වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
මගේ මහත්තයා ගැන මට ආඩම්බරයි

“මගේ මහත්තයා මගේ දරුවන්ට හොඳ තාත්තා කෙනෙක් වගේම මටත් විශ්වාසවන්ත හොඳ ස්වාමියෙක් වුණා. ඒ ආඩම්බරය මට අදටත් තියෙනවා.”
අපේ ආදරණීය කතා නායකයා සැබැවින්ම පි‍්‍රයමනාපය. අපේ සිනමාවේ උත්තුංග සටන් නළුවකු සේම සටන් අධ්‍යක්ෂවරයකු ද ලෙසින් මුදුනතටම පැමිණී හෙතෙම රූපකායෙන් ද සිනමා ලෝලීන්ගේ සිත් ඇඳ බැඳ තබාගත්තෙකි.
මනුවෙල් ජෝශප් ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ඔහුගේ උප්පැන්නයේ නමය. 1940ක් වූ අගෝස්තු මස 25 වනදා මෙළොව එළිය දුටු හෙතෙම කොටහේනේ කොච්චිකඩේ උපත ලැබීය. මූලික අධ්‍යාපනය ලැබූවේද කොටහේනේ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේය. අනතුරුව ශාන්ත අන්තෝනි විද්‍යාලයේද ඉගෙනුම ලද ඔහු කොච්චිකඩේ පල්ලියේ පූජකතුමන්ලා සමඟ ද කිට්ටු ඇසුරක සිටියේය.
සිය පාසල් වියේදීම විශිෂ්ට ක්‍රීඩා කෞශල්‍යයෙන් උපන් හපන්කම්පාමින් දෙස් විදෙස් පදක්කම්ලාභියකු ද වූ අද අපේ සොඳුරුතම කතා නායකයාණෝ අන් කිසිවකු නොව කොයි කාගෙත් මුවඟට හුරු ‘ඇලෙක්ස්‘ හෙවත් ප්‍රවීණතම සටන් ශිල්පියකු ලෙසින් සිනමා රසික දනන්ගේ ආදරයටම පාත්‍ර වූ අපේ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු රංගන ශිල්පියා ය.
තම වයසින් අවුරුදු පහළොවේ තරමේදී ඔහුගේ කී‍්‍රඩා සමත්කම් පිළිබඳව ගුරු දෙගුරුන්ගේ පවා නොමඳ පැසසුම් හිමිවිය. අපේ ආදරණීය කතා නායකයාගේ බිරිඳ අනෝමා ලුම්බිණි ප්‍රනාන්දු මහත්මිය සිය සැමියා පිළිබඳ මහත් සොම්නසකින් යුතුව කතා කරන්නීය.
අපෙ මහත්තයා ගැන කතා කරන්න පත්තර පිටු මදිවේවි මගෙ හිතේ. ඇත්තටම අදත් මගේ මහත්තයා ගැන මා තුළ තියෙන්නෙ ලොකු සතුටක්, ආඩම්බරයක්. මහත්තයා කවදාවත් රඟපෑමයි පුද්ගලික ජීවිතයයි පටලවා ගත් කෙනෙක් නෙමෙයි. ඒ නිසයි එයාව අපිට වටින්නේ. කොටහේන, කොච්චිකඩේ ඇන්තනි මේරියන් ප්‍රනාන්දු සහ ලූර්දු මේරි පීරිස් මවුපිය දෙපළට දාව උපන් අපේ කතා නායකයාට සිටියේ වැඩිමහල් සහෝදරියක හා බාල සහෝදරියක පමණකි. එකම පුතු නිසාදෝ දෙමවුපියන්ගේ වැඩි සැලකිල්ලද ඔහුට හිමිවිණි.
ළමාවියේ සිටම කී‍්‍රඩාවටම ඇලුම් පෑ දස්කම් පෑ අපේ ඇලෙක්ස් කරාටේ ජූඩෝ, බොක්සිං, පාපන්දු, පිහිනුම් තරඟ ඉසව් වලදී පවා මැනවින් කුසලතා පෙන්නුම් කළ විශිෂ්ටයකුම විය. ඔහු වඩාත් අදාරය කළේද, හා පුරා කියා අත ගැසුවේද මල්ලව පොර කී‍්‍රඩාවටය. සැබැවින්ම කී‍්‍රඩාවටම උපන් හපන්කමින් යුත් අපේ කතා නායක පරිපූර්ණ කී‍්‍රඩකයෙකි. මා සමීපයේම පසුවන්නේ ඔහුගේ එකම පුත් අනෝජන් සුදර්ශන ප්‍රනාන්දු තරුණයාය. සිය පියා මෙන්ම පුතුද කඩවසම් දේහධාරී පි‍්‍රයමනාප අයෙකි. පියා ගිය මඟ යමින් සිනමාවට ද රංගනයෙන් එකතුවන අපේ කතා නායකයාගේ පුත් සුදර්ශන කටහඬ අවදි කළේය.
