අදියුරු "'සිනමාභිමාන 2023 - DGSL" සිනමා වසන්තයේ උදාව

මාර්තු 16, 2023

මාර්තු මාසය ආරම්භ වුණේ මෙරට සිනමාවට නැවුම් හිරු කිරණක් එක් කරමිනි. එයට හේතු වූයේ එළැඹුණු පළමුවැනිදා ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය මඟින් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ පැවැත් වූ මාධ්‍ය හමුවයි. එහි දී ඔවුන් ප්‍රකාශ කළේ ඉදිරියේදී තිරගත වීමට නියමිත සිංහල චිත්‍රපට නවයක් ඇතුළත් සිනමා දැක්මක් මාර්තු 13 වැනිදා සඳුදා සිට 24 වැනිදා සිකුරාදා දක්වා පවත්වන බවයි. මෙය මෙරට චිත්‍රපට ලෝලීන්ට මහත් සතුටක් ගෙන දෙන පුවතක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

සිනමා කර්මාන්තය සෝදා පාළුවට ලක්ව ඇතැයි පවසන යුගයක සිනමා ශාලාවට ප්‍රේක්ෂකයන් ගෙන්වා ගන්නට සමත් ජනාකර්ෂණීය සිනමා පට නවයක් එක දිගට ප්‍රදර්ශනය කිරීමට හැකි වාතාවරණයක් පවතින්නේ යැයි තහවුරු වීමත් මහත් අස්වැසිල්ලට කරුණකි.

අධ්‍යක්ෂවරුන්ගේ සංසදය මේ සිනමා දැක්ම නම් කර ඇත්තේ'DGSL-සිනමාභිමාන 2023' නමිනි. එයට අනුග්‍රාහකත්වය දක්වන්නේ අවුරා ලංකා සමාගම විසිනි.

DGSL යන කෙටි අකුරු පෙළින් හැඳීන්වෙන්නේ (Film Directors Guild of Sri Lanka)  ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයයි. සිනමාභිමාන 2023 සිනමා දැක්ම ඔවුන් සංවිධානය කරන්නේ සිය සංවිධානයේ දස වර්ෂ පූර්ණය නිමිති කරගෙන වීම මෙහි විශේෂත්වයයි.

සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයට දස වසරක් සපිරේ නම් එය ඒ දශකය පුරා කළේ කුමක්ද යන්න නිතැතින්ම ඔබේ සිතට නැඟෙන පැනය වනු ඇත. එබැවින් එහි වත්මන් සභාපති ජයන්ත චන්ද්‍රසිරි, ලේකම් ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර සහ භාණ්ඩාගාරික සුදේෂ් වසන්ත පීරිස් යන අධ්‍යක්ෂවරුන් විසින් මාධ්‍ය හමුවේදී පැවසූ අදහස් සංක්ෂිප්ත කර දැක්වීම එහි කාර්ය සාධනය පිළිබඳ අදහසක් ලබා ගැනීමට සුදුසුම පියවර වනු ඇත.

අධ්‍යක්ෂවරුන්ගේ සංසදය 2012 වසරේ දෙසැම්බර් මස 04 වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී බළමුළු ගැන්වෙන්නේ අරමුණු කීපයක් පෙරදැරිවය. එහි සංසදයේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සුරක්ෂා කරගනු පිණිස ජාතික ප්‍රතිපත්තියක් තුළ නියාමන කොමිසමක් සකස් කරගැනීමයි. ඊට අමතරව සිනමා නිෂ්පාදනයට සම්බන්ධවන ආයෝජකයන්ට හිතකාමී බෙදාහැරීමේ ක්‍රමවේදයක් ස්ථාපනය කරගැනීම සහ ඒ වන විට රජයේ අවධානයෙන් මිදී ගොස් තිබුණු ශ්‍රී ලාංකේය සිනමා ප්‍රදර්ශනය පිණිස ඩිජිටල් තාක්‍ෂණවේදය හඳුන්වාදීම කඩිනම් කරගැනීම ද ඔවුන් ඉලක්ක බවට පත්ව තිබුණි.

