මහාචාර්ය සනත් නන්දසිරි අභාවප්‍රාප්ත වෙයි

මාර්තු 30, 2023

ලාංකේය සංගීත ක්ෂේත්‍රයට අනභිභවනීය යුගකාරක මෙහෙවරක් ඉටුකළ, සුභාවිත ගීතයේ රජකු ලෙස සැලකෙන මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි සූරීහු පසුගිය 28 වැනිදා උදෑසන තම නිවසේදී අභාවප්‍රාප්ත වූහ. මියයන විට ඔහු 81 වැනි වියෙහි පසුවිය. ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත් විද්‍යා පීඨයේ ගායනයට හා වාදනයට විශාරද උපාධිය ලබා 60 දශකයේ මැද භාගයේ මෙරටට පැමිණ ඔහු සංගීත ක්ෂේත්‍රයට පිවිසුණේ ‘ඇවිළුණු ගිනිදැල්’ ගීතය ගායනා කිරීමත් සමඟිනි. එතැන් සිට ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත, අමරදේව යන මහා ත්‍රිත්වයෙන් පසුව සංගීතය ක්ෂේත්‍රයට නව්‍ය පුරෝගාමීත්වයක් ලබාදෙමින් සුභාවිත ගීතය සුපෝෂණය කිරීමට විසල් කාර්යභාරයක් ඔහු ඉටු කළේය. මියයන විට මහාචාර්ය සනත්, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය හොබවමින් සිටියේය. දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමියතය. ඔහු පිළිබඳ විශේෂ ලිපියක් ලබන සරසවිය පුවත්පතේ පළ වෙයි.