වර්ෂ 2023 ක්වූ March 22 වැනිදා Wednesday
සුනිල් සාන්ත හැදෑරීම ඉදිරියේදී තව පුළුල් වේවි

සුනිල් සාන්ත යනු හෙළ සංගීතයේ දාර්ශනික නිර්මාපකයා යැයි හැඳීන්වීමට තරම් තාර්කික කරුණු සපයාගැනීමට අපහසු නැත.ඔහු ගෙවූ කෙටි ජීවිත සැරිය තුළ අපට ආවේණික සංගීත රටාවක් වෙනුවෙන් කළ නිර්මාණාවලිය කුමන පසෙකින් සිට විග්‍රහ කළ ද බහු අර්ථයන් මතු කරන විචිත්‍ර කාර්යාවලියකි. සුනිල් සාන්තයන්ගේ ගී නිර්මාණ ආර වරෙක දාර්ශනික පදාසය ස්පර්ශ කරන අතර තවත් වරෙක දේශීය සංගීත රටාවක පිරිපුන් ආර අපහමුවේ මතුකර තබයි. තවත් පැතිකඩකින් නිරීක්ෂණය කළ විට එහි සරල,සුගම ගී ආරක් දක්නට ලැබේ. ඔහු විසින් බිහිකළ සංගීතය අදත් පරම්පරා ගණනක් මතුයෙහිත් නොනැසී පවතින ජීවගුණය වන්නේ මේ ප්‍රිස්මීය ගුණයෙන් යුත් ගැඹුරු චින්තනය බව නිසැකය.
දශක ගණනාවක් ගතවී තිබියදීත් සුනිල් සාන්තයන්ගේ සංගීත ආර විවිධ සංගීත පරිමාණිකයින් අතින් නවීන විග්‍රහයන්ට හසුවෙමින් ඉදිරියට යමින් පවත්නේ එහි පෙරකී දාර්ශනික පදාසය එක් නිරීක්ෂණයකින් අවසන් කළ නොහැකි දැවැන්ත එකක් නිසා වියහැකිය. මෙම ගී ආර අද වැඩිහිටි බොහෝ දෙනකුගේ පාසල් ජීවිතයේ ගී රසය පොහොසත් කළ බව නොරහසකි. එනිසාම ඉන්දීය රාගධාරී සංගීතය හෝ වෙනත් බටහිර සංගීත ආරයන් ඉක්මවා දේශිය රසයක් එම පරපුර සතුවූවා පමණක් නොව ඒ අනුව සිතන පිරිසක් ද දක්නට හැකිවිය. එම අතීත රසයන් පාදා වර්තමානික පාසල් සිසුන් අතර රස ජනනය කිරීම උදෙසා සුනිල් සාන්ත සමාජය විසින් තබා ඇති ඉදිරි පියවර පැසසුම් කටයුත්තෙකි. මෙම සද්කාර්යය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සිය අනුමැතිය ලබාදෙමින් මේ මොහොතේ සිදුකර ඇති කාර්යය ද පැසසුම් කටයුතුය. සුනිල් සාන්තයන්ගේ විවිධ පර්යේෂණ මට්ටම් සහිත ගී 20 කින් යුත් “සුනිල සොබා ” නියාමන ප්‍රසංගයක් පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි. සුනිල සොබා සංකල්පයේ නිර්මාතෘ වසන්ත කුලතුංග මහතාගෙන් මෙම වැඩසටහනේ ආකෘතික සන්දර්භය සහ කාලානුරූපී බව පිළිබඳව කෙටි පිළිසඳරක යෙදුණෙමි.
සුනිල් සාන්ත පිළිබඳ මෙම වර්තමාන සංකල්පය දක්වා ඔබේ හැදැරීම එන්නෙ කොයි විදයට ද?
