වර්ෂ 2023 ක්වූ April 02 වැනිදා Sunday
ආනන්දනීය සිංහල සිනමා සංසදයෙන් ලතා වල්පොලට උපහාර

‘මම දෙවියන් වහන්සේ කෙරෙහි මගේ හදවතින්ම භක්තිමත් කාන්තාවක්. දෙවියන් වහන්සේ හැම මොහොතකම මා සමඟම ඉන්නවා කියන ලොකු විශ්වාසයක් මා තුළ තියෙනවා. ඒ නිසා මගේ කටහඬ මට දෙවියන් වහන්සේ ලබාදුන් තිළිණයක් හැටියටයි මම අදත් සලකන්නේ.’
හෙළයේ ගී රැජන කලාශූරී ලතා වල්පොල මහත්මිය එසේ පැවසුවේ එතුමියට උපහාර පිදීම නිමිත්තෙන් ආනන්දනීය සිංහල සිනමා සංසදය සංවිධානය කළ උත්සවයේදී නිවේදිකා තේජා ගම්මන මහත්මිය කළ විමසුමකට පිළිතුරු දෙමිනි.
කඩවත, පහළ කරගහමුණ ප්‍රදේශයේ රංගන ශිල්පිනී අනුෂා දිල්හානිගේ නිවසේ දී මේ උපහාර උලෙළඋත්සවාකාරයෙන් පැවැත්විණි.
තමන් වෙනුවෙන් මෙලෙසින් උපහාර උලෙළක් සංවිධානය කිරීම පිළිබඳව ආනන්දනීය සිංහල සිනමා සංසදයේ නිර්මාතෘ ආනන්ද ගමගේ මහතා ඇතුළු සැමදෙනාටම තමන් ස්තූතිවන්ත වන බවද එතුමිය පැවසුවේ සතුටුබර වදනිනි.
මෙහිදී එතුමිය පිළිගැනීමේ කතාව කළ එම සංසදයේ නිර්මාතෘ ආනන්ද ගමගේ මහතා, තම සංසදය පස් වසරක් පුරා පැමිණි ගමනේ දී 42 වැනි උපහාර උත්සවය ලෙසින් මෙය සතුටින් හඳුන්වන බව ද හෙළ සිනමාවට වසර 76ක් සපිරෙන අද දිනයේ හෙළ සිනමාවේ ගීතාවලිය ගීත ලතාවෙන් ඔපකළ කලාශූරී ලතා වල්පොල මැතිනියට ආශීර්වාදය පුදදෙන මේ මොහොත තම සංසදයේ ඉහළම වාසනාවන් බව ද පැවසුවේය.
- අමල් යශෝමන් ජයසිංහ