“අපේ තාත්තාගේ පි‍්‍රයතම කී‍්‍රඩාව තමයි මල්ලව පොර. එක අතකට බැලුවාම අපේ තාත්තා ගැන කතා කරන්න නම් බොහෝ දේ තියෙනවා. අපේ තාත්තා හැමවිටම තමන් කෙරෙහි පුදුම ආත්ම විශ්වාසයකින් කටයුතු කළ කෙනෙක්. එයා හරිම එඩිතරයි.“ අනෝජන් සුදර්ශන පුතු කියන්නේය.
අපේ කතා නායකයා කිවයුත්ත නොබියව කියන, කිසිවකුට යටත් කළ නොහැකි, වරදක් අසාධාරණයක් දුටු තැන දී කිපෙන සුළු එහෙත් වහා උණුවෙන සිතකින් හෙබි අයෙකු බවද පුතු කියන්නේය. “ අපේ තාත්තා අතිදක්ෂ කී‍්‍රඩකයෙක් කිව්වත් හරි. කී‍්‍රඩාවට වගේම අපේ තාත්තා ඉගෙනුමටත් දක්ෂයි.“ ඒ ටික කීවේ ද පුත් සුදර්ශන ය.
අපේ ආදරණීය ඇලෙක්ස් පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟ ඉසව් සඳහා ඉදිරිපත් වූයේය. ඒ 1962 වසරේදීය. ඉන් ජය ලද හෙතෙම 1964 වසරේදී ටෝකියෝවේදී පැවති ඔලිම්පික් කී‍්‍රඩා උලෙළට ද සහභාගී විය. බැංකොක්හි පැවැති ආසියානු කී‍්‍රඩා උලෙළටද සහභාගී වී තරඟ කොට පදක්කම් දිනා ගත්තේය.
මම බිරිඳ අනෝමා දෙස බලමි.
“ අපෙ මහත්තයා අපරාජිත මල්ලව පොර ශූරයා වුණා. ඒ 1969 දී විතර. එයා කොළඹ නගර සභාවේ ක්‍රීඩා උපදේශක තනතුරටත් පත් කෙරුණා.“ ඕ කියන්නීය.
කඩවසම් පි‍්‍රයමනාප පෙනුමකින් යුත් අපේ ආදරණීය කතා නායකයා බොහෝවිට කී‍්‍රඩා කණ්ඩායම් හි නායකයා බවට නිතරඟයෙන් පත් කැරිණි. කොළඹ ආම්ස්ට්‍රෝං ක්ලබ් හරහා විවිධ තරඟ ඉසව් සඳහා ඉදිරිපත් වීමෙන් සිය පියාණන් ලද ජයග්‍රහණ පුතු අපට පෙන්වූයේද මහත් සතුටකිනි.
කී‍්‍රඩා දිවියට අමතරව රඟපෑමටද ඇලුම් කළ හේ වේදිකා නාට්‍යවල විවිධ චරිත රඟපෑවේය. ඒවා බොහෝවිට දමිළ නාට්‍යම විය. ඒ අතරේදීය, සිනමාවේදී ලෙනින් මොරායස් අපේ කතා නායකයාට හමුවූයේ. ලෙනින්, ඔහු ටී.සෝමසේකරයන්ට හඳුන්වාදුන්නේය. එතැනින් සිනමාවට පිවිසීමට වරම් ලද හේ වෙන ස්වර්ගයක් කුමට ද? චිත්‍රපටයේ සටන් දර්ශනයක් සඳහා පෙනී සිටියේය. ඒ ප්‍රවීණ නළු හෙන්රි ජයසේනයන් සමඟිනි.
ඒ තමයි අපෙ මහත්තයාගෙ සිනමා ගමනට මුල පිරූ පළමුවන චිත්‍රපටය, මට මතක හැටියට ඒ 1963 අවුරුද්දේ විතර. ඉන්පසුව ප්‍රවීණ සිනමා නළුවකු සේ ම සටන් නළුවකු වූ රොබින් ප්‍රනාන්දු විසින් ඩබ්ලිව්.එම්.එස්. තම්පෝ වෙත හඳුන්වා දුනි. එහිදී අපේ කතා නායකයා රුහුණු කුමාරි චිත්‍රපටයේ රොබින් ප්‍රනාන්දු සමඟ උද්‍යානයක සටන් දර්ශනයකට පෙනී සිටියේය. එය ත්‍රාසජනක සටනක් ම විය. ඒ සටන් ජවනිකාව පිළිබඳව එදා තුඩ තුඩ කතාබහට ද ලක්විය. එපමණක් ම නොව සටන් ජවනිකාවකදී ඇලෙක්ස් - රොබින් සුසංයෝගය ද ඉහළින්ම වර්ණනා කෙරිණි.