විවධ හේතු මත ඒ ඉලක්ක කරා ගමන් කිරීම ප්‍රමාද කරන්නට සිදු වෙද්දී සිය අරමුණු සාක්ෂාත් කරගැනීම සහ තවදුරටත් ශ්‍රී ලාංකේය සිනමාව වෙත එළැඹෙන අභියෝග වළක්වා ගැනීම පිණිස එවක විධායක සභාවේ සභාපති ප්‍රසන්න විතානගේ, ලේකම් බෙනට් රත්නායක සහ භාණ්ඩාගාරික උදයකාන්ත වර්ණසූරිය යන සිනමාවේදීන්ගේ ප්‍රධානත්වයෙන් 2014 ජනවාරි 16 දින ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත පා ගමනක් සංවිධානය කරනු ලැබිණි. ඒ ‘චිත්‍රපට ප්‍රදර්ශනය කඩිනමින් ඩිජිටල්කරණය කර දේශීය සිනමා කර්මාන්තය රැකදෙනු’ යනුවෙන් සංදේශයක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීම වෙනුවෙනි. ඒ පා ගමනට අනෙකුත් සියලුම සිනමා වෘත්තියන්ගේ සංවිධාන ද එක් වීම විශේෂත්වයකි. මේ පාගමන සංවිධානය වූයේ චිත්‍රපට ප්‍රදර්ශනය ඩිජිටල්කරණය කිරීම, චිත්‍රපට බෙදා හැරීම සහා ප්‍රදර්ශනය විධිමත් කිරීම සඳහා නියාමන කොමිසමක් පත් කිරීමට රජය ගත් තීරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීම සහ සිනමා ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය පිණිස සිනමා වෘත්තිකයන් විසින් 2014 අයවැය සඳහා ඉදිරිපත් කරන ලද යෝජනා අවධානය ලක්කරවීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමිනි.

එම වසරේම සැප්තැම්බර් 02දා සිට 07 ‍වෙනිදා දක්වා රීගල්, එම්පයර්, මැජස්ටික් සහ තරංගනී සිනමාහල් ඇසුරු කරගෙන කොළඹ අන්තර්ජාතික සිනමා උලෙළ 2014 (International Film Festival of Colombo -IFFColombo 2014)  පැවැත්වීමට සංසදය සමත් විය. ඒ හා සමගාමීව සිනමා සම්මන්ත්‍රණ, වැඩමුළු යනාදිය පදනම් ආයතනයේ සහ ගොතේ ආයතනය ආශ්‍රිතව පැවැත්විණි. ඒ අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළක් පැවැත්වීම සංස්කෘතිකවත් රටක අනිවාර්ය අංගයක් යන විශ්වාසය පෙරදැරිවය.

මෙරට සිනමා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කරමින් ලෝක සිනමාව සහ සිනමාවේදීන් ශ්‍රී ලංකාව වෙත කැඳවූ ජපානයේ ඔකිනාවා සිනමා සම්මාන උලෙළ සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව සමග එක්ව ශ්‍රී ලාංකික සිනමා ප්‍රේක්ෂකයන්ටත් ලෝක සිනමාවේ ප්‍රවණතා පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටත්, මතු බිහිවන සිනමාකරුවන්ට අලුත් සිනමා සංස්කෘතියක දොරටුවක් විවර කරනු පිණිසත් “ඔබටත් මෙහි අසුනක් ඇත” යන තේමා පාඨය යටතේ පැවැත් වූ කොළඹ අන්තර්ජාතික සිනමා උලෙළ ලාංකේය සිනමා ඉතිහාසයේ එක් කඩඉමක් බව නොකියා බැරිය.

