විචිත්‍ර අත්දැකීම් ගෙනෙන රසවත් ග්‍රන්ථයක්

පෙබරවාරි 2, 2023

ඇයගේ සකල කලා කාර්යයන් අතරේ වඩාත් නිර්මාණශීලී චතුරත්වය විශිෂ්ටත්වය ප්‍රකට වන්නේ ගුවන් විදුලි හා රූපවාහිනී සන්නිවේදන ශිල්පිනියක ලෙස බව ඉඳුරාම කිව හැකි දෙයකි. ඇයට හිමි කටහඩේ ලලිත ආකර්ෂණීය ගුණය ඇය එකී මාර්ගයේ දිගු පුළුල් ඉසව්වකට රැගෙන ගිය බව මෙරට මාධ්‍ය ලෝකය මෙන්ම රසික සමූහයා පැහැදිලිව දනිනි. ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක ලෙස කැලෑමල්, මේධා, මුදලිමංකඩ ආදී නාට්‍ය මඟින් ද ‘ඩේන්ටී රසපැන’ ‘සුභ උදෑසනක්’ ආදි රූපවාහිනි වැඩසටහන් මඟින් ද ඇයගේ ආකර්ෂණීය ඉදිරිපත් කිරිම් රසික පේ‍්‍රක්ෂක මතකයේ රැඳී ඇති බව මෙම කෘතියෙන් යළි සිහිපත් කෙරෙයි. ‘අනුකරණයකින් තොරව තමාටම ආවේණික භාෂා ලාලිත්‍යයකින් හා ශ්‍රාවකයන්ගේ සිත්ගන්නා හඬකින් ඇදි ආ ස්වරය අසන්නන්ගේ දෙසවනේ නොව හද මඬලේ ගබඩා විය. එබවින් අසන්නන්ගේ ජනපි‍්‍රයම නිවේදිකාව විමේ භාග්‍යය ඇය ලැබුවාය. අභාවප්‍රාප්ත ප්‍රවීණ ගී පද රචක සිනමා අධ්‍යක්ෂ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ වියතාණන් කලක දී තිලකා රණසිංහ අගයා ඇත්තේ එසේ ය. කෙටි කථාකාරිනියක ලෙස ‘පාට පාට බැලුම් බෝල’ කෘතියෙන් පාඨක ලෝකයට පිවිසෙන තිලකා රණසිංහ කෙරෙහි මහාචාර්ය කුසුමා කරුණාරත්න මහත්මිය කලකට පෙර තැබූ සටහනක් මෙම කෘතියේ හමුවෙයි. ‘කාන්තාවක සතු දැනුම හා අවබෝධය මෙන්ම ඒවා තව තවත් ඔපවත් කරගත හැකි පෞරුෂයක් ද තමන් සතු බව රණසිංහ මහත්මිය සිය ගුවන් විදුලි හා රූපවාහිනී වැඩසටහන් මඟින් ද ශ්‍රාවක පේ‍්‍රක්ෂක දෙපිරිස ඉදිිරියේ ඔප්පු කර ඇත.’

ගායිකාවක ලෙස ඇයට ඇත්තේ අභ්‍යාසයෙන් ඔපවත් කර ගතහැකි රසික ආකර්ෂණීය හඩක් බව කීම යුක්තියුක්තය. ඇයගේ මාධ්‍ය දිවිය හා බැඳි බොහෝ තොරතුරු මෙන්ම නිරන්තර ඇය හා අත්වැල් ගත් රැසක් සහෘද පිරිසකගේ ඡායාරූපයෙන් සුසැදි විචිත්‍ර අත්දැකීම් පාඨක ලෝකයට එක්කරන කෘතියක් ලෙස ‘හද ඇඳි තිලකය’ පිළිබඳව කිව හැකිය.

