් මනෝරත්නයෝ මෙසේ කීහ.

“චාමික සතු සියලු නිර්මාණශීලී පරිධිය තුළ මා වැඩිපුරම අගය කරන සාධකය නම් ඔහුගේ දෘෂ්ටියයි. අතිශය මානව හිතවාදී දැක්මයි. අති සුන්දර කුමාර භූමිකාව හෙවත් හීරෝ වන ලන්ස්ලොට් හෝ අති භයංකර කෲර විලන් වන මකරාද ඔහුගේ නිර්මාණයේදී සුදු - කළු කුඩ යටට නොවැටෙන්නේ එබැවිනි. ඒ සඳහා භාවිත කරන රංගමය උපක්‍රමය සිහින විය හැකියි. මායා, අද්භූත, මැජික්, සර්කස්, බහුබූත විය හැකියි. හොඳ මිනිසා තුළ ඇති, නරක ගතිගුණ සහ නරක මිනිසා තුළ ඇති හොඳ ගතිගුණ උලුප්පා පෙන්වීම චාමිකගේ ස්වයං වින්දනය”.

චාමික හත්ලහවත්තගේ “මකරට” හී ලන්ස්ලොට්ගේ භුමිකාව පළමුවෙන් රඟපෑවේ මනෝරත්නයන්ය.

ඉතිරි කොටස ලබන සතියේ...