එහි දෙවැනි පියවර වූයේ ' ඔබ ඇවිත් පිරෙන්න' තේමා පාඨය සමඟ පැවැත් වූ කොළඹ අන්තර්ජාතික සිනමා උලෙළ 2015යි. එය එම වසරේ නොවැම්බර් මස හය වැනිදා සිට සතියක් පුරා ලොව අංක එකේ චිත්‍රපට උලෙළ නියෝජනය කළ නිර්මාණ සියයකට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කරමින් පැවැත්විණ. මේ උලෙළ දෙකෙහිම අධ්‍යක්ෂවරයා වීමේ ගෞරවය හිමිවන්නේ ප්‍රවීණ සිනමාවේදී අසෝක හඳගමටය. උලෙළට සමගාමීව

කලා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය, කැමරා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය, අංගරචනා ශිල්පීන්ගේ සංසදය, සහාය අධ්‍යක්ෂවරු සහ නිෂ්පාදන කළමනාකරුවන්ගේ සංගමය සහ සංස්කරණ ශිල්පීන්ගේ සංගමය යනාදියේ දායකත්වයෙන් පැවැත්වූ සිනමාකරණය පිළිබඳ තාක්ෂණික සහ අධ්‍යාපනික ප්‍රදර්ශනය තවත් තවත් ආකර්ෂණීය මෙන්ම සාරවත් කළේය.

එහෙත් ඒ උලෙළ වාර්ෂිකව පැවැත්වීමට ඔවුන්ට අවස්ථාව නොලැබීම නිසා ප්‍රේක්ෂකයන්ට සිදු වූයේ මහත් පාඩුවකැයි කීම මුසාවක් නොවේ.

කෙසේ වෙතත් 2017 වසර වන විට ඔවුන්ගේ අරමුණ දේශීය සිනමා නිෂ්පාදනය, බෙදාහැරීම, සහ ප්‍රදර්ශනය මෙන්ම විදේශීය චිත්‍රපට ආයෝජන ව්‍යාපාර වඩාත් විධිමත් කරගැනීම මගින් අක්‍රමවත් භාවයෙන් මිදී මෙරට තත්කාලීන ජාතික චිත්‍රපට කලාව සහ කර්මාන්තය වඩාත් සාධනීය මට්ටමකට ගෙන ඒමට ප්‍රතිපත්ති සම්පාදනයකට අවශ්‍ය කෙටුම්පතක් සමාජගත කිරීම බවට පත්ව තිබිණි. ඒ වෙනුවෙන් ඔවුන් මේ අයුරින්ම 2017 මාර්තු 01 දා “ලාංකේය සිනමාව අනතුරේ - රැකගැනීමට එකතු වෙමු” යන තේමාව යටතේ දේශීය සිනමා ශිල්පීන්ගේ සංධානය, කැමරා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය, කලා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය, සහාය අධ්‍යක්ෂවරුන්ගේ හා නිෂ්පාදන කළමනාකරුවන්ගේ සංගමය, අංග රචනා ශිල්පීන්ගේ සංගමය සහ සංස්කරණ ශිල්පීන්ගේ සංගමය සමඟ එක්ව සකස් කළ කෙටුම්පත මාධ්‍යයට මුදා හැරීය.

ඊළඟ වසරේ ඔවුන්ගේ ව්‍යාපෘතිය බවට පත් වූයේ ආචාර්ය ධර්මසේන පතිරාජ අපදානය වන 'පතී වත' ග්‍රන්ථය එළිදැක්වීමට සහ 'පාරදිගේ', 'මතු යම් දවස', 'IN SEARCH OF A ROAD'  සහ 'ස්වරූප' යන සිනමාපට ප්‍රදර්ශනය කරමින් 'එන්න මගේ ප්‍රිය මිතුරො' නමින්‌ ධර්මසේන පතිරාජ ප්‍රත්‍යවලෝකන සිනමා උලෙළක් සංවිධානය කිරීමයි.

'ජාතික චිත්‍රපට ප්‍රතිපත්තිය' සකස් කිරීම පිණිස ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය සමඟ තවත් විෂයානුබද්ධ සංසද සහ සංගම් එක්ව දේශීය සිනමා නිෂ්පාදනය, බෙදාහැරීම, සහ ප්‍රදර්ශනය මෙන්ම විදේශීය චිත්‍රපට ආයෝජන ව්‍යාපාර සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු ප්‍රතිපත්ති සම්පාදනයට අවශ්‍ය කෙටුම්පත සලකා බලමින් ජාතික චිත්‍රපට සංස්ථාව විසින් ජාතික චිත්‍රපට ප්‍රතිපත්තිය සකස් කිරීමේ කමිටු සඳහා 2019 වසරේ සම්පත් දායකත්වය සපයනු ලැබුවේ බෙනට් රත්නායක, ආචාර්ය සෝමරත්න දිසානායක, අශෝක හඳගම, රවීන්ද්‍ර ගුරුගේ සහ ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර යන පිරිස විසිනි.