 

පසුගිය දශක හතරක කාලය දෙස ආපසු හැරී විමසන විට ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි සහ රූපවාහිනී ශ්‍රාවක පේ‍්‍රක්ෂක ලෝකයේ අතිශය ජනපි‍්‍රයත්වයක් හිිමිකරගෙන ස්වකීය මාධ්‍ය ජීවිතය බොහෝ සෞන්දර්යාත්මක ඉසව් කරා මෙහෙය වූ මාධ්‍යවේදිනියක් ලෙස තිලකා රණසිංහ නම් වූ කාන්තාවට විශේෂ ස්ථානයක් හිමිවන බව පෙනෙයි. විශේෂයෙන්ම විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු ඇති මෙන්ම ඒ පිළිබඳ විවිධ අත්දැකීම් සහ ආභාසය සොයන විමසන නව පරපුරක් සඳහා ප්‍රයෝජනය කරගත හැකි තිලකා රණසිංහගේ මාධ්‍ය ජීවිතය හා බැඳුණු චරිතාපදානය ‘දිවිසැරි අසිරිය’ හද ඇදී තිලකය’යන නාම මාතෘකාවෙන් දැන් නිකුත් වී තිබෙයි. දක්ෂ ලේඛයකු ලෙස ප්‍රකට ශෝන් මැක්ස්මස් දිසානායක විසින් රචනා කරනු ලැබ ඇති මෙකී කෘතිය පාඨකයාට කියැවීමට රුචි වඩන නිර්මාණත්මක සහ සරල ලේඛන ශෛලියකින් හෙබි කෘතියක් ලෙස ප්‍රථමයෙන්ම සඳහන් කළ යුතුය.

මේ රටේ බහුවිධ කලාකාරයන් මාධ්‍යවේදීන් අතිශය දුෂ්කර ජීවන මංතලාවන්හී ගල් බොරලු වැලි කැට මැඩ පියවර තබමින් දුක් දොම්නස් සා පිපාසා ඉවසා දරා ස්්වකීය ලෞකික දිවි අරමුණ කරා එළැඹී දිරිය මිනිසුන් වූවා සේම, ‘හද ඇදි තිලකය’ කෘතියේ හඬ අවදි කරන තිලකා රණසිංහ මාධ්‍යවේදිනිය ද නෙක බාධක මැඩ දිවිය ජයගත් සහ අතීතතයේ ගැහැට උපේක්ෂාවෙන් බැහැර කළ ප්‍රබෝධවත් කාන්තාවක් ලෙස මෙන්ම සම්මාන බහුමාන ලද කලාකාරිනියක ලෙස ද මෙම කෘතිය තුළින් මතුවෙයි. ඇයට ඇති ආත්මීය ශක්තිය, ධෛර්යය, මෙන්ම ජිවිතයේ සැකය, දුක, බිය, අපේක්ෂා භංගත්වය ආදී ධර්මතාවන් ඉවසා දරාගැනීමේ ගුණය වගේම සියල්ල සමතුලිතාව විඳගැනීමේ හැකියාව ද, කුමන පසුබිමක් යටතේ වුවද ඇය පළකරන සුන්දර ප්‍රසන්න ස්වභාවය හා නිහතමානීකම ද අගයන ශෝන් මැක්ස්මස් දිසානායක කර්තෘවරයා නිවේදිකාවක, ගීපද රචිකාවක, ගායිකාවක, ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක ආදී කලාවේ භූමිකා ගණානාවක් නියෝජනය කළ මෙකී කථානායිකාව පිළිබඳව ලියමින් මවකට ජීවිතයේ වඩාත් තෘප්තිමත් විය හැකි සටහනක් තබයි.

*භූමිකා කීපයකම නිතර වූ ඇය වැඩියෙන්ම සාර්ථකව කළේ මවගේ භූමිකාව ය.’

