තියරි ඔළුවේ තියාගෙන නවකතා ලියන්න බැහැ

ප්‍රකට ලේඛිකා තාරකා වාසලමුදලිආරච්චි
සැප්තැම්බර් 28, 2023

නීලනිම්න මගේ එකළොස් වන නවකතාව 

නූතන සිංහල නවකතා ක්ෂේත්‍රයේ ගුණාමත්ක වෙනසක් නිතර ඇති කිරීමට උත්සුක වන්නා වූ ලේඛිකාවක් වන තාරකා වාසල මුදලිආරච්චි අප අතර සිටින ප්‍රතිභා සම්පන්න ලේඛිකාවකි. ශිල්පීය වශයෙන් නවකතාවේ ආකෘතික රාමුව බිඳ දැමීමට සමත් වූ තැතැත්තියක් වන තාරුකා පොදු සමාජයේ මෙතෙක් කිසිවකු ගේ අවධානයට පත්නොවු එහෙත් අවධානයට පත්විය යුතුව තිබු කාරණා පිළිබඳ නවකතාව හරහා සංවේදීව හා මානුෂීයව බැලීමට නිරන්තර උත්සාහයක නියැළේනි. නව පරපුරේ කුසලතා පිරී කැපී පෙනෙන නවකතාකාරියක් වන තාරකා මුල්වරට ප්‍රකට වුයේ හරවත් ගවේෂණශීලි වැඩසටහන් වූ හෙළිදරව්ව. චරිත, පෙරවදන ආදී රූපවාහිනි වැඩසටහන් කීපයක් ඔස්සේ විද්‍යුත් සන්නිවේදකාවක ලෙසිනි. රූපවාහිනී නිවේදිකාවක රංග ශිල්පිනියක පිටපත් රචිකාවක ගීත රචිකාවක වන ඈ සාහිත්‍යකරණයට පිවිසෙන්නේ 2003 වසරේ යෞවන සම්මානය දිනාගනිමින්. තම අන්දර මණ්ඩිය නවකතාව මුල්වරට රචනා කරමිනි. කොණ්ඩ කිරිල්ලී, දෙහි, මැටි, කළු, ඇස්, පාට, ගුරු, ඉන්ද්‍රචාප, කාසි ආදී නවකතා ප්‍රබන්ධයන් රචනා කළ ඈ පාඨකයන්ගේ සේම විචාරකයන්ගේ අවධානයට ලක් වූවා පමණක් නොව විවිධ සම්මාන සඳහා ද එම කෘතින් නිර්දේශ විය. ඈ විසින් එක් වතාවක් රචනා කළ කළු නවකතාව 2009 වසරේ ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ විශිෂ්ට කෘති අතරට නිර්දේශ විය. රූපවාහිනී නිවේදිකාවක්, ගත්කතුවරියක්, රංගන ශිල්පිනියක්, ගීත රචිකාවක්, තිරපිටපත් රචිකාවක් ලෙසින් අලුත් මානයක් සොයාගිය තැනැත්තියක් වන තාරකා තම එකළොස්වෙනි කෘතිය ලෙස එළි දක්වා ඇත්තේ නීලනිම්න නවකතාවයි. 

 තාරකා අලුත් නවකතාවකින් යළිත් පාඨක මනසට ආමන්ත්‍රණය කරන හැඩයි?

ඔව් මගේ එකළොස් වන නවකතාව නීලනිම්න නමින් දැනට ප්‍රකාශයට පත්කරලයි තියෙන්නේ.

ඔබ අතින් ලියපු වැඩිමනක් නවකතා අකුරු දෙකේ නවකතා ඒකට විශේෂයක් තියනවද?

ඕක මගෙන් බොහෝ දෙනෙක් අහන දෙයක් තමයි. ඇයි තාරුකා අකුරු දෙකේ නම් වලින් නවකතා ලියන්නේ කියා මේපාර මගේ පොත අකුරු දෙක නොවෙයි. අකුරු පහක. නමුත් මට මේ වකවානුවේ අවුට් වෙච්ච ගොඩක් පොත් දැක්කා. අකුරු දෙකේ පොත් තමයි තිබුණේ.

අකුරු දෙකේ ට්‍රෙන්ඩ් එක නවකතාවලට ඇති කළේ තාරකා කිව්වොත්?

