වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
කෙනෙහිලිකම් මැද බැඳුණ සදා ආදරය...

පසුගිය දිනෙක වෛද්‍ය නෙඕමාල් පෙරේරා විසින් රචිත ‘දඩඉම’ ග්‍රන්ථය දොරට වැඩුම මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී සිදුවුණා. එහි ප්‍රධාන ආරාධිත අමුත්තියක් ලෙස සහභාගී වූ සම්මානනීය නිළි ස්වර්ණා මල්ලවආරච්චි එහිදී විශේෂ කතාවක් ද පැවැත්වූවා.
එහිදී ඇයගේ චිත්‍රපට ජීවිතය පිළිබඳ කතා බහෙන් අනතුරුව ඇයත් සමඟ චිත්‍රපට ගණනාවක රඟපෑ රවීන්ද්‍ර රන්දෙණිය සම්බන්ධ කරගනිමින් අපූර්ව කතාවක් කිව්වා. සිංහල සිනමා ඉතිහාසයේ කිසිදු දිනෙක රවීන්ද්‍ර-ස්වර්ණා යුගයක් බිහි නොවීමත්, චිත්‍රපට ගණනාවක රඟපෑවත් රවීන්ද්‍රගෙන් ඇයට හිමි වූයේ වද හිංසාවන් පමණක් බවත් ඇය එහිදී කියා සිටියා. වරෙක ඇය රවීන්ද්‍ර අතින් දූෂණයට ලක් වෙනවා. තව විටෙක, ඇය මරණයට පත් කරනවා. තවත් විටෙක ඇයගේ දරුවා මරණයට පත් කළා. ආදි වශයෙන් කතා ගොන්නක් කියාගෙන ගියා. එවිටයි සියලු දෙනාටම වැටහී ගියේ මේ ඇය පවසන්නේ රවීන්ද්‍ර සමඟ චිත්‍රපටවල රඟපෑ චරිත පිළිබඳ කියා. දඩයමේ දී ඇය මරා දමනවා. අනන්ත රාත්‍රිය, භවදුක, භවකර්ම හි ඇය ඔහු අතින් දූෂණයට ලක් වෙනවා. මායාහි ඇගේ දරුවා මරා දමනවා.
මේ සියලු කතා නිමකොට වේදිකාවෙන් බැස ස්වර්ණා මල්ලවආරච්චි රවීන්ද්‍ර රන්දෙණිය සිටින තැන පසු කර යෑමට සැරසෙන විට එහි ඉදිරි පෙළ ආසනයක වාඩිවී සිටි රවීන්ද්‍ර රන්දෙණිය පැමිණ ඇය බදාගෙන කියා සිටියේ අද පටන් කිසිදු දිනක ආයෙත් මෙවැනි කරදර යළිත් නොවන බවයි. පෙර සිදුවු සියලු සිදුවීම් අමතක කර ආදරයෙන් ඉමු කියායි.