මෙම සටහන අතිශයින්ම සාධාරණ සහේතුක ප්‍රකාශයක් වන්නේ, ඇයගේ දුබල රංග දිවියේ ස්වභාවය ගත්ත ද සැබෑ දිවියේ කාර්ය බහුලතාව විමසුව ද මාධ්‍ය ක්ෂේත්‍රයේ බහුවිධ දක්ෂතා ප්‍රකට කල පුතකු බිහිකර හැදු වැඩු මාතාවක ලෙස අද ඇය ලබන ප්‍රසාද ප්‍රශංසා කරණකොට ගෙනය. ‘තිලකා තම මුළු කාලයම සාරංගගේ දියුණුව පිණිසම යෙදූවූවාය. ඇය ඔහුගේ සෙවණැල්ල මෙන් විය. සාරංග දිිනෙන් දින මනාව කඩවසම් ලෙස වැඩෙන අයුරු ඇය ඉමහත් සතුටින් බලා සිටියා ය.’ තම දරුවන් කෙරෙහි සැබෑම වූ සයුරක්වත් සෙනෙහස සපිරි දයාබර වූ උතුම් මවකගේ ලෝක සාධාරණ ගුණ සමුදාය ගළපා තිලකා කෙරෙහි ද කතුවරයාගේ කල්පනාවට බඳුන් වන්නේ එසේය. විද්‍යුත් මාධ්‍ය නිවේදන කලාවේ ද ගායන ක්ෂේත්‍රයේ මෙන්ම සිනමා සහ ටෙලි නාට්‍ය රංගනවේදියකු ලෙස ද ප්‍රකට චරිතයකට උරුමකම් කියන එකී පුතු සාරංග දිසාසේකර පිළිබඳව ද මෙම කෘතිය මඟින් බොහෝ කරුණු කියන්නට කර්තෘ උත්සුකවීම පාඨක රුචියට හේතුවක් වනු ඇත. සැබවින්ම මෙය සාරංග දිසාසේකරගේ ද අර්ධ චරිතාපදානයක් බඳුය.

කුරුණෑගල තෝරවතුර ග්‍රාමයේ ඉඩම් හිමි වැවිලිකාර තෛ‍්‍රයිභාෂා දැනුමැති, අතීතයේ ගම්මුලදෑනි ජේමිස් රණසිංහ නම් වු පියාණන් සහ ශීලාවති වලිමුනි නම් වූ මෑණියෝ ස්වකීය දරුවන් සත්දෙනා සඳහා යහපත් අනාගතයක් උදාකරවනුවස් මනා අධ්‍යාපනයක් ලබාදීමට කැපව කටයුතු කළහ. එදා 40 දශකයේ යාපනයේ හින්දු විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සිසුවකු ලෙස ‘ඔතෙලෝ’ නාට්‍යයේ රංගන ශිල්පියකු වූ ජේම්ස් රණසිංහ නම් වූ පියාගේ පළමු පුතා ඩග්ල්ස් රණසිංහ පියාගෙන් ලත් උරුමය නිසාමදෝ 70 දශකයේ එංගලන්තයේ ලන්ඩන් ඉන්ටර්නැෂනල් ස්කූල් හී සිනමා හා නාට්‍ය රංග කලා පාඨමාලාව හැදැරූ තරුණයකු ලෙස සිංහල වේදිකාවේ, සිනමාවේ, ටෙලි නාට්‍ය කලාවේ සහ ගුවන් විදුලි නාට්‍ය කලාවේ ද කීර්තිධර දක්ෂයකු බවට පත්වුයේය.