මම ආසයි ඒකේ කොටස්කරුවා මම කියල කියනවා නම්. මොකක් හරි ආකර්ෂණයක් පොත් කෙරෙහි තියනවා නම් ඇත්තෙන්ම හොඳයි එහෙම හරි කතා බහක් ඇති වෙනවා නම්. මම අකුරු දෙකට පෙම් බදින්න පටන් ගත්තේ මගේ දෙහි පොතෙන්. ඒක මම ලිව්වේ 2002 විතර. නමුත් එය පොතක් ලෙස අවුට් වුණේ 2006 දී විතර මට රූපවාහිනී නිවේදිකාවක්ව ඉන්න කාලයේ දෙහි ගොවීන් ගැන. ප්‍රෝග්‍රෑම් දෙකක් විතර කළා. ඒ ගොවීන්ගේ කතාව හරිම සංවේදීයි. මට ඒ ගොවියන්ගේ කතාව ප්‍රෝග්‍රෑම් එකක් කරල මදි වුණා. සෑහීමකට පත්වෙන්න. මට ඒ ගොවි ප්‍රශ්නය දැනුණා. ඒ දැනුණු සංවේදී ප්‍රශ්නය මම කතා කළා. දෙහි නවකතාව තුළින් පොතට නමක් දාන්න කතා කරනකොට මම දෙහි ප්‍රශ්නය ඇසුරින් මගේ නිර්මාණය රචනා කරල තිබුණා. ඒ නිසාම පොතේ මුද්‍රණ ශිල්පියෝ දෙහි කියල පොතට නම දාන්න යෝජනා කළා. හිතුවේ නැති විදියට දෙහි නම හිට් වුණා. ඊට පස්සේ මගේ පොතක් ලියවුණහම ප්‍රකාශකයෝ ඇහුවේ තාරකා දෙහි ලිව්වා දැන් ලියන්නේ ලුණු කියල ද කියලා. එහෙම තමයි අකුරු දෙකේ නම වැඩ කරන්න පටන් ගත්තේ.

ඔබ අතින් රචනා වන මෙම නවකතා සමුදාය සඳහා ඔබේ යම් අත්දැකීමක් පාදක වෙනවාද?

නෑ. කොහෙත්ම නෑ. හැබැයි නවකතාවක් ලියද්දී අපේ අත්දැකීම් යම් ප්‍රමාණයක් සමහරවිට එයට අන්තර්ගත වෙන්න බැරි කමක් නෑ. සාර්ථක නවකතාවක් ලියනකොට මම විශ්වාස කරන දෙයක් තමයි ලේඛකයා ඕනෙවට වඩා තමන්ව පාලනය කරන්න නොගොස් තමන්ට කියන්න අවශ්‍ය ටික මේ චරිත හරහා මේ කතාන්දරය කියන්න ඕනේ කියල ඒ වගේ දේවල් තුළ මට ලොකු කනගාටුවක් ඇතිවෙනවා ඇයි මේ රචකයා රචිකාව මැදිහත් වන්නේ කතාව කියන්න කියල. මම පාඨකයෙක් හැටියට වෙනත් අයගේ පොතපත කියවන කොට මට ඒ බව දැනිල තියෙනවා.

තාරකා කියන්නේ කර්තෘවරයා හැටියට එහෙම නොකළ යුතුයි කියල ද?

මම කියන්නේ මැදිහත් වීමකින් තොරව ලියවෙන්න දෙන්න ඕනෙ කියලා. මම මේ නීල නිම්න පොතට කලින් ලිව්ව ඉන්ද්‍රචාප පොතේම දිගුවක් විදියට නීල නිම්ම පොත කාටහරි උපකල්පනය කරන්නත් පුළුවන්. මේ පොත වෙනම තියන්නත් පුළුවන්. පොත් දෙකේම චරිත එකයි. මම කියන්නේ ලේඛකයෙක් ලෙස පැත්තකින් ඉඳගෙන මේ කතාව තුළ ඉන්න චරිතවලට නිදහසේ කතා කරන්න දෙන්න ඕනෙ කියලා.

නවකතා රචනයට තියරියක් තියනවද?

