වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
මට මං වෙන්න ලැබුණොත් සිනමාව ගැන හිතාවි...

මා රචනා කළ ගීත ඇහෙනකොට ලොකු සතුටක් දැනෙනවා
විශේෂඥ වෛද්‍ය - ගීත රචක රනිල් ජයසේන
ජීවිතය හරි අමුතුය. අපි නොසිතනා බොහෝ දේ සිදුවන්නේය. ඒ සිදුවීම් අපි එක්එක්කෙනා සංසාරයේ අරන් ආ ආකාරයට සිදුවනවාදැයි අපි නොදන්නෙමු. එහෙත් අපි එහෙම විශ්වාස කරන්නෙමු. වෛද්‍ය රනිල් ජයසේනගේ ජීවිතයද එසේය. ඔහුට කිසි කලකත් වෛද්‍යවරයකු වන්නට උවමනාවක් නොවිය. ඔහුගේ මව ගේ එකම බලාපොරොත්තුව වූයේ ඔහු වෛද්‍යවරයකු වනවා දැකීමය. ඔහු ඔහුගේ මවගේ බලාපොරොත්තුව ඉෂ්ට කළේය. වෘත්තිය ජීවිතය එසේ වුවද වෛද්‍ය රනිල්ගේ ජිවිතය වසා පැවති තවත් පැතිකඩක් විය. කෙතරම් කාර්ය බහුල රැකියාවක නියුතු වුවද ඔහුට තම ආත්මයෙන් ආ කලාවෙන් බැහැර වන්නට කිසිදාකත් නොහැකි විය. කොටින්ම කිවහොත් වෛද්‍ය රනිල් කලාකරුවකු වන්නේ වෛද්‍යවරයකු වන්නට බොහෝ කලකට ඉහතදීය.
මේ කලාකාමි ජීවිතය තවදුරටත් සාර්ථක වන්නට හේතුවක් වන්නේ ඔහුගේ ජිවන සහකාරිය ලෙස හමුවන මාධනි නිසාය. විවාහයට පෙර කිසිකලකත් වෛද්‍ය රනිල් මාධනි කලාවට බර තැනැත්තියක ලෙස නොසිතුවේය. එහෙත් විවාහයේ මධුසමයදාම වෛද්‍ය රනිල්ට පසක් වූයේ ඇය තමන්ටත් වඩා කලාවට සංගීතයට, ගීත ගායනයට දක්ෂතාවයක් ඇති තැනැත්තියක ලෙසිනි. එය ඔහුට පසක් වූයේ මධුසමය දා ඔහු ගීතයක් ගයමින් ඇයටද ගීතයක් ගැයීමට ඇරියුම් කිරීමෙන් පසුවය. ඔහුගේ ගායනයෙන් පසුව ඇරැඹි ඇගේ ගායනය අසා වෛද්‍ය රනිල්ට තමන්ගේ ගායනය ගැන පසුව ලැජ්ජා හිතෙන තරමට ඇගේ ගායනය විශිෂ්ට විය.
මේ සුසංයෝගය තවදුරටත් ජානමය වශයෙන් රැගෙන යන්නේ මේ දෙදෙනාගේ එකතුවෙන් උපන් ආදරබර දියණි හිරුෂිය. රනිල්-මාධනි පවුලේ බඩපිස්සිය වන ඇය මේ දෙදෙනාටත් වැඩිය සංගීතයට, කලාවට, ගීත ගායනයට දක්ෂතා ඇති තැනැත්තියක වුවාය. ඉතින් අද අපේ කතා බහ මේ තාත්තා සහ දියණිය සමඟය. තාත්තා මෙරට ගීත ක්ෂේත්‍රයට ගිත රචනා රාශියක් දායාද කර ඇත. එදා අද මෙන්ම හෙටත් ඔහුගේ ගීත විවිධ නාලිකා ඔස්සේ, විවිධ ගායන ශිල්පීන්ගේ, ශිල්පිනියන්ගේ හඬින් ඇසෙන්නේය. එසේම වෛද්‍ය රනිල් ගේ දියණිය හිරුෂි ජයසේන වර්තමානයේ නව රැල්ලත් සමඟ සංගීතයේ අනාගත නිම් වළලු සොයා පියමනින්නට ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ, මේ වනවිටත් ඇගේ දක්ෂතා මෙරටට පමණක් නොව විදේශයන්ටද පෙන්නුම් කරමිනි.
