මේ උත්ප්‍රාසය ඔබට දැනුණාද?

ජූලි 15, 2021
odyssey Life is Beautiful

 

 

උපහාසය නාට්‍යයේ ද, ගීතයේද, කවියේද, චිත්‍රපටයේ ද, ටෙලි රූපයේ ද ප්‍රබලතම මෙවලමකි. ප්‍රෙඩිසිල්වා + ප්‍රේමකීර්ති ද අල්විස් සුංසයෝගයේ ගීත සියල්ලේම මුඛ්‍ය ගුණය වන්නේ සරදම හා උපහාසයයි. එය පැන නගිනුයේ ප්‍රේමකීර්තිගේ වචනවල ද ප්‍රෙඩි සිල්වාගේ හඬේද පවත්නා උත්ප්‍රාසත්මක ගුණය තුළිනි.

නාට්‍යයකදී නාට්‍යමය අවස්ථා (Dramatic Situation) තීව්‍ර කිරිමේ කූට ප්‍රයෝගයක් ලෙස උපහාසය භාවිත කරයි. ප්‍රහසනයක, සුඛෝත්පාදකයක පමණක් නොව ශෝකෝත්පාදක හෙවත් අතිනාට්‍යයකදී වුව හාස්‍යමය රසයක් ජනිත කරන තැන උපහාසයෙන් යුත් උත්ප්‍රාසය භාවිත කෙරේ. උත්ප්‍රාසය වූ කලී හාස්‍ය රසය ජනිත කිරීමට භාවිත කරන උපහාසයේ ප්‍රබලතම අංගයකි. ඊඩිපස් නාට්‍යයේ කොරින්තයේ දූතයා විසින් ඊඩිපස්ගේ අනන්‍යතාව විවෘත කරන්නේ ප්‍රබල උත්ප්‍රාසාත්මක වදන් පෙළකිනි.

“ඔහු ඔබේ පියා නම් මම ද

ඔබේ පියා වෙමි. ඔහු ද ඔබ

නොඉපැද්දී මම ද ඔබ නොඉපැද්දී”

මෙහි ද එක නළුවෙක් (චරිතයක්) භාවිත කරන සංවාද හෙවත් සංවාදයන් එම මොහොතේදී අනෙක් නළුවන්ට (චරිතවලට) රහසක් වේ. සමහර විට ප්‍රේක්ෂාගාරයට එය රහසක් නොවේ. රහසක් වන්නටත් පුළුවන. කථාව ගලා යෑමේදී ප්‍රේක්ෂකයා ද චරිත ද එය හඳුනා ගනී. එවිට ඇතිවන්නේ උත්ප්‍රාසත්මක මොහොතකි. සමහර විට එකම සංවාදය නැවත නැවත කීප වරක් යෙදීමෙන් උත්ප්‍රාසය තීව්‍ර වේ. මහාසාර නාට්‍යයේ ‘කොයි වැඳීරිය උණත් ලෝකේ. හැදගත්තම දුහුල් වස්ත්‍ර” ගීතය ඊට නිදසුනකි. නරි බෑනා නාට්‍යයේ නරියා යනු කපටි රැවටිලිකාර සතෙක් බව සම්ප්‍රදායික මතයයි. එහෙත් ඔහු පවා මනුෂ්‍යයකුට රැවටෙයි. නරියා මනුස්සයෙකු බවට පත්වේ. මනුස්සයා නරියෙකු බවට පත්වේ. කපටිකමේ සංකේතය වූ නරියා පවා රැවටූ මිනිසා කපටි නරියාටත් වඩා කපටියෙකි. එය දකින අප තුළ ඇති වනුයේ උත්ප්‍රාසයයි. සිරිත් විරිත් ගරු කරන කපුරාළ ප්‍රයෝගකාරයෙකි. නරියා සිරිත් විරිත්වලට ගරු කරයි. සමහර විට උත්ප්‍රාසය ප්‍රබල වනුයේ ප්‍රේක්ෂකයාට චරිතයක් මුලින් කී වදන් සිහිපත් වීමෙනි.

දෘශ්‍යම් නම් මලයාලම් චිත්‍රපටය (සිංහල - ධර්ම යුද්ධය) අවසානයේ මළ සිරුර සැඟවී නැති වෙන පොලිසියේ ස්ථානාධිපති මේසය යට එතන හිදගෙන සිටින පොලිස් ස්ථානාධිපති කෙදිනක හෝ මිනීමැරීම අනාවරණය කරගන්නා බව කථානායකයාට කියන විට ඇතිවනුයේ අතිශය ප්‍රබල උත්ප්‍රාසයකි. අල්ලන්නට නම් මළ සිරුර පිළිබඳ රහස අනාවරණය විය යුතුය. එහි දෙවැනි කොටසේ දී අපුරු ලෙස මළ සිරුර ගොඩගත්තත් කථා නායකයා අල්ලා ගන්නා විට ද ඇතිවනුයේ පළමුවැනි කොටසත් වඩා ප්‍රබල උත්ප්‍රාසයකි.