එහෙම දේකුත් තියනවා. මම කියන්නේ තියරියටම මම කරන්න ගියොත් අන්තිමට ලියන්න යන නවකතාවත් ලියාගන්න බැරි වෙන්න පුළුවන්. මගේ මතය තියරියම අවශ්‍ය නෑ. නව කතාවක් ලියන්න. සම්මාන උලෙළ වලටත් දානවා නවකතා වල තියරිය. ඕනෙවටත් වඩා හිතන මිනිස්සු ඒ වගේ වෙලාවට ක්‍රියේටිවු නවකතාවක් වුණත් සමහර විට තියරිය ඔළුවේ නිසා විසි කරල දාන්නත් පුළුවන්. තියරියට පටහැණියි කියලා මම කියන්නේ තියරිය ඉගෙනගන්න කොට පරෙස්සමෙන් ඉගෙන ගන්න ඕනෙ කියලා. තවත් දෙයක් කියන්න ඕනේ තියරිකාරයෝ ගෙනත් හොඳම පොත තෝරන්න කියන කොටත් අපි පරෙස්සම් වෙන්න ඕනෙ කියන්නේ මෙන්න මේ හේතුව නිසයි. නව කතාකරුවා චරිතයේ බෙල්ලෙන් ඇගෙන් වලිගයෙන් අල්ලගෙන චරිතය ගැන කියන්න ගියොත් ඒ චරිතය හරි ආකාරව ලියවෙන්නේ නම් නෑ.

ඔබ එසේ නොවන්න වග බලා ගන්නවද?

මගේ මුල් නවකතාවල මමත් එහෙම කරල ඇති. මගෙත් දුර්වලතා ඇති මම නෑ කියන්නේ නෑ. නමුත් පසුකාලීනව මගේ දැනීමේ හැටියට එහෙම නොවෙන්න මම උත්සාහ ගත්තා. මගේ දෙහි පොත කියවපු පරාක්‍රම කොඩිතුවක්කු මහතා මට කිව්ව දෙයක් තමයි තාරකා ඔබ වැරදි පාරක යන්නේ ඔය මයික්‍රෆෝනය බිම තියල වහාම පෑන අතට ගන්න. ඒ වෙනකොට මගේ ප්‍රධාන භූමිකාව ජනමාධ්‍ය වේදිනීය. එතුමා නොකියා මට කියනවා ඔයා මේ ජ්‍යෙෂ්ඨ පෑන අතට ගන්න. ඒක තමයි ඔබට සුදුසු දිගටම ඒක අතේ රඳවා ගන්න කියලා. 2006 දී තමයි එතුමා ඔයදේ මට කියන්නේ. මම එතුමට කිව්වා මම ජනමාධ්‍යවේදිනියක් ලෙස මහන්සි වෙලා වැඩ කරන්න යමක් කරන්න ආසයි. ඒ ආශාවට ඉඩදීල යම්කාලයකදී එයින් බැහැරව මම ඔබතුමා කියන පෑන අතට ගන්නම් කියල ඒ කිව්ව වගේම මම පෑන අතට ගත්තා.

මොනයම් හෝ කටයුත්තකදී අලුත් යමක් කිරීමට උත්සාහ ගන්නා තැනැත්තියක් වන ඔබ ජනමාධ්‍ය වෘත්තියට සමු දී ග්‍රන්ථකරණයට පිවිසෙනවා?

2009 වසරේ තමයි මම ජනමාධ්‍ය වෘත්තීයට සමුදීම අරඹන්නේ. ඒත් එහෙම කළා කියලා ම ග්‍රන්ථකරණයට කෙළින්ම යොමු වෙන්නේ නෑ. ඒ වෙනකොට මගේ පුංචි බබා ලැබෙනවා ඔය අතරේ. මම බැනුම් අහනවා මගේ ළඟ සිටි ලේඛිකාවත් ජනමාධ්‍යවේදිනියත් මා තුළ නොමැතිව මට මේ ෆීල්ඩ් එකෙන් සමුගන්න දුන්නේ නෑ මම නිකන් ඉන්නකොට මා වටා පවුරක් සේ හිදිමින් ඒ අය මාව දිරිමත් කළා. හොඳි හැඳි ගගා ළමයි නළව නළව ගෙදර ඉන්නේ නැතිව ලියන්න කියල. ඔය වගේ දිරිගැන්වීම් මට ලැබුණා.

දිගින් දිගටම ඔබ වසරක් පාසා පොත් ලිව්වාද?

