කීර්ති පැස්කුවල් මනමාල හැන්දෑව නෙළුම් පොකුණට ගෙන එයි

ජනවාරි 19, 2023

ප්‍රවීණ සංගීතවේදී, ගායන ශිල්පී කීර්ති පැස්කුවල් විසින් ඔහුගේ ‘මනමාල හැන්දෑව’ ඒකපුද්ගල සංගීත ප්‍රසංගය එළැඹෙන ජනවාරි 29 වන දින සවස කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 2019 වසරේ ඉදිරිපත් කළ මෙනමින් යුත් ප්‍රසංගයේ දෙවැන්න ලෙසින් මෙය ඉදිරිපත් කෙරේ. මෙහිදී ඔහුගේ ජනප්‍රිය හා නැවුම් ගී 28කට වැඩි සංඛ්‍යාවක් ගායනා කිරීමට ඔහු සූදානමින් සිටී.

මේ සඳහා යුග ගායනයෙන් සමිතා මුදුන්කොටුව, චන්ද්‍රලේඛා පෙරේරා, නිරෝෂා විරාජිනී, ධම්මිකා බණ්ඩාර, මරියසෙල් ගුණතිලක, චේතනා රණසිංහ සමඟින් චාරුණී පැස්කුවෙල් එක් වන අතර, විස්තර කථනයෙන් ප්‍රවීණ රංගන ශිල්පි සාරංග දිසාසේකර ද, නර්ථන වින්‍යාසයෙන් චන්න උපුලි රංගායතනයේ රංගන ශිල්පීන් ද, සංගීත අධ්‍යක්ෂණයෙන් නාලක සජී ප්‍රමුඛ වාදක මණ්ඩලය ද එක් වනු ඇත.

360 නිෂ්පාදන කණ්ඩායම විසින් මේ ප්‍රසංගයේ සියලුම සංවිධාන කටයුතු සැලසුම් කිරීමට නියමිත අතර, මෙවර ප්‍රසංගයේ ප්‍රධාන අරමුණ වනුයේ, මහරගම අපේක්ෂා රෝහලේ ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකයේ පොරොත්තු ලේඛනයේ සිටින රෝගීන්ගේ ශෛල්‍යකර්ම කටයුතු සඳහා මුදල් ලබාදීම වෙනුවෙන් ප්‍රාර්ථනා බාරකාර අරමුදල ආරම්භ කිරීමයි. කීර්ති පැස්කුවෙල්ගේ ජීවන තොරතුරු ඇතුළත් “කීර්ති සුන්දර මියුරු සරක ආනන්දනීය චාරිකාව කෘතිය විශේෂ මිලකට මෙහිදී ලබා ගැනීමට පහසුකම් සලසා ඇත.