‘‘ඇත්තටම වර්තමානයේ මම ගීත රචකයෙක් හැටියට ගීත රචනයෙන් බොහෝ දුරට ඈත් වෙලා තමයි ඉන්නේ. ඒකට විශේෂ හේතුව වෙන්නේ වර්තමානයේ අපේ ශෛලියේ ගීත ඇහෙන්නේ බොහොම අඩුවෙන්. දැන් වැඩිපුරම ඇහෙන්නේ නව පරපුරේ අයගේ ගීත තමයි. ඒ නිසා දැන් ඉස්සර තරම් සින්දු ලියවෙන්නේ නෑ. මම අලුත් පරපුරේ අයටත් සින්දු ලියලා තියෙනවා. ඉතාම ළඟකදි ගීතයක් ලිව්වේ මගේ දුවට. ඒ ගීතය දැන් කරලා ඉවරයි. ළඟදිම එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මම උදේශ් නිලංග, ගයනි මධුෂා, ශිහාන් මිහිරංග, මලිත් පෙරේරා, මිලාන් සුරේෂ් වැනි අයටත් ගීත ලියලා තියෙනවා. පෙර පරපුරේ ගායක ගායිකාවන් සඳහා මා රචනා කල ගීත අදටත් ඉඳහිට ඇහෙනවා. ඇත්තටම ඒ ගීත ඇහෙනකොට මට ලොකු සතුටක් දැනෙනවා.”
වෛද්‍යවරයකු වශයෙන් ඔහුගේ ලොකුම සතුට වන්නේ තමන් ප්‍රතිකාර කරනු ලබන රෝගියකු සුව වෙනවා දැකීමය. වෛද්‍ය රනිල් තමන් ලියු ගීතයක් නැවත නැවත අසත්දි ඒ තරමකම සතුටක් විඳීන්නේය. කලාකරුවකු වන ගමන්ම වෛද්‍යවරයකු වනවා යන්නද ලෙසි පහසු කාර්යයක් නොවේ. මෙම ක්ෂේත්‍රයන් දෙකම එක සමානව රැගෙන යාමට සුවිශේෂී දක්ෂතාවයක් තිබිය යුතුය. වෛද්‍ය රනිල්ට ඒ දක්ෂතාවය පිහිටන්නට ඇත්තේ උත්පත්තියෙන්ම වන්නට ඇත.
