වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
සදාකාලික බදාගැනීමක් මට නෑ

‘බොලන් ඩිංගිිරියේ තවලම් ගමනක් යත්දි හිතන්ට ඕනෑ මං මේ යන පළවැනි ගමන කියලා. ගමනට කලින් හැමදෙයක් ගැනම හොයල බලන්ට ඕනෑ. කොයියම්ම හරි මදි පාඩුවක් වුණොත් හේම මඟට ගිහින් අරක නෑ. මේක නෑ කියල ආපහු හැරිල එන්ට බැරුවා. මේ ගමනේ යාමක් මිසක් ඒමක් ගැන හිතන්ට නාකයි පුතේ..’
තැන්නේ වලව්වේ තවලම් නායකයා වූ ඩිංගිරාළ ඇත්තන්ට මේ වචන ඇහෙන්න ගත්තේ හීනෙන්වගේ. අවුරුදු පහළොවේ ඉඳන් තවලම් ගමන් ගිය ඔහුට මේ ගමන අරුමයක් නොවූවත්. තමන්ගේ අප්පොච්චා තමන් ඉස් ඉස්සරලාම තවලම් ගමන් යන්ට සූදානම් වෙත්දි කියපු මේ උපදේශය නම් ඔහුට කවදාවත් අමතක වෙන්නෙ නෑ. හැමදාමත් වගේ ඩිංගිරාල සිය අප්පොච්චාට තුන්සිතින්ම නමස්කාර කරලා තමයි මේවාරේත් තවලම් ගමන් යන්න සූදානම් වුණේ.”
තවලම් ගමනේ අරුමැසි වරුණය පසුගියදාක අපි විඳිනු ලැබුයේ මෙරට ඉහළම ගණයේ සාහිත්‍ය සම්මාන උළෙල දෙකකදී පිදුම් ලැබූ අනගි සාහිත්‍ය කෘතියක් ඔස්සේය.
ඒ පසුගිය දා පැවති රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලින් සහ ස්වර්ණ පුස්තක සම්මාන උළෙලින් වසරේ හොඳම නවකතාව ලෙසින් සම්මාන ද්විත්වයම හිමිකර ගත් නෝබට් අයගමගේ ගේ ‘කුර හඩෙකි වියැකෙන’ නවකතාවය. සුරස ප්‍රකාශනයක් ලෙසින් ෆාස්ට් පබ්ිලිෂින් ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් ප්‍රකාශයට පත් කෙරුණු මෙම ග්‍රන්ථය හරහා මීට දශක ගණනාවකට ඉහත දී මෙරට පැවති තවලම් සනුහරේ විස්තර මතින් දිවෙන සෝචනීය ප්‍රේම කතාවත් මේ ඇතුළාන්තය තුළ විග්‍රහ වන්නා වූ සමාජ, ආර්ථික, දේශපාලනික විප්ලවයත් මැනවින් කැටිකොට ගත් ‘කුරහඬෙකි වියැකෙන’ නවකතාව මෙරට නවකතා සාහිත්‍යය තුළ සුවිශේෂ සලකුණක් සනිටුහන් කළේය.
මෙහි කර්තෘවරයා වූ මෝබට් අයගමගේ මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ අල්ප වූ ග්‍රන්ථ ප්‍රමාණයක් රචනා කළ අයෙකු වූවද, එකී ග්‍රන්ථ අතරින් ග්‍රන්ථ ද්විත්වයක්ම සම්මානිත වූයේය. ඔහු 2014 වසරේ රචනා කළ ‘කාල නදී ගලා බසී’ එම වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනාගත්තේය. ‘කුර හඬකි වියැකෙන’ නවකතාව ඔහු විසින් රචනා කර ඇත්තේ ඉන් වසර 9ට පසුවය. ඔහුගේ සාහිත්‍ය දිවියත්, කුර හඬකි වියැකෙන ග්‍රන්ථයත් පිළිබඳ මේ පසුගිය දිනක ඔහු සමඟ කළ සාකච්ඡාවකි.
‘කුර හඬෙකි වියැකෙන’ නවකතාව ඔබ අතින් ලියවෙන්නේ කොයි කාලෙද?
