වර්ෂ 2023 ක්වූ December 01 වැනිදා Friday
ලාංකේය ඔපෙරාව නවකයන්ට හඳුන්වාදීම වැදගත්

(ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ කේමදාස පදනමට වසර 30ක් සපිරීම නිමිත්තෙන් ඉකුත් 20 වැනිදා කොළඹ රුසියානු නිවසේ පැවැත්වූ ‘සිතුවමේ ගීතය’ (සිතුවම් ප්‍රදර්ශනය සමඟ) ඔපෙරාමය සංගීත ප්‍රසංගය පිළිබඳවත් ඔපෙරා හවුස් ආරම්භ කිරීම පිළිබඳවත් සාකච්ඡා කිරීමේ අරමුණින් එහි නිර්මාණ අධ්‍යක්ෂ, ප්‍රවීණ ඔපෙරා ශිල්පී සුමුදු පතිරාජ සරසවිය හා මෙසේ සංවාදයට එක්විය.
මොකක්ද මේ ‘සිතුවමේ ගීතය’ කියන්නේ...?
‘ගුරු ගීතය’ ඔපෙරා ආරියා, ලිබ්‍රතෝ භාෂණ, සෙවණැලි රූ සහ ඒ හා බැඳුණු සිතුවම් සමඟ ඉදිරිපත් කරන රුසියානු ගායනයේ සෞන්දර්යාත්මක මෝස්තර දැක්මක නවතම සජීවී ප්‍රසංගයක් කිව්වොත් හරි. ගුරු ගීතය ඔපෙරාවේ ආරම්භක ගායනය හා සමාප්ති ගායනය දෙකම මෙහි සිදුකරන්නේ සිත්තරෙක්. සිත්තරාගේ ගීතය නිසා මෙය ‘සිතුවමේ ගීතය’ වුණා. මේ සිත්තරා තමයි ගුරු ගීතයේ අල්තීනා හරහා කතාව ආරම්භ කරන්නේත් අවසන් කරන්නේත්.
මෙවැනි ප්‍රසංගයක් සංවිධානය කිරීමේ මූලික අරමුණ පැහැදිලි කළොත්....?
ප්‍රධානම දේ තමයි ඔපෙරා පිළිබඳ දැනුම්වත් කිරීම සහ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ ‘කේමදාස පදනම’ට වසර 30ක් පිරීම. මම කේමදාස පදනම හරහා ඉගෙන ගත් දෙයින් යමක් කළ යුතුයි කියා සිතුවා. ගමේම පෙරපාසල් දරුවන්, ගුරුවරුන් එකතු කරගෙන මුලින්ම මම පටන්ගත්තා මගේම තැනක මෙම ඉගැන්වීම් කටයුතු ආරම්භ කළා. ඔපෙරා ගැන මේ රටේ ඉගෙන ගන්නත් හරිහමන් තැනක් නැහැනේ. 1993 දී ආරම්භ කළ කේමදාස පදනමට මේ වසරේදී අවුරුදු 30ක් වෙනවා, එය නිමිති කරගෙන තමයි මෙම ප්‍රසංගය පැවැත්වෙන්නේ. ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මාස්ටර්ට උපහාර පිණිස තමයි මෙය පවත්වන්නේ....
‘සිතුවමේ ගීතය’ ට සහභාගි වෙන පිරිස මතක් කළොත්...?