එහෙමත් නෑ. මම පොතක් ලිව්වා නම් ඒ ගැන හොඳ අධ්‍යනයක් කරල තමයි ලිව්වේ. ඉතිහාස පොතක් නම් ඒ ගැන අධ්‍යයනය කරල පොත ලියන්න පුළුවන්. නමුත් මම රිසච් කරල තමයි මගේ නිර්මාණයකට මම අත තිබ්බේ. ඒක මගේ ඇගේම තිබුණ දෙයක්. කාලීන දේශපාලන වටපිටාව තුළ ගැඹුරටම කිදා බැහැලා තමයි. ඒ ප්‍රෝග්‍රෑම් කළේ. මගේ ඇගේ කාවැදිල තියනවා දෙයක් සියුම්ව ගැඹුරට සොයා යාම, නවකතා ලියන එක ලේසියි. නමුත් මහන්සි වෙලා ඒ දේ ලියන්න ඕනේ.

ඔබ අතින් ලියවු මුල් නවකතා අදත් පාඨකයෝ ඉල්ලනවාද?

මම 2006 ලිව්ව දෙහි පොත 2009 ලිව්ව කළු පොත අද 2023 දී මිනිස්සු ඉල්ලනවා. මම ලිව්ව දෙහි පොතේ සැබෑ දෙහි ගොවියා හිටියා. මම ලිව්ව කළුපොත තුළ සැබෑ මානසික රෝගියා හිටියා. ඒකයි රහස.

සැබෑ අත්දැකීමක් ලබන්නම ඕනෙ ද පොතක් ලියන්න?

එහෙම නොවෙන්න පුළුවන්. අතිශෝක්තියෙන් වුණාත් කෙනෙක්ට කතාවක් ගොඩනගන්න පුළුවන්. මගේ නවකතා ඇතුළේ තියන චරිත මම අත්දැකපු මම හොයල හඳුනාගත්ත චරිත වීම සුවිශේෂයි. මුල්ලේරියාව රෝහලට නිරන්තරයෙන් ගිහිල්ල ඒ පරිසරය ඒ රෝගීන්ගේ දින චාරියාව මේ හැම දෙයක්ම සොයල බැලීමකින් පසු ලිව්ව පොතක් තමයි කළු වටෙන් ගොඩෙන් ඇහින්ද කරුණු නොවෙයි. ඒ තුළ තිබුණේ ඒකයි සත්‍ය තොරතුරු පොත පුරාවට සත්‍යයක් වුණේ.

තාරකා පොත් ලියාගෙන ගමනක් පැමිණියේ සම්මාන බලාපොරොත්තුවද?

අනේ නෑ. කොහෙත්ම නෑ. සම්මාන කියන්නේ ලේඛකයන්ට කපපු බොරු වලක් කියලා. මම එෆ් බී.එකේ පෝසට් එකක් දැක්කා. ඒක මගේ අදහසක් නොවෙයි. නමුත් ඒකට රිප්ලයි එකක් දැම්මා. සමහරවිට එහෙම වෙන්නත් පුළුවන්. නමුත් ලේඛකයා කියන කෙනා බොරු වල්වල වැටිය යුතු කෙනෙක් නොවෙයි. මම දකින්නේ ලේඛකයා සාමාන්‍ය කෙනෙකුට වඩා වෙනස් කෙනෙක්. වලේ වැටිල ඉන්න කෙනෙක් ගොඩගන්න පුළුවන්. කෙනෙක් විදියටයි මම ලේඛකයා දකින්නේ. ලේඛකයා සම්මාන ගන්නම හිතාගෙන පොතක් ලියන රටාව වෙනස් කරනවා නම් ඒක මහ අපරාධයක්. හොඳ දේකට සම්මාන දෙන එක වරදක් නෑ. සම්මාන ඇතුළේ විවිධ දේශපාලනය ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. මගේ කළු පොත එක්තරා සම්මාන උලෙළක නොමිනේට් වෙලා තිබුණා. මට ඒ සඳහා යන්න සිද්ධ වුණා. කේ.ජයතිලක මහත්තයා මට කතා කරල කිව්වා ඔයා තාරකා දක්ෂ ළමයෙක් තරුණළමයෙක්. මේ ක්ෂේත්‍රයට පුංචි දරුවෙක් අලුත් දරුවෙක් මම කිව්වා ඔව් සර් “ඒ පාර එතුමා කිව්වා මම මේ කියන්නේ ඔයා දැන් මේ ෆීල්ඩ් එකේ උඩට එනවානේ. ඔයාට නොයෙක් වර්ණනාවන් එන්න පුළුවන්. ඔයා දැනට ලිව්ව පොත් එක්ක හිතන් නැති තැනක ඔයාව ඔසවල තියන්නත් පුළුවන්. හැබැයි ඔයා නිහතමානී වෙන්න ඕනේ. ඔයාගේ ප්‍රධාන දේ වෙන්න ඕනේ ඔය කිසිම සර්වපිත්තල දේකට අහුනොවී ඔයාගේ ඇස් ඔය කියන දේවල් වලින් නිලංකාර නොකරගෙන ඔයාගේ ලියන රටාව ගමන තමන්ගේ පාඩුවේ කරගෙන යන්න කියලා. දැනට මුදල් හම්බ කරන්න කියල පොත් ලියන්න එපා කියලා. මේ කිව්ව දේවල් ගැන මම හිතන්න පටන් ගත්තා. ඒ සිතුවිල්ලත් සමඟ මම මගේ පොත් ප්‍රකාශකට කිව්වා මගේ කිසිම පොතක් ලංකාවේ සම්මාන උලෙළකට යවන්න එපා කියලා.