2020 වසරේ කොරෝනා කාලයේදී තමයි ලියන්න පටන් ගත්තේ. ඊට පස්සේ බිරිඳගේ රැකියාව නිසා පවුලටම කොරියාවට යන්න සිද්ධ වුණා. පරිච්ඡේද 15ක් විතරම ලිව්වෙ කොරියාවේදි. ඒ වෙනකොට කතාවට අවශ්‍ය වෙන පර්යේෂණ කටයුතු කරලා තොරතුරු එකතු කරගෙනයි මම හිටියේ. කොරියාවට යනකොට ඒ සියල්ල අරගෙන ගියා. එහේ ජීවිතේ ඇත්තටම මෙවැනි කර්තව්‍යයකට ඉතා සුදුසුයි. වට පිටේ ඇවිදින්න යන්න බෑ. අධික සීතලයි. ඇතුළකට වෙලා ලියන කියන වැඩ කටයුතු කරන්න තමයි හොඳ.
ඈත අතීතයේ අපේ රටේ තිබුණු තවලම් සංස්කෘතිය තමයි ඔබ මේ නවකතාවට පාදක කරගෙන තිබෙන්නේ?
මම ‘කාල නදී ගලා බසී’ නවකතාව ලියලා. ඊට පස්සේ සුර අසුර ලියලා දීර්ඝ කාලයක් නිහඬව හිටියා. මගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණෙත් නෑ ලියන්න ඕන කියලා. නමුත් අවුරුදු ගණනාවක හිටන් මේ තවලම් පිරිස් පිළිබඳ වන පර්යේෂණ කටයුතු මම කරල තිබුණා. මම හරිම කැමැතියි ඒ වගේ අපේ අතීත සංස්කෘතින් පිළිබඳ හදාරන්න. ඒක පොතක් ලියන්න ඕන කියන බලාපොරොත්තුවෙන් කරපු දෙයක් නොවෙයි. මගේ කැමැත්තට, මගේ දැනගැනීම පිරිස කරපු දෙයක්. 1970 ගණන්වල අපේ ලොකු අක්කට පත්වීමක් ලැබිලා වලපනේ මඩුගල්ල කියන ප්‍රදේශයට යනවා. මේක පිහිටලා තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඈත පළාතක. ටිකක් දුෂ්කර ගමක්. මමත් ඈත පළාත්වල සංචාරය කරන්න. ඒ ඒ පළාත්වල විවිධ අත්දැකීම් ලබන්න කැමති නිසා මමත් යනවා අක්කත් එක්ක මේ පළාතට. එහෙදි තමයි ඇත්තටම මමත් මුලින්ම තවලමක් දකින්නේ. මේ 70 දශකයේ මැද භාගය වන විටත් මේ පළාත්වල තවලම් දකින්න තිබුණා. කෘෂිකාර්මික ආර්ථික රටාවක් මේ පළාතේ තිබුණේ. ඔවුන් පදිංචි වෙලා හිටිය ස්ථානයෙන් බොහෝ දුරින් තමයි ඔවුන්ගේ වගා බිම් තිබුණේ. මේ වගා බිමිවලට කුඹුරු වලට යන්න හරි හාමන් මාර්ග පහසුකමක් ඔවුන්ට තිබුණෙත් නෑ. කඳු වැටි දිගේ, ඇල පාරවල් දිගේ, අඩිපාරවල් දිගේ සැතපුම් දහයක් පහළොවක් ඔවුන් ගොවි බිම්වලට යන්නේ තවලම් බැඳගෙන. වගාබිම් වලට ගිහින් වගාකටයුතු කරලා ආපහු ඔවුන්ගේ අස්වැන්න අරන් එන්නෙත් තවලම් මාර්ගයෙන් ඒක වෙළෙඳ පොළට ගෙනියන්නෙත් තවලම් මාර්ගයෙන්. මේ හරහා කඳුකර ප්‍රදේශවල වෙනම උප සංස්කෘතියක් බිහිවුණා. ඒ ආශි‍්‍රතව භාවිතා වන වචන, ආහාර පාන, උපාංග ආදී නොයෙක් දේ බිහිවුණා. ඉතින් මම මේ සංස්කෘතිය ඒ කාලේ ඉඳන්ම අධ්‍යයනය කළා. ඒ අධ්‍යයනය මට මේ නවකතාව ලියන්න සුවිශේෂ පිටුබලයක් වුණා. ඒ පළාතේ යමක් කමක් තියෙන කෙනෙකු සතුව තමයි තවලමක් තිබුණේ. තවලමක් සාමාන්‍යයෙන් තියෙන්නේ ගමේ ප්‍රධානියෙකුට, එහෙම නැත්තම් බලවතෙකුට, මොකද තවලමක් නඩත්තු කරන්න ලොකු ධනයක් ඕන. ගවයින්ට දිනපතා කෑම බීම දෙන්න ඕන.
