ජනාධිපති සිනමා සම්මාන උලෙළ 14 වැනිදා

නොවැම්බර් 9, 2023

 

මෙරට සිනමා සම්මාන උලෙළ අතර ප්‍රමුඛතම සිනමා සම්මාන උලෙළක් වන ජනාධිපති සිනමා සම්මාන උලෙළ එළඹෙන 14 වැනිදා සවස 6.30ට කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදි පැවැත්වේ.

පස් වසරක නිහැඬියාව බිඳිමින් මෙවර මෙම උලෙළ පවත්වනුයේ 2019 වසරේ සහ 2020 වසරේ තිරගත වූ චිත්‍රපට සලකා බලමිනි. මෙවර පවත්වනුයේ 20 වැනි ජනාධිපති සිනමා සම්මාන උලෙළයි.

ශ්‍රී ලාංකේය සිනමා වංශ කතාව තුළ හැත්තෑව දශකය සුවිශේෂිය. ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ වනුයේද හැත්තෑව දශකයේ මුල් භාගයේදීය. 1972 දී ආරම්භ වූ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව ජනාධිපති සිනමා සම්මාන උලෙළ ආරම්භ කරනුයේ 1979 වර්ෂයේදීය. මෙය ආරම්භ කරන ලද්දේ එවකට ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිධූරය හෙබ වූ ඇන්ටන් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුවය.

එදායින් ඇරඹී මෙම සිනමා සම්මාන උලෙළ රටේ පැන නැඟි විවිධ සමාජ, ආර්ථික, දේශපාලන හේතූන් මත නොකඩවා පවත්වාගෙන ඒමට නොහැකි වුවද මෙරට සිනමා ඉතිහාසය තුළ මෙන්ම සිනමා කර්මාන්තයේ නියැළී සිටින්නවුන් අතර මෙකී සම්මාන උළෙලට ඇත්තේ විශේෂ ස්ථානයකි. මන්දයත් රාජ්‍ය මැදිහත් වීමකින් යුතුව දේශීය සිනමා ශිල්පීන් අගය කිරීමට ලක්වන මෙරට පවතින එකම සිනමා උලෙළ මෙයය.

මෙවර ජනාධිපති සිනමා සම්මාන උලෙළේ සම්මාන පිරිනැමෙනුයේ මේ පරිද්දෙනි. හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂ, හොඳම තිර රචක, හොඳම නළුවා, හොඳම කැමරා අධ්‍යක්ෂ, හොඳම සංගීත අධ්‍යක්ෂ, හොඳම ගීත රචක, හොඳම ගී තනුව, හොඳම පසුබිම් ගායකයා, හොඳම පසුබිම් ගායිකාව, හොඳම ශබ්ද සැලසුම් ශිල්පී, හොඳම සංස්කරණ ශිල්පී, හොඳම කලා අධ්‍යක්ෂ, හොඳම වේශ නිරූපණ ශිල්පී, හොඳම නැගී එන නළුවා, හොඳම නැඟී එන නිළිය, උපරීම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලද චිත්‍රපටය ජූරියේ විශේෂ සම්මානය, පූරියේ කුසලතා සම්මානය මෙහි ප්‍රධාන සම්මාන අතරට වැටේ.

පුරෝගාමී සම්මානය, ස්වර්ණසිංහ සම්මානය සහ විශ්ව කීර්ති සම්මානය එහි සෙසු සම්මාන අතරට වැටේ.

මෙවර සම්මාන උලෙළ සඳහා 2019 වසරේ තිරගත වූ ගින්නෙන් උපන් සීතල, කතා කරන හීන, සිකුරු යෝගය, සංසාරයේ දඩයක්කාරයා, මානය, හුස්ම, ෆේස් ටු ෆේස්, තාල, වැලි පවුරු, සුභා තෙරණියෝ, විජයබා කොල්ලය, රෂ්, විෂම භාග, දැකල පුරුදු කෙනෙක්, අසන්ධිමිත්තා, සාම කුමරු කතාව, ජය ශ්‍රී ඇමතිතුමා, ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්, යූ ටර්න්, නැති බැරි ටාසන්, ඉස්කෝලෙට මං ආවා, තිත්ත ඇත්ත, ගෝරි, රී ලෝඩ්, සංගිලි, සුළඟ අප රැගෙන යාවි, එක රෑනක කුරුල්ලෝ, සකී,  Pathepaa (Local Tamil) සහ උලලේනි මේ සඳහා ඇතුළත් වේ.

2020 වසරේ තිර ගත වූ චිත්‍රපට අතරට සුපර්ණ, පාංශු, මිස් ජෙනිස්, සුනාමි, ද නිවුස් පේපර්, රෑකඩ පැංචි, ද හෝන්, ඇවිලෙන සුළුයි, සූස්ති, ඊතලය, සේද මාවතේ සහ සෙලීනා අයත් වේ.

මෙම වසර දෙකට අදාළව ‘කතා කරන හීන, සිකුරු වේෂය,  Face to Face,, කාර්තිය (දේශීය දෙමළ) The Horn  සහස සූන්ති යන චිත්‍රපට මෙම සම්මාන උලෙළ සඳහා ලබාගත නොහැකි වූ බව ද චිත්‍රපට සංස්ථාව ප්‍රකාශ කළේය.

මින් පෙර වසරවල සම්මාන ප්‍රදානය කළ ආකාරයටම ප්‍රධාන සම්මාන 44ක් සහ ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ස්වර්ණසිංහ, පුරෝගාමි සහ විශ්ව කීර්ති සම්මාන ද මෙවර උලෙළට ඇතුළත් වේ.

සිනමා ක්ෂේත්‍රය පිළිබඳ මනා දැනුමක් ඇති පළපුරුදු ජූරි සහිකයන් 7 දෙනෙකු විසින් මෙම චිත්‍රපට නරඹා තීන්දු ලබා දී ඇති අතර, සම්මාන සමඟ පිරිනමනු ලබන මුදල් ත්‍යාග සඳහා හැටනව ලක්ෂ විසිපන්දහසක මුදලක් වෙන්කොට ඇති බව ද පසුගිය දා ජාතික චිත්‍රපට සංස්ථාවේ පැවති මේ පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමේ සාකච්ඡාවේදී පැවසීය.

මෙවර ජනාධිපති සම්මාන උලෙළේ ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය සපයනුයේ සීමාසහිත ගොඩකන්ද හර්බල් සමාගම විසිනි.

මෙම සාකච්ඡාව සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න, ප්‍රවීණ සිනමා විචාරක ඈෂ්ලි රත්නවිභූෂණ, චිත්‍රපට සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලයේ මහාචාර්ය සමන්ත හේරත් සහ ප්‍රවීණ සිනමා නිළි නදීකා ගුණසේකර, ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය සපයා ගොඩකන්ද හර්බල් සමාගම වෙනුවෙන් වෛද්‍ය ලේල්වල ගොඩකන්ද මහතා ද එක් වී සිටියහ.

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න

[email protected]