යෞවනයේ දී ආදරය සෙනෙහස සිතකට නොදැනේනම් නොහැඟේනම් එය ජීවිතයේ කිසියම් විකෘතියකි. පාසල්වියේ යොවුන් සමය ආදරයට කෝතැනි සදාලා දෙයි. තිලකා රණසිංහ නම් වූ පාසල් සිසුවියගේ සිත් ගැබෙහි ආදරයේ අතු ඉති කිනිති මත හුදකලා සඳැසි රැයෙන් රැයේ රැඳි ස්නේහයේ පිනිකැට සලිත වන්නේ හිරු රේඛා දිදුළ උදේ පාසල් බස්රථය ගමනාරම්භ කරන කල්හීය. ඇයගේ නෙත හමුවුණු රිසියෙන් නාඹර පාසල් කුමාරයා බස්රථය තුළම දෙනෙත් අයා සිටිනු දක්නා ලදි. එහෙත් එදා ඒ ළාබාල පෙම්වතා වුයේ පසුකාලයේදී ගුවන් විදුලියේ හමු වූ සහ එකල අති බහුතර තරුණ රසික ප්‍රජාවකගේ සවන් පින වූ සංගීත කලාවේ අතිදක්ෂ නිර්මාණවේදියකු වූ නාරද දිසාසේකර නොවේ. ගුවන් විදුලියේදී දෑසට මුණගැසුණු නාරද දිසාසේකර නම් සංගීතකාමී සෞන්දර්යවාදීයා සහ ගුවන් විිදුලියේ ශබ්ද ඉංජින්රුවරු කඩවසම් තරුණයා කෙටි කලකින්ම තම සිත් මඬලේ ලැගුම් ගත් බවක් තිලකා රණසිංහ නම් වූ නවක නිවේදකාට දැනෙන්න ද කලක් අවෑමෙන්ය.

මෙම කෘතියේ දී කර්තෘවරයා තිලකා නාරද ආදර කථාව කෙටියෙන් ලියන නමුදු යෞවනයට මිහිර හා තෘප්තිය පාදන ව්‍යාංග්‍යාර්ථයන් නිසා මෙකී චරිතාපදානය විවෘත ආදර නවකථාවක් සේ කියවන්නට නැතිවීම පාඨකයාගේ කියවීමේ රුචිය වඩවන්නට හේතුවනවා ඇත යැයි කිව හැකිය. මෙකී ආදර කථාව උද්දීපනය සඳහා රචක ශෝන් මැක්ස්මස් දිසානායකගේ වදන් හැසිරවීම තුළ දිස්වන විචිත්‍ර දිස්නය වඩාත් අලංකාරය. ආදරයේ චමත්කාරය ද ජිවිතයේ සුබ දුක්ඛ යථාර්ථය ද අර්ථ ගන්වනු සඳහා මෙම ලේඛකයා වඩාත් ජනපි‍්‍රය සහ සුභාවිත විවිධ ගී ඛණ්ඩ උපයෝගී කරගන්නා ආකාරය අගනේය. එය ශෝන් මැක්ස්මස් දිසානායක ලේඛකයාගේ ලේඛන ශෛලියට ආභාරණයකි.

නවක ශිල්පිනියක ලෙස ක්ෂේත්‍රයට පිවිසි තිලකාට පෙර සිට ගුවන් විදුලියේ කටයුතු කළ ඇයගේ සොයුරු ඩග්ලස් රණසිංහ වැඩිදුර පුහුණුව සඳහා එංගලන්තයට ගිය පසු පිටස්තරයකු වූවද ගුවන් විදුලිය තුළ සිටි ළඟම මිතුරා සහෘදයා වුයේ නාරද දිසාසේකර කලාවේදී පිරිපුන් තරුණයා ය. නාරද තිලකා පෙම් ලොව දලුමල් වඩ වඩාත් ලියලන්නේ මේ සමයේය. මෙකී දදුලන පෙම් කතන්දරේ කර්තෘ දිසානායකගේ පෑන් තුඩගින් අකුරු කෙරෙන්නේ මෙසේය.

‘නාරද පිට කෙනෙක් නොවෙනවානම් හොඳ යැයි, තිලකාට විටින්විට සිතුණේ තමාගේ ආරක්ෂාව ගැන සිතාම ද? තිලකාට දැනුණේ ඊටත් එහා යන බවකි. නාරද කිට්ටුවෙන් ආශ්‍රය කිරීමට තිලකාට වුවමනාවක් තිබුණා ද කියා තිලකා තම හදවතින් ඇසුවේ නැත. හදවතින් ඇසුවානම් හදවත කියන පිළිතුර කුමක්දැයි තිලකා හොඳටම දැනගෙන සිටියා ය.’