අදටත් ඒ ස්ථාවරයේද ඔබ?

ඔව්. මගේ පොත් ප්‍රකාශක සරසවි පොත් ප්‍රකාශකයන්ට මම කියල තියෙන්නේ මගේ කිසිම පොතක් සම්මාන උලෙළවලට යවන්න එපා කියලා. තරහකට නොවෙයි එහෙම කියන්නේ මගේ අන්දර මණ්ඩිය පොතට යෞවන සම්මාන හම්බ වුණා. එතකොට මාව කවුරුවත් දන්නේ නෑ. මගේ පළමුවෙනි පොත ඒක. මම පෞද්ගලිකව හිතනවා සම්මාන උලෙළ තියෙන්න ඕනෙ දෙයක්. අපිට සියයට සීයක් දේවල් සුදු කරන්න බෑ. සම්මාන ගන්න ආස අය ගිහින් ගත්තාට වරදක් නෑ. මේව තිබුණාවේ. අනික් කර්මාන්ත අතරේ පොත නිකන් අභාවයට පත් වෙන්න දෙන්නේ නැතිව පොත කියන දේ උඩට එන්න නම් සම්මානත් තිබිය යුතුයි. එතකොට තමයි මිනිස්සුන්ට වුණත් බැබළීමක් ගැන දැනෙන්න පටන් ගත්තොත් කර්මාන්තය ඉස්සරහට ගෙනියන්න ඊට වඩා දෙයක් වැදගත් වෙනවා. අපි මේ ලේඛකයෝ ඔක්කොමලා කර්මාන්තය පවත්වාගෙන යන්න අවධානය යොමු කරන්න ඕනේ. ජ්‍යෙෂ්ඨයෝ හැමදාම ඉන්නේ නෑ. අලුත් පරම්පරාවක් මේ සඳහා එන්න ඕනේ. ජ්‍යෙෂ්ඨයෝ කරන්න ඕනෙ දෙයක් තමයි ඊළඟ පරම්පරාව හැදීම. අලුත් පරම් පරාවට පැත්ත පළාතේ එන්න නොදී ඔවුන්ව විසි කරල දැම්මොත් අපිට මතු පරපුරක් නැතුව යනවා. ඒක නිසා ජ්‍යෙෂ්ඨයන්ගේ වගකීමක් තමයි දක්ෂයන් ආරක්ෂාකර ගැනීම, වර්තමාන දක්ෂයන්ගේ වගකීම තමයි මම අර කිව්ව බොරුවලවල්වල නොවැටී ජයතිලක මහතා කිව්ව පරිදි ඇස් නිලංකාර නොකර ගෙන සම්මානයක් ගත්තත් කමක් නෑ. එයින් උඩගු නොවී තමන්ගේ ඩියුටිය ලේඛන කලාව වෙනුවෙන් ඉටුකරන්න ඕනේ. ඕක කලාව වෙනුවෙන් විතරක් නොවෙයි මනුස්සයෙක් හැටියටවත් ඒ ප්‍රතිපත්තිය තියෙන්න ඕනේ.

ඔබේ නවතම පොත වූ නීල නිම්න සඳහා පාදක වන්නේ?

