මේ ජනගත වෙන්නේ මගේ පින් පොත කියවා අනුමෝදන් වෙන්න

ජූලි 27, 2023

‘පත්‍රකලා කව් සිළුමිණ’ තිලකරත්න කුරුවිටබණ්ඩාර අභිසම්භාවනා උලෙළ හෙට සවස 3.30ට කොළඹ පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. එහිදී තිලකරත්න කුරුවිටබණ්ඩාරයන් විසින් පත්‍රකලාවට කරන ලද්දාවූ මෙහෙය විමර්ශනය කරනු ලබන මෙරට ප්‍රබුද්ධ ලේඛක ලේඛිකාවන් විසින් රචිත ලිපි ඇතුළත්, මහාචාර්ය සමන්ත හේරත් විසින් සම්පාදිත පත්‍රකලා කව්සිළුමිණ ග්‍රන්ථය එළි දකිනු ලැබේ. ආචාර්ය සරත් අමුණුගම මෙම උලෙළේ මුලසුන හොබවන අතර සමන් අතාවුදහෙට්ටි සහ මහාචාර්ය සමන්ත හේරත් සංක්ෂිප්ත දේශන පවත්වනු ලබති. ගායනයෙන් ඉන්දිකා උපමාලි, ශාලිත අබේවික්‍රම, ලක්මිණි උඩවත්ත සහ රවින්ද්‍ර අලගියවන්න එක්වෙන අතර නර්තනයෙන් ආචාර්ය රවිබන්ධු විද්‍යාපති ශිල්ප ශිල්පිනී පර්ෂදය දායක වෙයි. මේ උලෙළ පිළිබඳ සහ තිලකරත්න කුරුවිටබණ්ඩාරයන්ගේ පත්‍රකලා ජීවිතයේ විවිධ සන්ධිස්ථාන පිළිබඳ සාකච්ඡාවකට පසුගිය දිනක අපි ඔහු සොයා ගියෙමු. මේ ඔහු සමඟ කළ සාකච්ඡාවකි.

 

පත්‍රකලා කව් සිළුමිණ ග්‍රන්ථය දොරට වැඩීම සහ උලෙළ හෙට පැවැත්වෙනවා. එදිනට ඔබේ උපන්දිනයත් යෙදිලා තිබෙනවා නේද? කීවෙනි උපන්දිනයද කියලා නම් මම අහන්නේ නෑ.

28 වැනි උපන්දිනය කියලා ලියා ගන්නකෝ. ඉලක්කම් දෙක අනිත් පැත්තට හැරෙව්වම නියම වයස එනවා. මේ එන්නේ 82වැනි උපන්දිනය. අපට ජීවිත කාලය නම් ඕන තරම් ගෙවන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ තියෙන ගොඩනැඟිලිවලට, ලයිට් කණුවලට එහෙමත් වයස යනවානේ. නමුත් කරපු දෙයක් නෑනේ. ඔහේ ආයුෂ යයි. ආයුෂ යෑම සමරන්න දෙයක් නොවෙයි. නමුත් මොනව හරි තමන් කලයි කියලා ආත්ම විශ්වාසයක් එනවා නම් ඒක තමන්ට තෘප්තියක්. ආපසු හැරිලා බලලා, ආවර්ජනය කිරීමෙන් සතුටක් තියෙනවා. අපි පින් කළාම ඒ පින් මෙනෙහි කිරීමෙන් තව වැඩිවෙනවා කියනවානේ. පිනක් කළාම ඒක මෙනෙහි කරන්න ඕන. දුටුගැමුණු රජ්ජුරුවොත් පින් පොතක් ලිව්වේ ඒකනේ. එහෙම ලිව්වේ ඒවා මෙනෙහි කිරීමේ යම්කිසි ප්‍රයෝජනයක් තිබුණ නිසයි. එහෙම පින් මෙනෙහි කිරීමෙන් තවතවත් පුණ්‍ය චේතනාවන් වර්ධනය වෙනවා. ඒකෙන් කුසලය වැඩි වෙනවා. ඉතිං මට හිතෙනවා මම ගැන කරන මේ පොතත් පින් පොතක් වගේ එකක් කියලා. ඒ පින් පොත බැලුවම අනේ මම මේ වගේ දේවල් ටිකක් මගේ ජීවිත කාලෙදි කරලා තියෙනවානේ කියලා හිතෙනවා. අනුමෝදන් වෙන්න පුළුවන්. මෝදනය කියන්නේ සතුටු වීම. යමක් කරලා ඒකෙන් මෝදනය වීම තමයි සතුට කියන්නේ.දුක්මුසු හැඟීමක්, පශ්චාත්තාපයක් ඇති වුණොත් ඒක අකුසලයක්. පුණ්‍ය චේතනාවක් කියන්නේ කරපු යහපත් දෙයක් සිහිපත් කිරීම. ඉතින් මෙක මම හිතන්නේ මම කරපු පින් මෙනෙහි කිරීමක් කියලයි.