මේක මම කරන්නේ කණ්ඩායමක් එක්ක. නාට්‍යවේදී, මීගමුව අභිරංග කලායතනයේ අධ්‍යක්ෂ රන්දික විමලසූරියගේ නාට්‍ය කණ්ඩායමේ පිරිසක් සම්බන්ධ වෙනවා. ඊට අමතරව මා සමඟ කුඩා කාලයේ සිටම සිටි පිරිසකුත්, වෘත්තියෙන් චිත්‍ර ශිල්පියෙක්, සෙවණැලි රූකඩ ශිල්පියෙක් වන කෝසල ප්‍රියම් කුමාර්ත් එක්වෙනවා. රන්දික මෙහි රංගවින්‍යාසය, වේදිකා පරිපාලනය, ශිල්පී සම්බන්ධීකරණය සහ රංගනයෙන් ද එක්වෙනවා. ගුරු ගීතය ඔපෙරා ලිබ්‍රතෝව රුසියානු බසට පරිවර්තනය කළේ රුසියානු භාෂා ගුරු උපදේශක ෆිලික්ස් ප්‍රනාන්දු. මෙයට ආරාධික ශිල්පිනියක් ලෙස පැමිණෙන මනීෂා විජේසිංහ ප්‍රථමවරට රුසියානු භාෂාවෙන් තම ගායනා ප්‍රාසංගිකව ඉදිරිපත් කරනවා.
කේමදාස පදනම ගැනත් යමක් සඳහන් කළොත්...?
මෙය 1993දී තමයි ආරම්භ කළේ. දැන් වසර 30ක් වෙනවා. මම ඒ කාලයේ මෙයට නවකයෙකු විදිහට එකතු වුණා. දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් පැමිණි කුසලතා පිරි තරුණ තරුණියන් වෙනුවෙන් කේමදාස මාස්ටර් විසින් මෙහෙයවූ එම වැඩසටහන සිංහල භාෂීය ඔපෙරා තුනක් වන ‘දොරමඩල, සොඳුරු වර්ණදාසි, අග්නි’ දායාද කරන්නට සමත් වුණු විශිෂ්ට ව්‍යාපෘතියක් කියා කේමදාස පදනම හැඳුන්වුවත් හරි. එම පදනම ශක්තිමත් කරන්න ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් සමඟ විශිෂ්ට කලාකරුවන් රැසක් වගේම නිර්මාණ බිහිකරන්න උරදුන් කේමදාස මැතිනිය, ගයාත්‍රි කේමදාස, අනුපමා කේමදාස, ලූෂන් බුලත්සිංහල, අමරසිරි පීරිස්, මාලිනී බුලත්සිංහල, අයිවෝ ඩෙනිස්, අනෝජා වීරසිංහ, ඩබ්ලිව් . ජයසිරි, ක්‍රිස්ටීන් පෙරේරා, චන්ද්‍රගුප්ත තේනුවර, සුවිනීතා පෙරේරා, රංජිත් ලියනගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ ශිල්පීන් සෑමකෙනෙක්ම සිහිකරමින් ශ්‍රී ලාංකේය ඔපෙරා ඉතිහාසයේ හැඩතල ඔස්සේ නව පරපුරට තම හැකියාවන් පෙන්වන්න පුළුවන් වේදිකාවක් තනාදීම වෙනුවෙන් මෙම වැඩසටහන අපි ඉදිරිපත් කරන්නේ.
‘ගුරු ගීතය’ ඔපෙරා ලිබ්‍රතෝව රචනා කිරීමට හේතුව සඳහන් කළොත්...?
ආචාර්ය කේමදාසයන් විසින් අරඹන ලද සිංහල භාෂා ඔපෙරාව ආරම්භයේදී මුහුණදීමට සිදුවූ ගැටලු, බාධක වසර 30කට පසුවත් පැවැතීම අර්බුදයක්. එම ගැටලු විසඳාගැනීම වෙනුවෙන් යම් නිර්මාණාත්මක ප්‍රවේශයක අවශ්‍යතාව තදින්ම දැනෙන මොහොතක තමයි ‘ගුරු ගීතය’ ඔපෙරාවේ ලිබ්‍රතෝව ලියන්නේ...
මෙම ප්‍රසංගයේ ඉදිරිපත් වන ඔපෙරා ලිබ්‍රතෝවේ භාෂණ පිළිබඳ හඳුන්වා දුන්නොත්.....?
