වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
‘සැඟවුණි පායා’ දොරට වැඩුම

සංස්කෘතික දෙපර්තමේන්තුව සහ ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ මෙහෙයවීමෙන් රාජ්‍ය සිනමා උපදේශක සභාව විසින් සංගෘහිත ශ්‍රී ලාංකේය සිනමාවේ 40- 60 දශකයේ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණ පෙළහර විවරණය කළ ‘සැඟවුණි පායා’ ග්‍රන්ථය දොරට වැඩීම පසුගිය දා කොළඹ පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණ.
ජේ්‍යෂ්ඨ සිනමාවේදී තිස්ස ලියනසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උළෙලට බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ සහ කලා මණ්ඩලයේ සභාපති මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර ඇතුළු විද්වතුන්, රාජ්‍ය නිලධාරීන් හා කලාකරුවන් රැසක් සහභාගි විය.
40 - 60 දශකයන් හි මෙරට සිනමා කර්මාන්තය පෝෂණය කිරීමට තම නිර්මාණ හා ශ්‍රමය දායක කළ එහෙත් මෙතෙක් නිසි අවධානයට, පැසසුමට හා ගෞරවයට ලක් නොවූ පුරෝගාමි සිනමා අධ්‍යක්ෂවරුන් විසි දෙනෙකු පිළිබඳ විරචිත ශාස්ත්‍රිය ලිපි මෙම ග්‍රන්ථයට ඇතුළත් වේ.
රාජ්‍ය සිනමා උපදේශක සභාවේ ගරු සභාපති ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගමයන්ගේ උපදේශක සංස්කාරකත්වයෙන් මෙම ග්‍රන්ථය සංස්කරණය කරන ලද්දේ කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, රාජ්‍ය සිනමා උපදේශක සභාවේ සාමාජික අරුණ ලොකුලියන, ප්‍රවීණ සිනමා ලේඛක, රාජ්‍ය සිනමා උපදේශක සභාවේ සාමාජික, හිටපු සරසවිය කර්තෘ අරුණ ගුණරත්න, ප්‍රවීණ සිනමා රංගනවේදිනි, රාජ්‍ය සිනමා උපදේශක සභාවේ සාමාජික, නදීකා ගුණසේකර සහ ප්‍රවීණ සිනමා නිෂ්පාදන ශිල්පී, රාජ්‍ය සිනමා උපදේශක සභාවේ සාමාජික රාජ් රණසිංහ යන මහත්ම මහත්මීන් අතිනි.
මෙම ග්‍රන්ථය ඔස්සේ සාකච්ඡාවට බඳුන් කර ඇත්තේ ලාංකේය සිනමා ඉතිහාසයට අපූර්ව සිනමා නිර්මාණ රාශියක් තිළිණ කළ සහ ජන ආකර්ෂණීය සිනමා වසන්තයක් මෙරටට එම දශකවලදී තිළිණ කළ, නමුදු ඔවුන් පිළිබඳ නිසි අවධානයට ලක් නොවූ සිනමා නිර්මාණකරුවන් රැසක් වෙනුවෙනි.
මෙම යුගයේ සිනමාකරුවන් තෝරා ගැනීමේදී ඔවුන්ගේ සුවිශේෂී අවධානය යොමු වී ඇත්තේ සිනමා සාහිත්‍ය තුළ යම් පමණකට හෝ සාකච්ඡා නොවුණු සිනමාකරුවන් මේ වෙනුවෙන් තෝරාගැනීමය. එබැවින් අපේ සිනමා ඉතිහාසය තුළ නිරන්තර සාකච්ඡාවට බඳුන් වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් කේ.ඒ. ඩබ්ලිව්. පෙරේරා, ටයිටස් තොටවත්ත, සුගතපාල සෙනරත් යාපා, තිස්ස ලියනසූරිය වැනි සිනමාකරුවන් පිළිබඳ මෙම ග්‍රන්ථයෙන් සාකච්ඡා නොකෙරේ.
සැඟවුණු පායා ග්‍රන්ථයෙන් සුවිශේෂි අවධානය යොමුකොට ඇත්තේ ජ්‍යෙතිෂ් සින්හා, ශාන්ති කුමාර් සෙනෙවිරත්න, බී.ඒ. ඩබ්ලිව්. ජයමාන්න. ඒ.බී. රාජ්, ටී.ආර්. සුන්දරම්, ඒ .එස්. නාගරාජන්. සිරිල් පී. අබේරත්න, ටී. සෝමසේකරන්.එම්.මස්තාන්, එල්. එස්. රාමචන්ද්‍රන්, ඩබ්ලිව්. එම්.එස්. තම්පෝ, රොබින් තම්පෝ, සේතු මාධවන්, කිංස්ලි රාජපක්ෂ එස්. රාමනාදන්, එම්.එස්. ආනන්දන්, එල්.එම්. පෙරේරා, ෆ්ලොරීඩා ජයලත්, ධර්ම ශ්‍රී කල්දේරා, ලෙනින් මොරායස්, රෝහිණී ජයකොඩි, එම්.වී. බාලන් යන සිනමා ශිල්පීන් වෙනුවෙනි. ඔවුන් පිළිබඳ පර්යේෂණාත්මක, ශාස්ත්‍රීය ලිපි සැපයීම සඳහා ලංකා මාගම්මන, එස්.ඒ. ෆාතිමා ශානාස්, අජිත් ගලප්පත්ති, බෙනිල් ශාන්ත, තුසිත ජයසුන්දර, ඒ.ඩී. රංජිත් කුමාර, අතුල සමරකෝන්, අරුණ ගුණරත්න, බුද්ධදාස ගලප්පත්ති, රාජ් රණසිංහ, ගාමිණී වේරගම, අරුණ ලොකුලියන, සමන්ත යහම්පත්, දිනේෂ් පි‍්‍රයසාද්, නදීකා ගුණසේකර, ජීවන්ත දයානන්ද, පද්මසිරි කොඩිකාර සහ අරුණී මුතුමලී දායකත්වය දක්වා ඇත.
‘සැඟවුණි පායා’ ග්‍රන්ථයෙන් ඉහත කී සිනමාකරුවන් පිළිබඳ ඉතා වටිනා තොරතුරු රැසක් සිනමා සාහිත්‍යයට එකතු කරනු ලබයි. ඔවුන්ගේ ජීවන තොරතුරු මෙන්ම, ඔවුන් දායකත්වය දැක් වූ නිර්මාණයන්හි තොරතුරු ද, නිර්මාණකරණයේ නියුක්ත වන සමයේ සිදු වූ සුවිශේෂිතා ද මෙම ලිපි මඟින් අනාවරණය කරනු ලබයි. දේශීය සිනමා ඉතිහාසය අධ්‍යයනය කරන්නෙකුට මෙම අප්‍රකට නිර්මාණකරුවන්ගේ ප්‍රකට නිර්මාණ අප කෙතරම් රසවිඳ ඇති නමුත්, ඔවුන් මෙරට සිනමා ක්ෂේත්‍රයට දැක් වූ දායකත්වයේ විශාලත්වය කෙතරම් දැයි සිතා ගැන්මට මෙය මහත් පිටිවහලක් වනු ඇත.
මෙම ග්‍රන්ථය දොරට වැඩි සන්ධ්‍යා භාගයේ, මෙම ග්‍රන්ථය රචනා කිරීමේ මූලික අරමුණ පැහැදිලි කිරීම රාජ්‍ය සිනමා උපදේශක සභාවේ සාමාජික කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අරුණ ලොකුලියන විසින් සිදුකරන ලද අතර, ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක ප්‍රධාන දේශනය පවත්වන ලදී.