ඔබ ලබපු ඒ අත්දැකීම් ඔබ මේ පොතට ඇතුල් කළා ද?
කාලයක් තිස්සේ මගේ හිතේ ඔය ගැන මතකය තිබුණා. එහෙම තියෙද්දි තමයි මම පාරුකාරයන් ගැන අධ්‍යයනය කරල කාල නදිය නව කතාව ලිව්වේ. මේ ලබපු අත්දැකීම් සහ තොරතුරු ටිකක් මගේ ළඟ තිබුණා. මේ සංස්කෘතිය මගේ හිතට බැඳිලා තිබුණ නිසා එය ආශ්‍රය කරගෙන මේ පොත ලිව්වා. තව දුරටත් මම මේ පිළිබඳ කරුණු හොයාගෙන යත්දි මට අනාවරණය වුණා උඩරට රාජ්‍ය සමයේ උඩරට පවුල් දෙකක් අතර තමයි කඳුකරයට ලුණු ගෙන යන කර්මාන්තය රැඳිලා තිබිලා තියෙන්නේ. ඒ පවුල්වලට ගවයන් 80 - 90ක් විතර ඉන්න තවලම් තිබිලා තියෙනවා. ගවයන් 7- 8 දෙනෙකුට එක තවලම්කාරයෙක් වගේ වැටෙන්න මිනිස්සුත් ඉඳලා තිබෙනවා. ඔවුන්ට සේවය කරන්න. මේ අය අවුරුද්දට තුන් පාරක්වත් එහෙට මෙහෙට යන්න ඕන ලුණු ගේන්න. ලුණු ගෙනල්ල වැඩි කලක් ගබඩා කරල තියා ගන්නත් බෑ. දියවෙනවනේ. ඉතින් මේ දේ තමයි මම වලව් පවුල් දෙකක් විදිහට පරිකල්පනය කරල මේ කතාව ගොඩනැඟුවේ. ඒ කාලෙත් මේ පවුල් අතර එදිරිවාදිකම් තිබිලා තියෙනවා. ඉතිහාසයේ විවිධ කටකතා, ජනකතා, ජනප්‍රවාද ඒ සම්බන්ධයෙන් තිබෙනවා.
මේක ඇතුළේ ඔබ රමණීය පේ‍්‍රම කතාවකුත් ගොඩනඟනවා?
පේ‍්‍රම කතාවකුත් කියනව තමයි. නමුත් ඉන් එහාට මහා සමාජ ආර්ථක, දේශපාලනික විපර්යාසයක් නිර්මාණය වෙන හැටි මේ කතාවෙන් පිළිඹිබු වෙනවා. කාලයගේ ඇවෑමෙන් වලව් පෙළන්තියේ බල අධිකාරිය බිඳ වැටෙනවා. ලුණු ප්‍රවාහනය වුණත් තවලම් මඟින් කෙරෙන්නේ නැතුව ප්‍රවාහන කටයුතු දියුණු වීමත් එක්ක ලොරි මගින් කරන්න පටන් ගන්නවා. ඒ නිසා ක්‍රමයෙන් තවලම් අභාවයට යනවා. එහෙම වෙනකොට ඒ හා නිර්මාණය වුණු ඒ සංස්කෘතියත් ක්‍රම ක්‍රමයෙන් දියවෙලා යනවා. වෙළෙඳ ආර්ථිකයත් එක්ක නව ධනපතියෝ බිහිවෙනවා. වලව්වල තේජස නැති වෙලා ගිහින් ඔවුන්ගේ දේපළ බෙදිලා යනවා. පහත රටින් අලුත් මුදලාලි පැළැන්තියක් නිර්මාණය වෙනවා. ඒ පහතරට මුදලාලිට සල්ලි තිබුණාට පැළැන්තිය නෑ. නම්බුව නෑ. ඒක ලබා ගන්න ඔවුන් සල්ලි දීලා ගරා වැටෙන වලව් මිලදී ගන්නවා. ඔවුන්ගේ වාසගම්, නම් ගන්නවා. මේ විදියට මේ සංස්කෘතික වෙනස සිද්ධ වෙනවා. ඒක තමයි මේ කතාව පුරාම තියෙන්නේ.