අපේ කතා නායකයා හා හා පුරා කියා සම්බන්ධ වූ බව කියැවෙන ‘රුහුණු කුමාරි‘ චිත්‍රපටය ද මෙහිදී සිහියට නැඟේ. අපේ ඇලෙක්ස් - රොබින් සුසංයෝගය ඉදිරියටම යමින් ඔහොම හොඳද, හාරලක්ෂය, සිංගප්පූරු චාලි, හිතක පිපුණු මල්, අපරාධය හා දඬුවම, සිකුරුලියා, සරදියෙල්ගෙ පුතා, සහයට ඩැනී, රහසක් නැති රහසක් ආදී චිත්‍රපට අතර ද රිදී තිරය ඔපලූ සටන් ජවනිකා ඉදිරිපත් කෙරිණි. ඒ සමඟින් අපේ කතා නායකයාණෝ සිනමාවට නැතිවම බැරි සටන් නළුවකු බවට ද පත්විණි.
ඊට තවද කරුණක් එකතු කළ යුතුය. එදා සිනමා නළු නිළියන් දකුණු ඉන්දීය රංග ශෛළියකට බඳුන් කරවා තිබූ යුගයක සටන් ජවනිකා ද එලෙසම විය. දකුණු ඉන්දීය සටන් ජවනිකා ඉන් ඔබ්බට ගෙන ගියේ ද වඩාත් තාත්වික සටන් ශෛලියකින් රිදී තිරය ඔප කළේද අපේ කතා නායකයා බව කිවහොත් වඩාත් නිවැරදිය. කොටින්ම සිනමා සටන් කලාව නව දිශානතියකට යොමු කරවීමට හෙතෙම සමත් වූයේය. සටන් නළුවකුව සිටි අපේ ඇලෙක්ස් සටන් අධ්‍යක්ෂවරයකු වන්නට තරමේ සුදුසුකම් ලද්දේ ද මෙකී සමත්කම් නිසාම ය. ප්‍රතිවාදී ප්‍රහාරයකදී උපද්‍රවයකින් තොරව ඇද වැටීමේ තාත්වික රංගනය ද ඔහුගේ ශාස්ත්‍රානුකූල ඉගැන්වීමකි. ප්‍රති ප්‍රහාරයකින් බිම ඇද වැටෙන රිද්මය මනාව පුහුණු කළ හෙතෙම සටන් නළුවන් අතර ඉහළින්ම කැපී පෙනුනේ ඒ නිසාම විය යුතුය.
මම අනෝමා මහත්මියට යොමු කළ පැනයකට ඕ සිනා සී පිළිතුරු දුන්නාය.
“අයියෝ නැහැ. එයයි මමයි විවාහ වුණේ පේ‍්‍රම සම්බන්ධතාවයකින් නම් නෙමෙයි. ඒ දවස්වල අපෙ මහත්තයා විවේක වේලාවට නිතර නිතර වත්තල ඉන්න නීල් රූපසිංහ මහත්තයගෙ දිහාවෙ යනවා. ඒ දෙන්නා හරි මිතුරුයි. නීල් මහත්තයා ළඟ උන්න හිතවත් කෙනෙක් අපිවත් දන්නවා. ඉතින් දවසක්දා ඒ මනුස්සයත් එක්ක අපෙ මහත්තයා අපේ ගෙදර ආවා. එතැනදි තමයි අපි දෙන්නා දැන හඳුනාගත්තෙ.“ අනෝමා සිනාපිරි මුවිනි.
අපේ කතා නායක දැන් රට ම දන්නා නළුවෙකි. ජනපි‍්‍රියත්වයේ ඉහළටම පැමිණි නළුවෙකි. ඔහුගේ ජීවන සහකාරිය වූයේ මා හා කතා කරන ගාල්ලගේ අනෝමා ලුම්බිණි මහත්මියය.
“අපි දෙන්නා විවාහ වුණේ 1977දි විතර. ඒ දවස් ගැන අදටත් උපදින්නෙ ලොකු සතුටක්. අපට දූලා ම දෙන්නයි. ඔය තෙවැන්නා. ඒ අපේ එකම පුතා, අනෝජන් සුදර්ශන. පුදුමයි කියන්නෙ අපේ මහත්තයාගේ පවුලෙත් සහෝදරියන් දෙන්නයි, පුතයි. දෙවැනියාට උපන් පුතා තමයි මහත්තයා. අපේ පවුලෙත් දෙවැන්නා පුතා - සුදර්ශන.“
සිය සිනමා රංගනය වෘත්තීය බවට පත්විණි. චිත්‍රපට ගලා එන්නේය. පි‍්‍රයතම හිතවතා වූයේ ප්‍රවීණ සිනමා නළු ඇන්තනී සී.පෙරේරාය. ජෝ අබේවික්‍රම ද සමීප ය. ගීතා, සෝනියා දිසා, රවීන්ද්‍ර රන්දෙනිය, ලෙනින්, ඔහුගේ සමීපතමයෝ ය.