නීල නිම්නයේ සම්බන්ධතාවක් තියනවා ඉන්ද්‍රචාප පොතේ කතාවට මේ පොතේ මම ලියන රටාවේ වෙනසක් තියනවා. මේ විධියේ රටාවකට මම කවදාවත් පොතක් ලියල නෑ. ඉන්ද්‍රචාප ලියද්දි මට ආරාධනාවක් ආවා. ටෙලි ඩ්‍රාම එකක ස්ක්‍රිප්ට් එකක් ලියන්න කියලා. මම කොටස් විස්සක් විතර සීන්බයි සීන් විධියට ලිව්වා. නමුත් ටෙලි නාට්‍ය කෙරුණේ නෑ. මම කිව්වා ටෙලි නාට්‍ය දැන් කරන්න එපා මම පොතක් කරන්න යනවා කියලා. ඒ ආකාරයට තව කොටස් සීයක් විතර ලිව්වා. මගේ රචනා ශෛලිය තුළ පළමු වතාවට තමයි හාස්‍යරසය නව කතාවකට ගෙන්නේ. මම කලින් ලියපු පොත් හරිම බර සාරයි. ඒවා ඇතුළට මට හාස්‍ය රිංගවන්නත් බෑ. නමුත් නීල නිම්න හරිම සරල පොතක් හාස්‍ය පිරිච්ච සමහරවිට මගේ බර සාර පොත් දිගින් දිගටම එළිදකින කොට මගේ පාඨකයන් වුණාත් මගෙන් ගිලිහෙන්න පුළුවන්. සරල වින්දනීය රසයක් මගේ පොතපත තුළින් නොලැබෙනකොට රයිටර්කෙනෙක් හැටියට මම මගේ පොතෙන් මගේ ලිවීමේ ශෛලිය වෙනස් කරල තියනවා.

ලියන ශෛලිය වෙනස් කිරීම තුළ ඔබට පෙම්බැදි පාඨකයා ඔබ අතරමං කරනවා නොවේද?

මම පෞද්ගලිකව කැමති නෑ. මට ආවේනික එකම රටාවක ලිව්මේ ශෛලියක් අරගෙන යන්න. මම අලුත් අලුත් පරීක්ෂණ කරන කෙනෙක්. මාව තේරුම් ගන්න බැරි මගේ පාඨකයෝ මගෙන් ගිලිහුණාට කමක් නෑ. නමුත් මට අලුත් පාඨකයෝ ටිකක් ඒ වෙනකොට එකතු වේවී. පුදුමේ කියන්නේ මම ශෛලිය වෙනස් කළත් අර හිටපු පාඨකයෝ සියල්ලෝම මගේ ගාව අදටත් ඉන්නවා. මාව අත් නොහැර මගේ අලුත් පොතක් එනකන් මඟ බලාඉන්න කොටසකුත් ඉන්නවා.

දිනෙන් දින ඔබට පාඨකයන් ළංවුණා මිසක් ඈත් නොවුණා කියා ද තාරකා හිතන්නේ?

ඔව්. ඒක විශ්මය ජනක කාරණයක්. ටෙලි නාට්‍යයක චිත්‍රපටයක අපිට මොනයම් හෝ උපක්‍රමයක් යොදලා ප්‍රේක්ෂකයාව ඒ තුළ රඳවා ගන්න පුළුවන්. නමුත් පොත අජීවී දෙයක්. නමුත් ඒ අජීවී පොතට පුදුම ජීව බවක් තියනවා. පුද්ගලයෙක් වශයෙන් අව්‍යාජබවකුත් තියෙන්න ඕනේ පාඨකයෝ මේතරම් තමන්ට ළෙන්ගතු වෙන්න මිනිස්සුන්ට වෙනසක් ඕනේ අපි නිර්මාණකරුවෝ හැටියට ඔවුන්ට පවතින දෙයක් දෙන්න ඕනේ. අප තුළ සාහිත්‍ය කෘති ටිකක් තියනවානේ පවතින ඒවා මම දකින්නේ ඒවා අජීවී දේවල් ලෙස නොවෙයි සජීවී කෘති හැටියටයි.

තාරකා කැමති සාහිත්‍යවේදිනියක් ලෙස දකිනවාට ද? ජනමාධ්‍යවේදිනියක් ලෙස දකිනවාට ද?