කොවිඩ් වසංගතය සමඟ ලෝක සිනමාවම කඩා වැටීමකට ලක් වූ බව රහසක් නොවේ. එහෙත් බොහෝ රටවල් සිනමාව සම්බන්ධ පොහොසත් ප්‍රතිපත්තිවල පිහිටා කටයුතු කළ බැවින් ඒ තත්ත්වයෙන් මිදී යළි වේගවත් ගමනක යෙදෙන්නට විය. එහෙත් මෙරට සිනමාවට එවැනි නැඟී සිටීමක් අත් නොවුණේ ශක්තිමත් ප්‍රතිපත්ති රාමුවක් නොමැති වීම නිසාය. ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය සමඟ එක්ව චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේ සංසදය සහ සිනමා ප්‍රදර්ශකයන්ගේ සංගමය සමග එක්ව “කොවිඩ්-19 අභියෝගය හමුවේ 2021-2023 දෙවසරක ශ්‍රී ලාංකේය සිනමාවේ අනාගතය” නමින් ප්‍රායෝගික වැඩපිළිවෙළක යෝජනාවලියක් 2021 ජනවාරි 08 වෙනිදා එවක අග්‍රාමාත්‍යතුමාට ඉදිරිපත් කළේ මේ අභියෝගය ජය ගැනීම උදෙසාය. ඒ යෝජනා අතර, අදාළ කාලය තුළ විනෝද බද්ද 0%ක ප්‍රතිශතයක පවත්වාගැනීම, එයින් පසුව දිවයින පුරා විවිධ මට්ටම්වල තිබූ විනෝද බද්ද 7.5%ක මට්ටමට අඩු කරගැනීම, සිනමාශාලා සඳහා පැවති විදුලි බිල ගාස්තු ඒකක ගණනය කිරීමේ දී කර්මාන්ත ගණයට ගෙන එම අය කිරීම මඟින් ගාස්තු අඩුකරගැනීම, බෙදාහැරීමේ ගාස්තු අවම කිරීම සම්බන්ධයෙන් තීන්දු ගැනීම විශේෂ කමිටුවක් යටතට පත්කිරීම, පසුව අහෝසි වී ගිය කලින් පැවති ක්‍රමවේදය වන චිත්‍රපට නිෂ්පාදනයේදී ආයෝජකයාට ලැබෙන බදු සහනය නැවත ක්‍රියාත්මක කරගැනීම සහ දේශීය චිත්‍රපට ප්‍රදර්ශනයේදී රාජ්‍ය හා සියලු මාධ්‍යවල සහනදායී ප්‍රචාරක වැඩපිළිවෙළක් ඇති කිරීම යන කරුණු ප්‍රධාන විය.

මෙරට සිනමා කර්මාන්තයට ඓතිහාසික වසරක් වූයේ 2022යි. ඒ ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ විධායක සභා යෝජනාවක් අනුව ශ්‍රී ලාංකේය සිනමාව මෙරට කර්මාන්තයක් වශයෙන් නීත්‍යනුකූලව පිළිගැනීමට ලක් කර ගැනීමේ ප්‍රයත්නය සාර්ථක විම නිසාය. එමඟින් ප්‍රක්ෂේපිත අපේක්ෂා ලෙස කර්මාන්තයක් සේ සලකා සිනමාව වැඩි දියුණු කිරීම, කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම, ජීවනෝපාය මාර්ග උත්පාදනය කිරීම, දේශීය වෙළෙඳපොළට පමණක් සීමා නොවීම, සමාජ-සංස්කෘතික මෙන්ම ආර්ථික නවීකරණයක් ඇති කිරීම, සංචාරක ව්‍යපාරය සඳහා දායක කරගැනීම, අධ්‍යාපනයට දායක කරගැනීම මඟින් ප්‍රතිලාභ අත් කරගැනීම, ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබා දීම, අන්තර්ජාතික පිළිගැනීමක් අත්පත් කරගැනීම සහ සිනමාවේ වෘත්තීය ක්ෂේත්‍ර කර්මාන්තයේලා සලකා ලියාපදිංචි කිරීම යනාදිය ඉදිරිපත් විය.