ඇත්තටම ඔබ පත්‍රකලා ජීවිතයට යොමු වෙන්න පෙලඹුණේ කොහොමද?

මගේ අම්ම, තාත්තා කිසිකෙනක් කලාවට සම්බන්ධ අය නොවෙයි. තාත්තා ව්‍යාපාරිකයෙක්. අම්මා ගෘහණියක්. තාත්තාගේ තිබුණු බුද්ධිය ඔහු භාවිතා කළේ ව්‍යාපාරවලට. ඒක ඔහු හරියට කළමනාකරණය කළා. එහෙම නොකළා නම් අපි හයදෙනාට ගෙවල් හයක් මෙහෙම හදලා දෙන්න බෑනේ. ඔහුට ලැබුණු මුදල්, ආදායම් මැනවින් කළමනාකරණය කරලා ඔහු ඒ දේවල් කළා. තාත්තාගෙන් අපිට යම් බුද්ධියක් ලැබුණද අපි ඒ ප්‍රඥාව භාවිතා කළේ කලාවට. අපේ පවුලේ සහෝදර සහෝදරියෝ හය දෙනයි. හයදෙනාගෙන් වැඩිමලා මම. එතකොට ජානමය වශයෙන් තාත්තාගෙන් අපට ලැබුණු ඥානය අපි භාවිතා කළේ වෙන අතකට. අපි හය දෙනා හය විදියක්. එක්කෙනෙක් නීතිඥයෙක්. එක්කෙනෙක් මහාචාර්යවරයෙක්. එක්කෙනෙක් පත්‍රකලාවේදියෙක්. අනිත් එක්කෙනා කර්මාන්තකරුවෙක්. නංගිලා දෙන්නා ගෘහණියෝ. ඒ අය ඒ පැත්තෙන් සාර්ථකව ඉන්නවා.

 

මේ පවුලේ පළවැනියට මේ පැත්තට හැරෙන්නේ ඔබ. එහෙම හැරෙන්න හේතු කාරණා වුණේ මොනවාද?

මම හිතන්නේ මගේ පාසල කියලයි. අපේ අම්මලාගේ පවුල කලාවට පොඩි නැඹුරුවක් තිබුණ පවුලක්. අම්මගේ තාත්තා නවගමුව පත්තිණි දේවාලයේ ප්‍රධාන කපු මහත්තයා. එතකොට එයාගේ යාග හෝම, තොවිල් පවිල්, ගම්මඩු නටන ඒවා බලන්න අපි යනවා. ඒවා බලල ඇවිත් අපි ගෙදර නටනවා. ඒ වගේ නැඹුරුවක් තමයි ගෙදරින් තිබුණේ. මට මතකයි අපේ මාමා පොඩි යක් බෙරයක් සුනිල්ට හදල දිලා තිබුණා. මල්ලිට අදටත් හොඳට බෙර ගහන්න පුළුවන්. කාලයක් ඔහු ගුණසේන ගලප්පත්තිගේ නාට්‍යවල බෙර ගැහුවා. අපි ඊට පස්සේ් පොඩි පොඩි නාට්‍ය ගෙදරදි කරන්න ගත්තා. මට මතකයි අපි ‘අමල් බිසෝ’ කියලා නාට්‍යයක් කළා. අපේ ඉඩමේ ගේ හදන්න අත්තිවාරමක් දාල තිබුණා. ඒ අත්තිවාරම උඩ තමයි අපි අමල් බිසෝ රඟ දැක්වූයේ. අපේ අවට ගෙවල්වල හිටපු ළමයි අඩගහගෙන තමයි අපි මේ නාට්‍යය නිර්මාණය කළේ. මම පිටපත ලිව්වා. සුනිල් මල්ලි අධ්‍යක්ෂණය කළා. නාට්‍යය පෙන්නුවේ සත දහයට. අපේ අම්මා පැටිස් එහෙම හදලා බලන්න එන අයට සංග්‍රහ කළා. ඊට පස්සේ අපි පාසල් නාට්‍යයක් කළා ‘දෙන දෙයියෝ’ කියලා. ඒකනම් පාසල් නාට්‍ය අතර අවසන් වටයටත් ආවා.