ජනමාධ්‍යවේදිනියක් කියන පරිච්ඡේදය මගේ ජීවිතයෙන් මම අයින් කරල ඉවරයි. සම්පුර්ණයෙන්ම එයින් ඉවත්වෙලා ඉවරයි දැන්.

ඒ කියන්නේ තාරකාව මිනිස්සු හඳුනාගත් භූමිකාවට ඔබ පයින් ගැහුවා?

මම 2009 විතර ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඉහළටම ඇවිත් තිබුණා. ගොඩක් ජනපි‍්‍රය වෙලා හිටිය කාලයක් මම වැඩ කරපු ආයතනයටත් සම්මාන රාශියක් හම්බ වුණා. මමත් කරපු වැඩ සටහන් වලින් ගොඩක් ජනපි‍්‍රය වෙලා හිටියා. තාමත් මිනිස්සු ඒ කරපු හෙළිදරව්ව, චරිත, පෙරවදන වැඩසටහන් ගැන කතා කරනවා. ඒත් මම කැමැතියි. කොච්චර මම ජනපි‍්‍රයවෙලා හිටියත් ඒ දේවල් අතහරින්න මට කැමැතියි සාහිත්‍ය වේදිනියක් ලෙස ඉදිමින් සමහරවිට මට ඒ දේත් අතහරින්න බැරි කමක් නෑ. වෙන ක්ෂේත්‍රයකින් මම වැඩක් කරන්න පටන් ගනියි ද කියල මම දන්නෙ නෑ. හැබැයි මගේ හැටි අතහරින එක තමයි. මහා කාලයක් අපි ජීවත් වෙන්නෑ ජීවත්වෙන පොඩි කාලය තුළ එහෙම නොකරන්න බෑ. සමහරවිට මම කවුරුත් නොහිතන ෆීල්ඩ් එකක් කරන්නත් බැරි කමක් නෑ මේ දවස්වල හිතමින් ඉන්නවා. මිනිස්සු අලුත් වෙන්න ඕනේ. මට ඕනේ නිදහස් මනුස්සයෙක් වෙන්න. අවශ්‍ය දේ අවශ්‍ය කාලයේ උපරීයෙන්ම කළාම ආයෙ හිතේ දුකක් නෑ. තවත් තැනකට දුකක් නැතුව අඩිය තියන්න පුළුවන්.

ලේඛන කලාවෙනුන් ඔබ ඈත්වෙලා හිටිය අවස්ථා තිබුණ ද?

අවුරුදු හයක් මම ලිව්වේ නෑ. මගේ පොඩි බබා නිසාම.

කවදා හෝ ලේඛිකාවක් වනවා කියා ඔබ සිහින මැව්වාද?

නෑ. කේ. ජයතිලක, එදිරිවීර සරච්චන්ද්‍ර, මාර්ටින් වික්‍රමසිංහ මහත්වරුනගේ පොත පත මම කියෙව්වා. මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පොත් කියවන්න මම ගොඩක් ආස කළා. මම දකුණු පළාතේ කෙනෙක් නිසා. වික්‍රමසිංහයන්ගේ භාෂා විලාසයට මම ආශා කරන්න ඇති.

රූපවාහිනි මාධ්‍යය තුළ රැදි සිටි කාලයට වඩා වැඩි ජනපි‍්‍රයත්වයක් ඔබට ලේඛිකාවක් ලෙස ලබන්න පුළුවන් වෙලා තියනවාද?

මම කිසිම රූපවාහිනි මාධ්‍යයක දකින්නේ නැතුව කාලයක් හිටියා. ඒත් ජනපි‍්‍රයත්වයේ අඩුවක් මම දැක්කේ නෑ. මාත් සමඟ පරම්පරා කීපයක් ඉන්නවා මගේ වයසේ අය මට වඩා වැඩිමල් වයසේ අය. මගේ දරුදෙදෙනාගේ වයස්වල පසුවන අය.

ජීවිතේ දෙස ආපසු හැරිල බලනකොට මොකද හිතෙන්නේ?

මගේ ජීවිතේ නෙගටිව් පොයින්ට් නැති තරම්. කලෙන් කාලෙට මම ජීවිතය ජයගෙන තියනවා. මම හැමදේම දකින්න කැමැති හොඳ දෙයක් විධියට.

තාරකා ලිව්ව නවකතා වලින් වැඩිම පාඨක පිරිසක් ආදරය කළේ ඔබේ මොන නවකතා වලටද?