තිලකා නාරද පෙම් පුවතේ තවත් සොඳුරු මතක අතරට පාඨකයා රැගෙන යන ලේඛකයා, ‘තිලකාට එක්වරම තම හදවත ගැස්සෙන බවත් හැගිණ. ඇය නාරදගේ දෑස දෙස සෘජුවම බැලුවාය. ඒ දෑස් තුළ තිබුණේ කිසියම් ශෝචනීය බවක් වුවද ඔහුගේ මුහුණේ සුන්දර සිනාවක් දිස් විය. විකාර යැයි තිලකාට යළි සිතිණි. එහෙත්,

ඉන්ද්‍රකීලයක් සේ මම ඉන්නෙමි

නිරතුරු ඔබ සෙවණේ

යන ගී පද එදා කීවද, අද එය තිලකාට හොඳටම ගැළපෙන බවක් නිකමට මෙන් නාරදට ද සිතිණි.’ යනුවෙන් කියයි.

පූර්වොක්ත ආදර ලෝකය වචන අතර ගොඩනගන ආකාරය පිළිබඳව විමසන විට ශෝන් මැක්සමස් දිසානායක ලේඛකයා ආදර නවකථා රචකයෙක් වීනම් සිත්බදිනා ඔහුගේ රචනා ශෛලිය ඔස්සේ පාඨකයන් වඩ වඩාත් පි‍්‍රය මනාපයෙන් ඔහුගේ අන්දරයනට ඇලුම් කරනු ඇතැයි කල්පනා වේ. නාරද දිසාසේකර නම් අපුර්ව දුලබ කුසලතා ප්‍රකට කළ සංගීතවේදී ගායකයා පිළිබඳ සටහන් සහ 1983 ජුලි 2 දින වැල්ලවත්තේ රාමක්‍රිෂ්ණා ශාලාවෙන් ඇරඹී නාරද ඉදිරිපත් කළ ‘නාරදයි ගී පොතයි’ ඒක පුද්ගල ප්‍රසංග මතකය යළි අවදි කිරීම ප්‍රසංසා කටයුතුය.

ස්වකීය දීර්ඝ මාධ්‍ය ගමනේ පරපුරින් පරපුර යාකරමින් බහුතරයක් ප්‍රවීණ මෙන්ම නවීන මාධ්‍ය ශිල්ප ශිල්පිනින් හා ඉතාම සුහදව ළෙන්ගතුව කටයුතු කළ තිලකා රණසිංහ ප්‍රවීණ මාධ්‍යවේදිනිය තම සහෘද මිතුරුකැල කෙරෙහි ආදරය සෙනෙහස නිසා ගලා එන සිතැඟියා වියැකෙනු නොදී ඔවුන් වෙනුවෙන් කිසියම් හෝ ආකාරයක වෘත්තීය ජීවන තෘප්තිය සාදන අගැයීමක් පළ කිරීමට මෙකී කෘතිය එළි දැක් වූ උත්සවයේ දී කළ කාර්යය විශේෂයක් ලෙස දක්නට ලැබුණි. ස්වකීය සේවා සමයේ බහුතර මාධ්‍ය ශිල්ප ශිල්පිනින් වෙත උපහාර වශයෙන් ඇය දාරුමය සමරු ඵලකයක් ප්‍රදානය කළාය. එහි , සඳහන් මතු දැක්වෙන්නා වූ සටහනින් ඇගේ හෘදයාංගම බැඳියාව ප්‍රකට කර තිබුණි. ‘හද ඇඳි තිලකය’ තිලකා රණසිංහ දිවිසැරි අසිරිය ඔබ හා එදා එක සෙවණේ එකට බැඳි කළ සේවාවේ සුහද සහයෝගී, ළබැඳි මිත්‍රත්වයේ, සබැඳි සහෘදත්වයේ හෘදයාංගම සංකේතයිය මේ ඉඹ්ඕඛ්’

