ප්‍රවීණයන්ගේ ඇසුර මට විශාල දිරියක්

රංගන ශිල්පිනී නෙත්මි සංජානා
මාර්තු 9, 2023

කඳුරට පුරවරයේ සුන්දර ගම් පියසකින් කලා ලොවට පෑයූ තරුවක් බඳු ඇය එය සැබෑම දක්ෂ රුවැත්තියක් ලෙස හැඳීන්විය හැකිය. ඉතාම කෙටි කලක් ඇතුළත ප්‍රේක්ෂක ආකර්ෂණය තුළින් ඉහළ ජනප්‍රියත්වයක් ඇය මේ වන විටත් හිමිකර ගෙන හමාරය. ඒ සතියේ දිනවල රාත්‍රී 9.00 ට ස්වර්ණවාහිනී සේවයෙන් විකාශය වන ‘නොනිමි’ (නිමා නොවන සෙනෙහසක කතාව) ටෙලි නාට්‍ය තුළිනි. එහි එන සමරසිංහ මැඩම්ගේ දුව ෂෙනාලි ලෙසින් ඇය රංගනයෙන් දායක වන්නීය. නවක ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනී නෙත්මි සංජානා නම් ඇය ප්‍රථමයෙන් මෙලෙස අප හා කතාබහට මුලපිරුවාය.

ආධුනික රංගන ශිල්පිනියක් නිසා ප්‍රථමයෙන්ම සම්පූර්ණ නම කියමු නේද?

නෙත්මි සංජානා විජේනායක

පදිංචිය කොහෙද?

මහනුවර පිළිමතලාවේ

පවුලේ විස්තර කිව්වොත්?

අම්මි, තාත්ති, මමයි, මල්ලියි. තාත්ති ගවර්මන්ට් ජොබ් එකක් තමා කරන්නෙ අම්මා ගෘහනියක් මල්ලි තවම ඕලෙවල් (ර්‍ණ/ඹ්) කරනවා.

නෙත්මි පාසල් ගියේ?

මහනුවර හිල්වුඩ් විද්‍යාලයට

ඉගෙන ගන්න කාලේ මොනවගේ කෙනෙක් වෙන්නද හිතුවේ?

ගුරුවරියක් වෙන්න හැබැයි රඟපාන්න පොඩි අවස්ථාවක් මට ලැබුණොත් හොඳයි කියලා වගේ අදහසකුත් ඒ කාලේ ඉඳලාම මගේ හිතේ තිබුණා.

ගෙදරින් නෙත්මිට ඉගෙනගෙන කොයි වගේ කෙනෙක් වෙන්න ඕනේ කියලා කිව්වද?

එහෙම මට ගෙදරින් කිව්වේ නෑ. මෙන්න මේ අංශයෙන් ඉගෙන ගන්න මේ වගේ කෙනෙක් වෙන්න ඕනේ කියලා එයාලා මං ගැන දන්නවා මම වැරදි තීරණයක් ගන්නේ නැ කියලා ඉතින් මට කැමති විදියට ඉගෙන ගන්න ඔවුන් මට නිදහස ලබාදුන්නා.

පාසලේදී කලා කටයුතුවලට දායක වුණාද?

ඔව්, අනිවාර්යයෙන්ම පාසලේ දී නිවේදන කටයුතු කළා. මං තවමත් කැමතියි නිවේදිකාවක් විදිහට කටයුතු කරන්න. තව මම ඉස්කෝලේ ඩාන්සින් ගෲප් එකෙත් හිටියා.

නෙත්මි පුංචි කාලේ අම්මගෙ සාරි ඇඟේ පටලවගෙන ගුරුවරියක් ලෙස ගෙදරදී රඟපෑවා කියන්නේ ඇත්තද?

ඔව් මගේ නැන්දා පාසල් ගුරුවරියක්. ඉතින් මං මගේ අම්මිගෙ හා ඒ නැන්දිගෙ සාරි අරන් ඒවා මගේ ඇඟට පටලවගෙන ටීචර් කෙනෙක් වගේ කෝටුවකුත් අරගෙන ළමයින්ට ඉගැන්නුවා මට මතකයි.

පුංචි කාලේ ඉඳලා තිබුණු ගුරුවරියක් වීමේ හීනේ දැන් අත්හැරිය ද?

නැ හේමන්ත අයියේ මං මේ වෙනකොටත් ඒ සඳහා සූදානම් වෙමින් ඉන්නේ.

ඒ කිව්වේ?

මම උසස් පෙළින් පස්සේ දැන් මේ වන විටත් කැලණිය විශ්වවිද්‍යාලයේ ඒ සඳහා වන බාහිර උපාධියේ වැඩකටයුතු කරගෙන යනවා. ඒ සඳහා වන විෂයන්වලට අදාළව මේ බාහිරව කරන උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසුව මම ගුරුවරියක් වීමටත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

නෙත්මිගෙ කුඩා කාලයේ ඉඳලා තිබුණු බලාපොරොත්තු දෙකම ඉටුවෙනවා ඒ ගැන මොකද හිතෙන්නේ?