උත්ප්‍රාසය කායික හා වාචික ලෙස දෙයාකාර වේ. මතුපිට අර්ථයට සපුරා වෙනස් අර්ථයක් කායිකව හෙවත් වාචිකව දක්වන කල ඇතිවනුයේ වාචික උත්ප්‍රාසය (Verbal Irony) හා කායික උත්ප්‍රාසයයි. (Physical Irony) වාචික උත්ප්‍රාසය යනු පෙළෙහි සංවාදවල එන වචනාර්ථය හැර වෙනත් දෙයක් ප්‍රකාශ කිරීම සඳහා වචන භාවිත කිරීමයි. මෙහිදී උත්ප්‍රාසය රඳා පවතිනුයේ කියනු ලබන දේ සහ අදහස් කරන දෙය හෙවත් සත්‍ය අතර විසන්ධි වී සිදුවන පරස්පර වීරෝධී බව මතය. මෙහිදී උපහාසාත්මක කායික වාචික බව භාවිත කිරීමේදී උත්ප්‍රාසය භාවිත කරන්නේ කථිකයෙකු මෝඩයෙකුගේ තත්ත්වයක් තේරුම් ගැනීමට තරම් හෙවත් මෝඩයෙකු ලෙසටය.

ජන නායකයෙකු හෝ නිලධාරියෙකු පුරවැසියන් පිරිසකට කරදර වීමට බිය වීමට කිසික් නැතැයි පවසන මොහොතේම ඔවුන් ඇස්පනාපිටම ව්‍යසනයක් සිදු වූ වහාම එවන් විපතකට දැක් වූ අඩු සැලකිල්ල අවබෝධ කරගන්නා අයට උක්ත නොසැලකිලිමත් ප්‍රතිචාරය පිළිබඳව ඇතිවන්නේ උත්ප්‍රාසයකි. සමහර විට මේ උත්ප්‍රාසය වේදනාත්මක විය හැකිය. ‘ලයිෆ් ඉස් බියුටිෆුල්’ චිත්‍රපටය අවසානයේ පියා විසින් ගොතන ලද ව්‍යාජ ක්‍රීඩාවේ ජයග්‍රහණය වූ යුද ටැංකිය ඉදිරිපිට මියගිය පියා පිළිබඳ නොදැන ජයග්‍රහණය සමරන කුඩා පුත්‍රයා නිසා ඇති වන්නේ වේදනාත්මක උත්ප්‍රාසයකි. The Kid  චිත්‍රපටයේ විදුරු ජනේල ගල් ගසා බිඳීන කුඩා දරුවා හා බිඳුණු විදුරු ජනේල අලුත් වැඩියා කරන පාදඩයා (Tramp) අතර ගොඩනැඟෙන්නේ උත්ප්‍රාසත්මක සබඳතාවකි. එය හාස්‍ය ද කරුණ රසයද යන්න තේරුම් ගැනීම අපහසු උත්ප්‍රාසයකි.

අවතක්සේරුව (Understatement) සහ අධි තක්සේරුව Overstatemen එක්තරා ආකාරයක අප මුහුණ දෙන තත්ත්වයන්, අභියෝගයන්, අර්බුදයන්, ගැටලුවල ඇති නියම තත්ත්වය වුවමනාවෙන්ම නොසලකා හැර මෝඩ සැහැල්ලු බවකින් හැසිරීම මඟින් හාස්‍යය ඇති කිරීම ප්‍රහසනයේ ස්වභාවයකි. සුඛෝත්පාදකයේ එවන් චරිත සිටිය ද එහි අරමුණ වගකීම්සහගත බැවින් අවසානයේ ගැඹුරු සංකීර්ණ තත්ත්වයන් විසින් ඊට අර්ථවත්බවක් ලබාදීම නිසාය. යම් තක්සේරුව යම් දෙයක ප්‍රමාණය, වැදගත්කම හෝ ගුණාත්මක බව අවතක්සේරු කිරීමකි. මෙම උපක්‍රමය ප්‍රහසනය විසින් ප්‍රයෝජනයට ගන්නේ උපහාසාත්මක මෙන්ම උත්ප්‍රාසාත්මකව යම් විටෙක චරිතයක් රැවටිලිකාර මෝඩයෙකු සේ නිරූපණය කිරීමට භාවිත කළ හැකි බැවිනි. චෙකොෆ්ගේ ‘පරස්තාව‘ ((The Proposal)  නාට්‍යයේ චරිත ත්‍රිත්වයම හැසිරෙන්නේ එකිනෙකා පිළිබඳ ඇති කරන අවතක්සේරුව මඟින් එකිනෙකා මෝඩයන් රුවටිලිකාරයන් සේ නිරූපණය කිරීමෙනි. අවතක්සේරුව චරිතයක් විසින් අනෙක් චරිත වෙත යොමු කරනුයේ තමා පිළිබඳ වූ අධි තක්සේරුව විසිනි. (Overstatement) මෙම අවතක්සේරුව හා අධි තක්සේරුව තාර්කිකව විසඳා ගන්නවා වෙනුවට අතාර්කික නාට්‍යමය තත්ත්වයන් ප්‍රතිනිර්මාණය කෙරේ.