පතාන් බර්ජ් කලීෆා වෙත

ජනවාරි 26, 2023

 

බොලිවුඩ් සුපිරි තරුව ෂාරුක් ඛාන් සිව්වසරක විවේකයකින් අනතුරුව රිදී තිරයට නැවත පැමිණීමට සූදානම්. ඒ සිද්ධාර්ත් ආනන්ද් අධ්‍යක්ෂණය කර යාෂ් රාජ් ෆිල්ම්ස් ඉදිරිපත් කරන පතාන් චිත්‍රපටයෙනි. චිත්‍රපටයේ නිල ප්‍රචාරක පටය නිකුත් කෙරුණේ පසුගිය ජනවාරි 10 වැනිදාය. ජනවාරි 14 වැනිදා ඩුබායි හි සුප්‍රකට බර්ජ් කලීෆාහිදී ඉදිරිපත් කළ එයට ඉහළ ජනප්‍රියත්වයක් හිමි විය. මෙම අවස්ථාවට කිං ඛාන් ෂාරුක් ද සහභාගී වී සිටියේය. පතාන් ප්‍රචාරක පටය බර්ජ් කලීෆා හි ඉදිරිපත් කරමින් ෂාරුක් ඔහුගේ රසික රසිකාවන් සමඟ එහිදී චිත්‍රපටයේ 'ජූමේ ජෝ පතාන්' ගීතයට නර්තනයක් ද ඉදිරිපත් කළේය.

ෂාරුක් සමඟ ජෝන් ඒබ්‍රහම් සහ දීපිකා පදුකෝන් මෙහි රංගනයෙන් දායක වී සිටිති. ෂාරුක් අසාර්ථක මෙහෙයුමකින් පසු පිටුවහල් වූ අති දක්ෂ හා අවංක රෝ ඔත්තුකරුවකුගේ චරිතයට පණ පොවන අතර ජෝන් ඒබ්‍රහම් ත්‍රස්ත කණ්ඩායමක නායකයෙකුගේ චරිතයට පණ පොවන්නේය. කෙසේ වෙතත්, චිත්‍රපටයේ දීපිකා පදුකෝන් දක්ෂ ඔත්තුකාරියක ලෙස චරිත නිරූපණය කරන බව හැර කිසිදු තොරතුරක් හෙළි කර නොමැත. තවත් විශේෂ කරුණක් නම්, ෂාරුක් මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ චිත්‍රපටය සඳහා ඔහුගේ කොණ්ඩය දිගු ලෙස වර්ධනය කර ගැනීමයි.