ගොඩක් සතුටුයි අයියේ කලාවට එක්වීම විශේෂයි. මොකද ඒ ජනප්‍රියත්වය හැමෝටම ලබාගන්න බැරි එකක්.

ගෙදරින් තාත්තා ඔයා නිළියක් වෙනවට කැමති වුණාද?

අනේ නැ. එයාලගෙන් ලොකු විරෝධයක් ආවා පස්සේ මේ ගැන සුරාජ් අයියා කරුණු කියලා දීලා පැහැදිලි කළාට පස්සේ 100% විශ්වාසයී. දැන් ෂේප්. මොකද මේ ෆීල්ඩ් එක ගැන විවිධ කතා තියෙනවනේ. ඒවයින් මම අමාරුවේ වැටෙයි කියලා එයාලා බය ඇති ඒකයි.

ගෙදරින් නෙත්මිට දැන් ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්ද?

ගොඩක් හොඳ සහයෝගයක් ලැබෙනවා මගේ අම්මි මාත් එක්ක ෂූටිං තියෙනකොට එනවා.

මේ ඔබේ ප්‍රථම ටෙලි නාට්‍යය නේද?

ඔව් අයියා මේක මගේ ප්‍රථම ටෙලි නාට්‍ය රංගනය ඉතින් ප්‍රධාන චරිතයක් එක්කම රඟපාන්න මට ඒ අවස්ථාව ලැබීම ගැනත් සතුටුයි.

ප්‍රථම ටෙලි නාට්‍යයෙන්ම ප්‍රධාන චරිතයක් ද සමඟින් මේ වන විට නෙත්මි කෙටි කලක් තුළ අසීමිත ජනප්‍රියත්වයක් ලබමින් ඉන්නවා. ඒ ගැන මොකද හිතෙන්නේ?

ගොඩක් සතුටුයි. දෙස් විදෙස් රටවල බොහෝ පිරිස්වලින් ඒ සඳහා ‍මට ප්‍රතිචාර රැසක් ලැබෙනවා. මේ දවස්වල නාට්‍යයේ පේන්න නැත්තේ ඇයි? ඉක්මනින් අපිට බලන්න ඔයා ඒ ෂෙනාලිගේ චරිතය තුළින් අපි අතරට නැවත එන්න කියලා බොහෝ අය කමෙන්ට්ස් දානවා.

නොනිමි ටෙලි නාට්‍යයේ රංගනයට නෙත්මිට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

චවිනි කියන මගේ යාළුවෙක් හරහා තමා මේ ටෙලි නාට්‍යය සඳහා මට රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ. එයා කිව්වා මෙන්න මේ විදිහේ අවස්ථාවක් තියෙනවා කතා කරලා බලන්න කියලා. ඉතින් මං දුරකථනයෙන් කතා කළා. මේකේ නිම්නාද ලෙස රඟපාන ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ සුරාජ් අයියට (නොනිමි ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ ජනප්‍රිය රංගන ශිල්පී සුරාජ් මාපා) පස්සේ එයා මට ස්ක්‍රීන් ටෙස්ට් එකකට (තිර පරීක්ෂණය සඳහා) බලන්න එන්න කිව්වා මං ගිහින් පළමු පළමු අවස්ථාවේ දී එයට මුහුණ දීමෙන් පස්සේ තමා මාව තෝරගෙන මේ නොනිමි ටෙලි නාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ.

එහි චරිතය ගැනත් මතක් කරමු.

ෂෙනාලි තමයි චරිතයේ නම තාත්තගේ ආදරයක් නැතිව අම්මත් එක්ක හුදෙකලාව ජීවත්වෙන දුවෙක්. මේ කතාවෙන් අපේ රටේ යුද්ධ කාලයේ තත්ත්වය තමා පෙන්වන්නෙ අපේ රටේ මිනිසුන්ට අද ඒක අමතකයිනේ. ඒ කාලේ ෂෙනාලි වගේ දුවලා කී දෙනෙකුට නම් තමාගේ පියවරුන් යුද්ධයේදී දිවි පුදලා අහිමි වුණාද?

ප්‍රවීණයන් එක්ක හා හා පුරා කියලා ප්‍රථමවරට රඟපාන්න නෙත්මිට අවස්ථාව ලැබුණා. ඒ අත්දැකීම කොහොමද?