ඇත්තටම මට පුංචිකාලේ ඉඳලම කලාව ගැන ලොකු ඇල්මක් ආදරයක් තිබුණා. මම පළවෙනි ගීතය ලියන්නේ උසස් පෙළ පන්තියේ ඉන්න කාලේ. ඒකාලේ ගුවන්විදුලි සංස්ථාවේ තිබුණා ගීත රචනා වැඩ සටහනක්. මම ඒකට ගීතයක් යැව්වා. ඒ ගීතය තුන්වැනි තැනට තේරිලා ගායකයකු විසින් ගායනා කළා. ඒක ගායනා කළේ කවුද කියලවත් මම දන්නේ නෑ. ඊට පස්සේ මම විශ්ව විද්‍යාලයේ ඉන්න කාලෙත් ගීත රචනා කළා. නමුත් ඒවා ගායනා කරන්න කාටවත් දෙන්න ලැබුණේ නෑ. පස්සෙ කාලෙකදි මම වෛද්‍යවරයෙක් හැටියට සේවය කරනකොට ගායක ගායිනාවන් මගෙන් ප්‍රතිකාර ගන්න ආවා. ඒ අවස්ථාවලදි හැදුණු ඇඳුනුම්කම් මත මගේ ගීත ඔවුන් ගායනා කරන්න පටන් ගත්තා. ඔවුන්ගේ සරලගී, කැසට් පට සඳහා ඒ කාලයේ මගේ ගීත තෝරා ගත්තා. ඔහොම ඉන්න අතරතුරදි තමයි මට මිල්ටන් මල්ලවාරච්චි මුණ ගැහෙන්නේ. ඒ කාලේ මම සේවය කළේ ජයවර්ධනපුර රෝහලේ. ඔහු එනවා අසනිපවෙලා මේ රෝහලට. ඒ අවස්ථාවේ මාත් සමඟ හිතවත් වුණු වෙලාවේ ඔහු යෝජනාවක් කරනවා ගීතයක් කරමු කියලා. ඒ අනුව තමයි ‘වරදක් නම්’ කියන ගීතය ඔහු ගායනා කරන්නේ. ඊට පස්සේ මිල්ටන් ගේ හැම කැසට් පටයටම මගේ ගීතයක් අඩංගු වෙනවා. ඒ අතරින් ‘සත්කුළු පව්ව’ කියන ගීතය ගොඩක් ජනප්‍රිය වෙනවා. ගීත රචකයෙක් විදියට මගේ නම ක්ෂේත්‍රය පුරා පැතිරෙන්නේ ඒ ගීතයත් සමඟ තමයි. නමුත් මේ ගීතය ජනප්‍රිය වෙන මොහොත වෙනවිට මම ලංකාවේ හිටියේ නෑ. මගේ පශ්චාත් උපාධි කටයුත්තකට එංගලන්තයට ගිහින් හිටියේ. මට එහෙට ආරංචි වෙනවා මගේ ගීතය දැන් ලංකාවේ හොඳටම ජනප්‍රියයි කියලා. හැබැයි මම අවුරුද්දකින් ආපහු ලංකාවට එනකොටත් ඒ ගීතය ඒ වගේම ජනප්‍රියයි.”
මිල්ටන් මල්ලවාරච්චිගේ ආදරණිය හඬට එක්වුණ වෛද්‍ය රනිල් ගේ ආදරණිය වචන එදා මේ රටේ ගීත ලෝලි හදවත් තුළට නොඅඩුව ආදරය කැන්දාගෙන ආවේය. ඒ නිසාම වෛද්‍ය රනිල් බලාපොරොත්තු නොවුණු ආකාරයේ ජනප්‍රියත්වයක් ඔහුගේ ගීතයට හිමි විය. මේ යුගය වනවිට තමන්ගේ කුඩාකල පටන්ම කලාවට තිබුණු ආදරය මත ගීත රචනයේ යෙදුණද ඒ පිළිබඳ වැඩි හැඟීමක් ඔහුට නොවිය. ඔහුගේ ප්‍රධාන වෘත්තිය ජීවිතය මින් පරිබාහිර එකක් විම මිට බොහෝ සෙයින් හේතු වන්නට ඇත. එහෙත් ගීත රචකයකු වශයෙන් ඔහු ඔහුටම ආදරය කරන්නට සේම, තමන් ගීත රචකයෙක්ය යන්න ඔහුට තදින්ම දැනුණු අවස්ථාවක් වු බව වෛද්‍ය රනිල් සිහිපත් කළේ අතීත සිදුවිමක් මකත් කරමිනි.
ඇත්තටම මම ගීත රචකයෙක්ය කියන ආඩම්බරය මට ඇති වුණේ, දවසක් අපේ ගෙදරට මොනවහරි ඔතාගෙන ආපු කොල කැල්ලක මගේ ගීතයක වචන ටිකක් තියෙනවා දැක්කමයි. මගේ සත්කුළු පව්ව කියන ගීතය කෙනෙක් ඔහුගේ පෙම්වතියට ප්‍රේමය ප්‍රකාශ කරන්න ලිව්වාය කියන කාරණය ඒ ලිපියේ ලියවිලා තිබුණා. අන්න එතකොට මට ලොකු අභිමානයක් ආවා මගේ නිර්මාණයක් තව කෙනෙකුගේ ආදරය ප්‍රකාශ කරන්න යොදා ගත්තාය කිව්වම. මම ගීත රචකයෙක්ය කියන හැඟීම මගේ සිතට තදින් කා වැදුණේ අන්න එදා තමයි...