‘ඔපෙරාව’ යනු දැවැන්ත කලා මාධ්‍යයක්, කලා ශ්‍රමයක්. එම කලාත්මක ශ්‍රම දායකත්වය දෙන්නට නවකයකු ඉතා ක්‍රමවත්ව පුරුදු පුහුණු කළ යුතුයි. ස්වර ගායනයට වඩා ඔපෙරාවක සංගීත රචනය මත හිඳ පෙළ රචනා කියවීම වඩාත් දුෂ්කරයි. කේමදාසයන්ගේ ඔපෙරා නිර්මාණ තුළදීත් වඩා දුෂ්කර වූයේ එවැනි දෙබස් ඛණ්ඩ උච්චාරණය කිරීමයි. සමූහ භාෂණ අභ්‍යාස (ඛ්ඩධපචත අඥජඪබචබඪධද) ගායනයට පෙර පුහුණු වී සිටීමේ වැදගත්කම මතුවෙන්නේ ඒ නිසා. හඬ මෙන්ම සාත්වික අභිනය ද ඉතා ක්‍රමවත්ව ඔපෙරාවක් වෙනුවෙන් පුරුදු පුහුණු කරගැනීමට නවකයෙකුට මේ තුළින් අවස්ථාව ලැබෙනවා. මෙහි පසුතල සෙවණැලි රූකඩවලින් නිර්මාණය කළේ. එය වෙනමම කලාවක්. ඔපෙරාව යන අතරේ පසුතල සෙවණැලි රූප හරහා ගේනවා. ගුරු ගීතයට අදාළව සෙවණැලි රූකඩ හදන්නේ කොහොමද කියාත් අපි වැඩමුළු කළා.
ඔපෙරාව තුළ ඔබේ ආරම්භක අවධියට ගියොත්....?
මම කුඩා කාලයේ දිවුලපිටියේ හිටියේ. පසුව මීගමුව හරිස්චන්ද්‍ර පාසලට ගියා. උසස්පෙළ සමත්වෙලා පේරාදෙණිය උද්භිද උද්‍යානයේ උද්‍යාන කළමනාකරණ වැඩසටහනක් කළා. ඊටපස්සේ ඇක්වයිනාස් කරද්දී කේමදාසයන්ගේ සංගීත පාඨමාලාව ගැන පත්තර දැන්වීමක් දැක්කා.1993 /01 /04 ඕ.ර්.ධ්.ඛ්.ඩ්. එකේ ඉන්‍ටර්විව් කළේ. එයින් පසුව කේමදාස පදනම ආරම්භ කළා. එයින් පූර්ණකාලීන ප්‍රාසාංගික කලා පාඨමාලාවක් ආරම්භ කළා. එතැනදී මාස්ටර් කිව්වා සින්දු කියන එක නවත්වන්න කියලා, මාස්ටර් විෂයයන් 14ක් ඉගැන්වුවා. හඬ පිළිබඳ අමතර දැනුම දුන්නා. ඒ මාර්ගය ඔස්සේ මාස්ටර්ගේ ඔපෙරා කලාවත් ඉගෙනගත්තා .
කේමදාස මාස්ටර් සමඟ ඔබේ සුසංයෝගය කෙබඳුද....?
