නයන්තාරාගෙන් ලියුමක්

ජනවාරි 12, 2023

 

නිළියකට සුපිරි තරු ලකුණක් හිමි වන්නේ කලාතුරකිනි. එම වරම ලද දකුණු ඉන්දීය සිනමාවේ දීප්තිමත් තාරකා වන්නේ නයන්තාරාය. ඇය හැඳීන්වෙන්නේද 'ලේඩි සුපර්ස්ටාර්' ලෙසිනි. මේ වසරේ ජූනි මාසයේදී ඇය ශාරුක් ඛාන් සමඟ බොලිවුඩයට පැමිණෙන්නේ ඇට්ලී අධ්‍යක්ෂණය කළ ජවාන් චිත්‍රපටයෙනි. දශක දෙකක් පුරා චිත්‍රපට රැසක් තම රංගනයෙන් ඔපවත් කළ ඇයට ගත වූ 2022 වසර විශේෂ වසරක් විය. වෘත්තීයමය වශයෙන් ජයග්‍රාහී අවස්ථා සනිටුහන් කළ නයන්තාරාට පසුගිය වසරේ පෞද්ගලික දිවියේද සුවිශේෂ කඩඉම් විය.

මේ වන විට ඇය විවාහ ජීවිතය හා මාතෘත්වයේ සෙනෙහස භුක්ති විඳීමින් සිටින්නීය. අධ්‍යක්ෂ විග්නේෂ් ශිවන් සමඟ වසර හයක පමණ පෙම් පුවතකින් පසු ඇය පසුගිය වසරේ ජූලි මාසයේදී විවාහ දිවියට පිවිසියාය. චෙන්නායි හි පැවති විවාහයෙන් මාස හතරකට පසු නයන්තාරා සහ විග්නේෂ් ප්‍රකාශ කළේ තමන් ආදේශක මවකගෙන් නිවුන් දරුවන් දෙදෙනෙකුගේ සෙනෙහෙබර මාපියන් බවට පත්ව ඇති බවයි.

එම සතුට සමඟ සිනමා දිවියේ දශක දෙකක් පුරා මෙන්ම මෑතකදී නිකුත් වූ කනෙක්ට් චිත්‍රපටයට සහය දැක්වීම වෙනුවෙන් තම රසික රසිකාවන් හට ස්තූති කිරීමට ලිපියක් ලිව්වාය. "පසුගිය වසර මට සිදුවීම් බහුල වසරක්. අපගේ සම්බන්ධතාවයට ආශිවාර්ද කළ සැමට ස්තූතියි. මෑතකදි නිකුත් වූ කනෙක්ට් විශේෂිත චිත්‍රපටයක් ලෙසින් ඔබ හමුවට ගෙන එමින් අපි ඔබට සාධාරණයක් ඉටු කිරීමට උත්සාහ කළෙමු. ඒ වෙනුවෙන් අපගේ කණ්ඩායම උපරිම විශ්වාසයකින් සහ අවංකව වෙහෙසුණෙමු. අපි ඔබේ ආදරය, සහයෝගය මෙන්ම විවේචන සියල්ල ද භාර ගත්තෙමු" එම විවෘත ලිපියේ සඳහන් විය.

 

[email protected]