වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
නාට්ටාමි ආමි දෙවන පියවර අරලගංවිල දී

‘නාට්ටාමි ආමි’ සිනමාපටය අධ්‍යක්ෂ දේවින්ද කෝන්ගහගේ සහ නිෂ්පාදක ගාමිණී පතිරණගේ ඇතුළු කණ්ඩායම, ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව හා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාතේ පරිසර ආරක්ෂණ කොට්ඨාසය සමඟ එක්ව පසුගිය දින ලාංකේය සිනමා ඉතිහාසයේ චිත්‍රපටයක් ඇසුරෙන් ප්‍රථම වතාවට සමාජ සත්කාර වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කළහ.
‘සිනමාවෙන් නෙත් පෑදීමේ’ මූලික පියවර ලෙස එදිනට කළුතර, වාද්දුව, පානදුර සහ කොළඹ ප්‍රදේශයේ නාට්ටාමිවරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ මේ සමාජ සත්කාර වැඩසටහන සඳහා සහාභාගි වූහ. එහි දෙවැනි පියවර ලෙස අරලගංවිල ප්‍රදේශයත්, තෙවැනි සමාජ සත්කාරය ලෙස සියඹලාණ්ඩුව හා මහනුවර ප්‍රදේශත් තෝරාගෙන තිබේ.
එහි ප්‍රථම පියවර ලෙස ‘නාට්ටාමි ආමි’ සිනමා පටය රූප ගත කළ කොළඹ කොටුව ප්‍රදේශය මුල් කරගනිමින් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය ප්‍රථම වතාවට ‘සිනමාවෙන් නෙත් පෑදීම’ යන නමින් නාට්‍ටාම්වරුන් පන්සියයක් දෙනා සඳහා ඇස් කන්නාඩි සහ කාච ලබා දීම සිදුකරනු ලැබිණ. මේ සිනමා සමාජ සත්කාරය අර්ථවත් කරමින් එදින එම පවුල්වල තෝරාගත් දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානයක් සිදුකෙරිණි. එදින දවස පුරා පොලිස් දෙපාර්තමේන්තුව මඟින් නාට්ටාමිවරුන් වෙනුවෙන් විශේෂ සමාජ දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් ද සිදුකෙරිණි.
නාට්ටාමිවරුන් පාදක කොට තැනුණු මේ සිනමා පටය සමාජයට නිරාවරණය වීමට ප්‍රථම නාට්ටාමිවරුන්ගේ සමාජ මෙහෙවර ඇගැයීම වස් සිනමා පටයේ විශේෂ දර්ශනයක් ඔවුන්ට සහ පවුල්වලට පිටකොටුව ගුණසිංහපුර නගර සභා ක්‍රීඩාංගණයේ ඉදි කළ විශාල පුළුල් තිරයක් මත නොමිලේ නැරැඹීමට ද අවස්ථාව උදාකර තිබුණි. මෙම වැඩපිළිවෙළ මේ ආකාරයෙන්ම අරලගංවිලදීද ක්‍රියාත්මක වේ.