ලාංකේය සිනමාවේ කිවිඳියගේ අභාවය

ජනවාරි 19, 2023

ලාංකේය සිනමාව අන්තර්ජාතික තලයට ගෙන ගිය , දේශීය සිනමාවේ කිවිඳිය, ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය මින් සුළු වෙලාවකට පෙර පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වූ බව සරසවිය බලවත් සංවේගයෙන් දැනුම් දේ. මියයන විට එතුමිය 89 වැනි වියෙහි පසුවූවාය. 1934 මාර්තු 24 වැනිදා එතුමිය උපත ලැබුවේ සුමිත්‍රා ගුණවර්ධන නාමයෙනි. ලාංකේය සිනමාවේ අග්‍රගණ්‍ය සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන්ගේ හෙවණැල්ල බඳු වූ ආදරණීය බිරිඳ බවට පත් වීමෙන් පසුව (1964) සුමිත්‍රා පීරිස් නාමයෙන් ඇය ප්‍රකට විය. ආචාර්ය ලෙස්ටර්ගේ "සන්දේශය"(1960) චිත්‍රපටයෙන් සහය අධ්‍යක්ෂිකාවක ලෙස සිනමාවට පිවිසි ඇය "ගම්පෙරළිය" චිත්‍රපටයෙන් අරඹා  පුරෝගාමී සංස්කරණ ශිල්පිනියක වූවාය. ගැහැනු ළමයි, ගඟ අද්දර , යහළු යෙහෙළි, මායා, සාගර ජලය...., ලොකු දුව, දුවට මවක මිස, සක්මන් මළුව, යහළුවෝ, වෛශ්නාවී යනාදී කලාත්මක ධාරාවේ චිත්‍රපට රාශියක් අධ්‍යක්ෂණය  කරමින් ඇය ලාංකේය සිනමා නිර්මාණකරණයේ ස්ත්‍රී ලකුණ සදානුස්මරණීය ලෙස ස්ථාපිත කළාය. ලාංකේය සිනමාවේ එදා මෙදා බිහිවූ හොඳම සිනමාකරුවන් අතරට එක් වූ එකම කාන්තාව ඇය වේ. දෙස් විදෙස් සම්මාන ගරුබුහුමන් රැසකට එතුමිය පාත්‍ර වූවාය.කලක් ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ ලංකා තානාපතිනිය ලෙස ද සේවය ආචාර්ය සුමිත්‍රා සේවය කළාය.එතුමියගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.