වෛද්‍ය රනිල් අතීතය සිහිපත් කරන්නේ ය. ගීත රචනා කිරිම යනු එක අතකට ලේසි පහසු කාර්යයක් නොවේ. ඒ සඳහා මනා භාෂා දැනුමක් අවශ්‍යය. එසේම අත්දැකිම් සමුදායක් තිබිය යුතුය. විද්‍යා විෂයන් හදාරමින් ගීත රචනය සඳහා අවශ්‍ය ලිඛිත භාෂා දැනුමද ලබා ගනිමින් වෛද්‍ය රනිල් එදා කරන්නට ඇත්තේ සුවිශාල මෙහෙයුමක් විය යුතුය.
භාෂා දැනුම ලබා ගන්න කියලා මම අමුතුවෙන් මහන්සි වුණේ නෑ. මම පොඩිකාලේ ඉඳලම පොත් කියවන්න රුසියෙක්. මම නවකතා කියවන්න පෙලඹෙන්නේ මට වයස අවුරුදු 10 දි විතර. අපේ තාත්තා හරියට පොත් කියවුපු කෙනෙක්. ඔහු පොතක් කියවලා තිබ්බ සැණින් මම කරන්නේ ඒ පොත අරගෙන කියවන එක. ඒ කාලෙදිම මට හිතෙනවා මේ අයට පොත් ලියන්න පුළුවන් වුණා නම් ඇයි මට බැරි පොත් ලියන්න. මමත් පොත් ලියන්න ඕන කියන හැඟිම එනවා. ඒ අනුව මම හයේ පන්තියේ ඉන්නකොට තමයි මගේ පළවෙනි නවකතාව ලිව්වේ. ඒකාලේ වෙනකම් මගේ ජීවිත කතාව මම කතන්දරයක් විදියට ලිව්වා. ඒකාලේ මම පත්තරත් හරියට කියවනවා. පත්තර තිබුණු නිවුස් ආදිය බලලා කරුණු එකතු කරගෙන මම පොතක් ලිව්වා උඹට මොකද වුණේ. කියලා. මම ඉගෙන ගත්තේ ගාල්ලේ මහින්ද විද්‍යාලයේ. ඒ කාලේ ඉඳන්ම පත්තරවලට, කෙටිකතා කවි ආදිය ලියන එක මගේ පුරුද්දක් කර ගත්තා. මගේ පළවෙනි කෙටි කතාව පළවුණේ මම 8 වැනි ශ්‍රේණියේ ඉන්නකාලේ ‘රසකතා’ කියන පත්තරේ.
ලිවීම පුරුද්දක් කර ගත්තු වෛද්‍ය රනිල් පාසල් කාලයේදි වගේම සිය විශ්වවිද්‍යාල ජීවිතයේදිත්, ඉන් පසුව වෛද්‍යවරයකු වු පසුවත් එය අත් නොහැරියේය. එහි ප්‍රතිඵල ලෙසින් අද මේ වනවිට ඔහු අතින් කෙටිකතා සංග්‍රහයක්, ගීත රචනා පොත් ද්විත්වයක්ද එළි දැක ඇත.
වෛද්‍ය රනිල්ගේ මෙන්ම ඇයගේ ආදරණිය බිරිඳ මාධනි ගේ කලා හැකියාවන් ඒ ආකාරයෙන්ම තිළිණ කර ගත් බාල දියණිය හිරුෂි වර්තමානයේ මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ නැඟී එන ගායිකාවක් බවට පත්වි සිටින්නීය.