‘රොබින් ප්‍රනාන්දු මාමා අපෙ තාත්තාව චිත්‍රපට වලට අඬගහගන්නෙ හරියට බලහත්කාරයෙන් වගේ. ඒ තරමට රොබින් මාමා අපෙ තාත්තා එක්ක රඟපාන්න හරි කැමතියි. සටන් ජවනිකා වලදි ඒ දෙන්නා කරට කර නිසා වෙන්නැති.‘ ඒ ටික කීවේ සුදර්ශනය.
අපේ ආදරණීය කතා නායකයා ප්‍රධාන චරිතයකට පණ පොවන්නට ඇරයුම් ලද්දේ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් වෙතිනි. ඒ ශ්‍රී මදාරා චිත්‍රපටයේ ය. “එතකොට නම් මං ඉපදිලත් නැහැ.“ පුතු කියයි.
අපේ ආදරණීය ඇලෙක්ස් සටන් නළුවෙක් පමණක් ම නොව පෙම්වතාගේ චරිතයෙන්ද සිය ප්‍රතිභාව පෙන්නුම් කළේය. මුදල් හදල් ද නොඅඩුවම ය. පෙර නොසිටිමිතුරන් ද අත ළඟමය.
‘අපේ මහත්තය බීමට ඇබ්බැහි වුණා. ගෙදරට එන්නෙ අසිහියෙන් වගේ. මං ආදරෙන් පහදලා දුන්නත් වැඩක් වුණේම නැහැ. සුරාවයි, දුම්වැටියයි නැතිවම බැහැ. චිත්‍රපටයක රඟපාන්න ගිවිසුම් අස්සන් කරලා ගෙදර එද්දි අතේ සත පහක් නැහැ. ගෙවන මුදල එහෙමම යහළුවන්ට බෙදලා එන්නෙ. කෙනෙක් උදව්වක් ඉල්ලුවොත් ඉතිං තමන් ගැන බලන්නෙ නැහැ. ඒ උදව්ව එයා කොහොමහරි කරලා දෙනවා. සමහර යාළුවො අපෙ ගෙදරට එනවනෙ. අනේ බන් දැන් උඹ ලෝබයා වෙලානේ - දැන් උඹ කුණා වෙලානෙ - මට මෙච්චරක් අච්චරක් දීපන්කො කියනවා. ඉතිං මෙයත් දෙනවා. ඒ තරම් එයාට දෙන්නමයි හිත. යාළුවො මහත්තයාට එහෙම කියනවා මට ඇහිල තියෙනවා.
පස්සෙ පස්සෙ මහත්තයාට සල්ලි ළඟ තියන් ඉන්න බැරි හින්දා චිත්‍රපටවලට ගිවිසුම් අත්සන් කරන දවසට මං මගේ තාත්තාව එයත් එක්ක යවනවා. එයාගෙ හිත හොඳයිනෙ. ගෙදරට එද්දි පොඩි ළමයි දැක්කොත් ළමයින්ගෙ ඔලුව අත ගාලා සල්ලි ඕනෙද පුතාලට කියල සල්ලි බෙදලා දෙනවා. එයා මහන්සියෙන් හම්බු කළාට අන්තිමේ ඒ ප්‍රතිඵල මහත්තයටත් නැහැ. අපටත් නැහැ.“ අනෝමාගේ හඬ බිඳුණු ස්වරයකිනි.
සිය පේ‍්‍රමණීය බිරිඳ අනෝමා ද ඔහු පස්සේ ම ය. ලෙන්ගතු වූ දා සිට ඒ සෙනෙහස ඔහු පපු කැනැත්තේම ය. ඇය ද ඒ බැව් මැනවින් දැන සිටියාය. ඒ ළෙන්ගතු නොවෙනස් හිතක ආදරයම නිසාදෝ පිය බිරිඳ අනෝමාගේ නම අනෝමා යනුවෙන් ඔහු තම දකුණතේ පච්චයක් කොටා සිටියේය. ඒ ආදරය ඇයට අද ඊයේ මෙන් ම තවමත් ඇයට දැනේ.
“දැක්ක දා ඉඳලා මහත්තයා මට කතා කළේ ‘අනෝ‘ කියලා. හැම තිස්සෙම මාව සොයනවා. එයාට මම පේන්න ඉන්න ඕනා. දරුවන්ටත් හරිම ආදරෙයි. කවදාවත් නියපිටින් අපට පහරක් ගහලා නැහැ. ඔය පිටස්තර තැන්වලදි වරදක් දැක්කාම කේන්ති ගිහින් දබර කරල තිබුණත් අනේ අපට නම් අතක් උස්සලා නැහැ.