මම මාස්ටර්ගේ කේමදස පදනමට සම්බන්ධ වී වැඩකළා. එහිදී මාස්ටර් මට වගකීම් රැසක්ම පැවරුවා. ඔහුගේ දෙවැනි ඔපෙරාවේදී එයාම නර්තන චලන, සංගීත චලන පුරුදු කළා. ඒවා මට කරන්න කිව්වා. ඒක හරිගියොත් ඔහු මට කියනවා අනෙක් අයටත් පුරුදු කරන්න කියලා. චලනය ගැන හොඳ අවබෝධයක් දුන්නා. මාස්ටර්ගෙන් මට ගොඩාක් අභ්‍යාස ලැබුණා.. උපදේශකයෙක් විදිහටත් අධීක්ෂණය කරන්නත් අවස්ථාව ලැබුණා. මාස්ටර්ගේ ‘මානසවිල, දොරමඬල, සොඳුරු වර්ණදාසි, අග්නි’ ඔපෙරාවල මාස්ටර් එක්ක සජීවීවම වැඩ කළා. ඔහු මට හරිම ආදරෙයි. බය නැතිව ඔහු මට වගකීම් භාරදෙනවා. මාස්ටර් අසනීප වුණු වෙලාවේත් දවසක් හැර දවසක් මම ඔහු ළඟ හිටියා.
මෙරට කලාව තුළ ඔපෙරාවට හිමි ස්ථානය ගැන කතා කළොත්....?
ඔපෙරා යනු අභ්‍යාස කරන්න තියෙන දුෂ්කර මාධ්‍යයක්. අමාරුයි කියලා අතහැර දාන්න ඕනෙත් නැහැ. පාසල් අධ්‍යාපනයට මේ වගේ කලාවක් අධ්‍යයනය කරන්න දෙන්න ඕනේ. මෙරට අධ්‍යාපන විෂය ධාරාවට ඔපෙරාව එකතු කරන්න මම වෙහෙස මහන්සියක් ගන්නවා. සංගීතයෙන්, කලාවෙන් අපේ රටේ හරියට ප්‍රයෝජන ගන්නේ නැහැ. ඔපෙරාව මැරුණු කලාවක් වෙලා, සමහරුම මේක මැරුණු කලාවක් ලෙස හඳුන්වනවා..
‘ඔපෙරා හවුස්’ නිර්මාණයට හිත යෙදුවේ ඇයි....?
‘ඔපෙරා හවුස්’ එකක් නිර්මාණය කරන්න ඕන කියලා හිතුණේ මම මොස්කව් ගිය අවස්ථාවේ. එහි බැල්ෂොයි රඟහල ඉදිරියට ගිහින් මම ෆොටෝවක් ගත්තා. ඒක ඇතුළට ගියාම ලොකු සතුටක් දැනුණා. ලංකාවේදී මම කේමදාස මාස්ටර්ගේ ‘මානසවිල, දොරමඩල’ සහ මාස්ටර් අවසානයට කළ ‘සොඳුරු වර්ණදාසි’, අග්නි’ ඔපෙරා හතරටම හිටියේ මායි ඉන්දිකා උපමාලියි තමයි. මාස්ටර්ගේ ඔපෙරා හතරටම සම්බන්ධ වුණාට පස්සේ මට හිතුණා මේ දැනුම ඊළඟ පරපුරටත් ලබාදෙන්න ඕන කියලා. මේ අවුරුද්දේ ජනවාරි 04 ඔපෙරා හවුස් විවෘත කළේ මගේ ගෙදරමයි. වසර 30ක් කේමදාස පදනම එක්ක ඉද්දී මට හිතුණා අපේ මේ වැඩටික කරගන්න ස්ථිර තැනක් ඕන කියලා. එහි ප්‍රතිඵලයක් තමයි ඔපෙරා හවුස් කියන්නේ. මෙහි මම නොමිලයේ ඔපෙරා පුහුණුව දෙන්නේ. ගුරු ණය ගෙවීමක් තමයි මේක. මගේ ප්‍රේමසිරි කේමදාස ගුරු දේවතාවන්ට ගුරු ණය ගෙවීමක් තමයි මේ විදිහට මම ඔපෙරා හවුස් එකක් ආරම්භ කර ඔපෙරා පුහුණුව ලබාදීමෙන් සිදුකරන්නේ.
ඔපෙරාවෙන් ඇතිවන මානසික - කායික සුවය ගැන සඳහන් කළොත්....?