ඒ කාලේ අපට චිත්‍රපට බලන්න යන්න තහනම්. අපි යන්නේ තාත්තට හොරෙන්. හැබැයි අම්මා අපිට උදව් කරනවා. අපි යන්නේ රාත්‍රී 9.30 දර්ශනය බලන්න. ඒකට හේතුව අපේ තාත්තා අට හමාර වෙනකොට කාල නිදා ගන්නවා. ඊට පස්සේ තමයි අපි නිශාචරයෝ වගේ චිත්‍රපට බලන්න යන්නේ. චිත්‍රපට බලලා ඉවර වෙලා රෑ එනකොට ගේට්ටුව ගාවදි සපත්තු ගලවගෙන ඇඟිලි අඩින් අඩිය තියතියා ඇවිත් අම්මට කියලා දොර ඇරවා ගන්නවා. එහෙම චිත්‍රපට බලලා තමයි සුනිල් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වුණේ.

 

පාසල් අවධියෙන් කලාව වෙනුවෙන් ඔබට ලැබුණු උත්තේජන කොයි වගේද?

අපි හතර දෙනාම ඉගෙන ගත්තේ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ. ඉස්සර ශාන්ත ජෝන් බාලිකාව තමයි දැන් සමුද්‍රදේවි බාලිකාව වෙලා තියෙන්නේ. මම මුලින්ම ගියේ ශාන්ත ජෝන් ගැහැනු පාසලට. මොකද පිරිමි ඉස්කෝලෙ තිබුණේ දෙකේ පන්තියෙන් උඩට. ශාන්ත ජෝන් විද්‍යාලයෙන් අපේ කලා ජීවිතේට ලොකු ආලෝකයක් ලැබුණා. අපිට හිටියා ඇඹුල්දෙණිය කියලා ටිචර් කෙනෙක්. එයා තමයි අපිට සිංහල විෂයට ධම්ම පදයේ ගාථා, සංස්කෘත ශ්ලෝක පවා ඉගැන්නුවේ. බැරෑරුම් විදියට මුල් කාලේ සිංහල ඉගැන්නුවා. හිතාගන්නත් බෑ. මේක මිෂනාරි පාසලක් නේ. ඒවායින් අපට හොඳ පදනමක් වැටුණා. ඊට පස්සේ ඉහළ පන්තිවලට එනකොට කේ.ජී. කරුණාතිලක සර් තමයි අපිට සිංහල ඉගැන්නුවේ. සිංහල පමණක් දන්න ලංකාවේ වැඩි පිරිසක් දෙනාට විශ්ව සාහිත්‍යය හඳුන්වලා දුන්නේ ඔහු. ඔවුන්ගේ උපදෙස්, මඟ පෙන්විම් යටතේ අපි විශාල වශයෙන් කියවන්න පෙලඹුණා. ඒ කාලේ අපි ශාකුන්තලය පවා කියෙව්වා. මේඝ දුතය පවා කියෙව්වා. අමාවතුර, බුත්සරණ, ගුත්තිලය, කව්සිළුමිණ වැනි පැරැණි සාහිත්‍ය ඇසුර අපිට හරියට තිබුණා.