“මං මහත්තයා ගැන හොඳ අවබෝධයකින් හිටියේ - අපි දෙන්නාට දෙන්නා විශ්වාසයි. ඔය සමහර දවස්වලදි අපි දෙන්නා ගමන් බිමන් ගියාම සමහර අය මට ෆොටෝ එකකට ඉන්න එන්න කියලා කතා කරනවා. මගෙ මහත්තයත් හිනාවෙලා බලන් ඉන්නවා. සමහර කාන්තාවො මහත්තයාව ඇදගෙන පින්තූර වලට ඉන්නවා. මගේ හිතෙත් එහෙම අහිතක් ඇත්තේ ම නැහැ. ඒ අතින් මම මගේ මහත්තයාට අදත් ගෞරව කරනවා.....“ අනෝමා සතුටින් කියන්නීය.
‘රක්තා’ චිත්‍රපටයේ රූපගත කිරීම් අවස්ථාවකදී අපේ කතානායකගේ එක් පාදයක් ආබාධිත වූයේ රෝහල් ගත කරන තරමටය. රෝහල් වාට්ටුවේ වෛද්‍යවරුන්ගේ උපදේශය වූයේ දින කිහිපයක් නේවාසික ප්‍රතිකාර ලබමින් පසුවිය යුතු බවකි. එහෙත් අපේ ආදරණිය ඇලෙක්ස් ඊට පසුවදා එම චිත්‍රපටයේ රූගත කිරීම් ස්ථානයට පැමිණියේ ‘නැහැ ගාණක් නැහැ - ඒක මං බලාගන්නම්, අපි අපේ වැඩේ කරමුකො‘යැයි කියමිනි.
තවත් අවස්ථාවක දී ද එක් පාදයකට තුවාල සිදුවිණි. ඒ සරදියෙල්ගෙ පුතා චිත්‍රපටයේ රඟපාමින් සිටියදී ය. නොසිතූ ලෙසකින් අපේ ඇලෙක්ස් කන්දකින් පහළට පෙරළී ගියේය. සැවොම එක්වූයේ ඔහු රෝහල් ගත කරවන්නට ය.
“හරි, ප්‍රශ්නයක් නැහැ. අපි වැඩේ කරමුකො.“ එපමණි ඔහු කීයේ.
කිසිවකුට උදව් කිරීමේදී එය ජනපි‍්‍රය කරවන්නට තරම් බොළඳ නු වූ අපේ ප්‍රතාපවත් රංගවේදියා ඕනෑම විටෙක උදව්වට සිටියේය. කොච්චිකඩේ ප්‍රදේශයේ වත්කමෙන් අඩු අහිංසක දෙමවුපියන් ඔහු හමුවී ආයාචනා කළේ ‘අනේ අපේ දරුවන් පාසලකට දමා දෙන්නැයි කියාය. එය ඉවත දැමුවේ ඔහු නොවේ. ඔහුට ලෙන්ගතු පල්ලියේ පූජකතුමන්ලාගේ ද සහාය ගෙන ඒ දිළිඳු දරුවන් පාසල් වලට ඇතුළත් කර දුන්නේය. ඒ දරුවනට පාසල් උපකරණ ආදියෙන් ද පිළිසරණ වූයේය.
“අපේ තාත්තාට කියලා වාහනයක් තියාගෙන ඉන්න තිබුණා. කොහෙද තාත්තාගෙ එහෙම ආසාවක් තිබුණෙම නැහැ. මටම කියල මට මොකටද වාහනයක් ගන්නෙ. මං පාරට බැස්සාම මට ඕන තැනකට මාව ඇරලවන්න තරම් මිනිස්සු ඉන්න රටක. ඔන්න ඔහොමයි අපේ තාත්තා කිව්වේ’ පුතු සුදර්ශන කීයේ සිනාසෙමිනි.
කරපින්නාගත් දේශපාලනයක් ඔහුට නොවුවද ප්‍රධාන පක්ෂ දහරාවේ නායකයින්ගේ ආදරයට හෙතෙම පාත්‍රව සිටියේය. ගාමිණි දිසානායක මහතා ද ඉන් එක් අයෙකි. එතුමා හැමවිටම ඔහුගේ උදව්වට සිටිිමින් ‘මොනවාද කෙරෙන්න ඕනා.’විමසූ වාර කිහිපයකි. ඒ ඔහුට තිබු ළෙන්ගතුකමය. ඒ බව බිරිඳ අනෝමා ද දැන සිටියාය. එහෙත් ඔහු එගැන වැඩිදුර කිසිවක් නොසිතාම ඉවත දමා සිටියේය.