වර්තමාන සංකල්පීය යෝජනාව දක්වා සුනිල් සාන්තයන්ගේ සංගීත හැදෑරීම පිළිබඳ කාරණය මගේ පාසල් වියේ කුඩාම අවධිය දක්වාම පැතිරුන එකක්. මගේ ළමාවියේ පාසලේදී සුනිල් සාන්තයන්ගෙ ගීත උගන්වන විට මා තුළ විශාල කැමැත්තක් වගේම රසයක් ඇති කිරීමට සමත් වුණා. මගේ තාත්තා සූරියමල් ව්‍යාපාරය සමග බද්ධව කටයුතු කළ වාමාංශික අදහස් දැරූ අතීශය බරපතළ සුනිල් සාන්තයන්ගේ රසිකයෙක්. ඔහු සම්බන්ධ සෑම තොරතුරක්ම එක්රැස් කරන පුරුද්ද මගේ කුඩා අවධියේ ඉඳලම තිබුණා. පස්සෙ කාලෙ මම චිත්‍රපට ක්ෂේත්‍රයට එනකොට මට අවශ්‍ය වුණේ ඔහු ගැන වාර්තා චිත්‍රපටයක් නිපදවන්න. ඒ සඳහා කරුණු රැස්කරන්න ගියාම මට දැනුණ දේ තමයි වාර්තා චිත්‍රපටයකින් හසුකර ගත නොහැකි කරමේ පුළුල් දේශපාලනික කාරණා ඔහුගෙ ජීවිතය තුළ තියෙනවා කියලා.ඊට පස්සෙ මට අවශ්‍ය වුණේ ඔහුගෙ මේ ජීවිත කාරණා එක්ක චිත්‍රපටයක් නිර්මාණය කරන්න. ඒ සඳහා හැදෑරීම් කරන අතර සුනිල් සාන්තයන්ගේ අභාවයෙන් පසුව පවත්වාගෙන යන සුනිල් සාන්ත සමාජයට සම්බන්ධ වෙන්න මට අවස්ථාවක් ලැබුණා. එහිදී මා සුනිලුන් සම්බන්ධයෙන් ප්‍රකටව ඇති රතන්ජංකර් සංගීතඥයා ගෙන්වා කළ ගුවන් විදුලි සංගීත ශිල්පී වර්ගීකරණ තුළ ඔහුට සිදුකළ අනර්ථය ගැන මා සොයාගත් පුළුල් කරුණු සුනිල් සාන්ත සමාජයට ඉදිරිපත් කළා. සුනිල් සාන්තයන්ගේ පුත් ලංකා සාන්ත සහ එහි කටයුතු කරන විද්වතුන් එම අදහස් ප්‍රතික්ෂේප කළේ නැහැ.
සුනිල් සාන්තයන් සම්බන්ධයෙන් ගුවන් විදුලි සංස්ථාවේ එවක පාලකයින් අනුගමනය කළ පිළිවෙත් සම්බන්ධයෙන් දැනට ප්‍රකට කරුණුවලට අමතරව ඔබගේ නිරීක්ෂණයට හසුවුණේ මොනවද?
මම සිද්ධියේ ප්‍රකට කාරණය තමයි රතන් ජංකර් සංගීතඥයා ලවා මෙරට සංගීත ශිල්පීන් වර්ගීකරණය කර ඒ අනුව ඔවුන්ට ගෙවීම් සිදුකිරීමට සම්මුඛ පරීක්ෂණයක් කැඳවීම. මේ කාරණය පිටුපස සිටියේ සංගීතඥ ලයනල් එදිරිසිංහ සහ මහාචාර්ය සරච්චන්ද්‍රයන් කියන චෝදනාව දිගින් දිගට මතු වුණා.එම පර්යේෂණයේ ඉලක්කය වුණේ හින්දුස්ථානී රාගධාරී සංගීතයට අනුව ශිල්පීන් වර්ගීකරණයක් සිදුකිරීම. සුනිල් සාන්තයන් රවින්ද්‍රනාත් තාගෝර් විසින් පවත්වාගෙන ගිය ශාන්ති නිකේතනයෙන්ද, ඉන්දියානු භාත්ඛණ්ඩ සංගීත විශ්වවිද්‍යාලයෙන්ද, සංගීතය හදාරා ප්‍රථම පන්තියේ උපාධි සමර්ථ ලබාගෙනයි ලංකාවට පැමිණියේ. නමුත් ඔහු සංගීත විද්වතුන් යායුතු මාවතේ ගමන් කරමින් හෙළ ජනගීයෙන් රටේ අනන්‍යතාවය රඳවා ඉන්දියානු උරුමයන්ද, බටහිර උරුමයන්ද, අවශ්‍ය පමණට පමණක් උපයෝගී කරගෙන ජාතික සංගීත වෙනුවෙන් පර්යේෂණාත්මක ගමනක් ආරම්භ කළා.
