තිර රචනා වංචාවට තිත

තිර රචකයන්ගේ බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීම උදෙසා ශ්‍රී ලංකා තිර රචකයන්ගේ සංසදයෙන් ආරම්භක පියවරක්
මාර්තු 9, 2023

 

වර්ෂ 2021 දී ශ්‍රී ලංකා තිර රචකයන්ගේ සංසදය පිහිටුවනු ලැබුයේ තිර රචකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, තිර රචනයේ ප්‍රමිතීන් වර්ධනය කිරීම සහ තිර රචනය සම්බන්ධ අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම යන ප්‍රධාන අරමුණු 03 මුල් කොටගෙනයි. තිර රචනය සම්බන්ධ අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම යන අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා මේ වන විටත් එක් සාර්ථක පියවරක් ගෙන ඇති ශ්‍රී ලංකා තිර රචකයන්ගේ සංසදය, තිර රචනයේ බයිබලය ලෙස සැලකෙන Syd Field  ගේ Screenplay: The Foundations of Screenwriting කෘතියේ නිල පරිවර්තන අයිතිය ලබාගෙන එකී පරිවර්තන කටයුතු සිදුකරමින් පවතියි.

තිර රචකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම යන අරමුණ සාක්ෂාත් කරගැනීමෙහිලා ප්‍රධාන පියවරක් වනුයේ තිර රචකයන්ගේ බුද්ධිමය දේපළ ආරක්ෂණය පිළිබඳ වැඩපිළිවෙළක් සකස් කිරීම බව ශ්‍රී ලංකා තිර රචකයන්ගේ සංසදය ආරම්භයේ සිට විශ්වාස කළ කරුණකි. තිර රචකයන් විසින් විවිධ පාර්ශවවලට ලබාදෙන කතා සාරාංශ සහ තිර පිටපත්වල අන්තර්ගතයන් මුල් රචකයා නොමග යවමින් සොරකම් කිරීම් පිළිබඳ අද්දැකීම් රාශියක් විශේෂයෙන් නවක තිර රචකයන් විසින් ශ්‍රී ලංකා තිර රචකයන්ගේ සංසදය වෙත පසුගිය වසර මුළුල්ලේම ඉදිරිපත් කර තිබුණි. මේ ගැටලුවට විසඳුමක් සැපයීමේ ආරම්භක පියවරක් ලෙස, ඔබගේ තිර පිටපත් සහ කතා සාරාංශ ශ්‍රී ලංකා තිර රචකයන්ගේ සංසදයේ ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක් මේ වන විට ශ්‍රී ලංකා තිර රචකයන්ගේ සංසදය විසින් ක්‍රියාවට නංවා ඇත.

මෙහිදී ඔබගේ අවසාන කතා සාරාංශයේ හෝ තිර පිටපතේ පී.ඩී.එෆ් (PDF)  පිටපතක් [email protected] යන ශ්‍රී ලංකා තිර රචකයන්ගේ සංසදයේ විද්‍යුත් ලිපිනයට යොමුකළ යුතු අතර, එසේ යොමුකරන තිර පිටපත හෝ කතා සාරාංශය, ශ්‍රී ලංකා තිර රචකයන්ගේ සංසදයට ලැබුණු දිනයත්, සභාපතිතුමාගේ විද්‍යුත් අත්සනත්, සංසදයේ දිය සලකුණත්, එහි පිටපතක් ශ්‍රී ලංකා තිර රචකයන්ගේ සංසදයට ලැබුණු බවටත් විද්‍යුත් සටහනක් යොදමින්, පැය 24ක් ඇතුළත සංසදය විසින් නැවත ඔබ වෙත පී.ඩී.එෆ් (PDF) පිටපතක් යොමු කරයි. සභාපතිතුමාගේ අත්සන සහිත එම තිර පිටපත හෝ කතා සාරාංශය දැන් ඔබට විවිධ පාර්ශවවලට ලබාදිය හැකි වන අතර, එකී තිර පිටපතක් හෝ කතා සාරාංශයක් යමෙකු විසින් අවභාවිතා කළහොත්, එය ශ්‍රී ලංකා තිර රචකයන්ගේ සංසදයේ ලියාපදිංචි කළ දිනය සම්බන්ධයෙන් සංසදය පෙනී සිටියි.

කෙසේ වෙතත් ඔබ විසින් අප වෙත යොමු කරන තිර පිටපතේ ගුණාත්මක බව පිළිබඳව සංසදය විසින් තක්සේරුවක් නොකරන අතර, එය ‘ඔබ විසින්ම’ රචනා කරන ලද්දක්ය යන සහතිකය ද සංසදය විසින් ලබා නොදෙන බවද සැලකිය යුතුය. සංසදය විසින් සහතික කරනු ලබන්නේ ඔබ විසින් එවූ තිර පිටපත හෝ කතා සාරාංශය එවූ නිශ්චිත දිනයේ ශ්‍රී ලංකා තිර රචකයන්ගේ සංසදයේ ලියාපදිංචි කර ඇති බව පමණි. කෙසේ නමුත් එකී සහතිකය තිර රචකයන්ට, විශේෂයෙන් නවක රචකයින් හට ආරක්ෂණයක් ලබා දීමට සමත්වනු ඇති බව ශ්‍රී ලංකා තිර රචකයන්ගේ සංසදය විශ්වාස කරයි.

තිර රචකයන්ගේ බුද්ධිමය දේපළ වඩ වඩාත් ආරක්ෂා කිරීම සඳහාවන නීතිමය ආරක්ෂණ ක්‍රමවේදයක් සම්බන්ධයෙන්ද, තිර රචනාවල ගුණාත්මක බව තක්සේරු කොට, කලාත්මක හා ප්‍රධාන ධාරාවේ යන දෙඅංශයේම හොඳ මට්ටමේ ඇති තිර රචනා වලට අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා ශ්‍රී ලංකා තිර රචකයන්ගේ සංසදය මේ වන විටත් කටයුතු කරමින් සිටියි. සෑම නිර්මාණයක පදනම ලෙස සැලකෙන තිර රචනයේත්, තිර රචකයාගේත් වෘත්තීමය සුරක්ෂිතබව වෙනුවෙන් ශ්‍රී ලංකා තිර රචකයන්ගේ සංසදය විසින් ඉදිරියටත් තවත් බොහෝ කටයුතු සංවිධානය කරමින් සිටියි.

 

[email protected]