එහි ඊළඟ පියවර වශයෙන් දැක්වුණේ සිනමාවේ වෘත්තීයභාවය පිළිගැනීම, සිනමාව ආශ්‍රිත ආයතන පිළිගැනීම සිදු කිරීම, ශිල්පීය ලියාපදිංචිය සිදු කිරීම, ආනයනික කටයුතු, බැංකු කටයුතු, බදු කටයුතු ආදියේ අදාළ පහසුකම් ලබා ගැනීම, නෛතික කටයුතු සහ අදාළ ප්‍රතිපාදන සකස් කරගැනීම, වෘත්තිකයන්ට සමාජ ආරක්ෂණය, වෘත්තිකයන්ගේ නිපුණතා සංවර්ධන අවස්ථා, අන්තර්ජාතික මට්ටමේ පිළිගැනීම හිමි කරගැනීම, සහ අන්තර්ජාතික වශයෙන් ව්‍යාපාරික අවස්ථා තහවුරු කරගැනීමයි.

මෙවැනි කටයුතු රාශියක් සමඟ ගෙවුණු දශකය සමරනු වස් මේ වසරේ ඔවුන්ගේ ව්‍යාපෘතිය වන්නේ 'ච්ට්ඉඹ් - සිනමාභිමාන 2023 : සිනමා උළෙල' සහ ඊට සමගාමීව මාර්තු 17 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී 60-70-80 දශකත්‍රයේ ජ්‍යේෂ්ඨ සිනමාවේදීන් දසදෙනෙකු අගැයීම පිණිස 'DGSL - සිනමාභිමාන 2023 : සිනමා ප්‍රණාම උළෙල” සංවිධානය කිරීමයි. සංසදයේ ලේකම් ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර පැවසුවේ මේ වසරින් ඇරැඹෙන 'අභිමංගල උලෙළ' ඉදිරියේදී වාර්ෂිකව පැවැත්වීමට ඔවුන් අරමුණු කර ඇති බවයි.

හෙට දින (17) සම්මානයට පාත්‍ර වන සිනමා අධ්‍යක්ෂවරුන් වනුයේ

01. සම්මත සිනමා රටාවේ පුරෝගාමී ජනකතාකරු - තිස්ස ලියනසූරිය

02. පරපුරක පුරෝගාමියා - සුගතපාල සෙනරත් යාපා

03. සිනමා ශූරයන්ගේ නොමැකෙන සූර්යයා - නීල් රූපසිංහ

04. සිනමා රූපයේ කිවිතාව - මහාචාර්ය සුනිල් ආරියරත්න

05. චෛතසික සෞන්දර්යයේ සිනමා ගමන්කරු - ආචාර්ය ධර්මසිරි බණ්ඩාරනායක

06.චිරාගත ජනප්‍රියත්ව සම්ප්‍රදායේ සිනමා සලකුණ - සේන සමරසිංහ

07. ලොවක් මවුබිමට යාකළ සිනමාවේදියා- චන්ද්‍රන් රත්නම්

08. සිනමා රූපයේ මාලාකාරිය - මාලනී ෆොන්සේකා

09. ජනාකර්ෂණයේ නොසිඳුණු උල්පත- හේමසිරි සෙල්ලප්පෙරුම

10. සිංහල සිනමාවේ කිවිඳීය - ආචාර්ය සුමිත්‍රා පීරිස් යන සිනමාවේදීන්ය.