නළු නිළියන් වෙනුවෙන් අරලිය ගහ මන්දිරයේදී පැවැති සුහද හමුවක දී මහින්ද රාජපක්ෂ මහතා ඔහු වෙතට පැමිණියේය. දෙඅත අල්වා ගත්තේය.
‘අපේ සිනමාවේ ඔබ ගැන මගෙ ලොකු සතුටක් තියෙනවා.’
අපේ කතානායක ඊට කෘතවේදී සිනාවකින් පිළිතුරු පෑවේය. ‘අපේ සමහර නළු නිළියන් දෙපිල බෙදුණා. එතැනදී අපේ තාත්තාටත් පහර වැදුණා. ඇත්තටම පසුකලෙක අපේ තාත්තා සිනමාව ගැන කලකිරීමකට පත්වුණා. ඒ කලකිරීම කොච්චර ද කිව්වොත් සමහර වෙලාවට අපේ තාත්තා කියනවා චිත්‍රපට වල රඟපාන්න නොගිහින් කරගෙන හිටිය ක්‍රීඩාවම කරගෙන උන්න නම් මීට වඩා හොඳයි කියලා. එහෙම කියන්නට තාත්තාට හේතු තිබුණා කියල මට නම් හිතෙන්නෙ.’ පුතු සුදර්ශනගේ පෙර තිබු සිනහව ද නැති,
අපේ සොඳුරු කතා නායකයා චිත්‍රපට දෙසියයකට ආසන්න සංඛ්‍යාවක රඟපෑවේය. හෙතෙම ප්‍රංශ සිනමා සිත්තම්වල සේම ඉංග්‍රීසි සිංහල හා දමිල චිත්‍රපටවල ද රඟපෑවේය. සටන් අධ්‍යක්ෂකවරයකු ද වූ අපේ ඇලෙක්ස් නම් කඩවසම් දේහධාරි පෞරුෂයකටම හිමිකම් කී හෙතෙම යම් යම් අවස්ථාවලදී මෙසේ ද කියන්නට විය.
‘චිත්‍රපටවල රඟපාන්න සිහින මැව්වට මේක නිදහසක් ඇත්තේම නැති දෙයක්. ප්‍රසිද්ධියත් මහ නිදහසක් නැතිදෙයක්. මීට වඩා හොඳයි අප්‍රකටව ජීවත් වෙනවා නම්’.
ඔහු සමඟ බොහෝ විට රඟපෑවේ සෝනියා දිසාය. ඕ ඔහුගේ සමීපතම මිතුරයකි. නීල් රූපසිංහ සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ලෙනින් මොරායස්, ආනන්ද හේවගේ, යසපාලිත නානායක්කාර ආදී අධ්‍යක්ෂකවරුන් ඔහුගේ සිනමා ගමනට අත හිත දුන්නෝ වෙති.
‘අනේ ඉතින්, අපේ මහත්තයාට එයාගේ වටිනාකම එයාට දැනුණු කෙනෙක් නෙවි. ඒ ගැන මං හිතන්නේ පසු කලෙක මහත්තයටම තේරුම් ගියා. එතකොට ප්‍රමාද වැඩියි.’ අමෝමා පවසන්නීය.
‘මං කුඩා කාලෙදි චිත්‍රපටවලට ආරාධනා ආවා. ඒත් අපේ තාත්තා ඒ තරම් උනන්දුවක් දැක්වුයෙත් නැහැ’
අපේ ආදරණීය ඇලෙක්ස්ගේ එකම පුතු මා හා කතා කරන අනෝජන් සුදර්ශන පුතු ද ළඟදී වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිත ඕ.අයි.සී. සත්‍යා චිත්‍රපටයේ රඟපාමින් පියා නැවතූ තැන් සිට ගමන යන්නට සුදානමින් සිටි. එය කුසුම් චන්ද්‍ර මහතාගේ අධ්‍යක්ෂණයකි. මම ඔහුට සරසවිය වෙනුවෙන් සුබ පැතුවෙමි.
සැබැවින්ම අපේ ආදරණීය කතා නායකයාගේ දිවි පැවැත්ම ඉතා සරලය. චාම්ය. අරුමෝසම් ජීවිතයකට වඩා සාමාන්‍ය ජීවිතය වඩාත් යෙහෙකැයි ඔහු අදහන්නට වුයේය.
මා මතක තිරය අවදි වෙයි. තුෂාරා චිත්‍රපටයේ තනිවම නිවසේ පසුවන තුෂාරා (මාලිනී) පැහැරගෙන යාමට බැප්ටිස්ට් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් ගෙමිදුලේය. ඇයගේ රැකවරණයට එන්නේ අපේ කතා නායකයා සහ ඔහුගේ සගයන් කිහිප දෙනෙකි. ගෙට ඇතුළු වන දොරටුව අවුරා පසුවන අපේ ඇලෙක්ස් මෙසේ කියයි.