ඇය මුලින්ම මෙරට රසික ජනතාව හඳුනා ගන්නේ ළමා ගායිකාවක් වශයෙනි. වෛද්‍ය රනිල් සහ මාධනි ඉදිරිපත් කළ ප්‍රසංගයන්හි ඇය ළමා ගායිකාවක් වශයෙන් ගායනයෙන් එක් වුවාය. කලා හැකියාව සේම ඇය සිය පියාගේ අඩි පාරේ යමින් වෛද්‍ය ක්ෂේත්‍රයටද පිවිසිමට සුදුසුකම් ලබා ඇත. එහෙත් මේ මොහොත වනවිට ඇගේ වැඩි අවධානය යොමු වී ඇත්තේ ගායනය පැත්තටය.
“ඇත්තටම මම මුලින්ම ගායන ක්ෂේත්‍රයට එක් වෙන්න ළමා ගායිකාවක් වශයෙන්. අම්මා සහ තාත්තාගේ ප්‍රසංගයක් තුළින්. නමුත් මට ලංකාවේ කලා ක්ෂේත්‍රයට මුලින්ම පිවිසෙන්න අවස්ථාව ලැබෙන්නේ ‘මායා’ චිත්‍රපටයේ පසුබිම් ගායනයට එක් වෙමින්. ඒ අවස්ථාව මට ලැබෙන්නේ පුබුදු චතුරංග මගේ මිතුරා නිසයි. ඒ කාලේ මම ඇමරිකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබනවා. ලංකාවට එන යන ගමන් තමයි මේ ගීතය කළේ.
මගේ පළවැනි ඔරිජිනල් ගීතය මම එළි දක්වන්නේ 2018 දී”
ආදරයක සිත සොඳුරු
කීව කතා මට නුහුරු
දැස පුරා ඇඳී පිළිරූ
ඔබ නේද ආල සිත කැලඹූ...
මේ හිරුෂී ගායනා කළ පළමු ගීතයයි. ඒ ගීතයෙන්ම ඇයට සුවිශාල ජනප්‍රසාදයක් දිනා ගත්තේ ඇගේ හඬ පෞරුෂයේ තිබුණු සුවිශේෂීත්වය නිසාය. ඇය කලකට ඉහත හින්දි ගීත ගයමින් ඉදිරිපත් කළ කුඩා විඩියෝ පට දැකීමෙන් ඇයට චිත්‍රපට පසුබිම් ගායනයට ඉඩ සැලසුණා සේම ඇගේ හැඟුමන් ගීතයෙන් පසු ගායිකාවක වශයෙන් තම අනන්‍යතාවය තහවුරු කර ගැනිමට ඇයට අවකාශ ලැබුණාය. එසේම ඇය, ඉරාජ් සහ මලිඳු විසින් ගායනා කරන ලද ‘කතිරිනා’ ගීතය ලංකාවේ අතිශයින්ම ජනප්‍රිය ගීතයක් බවට පත්විය. මේ ගිතයෙන් පසු ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුළ ඇයට ලොකු ඉල්ලුමක්ද නිර්මාණය වූයේය.
“ඇත්තටම මගේ අධ්‍යයන කටයුතුවලින් පස්සේ මම ලංකාවට ඇවිත් දැන් මාසයක් විතර වෙනවා. මම ඇමරිකාවේ දි පර්ෆෝර්මින්ග් ගැන පුහුණු පාඨමාලාවකට තේරිලා ඒ පුහුණු කටයුතු වල තමයි පසුගිය කාලයේ නියැළිලා හිටියේ. දැන් මම ලංකාවට ඇවිත් මගේ අලුත්ම ගීතය රිලිස් කළා. ඇත්තටම ඒක මගේ පළවෙනි ඔරිජිනල් හින්දි ගිතය ‘මෙරි සින්දගි’ නමින් තමයි ඉදිරිපත් කළේ. මේක මම කළේ ඉන්දියාවත් එක්ක එකතු වෙලා. ඉන්දියාවේ ෂාරුක් ඛාන්, අමිර් ඛාන්, සල්මාන් ඛාන් ප්‍රමුඛ ඉහළම ගණයේ නළුවන්ට බැක්ග්‍රවුන්ඩ් ගීත ගායනා කළ ෂ්‍යාම් මුඛර්ජි සමඟ තමයි මේ ගීතය ගායනා කළේ. ඒ වගේම මගේ පළවෙනි තනු නිර්මාණය සහ ගීත රචනය අඩංගු ගීතයත් ‘ආලෙන්’ නමින් නිදහස් වුණා.