සාමාන්‍ය ආකාරයෙන් සිතුව ද කිසිවෙකුට සිතෙන්නේ මාධ්‍ය මෙහෙවරක නිරත වුණු පරිණත ශිල්පීන් වෙනුවෙන් මෙවන් උවසර උපහාර පිදීමක් කළ යුත්තේ ඔවුන්ගේ සේවය ලබා පෝෂණය වූ කීර්තිමත් වූ සහ ඔවුනට ද ස්වකීය දයාබර අනුග්‍රහය ලබාදුන් ගුවන් විදුලිය වෙනුවෙන් එහි ශිල්පීන් සඳහා උපහාර කාර්යය ඉටුකරන බවක් පෙනෙන්නේ මෙම සමරු ඵලකයේ අගින්ම යෙදෙන ඉංගී‍්‍රසි අක්ෂරවලින් කරන ඉඟිය මඟිනි. සැබෑ ලෙසම ඇයට ඒ වෙනුවෙන් ප්‍රසාදය ප්‍රණාමය හිමිවිය යුතුය. ‘සිංහල සංගීතයේ රෝහණ සිරිවර්ධන සුළෙල ගී රොද’ නම් ව මවිසින් 2022 වර්ෂයේ මැද කාලයේ රචනා කරන ලද සංගීත නිර්මාණ විමර්ශනාත්මක සහ සෞන්දර්යාත්මක කෘතියෙන් ගත් මතු දැක්වෙන උධෘතය පූර්වොක්ත උපහාර කාරණය සමඟ සසඳා බලන්නට යෝජනා කරමි...

‘මෙහිදි සඳහන් කළයුතු තවත් කරුණක් වෙයි. ගුවන් විදුලි නිවේදන කලාවේ, ගුවන් විදුලි ගී කලාවේ අභිමානය රසවින්දනය විචිත්‍රව රටට ලොවට ප්‍රකාශ කළ අතිදක්ෂ නිවේදක නිවේදිකාවන්, ගී පද රචකයන්, ගායක ගායිකාවන් සංගීතවේදීන්, වැඩසටහන් නිෂ්පාදක නිෂ්පාදිකාවන්, එම සංස්කාරකවරු, සම්පාදකවරු, නාට්‍යකරුවන්, ශබ්ද පාලකවරු, අධ්‍යක්ෂවරු, විටක නිර්මාණගුණ පූර්ණ සහ දේශීයත්වය සැලකූ සභාපතිවරු ද ඔවුන්ගේ කුසලතාවන් ඔස්සේ ජනහදවත් රස ගන්වමින් පෝෂණය කරමින් සේවය කළා. ජීවත් වුණා. වියපත් වුණා. සමහරු මියගියා මිස, එකී වියපත් ගුවන් විදුලි දරුවන්ගේ ජීවන තෘප්තිය සඳහාවත් ගුවන් විදුලියෙන් ඔවුන් ලද ප්‍රතිප්‍රණාමය කුමක්ද?

තිලකා රණසිංහ කාලාකාරිනිය ද ස්වකීය මාධ්‍ය ජීවිතයේ බොහෝ ගුරුහරුකම් ලබාගත් ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ප්‍රවීණ නිවේදිකාවක වූ සුප්‍රකට රචිකා දයා ද අල්විස් කලාකාරිනියගේ සටහනකින් මෙම සමාලෝචනය නිමාවට පත් කරමි. ‘අවුරුදු ගණනාවක ඈත අතීතයේ ගුවන් විදුලි නිවේදක කාමරයේදී මා දුට සියුමැළි බොළඳ තිලකා අද මා දකින්නේ ජීවිතය ජයගත් ශක්තිමත් ළඳක ලෙසයි. ඇත්තෙන්ම ඈ සිනාසෙන ගැහැනියක්.’

 

[email protected]