මට මතකයි අපේ ගෙදර හය දෙනා එකතු වෙලා ගෙදර සඟරාවක් කළා. සඟරාව ඔක්කොම අතින් ලිව්වේ අපේ නංගී. ඒකේ නම ‘ළමා හඬ’. අපි හයදෙනාගෙම රචනා ඒකට ඇතුළත් වුණා. 1957 දී තමයි අපි මේක කළේ. ඊළඟට අපි ඒකට දැන්වීමුත් ගත්තා. අපේ තාත්තට ඒකාලේ ටැක්සි තිබුණා. තාත්තාගෙන් මුදල් අරගෙන අපි දැන්විම් පළකළා. ‘ඔබට සුව පහසුව ගමන් යන්න උවමනා නම්, නුගේගොඩ බස් නැවතුම් පළ ඉදිරිපස ඇති ඊ.එල් 4244ට කතා කරන්න.’ කියලා අපි දැන්විම් පළකළා. මටත් හිතා ගන්න බෑ අපි කොහොමද ඒකට යොමු වුණේ කියලා. කොහොම හරි ඊට පස්සේ සුනිලුයි මමයි ‘අහිංසකයෝ’ කියලා කෙටි කතා පොතක් මුද්‍රණය කළා. එතකොට සුනිල් අටේ පන්තියේ. ඒක අපට මුද්‍රණය කර ගන්නත් පුළුවන් වුණා. මම උසස්පෙළ පන්තියේ ඉන්නකොට ‘විශාරදයෝ’ කියලා කෙටි කතා පොතක් ලිව්වා. ඊට පස්සේ කලා පුබුදු කියලා සඟරාවක් කළා. අපේ ඉස්කෝලෙ කලා අංශයෙන්. ඒකට සුනිලුත් ලිපියක් ලියලා තියෙනවා සීගිරිය ගැන. එතකොට ඔහු 7 වැනි පන්තියේ. මේ සඟරාවට ප්‍රචාරයක් ලබා ගන්න අපි පත්තරවලටත් මේක දුන්නා. මට මතකයි ඒකාලේ අපි ලේක්හවුස් එකටත් ආවා. දැන් වගේ නොවෙයි ඒකාලේ ලේක්හවුස් එක ඇතුළට ඕන කෙනකුට යන්න එන්න පුළුවන්. කවුද කෙනෙක් අපිව සිළුමිණ පුවත්පතට එක්කගෙන ගියා. ටිකක් ගොත ගහන එක්කෙනක් කතා කළා. “මේක හොඳ වැඩක්. අපි දාන්නම් විස්තරයක්” කියලා කිව්වා. අපි සඟරාව දීලා ආවා. ඊළඟ සතියේ සිළුමිණේ අපේ සඟරාව ගැන පොඩි විස්තරයක් පළවෙලා තිබුණා. ‘මේ පාසල් සිසුන් අතින් අනාගතයේ වටිනා සාහිත්‍ය කෘති බිහිවනු ඇත’ කියලත් එහි ලියවිලා තිබුණා. එදා ඒක අපිට දාල දුන්නේ එවකට සිළුමිණ කර්තෘ වෙලා හිටපු විමලසිරි පෙරේරා මහත්මයායි. ඊට හුඟාක් පස්සේ කාලෙක මම සිළුමිණ කර්තෘ වෙලා ඉන්නකොට විමලසිරි පෙරේරා අනුස්මරණ දිනයකට සිරසෙන් ආවා මගෙන් පොඩි අදහස් ටිකක් ගන්න. එතෙනදි මම ඔහු මට ඒකාලේ කරපු උදව්ව සහ මගේ අනාගතය ගැන එදා ඔහු කිව්ව අනාවැකිය ගැනත් කිව්වා. ඒක හරිම දෛවෝපගත සිදුවීමක්. එදා ඔහු වාඩිවෙලා හිටිය සරසවිය සහ සිළුමිණ කතු පුටු දෙකේම මටත් වාඩිවෙන්න ඉඩ ලැබුණා.

 

පත්තර රස්සාවට එන්නේ ඉස්කෝලෙන් අයින් වුණු කාලෙමද?

ඉස්කෝලෙ යන කාලේ ඉඳලම මම ලිව්වනේ. මම පත්තරකාරයෙක් වුණේ ඇත්තටම ලියන්න ඕන හින්දා. දැන් වුණත් මට නොලියා ඉන්න බෑ. මට කර්තෘ කෙනෙක් වෙන් කවදාවත් බලාපොරොත්තුවක් තිබුණේ නෑ. මම වැඩිම කාලයක් හිටියේ සබ් ඩෙස්ක් එකේ. ඒකාලේ මට ලියන්න අවස්ථාවක් නෑ. අවුරුදු විසිගණනක්ම එතැන හිටියේ. නමුත් මම ලියන එක නැවැත්තුවේ නෑ. එතැන ඉඳගෙන නවයුගයට ලිව්වා. ග්‍රැන්විල් සිල්වා ඉන්නකාලේ සරසවියටත් ලිව්වා. දයාසේන ගුණසිංහ මහත්තයා සිළුමිණේ විශේෂාංග කර්තෘ වුණාට පස්සේ මට ලියන්න දුන්නා. යොවුන් ජනතා පටන් ගත්තට පස්සේ ‘පහන්ටැඹ’ කියලා තීරු ලිපියක් දිගටම ලියන්න පටන් ගත්තා. ඒ විදියට මට නිල වශයෙන් ලියන්න අවස්ථාවක් නැති වුණාට ලියන එක අතහැරියේ නෑ. මම හැමවෙලේම කියන්නේ ලියනගේලා ලිව්වට මදි, මදිනගේලා මදින්නත් ඕන’ කියලයි. ලියනගේලා පුස්කොළ පොතේ ලියනවා. නමුත් කළු මදිනකම් කියවන්න බෑ. ඒ හින්දා අපි ලිව්වට සබ් ඩෙස්ක් එකෙන් ඒක සබ් වෙලා පොලිෂ් වෙලා එන්න ඕන. ඒනිසා සබ් ඩෙස්ක් එක කියන්නෙත් පත්තර කලාවේ විශාල කාර්යභාරයක් කරන තැනක්.