ඔපෙරාව කියන්නේම සම්භාව්‍ය සංගීතය ඇසුරු කරගෙන යන දෙයක්. ‘බැරැක් හොම්’ ගීතය (සම්භාව්‍ය සංගීතය) මනස සැහැල්ලු අවස්ථාවේ තරංග ආයාමයන් පුබුදු කරවන සංගීතය. මොළයේ බීටා තරංග ආයාම ලිහිල් වෙද්දී ඇල්ෆා තරංග ආයාම උත්පාදනය වන ක්‍රියාකාරකම් කරන්න ඕන. හුස්ම ගැනීමේ අභ්‍යාස වර්ධනය කරන ක්‍රියාකාරකම් කරද්දි දීර්ඝ ආයුෂ ලැබෙනවා. සම්භාව්‍ය සංගීතය ඇසුරු කරන අයට විශේෂයෙන් බීටා තරංග ලිහිල්වීමක් සිදුවෙනවා. අනෙක ඔපෙරාවේදී හඬ මයික්‍රොෆෝනය නැතිව හුස්මෙන් හඬ පාලනය කෙරෙනවා...
මෙරට ඔපෙරා කලාව ගැන තෘප්තිමත් ව්ය හැකිද...?
ලංකාවේ හදපු ඔපෙරා පෙන්වන තෙක් තෘප්තිමත් වෙන්න පුළුවන්. ඒවා මේ රටේ හරියට පෙන්වන්නේ නැහැනේ. බොහෝ අය මේවා ගැන දන්නෙත් නැහැ. මේවා ජනතාව අතරට ගියාම බලන අයත් තෘප්තිමත් වේවි. ඔක්තෝබර් 25 වැනිදා ලෝක ඔපෙරා දිනය ලෙස නම් කරන්නේත් තවම ලෝකය අලුත් ඔපෙරා නිපදවමින් ඉන්නවා කියන එකනේ. ලෝක ඔපෙරා දිනයට අපේ සහභාගීත්වය මොකද්ද කිව්වොත් අපි ඒ වෙනුවෙන් නිකං ඉඳලා තියෙන්නේ.
ඔබ හැදෑරූ ඔපෙරා අතර විශේෂ ඔපෙරාවක් තිබේද...?
කේමදාස මාස්ටර්ගේ ‘මානසවිල’ විශේෂයි. ඒක මාස්ටර්ගේ පළමු ඔපෙරා නිර්මාණය . සාම්ප්‍රදායික හැඩතලවලට වඩා නැවුම් බව මිශ්‍ර වූ ඔපෙරාවක්. බැලේ ලක්ෂණ, මාළුවන්ගේ චලන, හැඩයන් මෙහි තිබෙනවා. අමාරුම නර්තනය තිබෙන්නේත් ‘මානසවිල’ ඔපෙරාවේ. මෙය දර්ශන වාර180ක් විතර ප්‍රදර්ශනය කළා. ‘දොරමඬල’ කියන්නේ මාසයක් වගේ කාලයකදී පුහුණු වෙලා ජාතික ආරක්ෂක අරමුදලට ආධාර පිණිස පෙන්නුව නිර්මාණයක්.
‘ඔපෙරා හවුස්’හි අනාගත දැක්ම පැහැදිලි කළොත්...?
මෙහි අනාගත දැක්ම ශිෂ්ටත්වයේ සිහිනය සඵල කරගන්නා රසික පිරිසක් නිර්මාණය කරගැනීම. හොඳ රසිකයෙක් බිහිකිරීමත් මෙහි අරමුණක්. ඒ සඳහා උපරිම අභ්‍යාස කළ යුතුයි. මට රසිකයෝ ඉන්නවා. මේ ඔපෙරා හවුස් තුළින් ප්‍රේක්ෂකාගාරය හදන්න ඕන. ඒවගේම ඔපෙරා හවුස් එකෙන් චිත්‍ර කලාව, ආනුශාංගික සෙවණැලි රූකඩ කලාව උගන්වනවා..