ඉස්සරහට අලුත් පොතක් ගැන හිතල තියෙනවද?
තවම නම් හිතල නෑ. මම කවදාවත් සම්මාන බලාගෙන පොත් ලිව්වේ නෑ. මගේ හිතේ තෘප්තියට තමයි ලිව්වේ. කාල නදී ගලා බසී ලියලා රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබෙද්දී මම ඒක ගන්නවත් ලංකාවේ හිටියෙ නෑ. එතකොට අපි හිටියේ බැංකොක්වල. මගේ හිතේ ඒ ගැන අදහස් නැතිවෙන්න එක හේතුවක් වුණේ ලංකාවේ සාහිත්‍ය සම්මාන සුළු පිරිසක් අතරේ සංසරණය වුණු නිසා. ඒ නිසා ඒ ගැන මට ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියේ නෑ.
එහෙම බලාපොරොත්තුවක් නොතිබුණ ඔබට රාජ්‍ය සාහිත්‍ය සහ ස්වර්ණ පුස්තක යන සම්මාන ද්විත්වයට ලැබීම ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ලොකු සතුටක් තිබෙනවා. ඒක නිර්මාණකරුවකුට ලොකු ජවයක් ලබල දෙන දෙයක්. නමුත් ඉස්සරහට ලියනවද නැද්ද කියලා තවම මම හිතල නෑ. වසරින් වසර පොත් ලියන්න මට කොහොමටවත් බලාපොරොත්තුවක් නෑ. මේක සදාකාලික බදා ගැනීමක් මට ඕන නෑ.
මේ දවස්වල මොනවද කරන්නේ?
රේඩියෝ පිටපත් වගයක් ලියමින් ඉන්නවා. කවුරු මට ලියන්න කිව්වත් මට යම් දෙයක් දැනෙන්න ඕන ලියන්න නම්, මම කාලනදී’ ලියලා අවුරුදු 9ට පස්සේ තමයි මේ පොත ලිව්වේ. සමහර වෙලාවට මම ඉදිරියට ලියන්නත් පුළුවන් නොලියන්නත් පුළුවන්.
මේ ලිවීමට පෙලඹවීම ලැබුණේ කොතනින්ද?
අපේ ළමා විය ගෙවුණේ එක්දාස් නවසිය හැට ගණන් වලනේ. ඒ කාලේ අපට කියවන්න තිබුණේ පත්තර විතරයි. මම පොඩි කාලේ ඉඳන්ම කියවීමට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. ඒ කාලේ ගම්වල සීනි ඔතාගෙන ආවෙත්. කරවල කෑල්ල ඔතාගෙන ආවෙත් පත්තර කොළවල. අපි ඉතින් ඒ කොල කෑල්ල පවා අරගෙන කියෙව්වා. කඩ මණ්ඩියට ගිහින් දිනමිණ පත්තරේ කියෙව්වා. මම ජීවත් වුණේ කළුතර පනාපිටිය හොරණ පාරේ. ලොකු සමාජයක් අපට තිබුණේ නෑ. බොහොම ග්‍රාමීය ප්‍රදේශ. මේ හුදකලා බවත් එක්ක අපි කියවීමට පුරුදු වුණා. ඊට පස්සේ දිනමිණ, මිහිර වගේ පත්තර වලට ලියන්න පෙලඹුණා. ඊට පස්සේ ගුවන් විදුලියට, පිටපත් ලියන්න පුරුදු වුණා. ඔහොම ගෙවුණ ජීවිතයක් තමයි අපට තිබුණේ.