ඔබේ පියා බලාපොරොත්තු වෙන්න ඇත්තේ ව්‍යාපාරික පුත්තු ටිකක් වෙන්න ඕන. ඔබ පත්තර කලාවට යොමු වෙනවට පියාගේ අතමැත්තක් තිබුණේ නැත්ද?

තාත්තා බලාපොරොත්තු වුණේ එහෙම තමයි. නමුත් අපි ලියන එකට එයා විරුද්ධ වුණේ නෑ. හැබැයි අපි නාට්‍ය බලනවට, චිත්‍රපට බලනවට ඔහු දැඩි සේ විරුද්ධ වුණා. ඒ කාලේ අජන්තා රණසිංහයි, කරුණාරත්න අමරසිංහයි, මමයි හිටියේ එකම පන්තියේ. අපිට මා කැමැති ජීවිකා වෘත්තිය පිළිබඳ රචනයක් ලියන්න කිව්වම අජන්තයි මමයි දෙන්නම ලිව්වේ පුවත්පත්කලාවේදියෙක් කියලයි. ඒ සිදුවීම හරි දෛවෝපගතයි. එදා පාසලේදි එහෙම ලියපු අපි දෙන්නා දිනමිණ පත්තරේ එකට වැඩ කළා. ඊළඟට අජන්තා විශ්‍රාම ගත්තට පස්සේ ගුවන්විදුලියේ උපදේශකවරයෙක් වුණා. මමත් ලේක්හවුසියේ සහ වෙනත් පත්තරවල සේවය ඉවරවෙලා ගුවන්විදුලියේ උපදේශකවරයෙක් විදියට සේවයට ගියා. එතැනදීත් අජන්තායි මමයි එකට වැඩ කළා.

 

ඔබ මුලින්ම සිළුමිණ කර්තෘවරයා වෙන්නේ කොයි කාලෙද?

විජේතුංග ජනාධිපතුමා ආපු වෙලාවේ තමයි මම සිළුමිණ කර්තෘවරයා විදියට පත් කරන්නේ. මට දේශපාලන වශයෙන් කිසි හයියක් තිබුණේ නෑ. මම දේශපාලනය කරපු කෙනෙකුත් නොවෙයි. මම විජේතුංග ජනාධිපතිතුමන්ව අඳුනන්නෙත් නෑ. එතකොට ලේක්හවුස් සභාපතිවරයා වෙලා හිටියේ සුනිල් රොද්‍රිගො මහත්මයා. ඔහු මට බොහොම ස්වාධීනව පත්තරේ කරන්න ඉඩ දුන්නා. මමත් පළවෙනි වතාවට ලේක්හවුසියෙන් සමුඅරන්, විජේතුංග ජනාධිපතිතුමනුත් දේශපාලනයෙන් සමු අරන් ඉන්න කාලෙක මම ගියා එතුමන්ව මුණ ගැහෙන්න. නුවර ගිය වෙලාවක පිළිමතලාවේ එතුමන්ගේ ගෙදරට ගියා. මම ඇත්තටම ගියේ එතුමන්ට ස්තූති කරලා එන්න. ඇත්තටම එතුමාගේ කාලය තුළ පිළිමතලාවේ පන්සලක කඨින පින්කමක්වත් දාල දෙන්න කියලා මට එව්වේ නෑ. ඒ වගේම මම පත්තරේ දාපු කිසි දේකට ඇයි මේක දැම්මේ කියලා ප්‍රශ්න කළෙත් නෑ.

ඔබ සරසවිය කර්තෘ වෙන්නේ දෙවැනිපාර ලේක්හවුසියට පැමිණි පසුව නේද?