කළු, දෙහි, මැටි

දැන් ආයෙත් අකුරු තුනට හතරට යන්න පටන් අරන්ද?

මම අකුරු දෙකේ පොත් ලියනකොට රැල්ලක් ආවා. දැන් මම අකුරු පහක පොතක් ලිව්වා. ඒ ගැනත් දැන් කතාව ඇයි මම දෙක පහ කළේ කියලා. මම ගැඹුරින් දෙයක් කළ නිර්මාණ තමයි බොහෝ විට අකුරු දෙකකින් ආවේ. ආයෙත් මගෙන් අකුරු දෙකක එකක් එනවා කියන්නේ මගෙන් බරසාර දෙයක් එනවා කියන එක තමයි.

ලේඛන කලාවට ඔබට පිවිසෙන්න පවුල් පසුබිමත් බලපෑවද?

මගේ පවුලේ කවුරුවත් ලේඛන කලාවට සම්බන්ධ නෑ. නමුත් මගේ පියා ආර්ථික විද්‍යා ගුරුවරයෙක්. තාත්තා හැට හැත්තෑව දශකයේ පත්තර වලට නිදහස් ලේඛකයෙක් ලෙස ලිව්ව කෙනෙක්. ඒ ජානමය ගුණංග මටත් කොයි අතකින් හරි ලැබෙන්නත් ඇති.

වසරක් වසරක් පාසා පොත් ලියන ලේඛිකාවක් ද ඔබ?

නෑ. මට නොයෙක් වැඩ තියනවා. මම විරාමයක් ඇතුවයි යමක් ලියන්නේ. පොතක් එළි දැක්වුවාම එයට ලැබෙන ප්‍රතිචාර ගැන සැලකිලිමත් වෙනවා. ආයෙ පොතක් ලියන්න ඕනෙ කියල දැනෙන වෙලාවක් එනවා. පොත් කොච්චර ලියල තිබුණත් තවත් පොතක් ලියන්න ගන්න කොට අපිත් ඒ පොතට නවකයෙක්. ඒ නිහතමානීකම අපි තුළ තියෙන්න ඕනේ. මම අච්චර පොත් ප්‍රමාණයක් ලිව්ව කෙනෙක් කියල මාන්නයක් හදාගත්තොත් ඉවරයි. ඔයා ඇස් ඇරල ලෝකය දිහා බලන්න. ඊගෝ කියන්නේ තමන්ම මෝහයෙන් වැහිල යන එක. මම වෘත්තිමය ලේඛිකාවක් නොවෙයි. එහෙම වුණොත් මම වසරක් වරසක් පාසා පොත් ලියන්න ඕනෙ. මම නිදහස පි‍්‍රයකරන කෙනෙක්. සරලව ජීවත්වන ප්‍රියකරන කෙනෙක්.

තාරකා නවකතා විතරද ලියන්නේ?

මම හිතන්නේ මට කෙටි කතා ලියන්න බැරි ද කොහෙද? කතාවට තියනවානේ බැරිවැඩ නොකරන් අබරෝ කියලා. මට බයයි කෙටි කතා ලියන්න. මට හිතෙන්නේ මම නවකතා කාරියක් පමණයි කියලා. ගොඩක් දේ ලබාගන්න ගියොත් එකක් වත් හරියට කෙරෙන්නේ නෑ.

ඔබ ගීත රචිකාවක්?

මම පළවෙනි ගීතය ලිව්වේ ඉස්කෝලෙ යන කාලයේ දහයේ පන්තියේදි තමයි. මුලින්ම ලිව්වේ ඒ ගීතය රුහුණු සේවයේ අදත් තියනවා මියුසික් කරලා. ඊට පස්සේ ටෙලි නාට්‍ය ගොඩකට තේමා ගීතය ලිව්වා. උඩුවියන්, පතිනි, ගැහැනු ළමයි, පාන් බට්ටා ආදී නිර්මාණ බොහොමයක.

ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් ලෙස වගේම තිරපිටපත් රචිකාවියක් ලෙසත් ඔබ ගමනක් ගියා.

පිපි පියුම් ටෙලි නාට්‍යය හරහා මට රංගනයට ආවා. උඩුවියන් ටෙලි නාට්‍යයේත් රඟපෑවා. විදර්ශන ඒකාංගික ටෙලි නාට්‍ය මාලාවේ තිර රචිකාවක් ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළා.

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න

[email protected]