මේ සියල්ල සංවිධානය කරන්නේ අධ්‍යක්ෂවරුන් 22කුගෙන් සමන්විත ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයයි. රට පුරා සිනමා ශාලා 15ක ඒ ඒ ශාලාවේ සවස ප්‍රදර්ශන වාරයට අයත් වේලාවට එදින එකම චිත්‍රපට ප්‍රදර්ශනයට ඔවුන් කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව පසුගිය සතියේ අප දැක් වූ ආකාරයට 13, 14, 15 දින තුනෙහි පිළිවෙළින් චන්න පෙරේරා අධ්‍යක්ෂණය කළ සිහින අනන්තේ, දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කළ ගිරිවැසිපුර, සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය කළ කිඩ්නැප් යන චිත්‍රපට ප්‍රදර්ශනය විය. අද 16 වැනිදා ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ මිදුණු විශ්වය, 20 වැනිදා ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ සිංහබාහු ප්‍රදර්ශනයට නියමිතව තිබුණද එහි පසු නිෂ්පාදක කටයුතු අවසන් කරගත නොහැකි වූ නිසා ඒ වෙනුවට රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර අධ්‍යක්ෂණය කළ ශ්‍රී සද්ධා චිත්‍රපටය ද, 21දා සුදේෂ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කළ සීරුවෙන්, 22දා ක්‍රිස් ඇන්තනි අධ්‍යක්ෂණය කළ පාස්පෝට්, 23දා අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ 1970 ලව් ස්ටෝරි, 24දා උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ රිදී සීනු යන චිත්‍රපට ප්‍රදර්ශනයට කටයුතු යොදා ඇත. ඒ දින තීරණය කිරීමට ඔවුන් යොදා ගත්තේ අපූරු ක්‍රමයකි. එනම් දින සඳහා තුණ්ඩු ඇදීමෙන් අවස්ථාව ලබා දීමයි. තරගකාරීත්වයකින් තොරව චිත්‍රපටයට අදාළ දිනය තීරණය කිරීමට එය හොඳ උපක්‍රමයක් විය. මේ චිත්‍රපට අදාළ දිනයේ සවස දර්ශනය ස්කෝප් සිනමාස් කළම්බු සිටි සෙන්ටර්, සැවෝයි ප්‍රිමියර් වැල්ලවත්ත, පීවීආර් කොළඹ, කැන්ඩි සිටි සෙන්ටර් මහනුවර, ස්කයිලයිට් මාලඹේ, ලිබර්ටි කොල්ලුපිටිය, ලයිට් සිනමා හෝමාගම, වොක්ස් ලයිට් අවිස්සාවේල්ල, ලිබර්ටි කිරිබත්ගොඩ, විස්ටා ලයිට් ජාඇල, රීගල් ගම්පහ, මැක්ස් ලයිට් මොරටුව, එන්අයිටී කුරුණෑගල, එන්අයිටී රත්නපුර, මිලානෝ කෑගල්ල, ස්කයි ලයිට් මාතර යන ශාලාවල තිරගත කෙරේ.

සහරාන්ගේ පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය ආදිය පමණක් නොව රසවත් සිනමා පට නිර්මාණය නොවීම, ආකර්ෂණීය කතාවස්තු රැගත් තිරපිටපත් රචනා නොවීම මෙන්ම රටේ ඇති වූ විවිධ සමාජ ආර්ථික දුෂ්කරතා නිසා සිනමාවෙන් ඈත්වෙමින් සිටි රසික පිරිස යළිත් ශාලාවලට ආකර්ෂණය කර ගැනීමට හැකි යුගයක් උදා කර ගැනීමට ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය දරන මේ ප්‍රයත්නයට මෙරට වසර හැටක ඉතිහාසයක් ඇති එකම සිනමා පුවත්පත වන සරසවිය ඉත සිතින්ම සුබ පතන අතර සිනමා රසිකයන්ගෙන් පිරුණු ශාලා ඒ දිනවල සහ ඉන් පසු මෙරට නැවත ඇති වෙනු ඇත යන අපේක්ෂා දල්වාගෙන සිටියි.

 

 

මාධ්‍ය සම්බන්ධීකරණය

උපුල් නිශාන්ත

[email protected]