‘තනිවම ගෑනු ළමයෙක් ඉන්න ගෙදරට ඇවිත් ඔහොම කරදර කරන එක හරි නැනේ යාලුවා.’
“උඹ කවුද මිනිහො එහෙම කියන්ඩ බැප්ටිස්ට් අමුතු රටාවකින් විමසයි. සටන ඇරඹෙයි. පෙර කී පරිද්දෙන් ශාස්ත්‍රානුකූලව බිම ඇද වැටෙමින්, යළි ඇසපිය හෙළන සැණින් නැගිටිමින් සටන් ජවනිකාවට ජීවය දෙන අයුරු කදිමය. ඒ මේ අපේ ආදරණීය ඇලෙක්ස්ය. ඔහුට මෙතරම් රසික දනන් ආශක්ත වුයේ ඔහුටම ආවේණික වූ සටන් ශෛලීය නිසාමය. එය වරෙක ත්‍රාසජනකයි.
මේ සටන් රංග ශිල්පියා සරදියෙල්ගේ පුතා චිත්‍රපටයේ කුඩා දරුවන් ඉගෙනුම ලබන පන්තියක ඉගෙනුම ලබන වැඩිහිටියාය. හෙතෙම ගුරුතුමියට (මාලිනි) කීකරුය. යටහත්ය. ඒ වගේම අහිංසකය. රසික සිත් පැහැරගත් මේ දසුන් අදටත් මතකයට නැඟේ.
1963 වසරෙන් ඇරඹී සිනමා ගමන් මගෙහි බොහෝ දුරක නිමග්න වූ හෙතෙම දැන් මැදිවිය ද පසු කරයන්නේය. වරින් වර රෝගාතුර වෙයි. වරින් වර වෛද්‍ය ප්‍රතිකාර ද ලබන්නේය. කඩවසම් ප්‍රතාපවත් පෙනුම ද දැන් දැන් ඔහු කෙරෙන් නික්ම ගොසිනි. ‘අනෝ..’ ඔහුගේ සෙනෙහෙබර බිරිඳ අමෝමා ද දූ දරුවෝ ද සමීපයේය. එය ඔහුට මහත් අස්වැසිල්ලකි.
ඇති හැකි කල පැමිණිය ඇත්තෝ දැන් ඔහු අසල නැති. බොහෝවිට හුදකලාවේමය. නිහඬව ගෙතුලට වී සිටි එදා ඔහුට සිතුණේ මොනවා දැයි කියන්නට නොදනී. තමන් පෙර මෙන් නොව දැන් අසනීපයටම ගොදුරක් වී ඇති බව පමණක් ඔහුට සිතෙන්නට ඇත.
තමන් ලෙන්ගතුකම් පෑ දුම්වැටිය ද සුරාව ද හේ ඉවතට දැම්මේය. උගුරේ සෙම නැඟී කටහඬ ද ඇහිරෙයි. ගත වාරුව ද අයිතිය නැතිවාක් මෙනි. ‘අමෝ.... අනෝ..’ ඒ ඇමතුම දවසකට සියවාරයක් වුව අපහසුවෙන් නමුදු කියැවේ. එසැණින් අමෝමා ඔහු ළඟය. ඔහු තමන් පෙර හුන් අයුරු හා දැන් පසුවන අයුරු ද අපහසුවෙන් මෙන් ගළපා කියන්නේය. ඕ ආදර වදනින් ඔහු අස්වසන්නීය.
ඔහු පසුවන්නේ ගෙදරමය. ඇස ගැටෙන්නේ තමන්ගේ බිරිඳ හා දූ දරුවන්ය. එහෙත් ඔහු ඕනෑකමින් මෙන් බිරිඳට කියාපාන්නේ ‘යං - යං අපි ගෙදර යං’ කියාමය.
‘අපේ මහත්තයගෙ සිහිකල්පනාවත් හරි මදි වුණා. අසනීප වෙන්න ගත්තහම අනෝමා කියන්නීය.
අපේ ආදරණීය කතා නායකයා බලා ගත් අත බලාගත්වනමය. තත්ත්වය එතරම් යහපත් නැති, ප්‍රවීණ නළු රන්ජන් රාමනයක ගෙන් දුරකතන ඇමතුමකි. ඒ ඔහුටමය. රන්ජන් අසන්නේ සුවදුක් පිළිබඳවය. ඊට පිළිතුර දෙන අපේ ඇලෙක්ස් ගේ හඬ ඔහුට පැහැදිලි නැති ‘අක්කේ ඇලෙක්ස් අයියා මට කියන කිසිම දෙයක් පැහැදිලි නැහැ. අක්කා කියන්නකො මොකද අයියාගෙ තත්ත්වය’
‘අයියාගෙ කටහඬ පැහැදිලි නැහැ රන්ජන් මල්ලී, උගුරෙ සෙම හිරවෙනවා වගේ ‘බිරි ඳ අමෝමා කීවාය. ඒ මොහොතේ රන්ජන් ඉල්ලා සිටියේ තමන්ට ඇලෙක්ස් දකින්නට ගෙදර ලිපිනය දන්වන ලෙසටය. ඒ වෙද්දී අපේ ඇලෙක්ස්ගේ තත්ත්වය නරක අතටම හැරී උත්සන්න වී තිබිණි. ශි‍්‍රයාණි අමරසේන, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස, ආදීන් අපේ කතානායකගේ උදව්වට සැදී පැහැදී සිටියහ.