ඇත්තටම ඒක තමා මට ලැබුණු ලොකුම වාසනාව. මේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක රංගන ශිල්පී සුරාජ් මාපා ඒ වගේම මගේ අම්මා විදිහට ඉන්න ප්‍රවීණ රංගනවේදීනීයක් වන දිල්හානි අශෝකමාලා මහත්මිය විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඇය ලොකු සහයෝගයක් මට ලබාදෙනවා. ගොඩක් දේවල් කියලා දෙනවා. දුව ඔහොම නෙවෙයි මෙන්න මේ විදිහටයි කියලා. ඇය හරිම නිහතමානි ඇත්තටම මට අම්මා කෙනෙක් වගේ. මම ඇය ගැන හිතන් හිටපු විදිහට වඩා ගොඩාක් හොඳ කෙනෙක්. මේ වගේ ප්‍රවීණයන් එක්ක රඟපාන්න අවස්ථාවක් ලැබෙන තෙක් අද බොහෝ අය බලාගෙන ඉන්නවා. මං හිතනවා ඒ අවස්ථාව මේ විදිහට මට ප්‍රථම නිර්මාණය තුළින්ම ලැබීම මා ලැබූ විශාල ජයග්‍රහණයක් වාසනාවක් කියලා. ඒ වගේම අධ්‍යක්ෂක සුරාජ් මාපා අයියා ඇතුළු සියලු දෙනාම හොඳ සහයෝගයක් මට ලබාදෙනවා.

මෙහි රූගත කිරීම් වලදී නෙත්මිට සිදුවුණු අමතක නොවන සිදුවීම මොකක්ද?

මං මේ ක්ෂේත්‍රයට අලුත් කෙනෙක්නෙ. ඉස්සර වෙලාම රූගත කිරීම් වලට සහභාගී වූ අවස්ථාව මට කවදාවත් අමතක වෙන්නේ නැ. මම එදා පුරුදු පුහුණු වෙලා මගේ චරිතෙට අදාළ ඩයලොග්ස් එහෙමත් මතක තියාගෙන කැමරාව ඉස්සරහට ගියා. ඒත් මට එතනදී ඔක්කොම අමතක වෙලා බය හිතුණා. කැමරා, තාක්ෂණ ශිල්පීන් ඇතුළු පිරිස මං දිහා බලාගෙන හිටියනේ පස්සේ සුරාජ් අයියා (ජනප්‍රිය රංගන ශිල්පී මේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ සුරාඡ් මාපා) මගේ හිත හදලා අපි ආයෙ සීන් එක ගමු නංගි කියලා කිව්වා.

මෙහි චරිතයේ හැටියට නිම්නාද අයියා ෂෙනාලිට අයිති වෙයිද නැත්නම් තමිලිණි හෝ පාරමී ඔහුව අයිතිකර ගනීද?

තමිලිණිට, පාරමීට හෝ ෂෙනාලි වන මට නිම්නාද අයියා අයිති වීම ගැන හරියටම කියන්න අමාරුයි. ස්ක්‍රිප්ට් රයිටර් තමා ඒ ගැන දන්නේ

නෙත්මිගේ වයස කිව්වොත්?

දැන් අවුරුදු විසි එකයි (21) අයියේ

පෙම්වතෙක් ඉන්නවද?

තවම නැ.

කලාවේ අයෙක්ට ද වෙනත් වෙනත් ක්ෂේත්‍රයක කෙනෙක්ටද නෙත්මිගෙ වැඩි කැමැත්ත?

එහෙම කියලා නැ.

අනාගත සහකරු මොනවගේ කෙනෙක් වෙන්න ඕනේ කියලද නෙත්මි හිතන්නේ?

හොඳ තේරුම් ගැනීමක් ඇති මං ගැන ලොකු විශ්වාසයකින් හා අවබෝධයකින් හැමදාටම මාත් එක්ක සතුටින් ඉන්න පුළුවන් විදිහෙ කෙනෙක් නම් වඩා හොඳයි.

කවදා විතර වගේද නෙත්මි විවාහ වෙන්නේ?

මේ වන විට මම මගේ බාහිර උපාධියේ අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යනවා කැලණිය විශ්වවිද්‍යාලයෙන්, ඒක අවසන් කර ගන්න තමා මේ දවස්වල මූලිකවම මහන්සි වෙන්නේ ඊළඟට මං තවම කලාවට පය තිබ්බා විතරයිනෙ අයියේ. තව නිර්මාණ වලටත් දායක වෙමින් මේ ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. තව අවුරුදු තුන හතරකින් විතර වගේ මං විවාහයකට මුල පුරයි බලමු.

අවසාන වශයෙන් නෙත්මිට කියන්න තියෙන්නෙ මොනවාද?

මේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂක සුරාජ් අයියා, සම අධ්‍යක්ෂක චන්දන ජයසිංහ, ප්‍රවීණ නළු නිළියන් ඇතුළු සියලු දෙනාටමත්, මගේ යාළුවා ලෙස රඟපාන ෂයිනි අක්කටත් ටීම් එකේ සියලු දෙනාටත්, මාගේ අම්මා තාත්තා විශේෂයි. ප්‍රේක්ෂක ජනතාවත් මම මේ වෙලාවේදී ආදරයෙන් මතක් කරනවා.

 

 

[email protected]