වේදිකාවට - සිනමාවට අවතීර්ණ වෙන්න අදහසක් නැද්ද...?
සිනමාවට අවස්ථාවක් ලැබුණා. ජැක්සන් ඇන්තනී මුල්වරට අධ්‍යක්ෂණය කළ ‘ජුලියට්ගේ භූමිකාව’ චිත්‍රපටයේ නර්තනයට සම්බන්ධ වෙන්න ලැබුණා. වේදිකාවටනම් සම්බන්ධ වෙලා නැහැ.
ක්ෂේත්‍රයට එන ආධුනිකයන් ගැන ඔබේ අදහස...?
ආධුනිකයන් අතිශය දක්ෂයි. අපි හිතනවාටත් වඩා ඔවුන් දක්ෂයි. මට දැනෙන විශාලම සතුටත් එයයි. ඔවුන් භාෂාව ඉගෙන ගන්න ආසයි, ඒවගේම භාෂාව ඉක්මනින්ම ඉගෙන් ගන්නවා. අද දුන්නා නම් හෙට පාඩම් කරගෙන එන පිරිසක් ඉන්නවා. මෙහි විනය හැදුවොත් අනෙක් ඒවාත් හැදෙනවා. ඔපෙරාව ඉගෙනගන්න ළමයි විනයවත් වෙනවා. ආසාවෙන්, ලෙහෙසියෙන් වැඩකරන්න පුළුවන් අලුත් පරපුරක් ඉන්නවා. ඔවුන්ට හොඳ පෝෂණයක් දෙන්න ඕන. ඔවුන් මම හිතුවාටත් වඩා අති දක්ෂයි. කිසිදෙයක් නොකර දඩබ්බර විදිහට ගෙවල්වල හිටපු ළමයි හතරදෙනෙක් ඔවුන්ගේ මවුපියන් මා ළඟට ගෙනත් දැම්මා, ඔවුන් හතරදෙනාම මාස තුනකින් මෙතන ලීඩර්ලා වෙලා, හරිම සතුටුයි. ඔපෙරා තුළින් ශිෂ්ටත්වය ලැබෙනවා.
ඔබේ ඉදිරි නිර්මාණ ගැන සිහිකළොත්...?
දැනට මේ ‘සිතුවමේ ගීතය’ නිර්මාණය සම්පූර්ණ නිර්මාණයක් කරන්න හිතාගෙන ඉන්නේ. මේකට වාදන ශිල්පීන් පුහුණු වෙන එකකුත් එකතු කරන්න ඉන්නේ....
ඉකුත්දා පැවැති ‘සිතුවමේ ගීතය’ට හොඳ ප්‍රතිචාර ලැබුණා නේද...?
(ඔව්, මා සිතුවාටත් වඩා හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. කොළඹ රුසියානු නිවසේ පැවැත්වූ මෙම ප්‍රසංගය සහ සිතුවම් දැක්මේ ප්‍රධාන ආරාධිතයා වුණේ කේමදාස මාස්ටර්ගේ බිරිඳ සෝමලතා කේමදාස මැතිනියයි.මූලාසන කතාව කේමදාස මාස්ටර්ගේ දියණියක් වන ගයාත්‍රි කේමදාස මහත්මිය විසින් සිදුකළා. කේමදාස පදනමට වසර 30ක් සපිරීම නිමිත්තෙන් එයට උපහාරයක් ලෙසයි මම මෙය සංවිධානය කළේ. නොමිලයේ පැවැත්වූ මෙම ප්‍රසංගයට ආ සියලුදෙනාම ගොඩාක් සතුටු වුණා.මෙවැනි තවත් ඔපෙරාමය ප්‍රසංග පවත්වන්න කියා බොහෝ ප්‍රදේශවලින් ඉල්ලීම් දැනටමත් ලැබී තිබෙනවා....