හිරුෂි මේ මොහොත වනවිට ඇයටම ආවේණික ගමනක් නිර්මාණය කර ගනිමින් සිටින්නිය. ඇයට වෛද්‍යවරියක් ලෙසින් තම වෘත්තිය ජීවිතය අරඹන්නට අවස්ථාව කොතෙකුත් තිබියදි ඇය බලාපොරොත්තු වන්නේ කලාව නැමැති මාවත ඇයට වඩා සුදුසු බවය. ස්වරූපයෙන් ඇය දිහා බැලු කෙනෙකුට සිතනුයේ ඇය වඩාත් සුදුසු සංගීතයට නොව සිනමා රංගනයට බවයි. ඒ තරමින්ම ඇගේ රුව සිනමාවට උචිතය. පසුගිය කාලය ඇතුළත ඇයට සිනමා නිර්මාණ කිහිපයකටම රංගනයෙන් එක්වන්නට ලද ආරාධනා ද විය.
“ඇත්තටම මට චිත්‍රපට රංගනයට ආරාධනා ලැබුණා. මම ඉන්දියාවේ මගේ ගීතය කරන්න ගියාම ඒ අයත් මට කිව්වේ මාව සුදුසු ගීත ගායනයට නොවෙයි රංගනයට කියලයි. නමුත් දැන් මගේ හිත වැඩියෙන් යොමු වෙලා තියෙන්නේ සංගීතය පැත්තට. සිනමාවේදි මට මං වගේම වෙන්න අවස්ථාවක් ලැබුණොත් සමහර විට මම සිනමා රංගනය ගැනත් සලකලා බලාවි. මොකද මගේ ස්වරූපය ගත්තම, මගේ කතා විලාසය ගත්තම, මගේ ඇස් දෙකේ පැහැය ගත්තම ඊට සමපාත වන චරිතයක් නම් මට කරන්න පුළුවන් වේවි. මගේ ස්වභාවයට හාත්පසින්ම වෙනස් චරිත කරන්න මම ඉදිරිපත් නොවේවි. කොහොම වුණත් පහුගිය කාලය පුරාම මම කළේ ජීවිතේ මට ගැළපෙන දේ කුමක්ද කියන එක පිළිබඳ අත්හදා බැලීම් කරපු එකයි. නමුත් දැන් මම මගේ මාවත සකස් කරගෙන තිබෙනවා. දැන් මම දන්නවා මට ගැළපෙන්නේ ගායනය බව. සංගීත ක්ෂේත්‍රයේ මට දුරක් යන්න පුළුවන් බව. ඇත්තටම මම හරිම ආසයි මේ විෂයට. ඒනිසා මම මේ ක්ෂේත්‍රයේ දිර්ඝ කාලිනව රැඳේවී.
හිරූෂි කියනුයේ අනාගතය පිළිබඳ මහත් බලාපොරොත්තු ඇතිවය. ඇයට ගායනය මෙන්ම රඟපෑමද අරුමයක් නොවන බව ඇය රඟපැ මියුසික් වීඩියෝ හරහා ද අපට ඔප්පු කොට හමාරය. නව නිර්මාණ තිළිණ කරමින් ඉදිරියට යන ඇයට අපි සුබ පතමු.
සේයාරූ - නිශ්ශංක විජේරත්න