‘මට රන්ජන් රාමනායක මල්ලි කතාකළේ එදා 2020 අවුරුද්දෙ අපේ‍්‍රල් මාසෙ 4 වැනිදා. අපේ මහත්තයට කතා කරන්න අමාරු හින්දා එයා මට දුන්නා. මහත්තයට දියවැඩියාවත් තිබුණනෙ. අතක් කකුලක් පණ නැති තත්ත්වයකට ආවා. කොටින්ම පැත්තක් පණත් නැතිවුණා. එතකොට රටේම කොවිඩ් කාලෙ මං රන්ජන්ට කිව්ව අයියාව රෝහලට එක්ක යනව කියලා. එහෙනම් මං රෝහලට එන්නම් බලන්න කියල රන්ජන් මල්ලි මට කිව්වා. ඒ වගේම එයා ආවා. වියළි ආහාර ද්‍රව්‍යයන් එවලා මුදලිනුත් උපකාර කළා. ඒ එයාටම හිතිලා. රවින්ද්‍ර රන්දෙණියත් කතා කළා. උදව් කළා.’
ඕ අසුනේ හරි බරි ගැසුණාය. කිවයුතුම දෙයක් කීමට මෙන් මදෙස බලා සිටියාය.
‘අපේ මහත්තයාගේ හොඳම හිතවතෙක් උන්නා. එයා බිලීවෝන්. නළුවෙක්. තායිලන්තයෙ ප්‍රංශ චිත්‍රපටයකත් එයා එක්ක මහත්තයා හිටියා. අපේ මහත්තයාගෙ තත්ත්වය දැනගත්ත ගමන් එයා බැංකොක් යන්න හිටි ගමන කල්දාගෙන අපෙ මහත්තයා ළඟට රෝහලට දුවගෙන ආවා. උදව් පවා කළා.’
‘හැබැයි කනගාටුයි අමල්. සහෝදර කලාකරුවන් කියන ඈයො නම් මහත්තයගෙ අන්තිම කාලෙ නම් ළඟ උන්නෙ නැහැ.’ සිනෙ හා ගී තරු දු දරු සංසදයේ අනුශාසක අනුර රත්නායක මහත්මයා. එතුමාවත් මේ මොහොතෙ මට මතක් වෙනවා. ‘
අපේ ආදරණීය ඇලෙක්ස් නම් සොඳුරු කතා නායකයා කලාකරුවකුගේ ප්‍රතිභාව උදෙසා ජිවිතයට එක් වරක් පිරිනැමෙන ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබුවේය.
‘අපේ තාත්තාගේ පැත්තක් පණ නැතිව තිබුණත් තාත්තා තනියම අතපය මිරිකාගෙන වාට්ටුවේ ඇඳ ළඟම තනියෙන් හිටගෙන උන්නා. මට පුදුමත් හිතුණා. මෙතුවක් බර කල්පනාවක මෙන් පසු වූ අනෝජන් සුදර්ශන බිඳුණු හඬින් කීවේය.
අපේ කතා නායකයා ඔත්පළය. හිසෙහි ලේ කැටියක් සිරවීම මේ තත්ත්වයට හේතුව බවට වෛද්‍ය නිගමනය විය. බයිපාස් සැත්කමට ද නිර්දේශ කෙරිණි.
ඒ සමඟම අපේ කතානායකයාට අවශ්‍ය පහසුකම් ලබාදීම පිණිස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සම්බන්ධීකරණ ලේකම් රොහාන් වැලිවිට මහතා ද රෝහල වෙත එවා තිබිණි.
2020 වසරේ අපේ‍්‍රල් 29 වනදා උදාවුයේ සෝබරව යැයි හැඟේ. කිසිත් කිසිවක් ඔහු නොකීවේය. අපේ සාඩම්බරණීය ප්‍රතාපවත් කතානායකයා එදින හිමිදිරියේ පේ‍්‍රමණීය බිරිඳට දරු තිදෙනාට ද කිසිවක් නොකියාම යළි නොඑනා ගමනක යන්නටම ගොස් තිබුණේය.