මම සරසවියට එන්නේ දඬුවම් මාරුවක් ලැබිලා. ඒක ඒකාලේ පාර්ලිමේන්තුවේත් ප්‍රශ්න කළා. ජනමාධ්‍ය හමුවලදීත් ප්‍රශ්න කළා. කැබිනට් මිටින්වලදිත් ප්‍රශ්න කළා. ඇයි කොළඹ මහ දිසාපතිවරයා උප දිසාපති කරලා දාල තියෙන්නේ කියලා. මොකක්ද වැරැද්ද කියලා අහලා තිබුණා. එවකට ජනමාධ්‍ය ඇමතිතුමාත් කියලා තිබුණා මම නම් දන්නෙ නෑ කියලා. කොහොම වුණත් ඔවුන් මට දුන්න දඬුවම් මාරුව මට නම් දඬුවමක් වුණේ නෑ. මට ඒක ඉබ්බා දියට දානකොට ඇන්නැවේ වගේ වුණා. සරසවිය කියන්නේ සකල කලාවම තිබෙන තැනක්. සිළුමිණේ ඉන්නකම් මම කළේ පත්තර කලාව විතරයි. සරසවියට ඇවිත් මම සකල කලාවම කළා. සරසවිය සම්මාන උලෙළ හතරක් මම කළා. අදටත් මට ඉතාම නිර්භයව කියන්න පුළුවන් නිර්පාක්ෂිකව විනිවිදභාවයකින් යුතුව කරපු සම්මාන උලෙළ කියලා. මට මතකයි වරක් ගාමිණි ෆොන්සේකා හොඳම නළුවට නිර්දේශකරලා, ලින්ටන් සේමගේට සම්මානය ගියා. සම්මානවලට මට කවදාවත් චෝදනා එල්ල වුණේ නෑ. මේ සම්මාන උලෙළවලදී රහස්‍යභාවය උපරිමයෙන් තිබුණා. විනිශ්චය මණ්ඩලයට අදීනව තීන්දු තීරණ ගන්න නිදහස තිබුණා.

 

සරසවිය හදිසියේම නවතා දමනවා කියන ලිපිය එනවිටත් ඔබතුමා සරසවිය කර්තෘ?

ඔව්. එහෙම ලියුමකුත් ආවා. එදා මම ක්‍රියාත්මක නොවුණා නම් අදටත් සරසවිය නෑ. ඔවුන් එදා යෝජනා කළා මේක චිත්‍රපට සංස්ථාවට බාර දෙන්න. ඒ කාලේ මම සරසවිය පත්තරෙන් පටන් අරගෙන තිබුණා විජය කුමාරතුංග පිළිබඳ රචනා තරගයක්. මම වහාම එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ මාධ්‍ය උපදේශකවරයා වූ සනත් ගුණතිලකට කතා කළා. මම ඔහුට කිව්වා විජය කුමාරතුංග සිනමාවට ආවෙත් මේ පුවත්පත හරහා. එතුමාගේ බිරිඳ ජනපතිනිය වී සිටින අවස්ථාවක මේ පුවත්පත වසා දැම්මා කියන නරක නාමය විපක්ෂයේ අයගේ අවියක් ලෙසද භාවිතා වුවහොත් මට මුකුත් කියන්න එපා කියලා කිව්වා. හැබැයි ඒ මොහොතෙම සනත් මැදිහත් වෙලා ඒ තින්දු තීරණ ආපස්සට හැරෙව්වා. සනත් ඇත්තටම ඒ කාලේ සරසවිය සම්මාන උලෙළ කරන්නත් මට හරියට උදව් කළා. ඔහු කවදාවත් ඔහුගේ තනතුර පාවිච්චි කරලා අනවශ්‍ය විදියට බලපැම් කරන්න ආවේ නෑ. ඒ හින්දම මම ඔහු පිළිබඳ ලිපියකුත් සිළුමිණට ඒ කාලේ ලිව්වා.

 

ජීවිතේ ආපස්සට හැරෙන කොට මොකද හිතෙන්නේ?

ලොකු සතුටක් දැනෙනවා. මම යමක් කරලා තියෙන බව දැනෙනවා. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ විසි අට වෙනිදා එළි දකින්නේ මගේ පින් පොත කියලයි. ඒක කියවලා අනුමෝදන් වෙන්න තමයි තියෙන්නේ.

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න

[email protected]