ඒ සඳහා ඔහුට හෙළ හවුලේ නව අදහස් විශාල පිටිවහලක් සපයනවා. මෙතනදි මගේ ප්‍රශ්නය වුණේ සුනිල් සාන්ත වගේ ප්‍රබල සංගීත හැකියාව තිබූවෙක් ගුවන් විදුලියෙන් නෙරපන්න පුද්ගලයින් කිහිප දෙනකුගේ අවශ්‍යතාව මත සිදුකළ හැකිද කියන ප්‍රශ්නය. ඒ වෙලාවෙ මතු වූ සැකය මත මම මේ පිළිබඳ විවිධ සෙවීම් සිදුකළා. මෙම ක්‍රියාවලිය පිටුපස ඇති පුළුල් දේශපානික
කාරණා අධ්‍යයනය කරන්නට හැකි වුණේ ඒ අනුවයි.
ඔබ කියන දේශපාලනික කාරණා ලාංකිය දේශපාලන භූමියෙන් මතු වූ එකක් ද?
නැහැ, මේ කාරණා බද්ධ වෙන්නෙ ඔය වකවානුවේ ඉන්දියාව තුළ සිදුවූ සමගාමී වෙනස්කම්. ඉන්දියාව ඒකරාශිව තියාගත හැකි විවිධ ක්‍රමවේද සැකසීම මේ කාලය තුළ ඉන්දියානු දේශපාලනය තුළ ඇති වෙමින් තිබුණා. එවකට ඉන්දියාවේ ප්‍රවෘත්ති ගුවන් විදුලි ආමාත්‍ය බී.වී. කේස්කර් තමයි අගමැති ජවහර්ලාල් නේරුට යෝජනා කරන්නේ සමස්ත ඉන්දියාවම එකම
රටක් එක ධජයක් යටතේ ඉදිරියට පවත්වාගෙන යාමට උත්තර භාරතීය රාගධාරි සංගීතය රටේ නිල සංගීතය බවට පත් කිරීම සිදුකොට ඒ හරහා රටේ ජනතාව එකට තබා ගැනීම කළ හැකි බවයි. මේ ව්‍යාපෘතියේ නායකයා බවට ඔහු පත්කරන්නේ භාත්ඛණ්ඩ සංගීත විද්‍යාලයේ අධිපති පණ්ඩිත් ශ්‍රී රතන් ජන්කර් පඬිතුමා. එතනදි වෙන්නෙ බටහිර සංගීතය ප්‍රමුඛ වෙනත් සංගීත ආභාසයන් තහනම් කරලා හින්දුස්ථානී රාගධාරී සංගීතය ඉන්දියාව තුළ ප්‍රචලිත කරන්නට කටයුතු කිරීම. මේ ක්‍රියාවලිය වෙන කොට ශ්‍රි ලංකාවෙ ගුවන් විදුලිය වුණ රේඩියෝ සිලොන් ඉන්දියාව තුළ ප්‍රබලව ඇහෙන කාලෙ. බී.වී. කේස්කර්ගේ තහනමට හසු වූ ජනප්‍රිය හින්දි චිත්‍රපට ගීත රේඩියෝ සිලොන් තුළින් ප්‍රචාරය වුණා. ඒ හැරුණු විට බටහිර ශෛලීය ගීතත් බහුලව ප්‍රචාරය වුණා.
නිදහස් ශෛලියක් අනුගමනය කළ සුනිල් සාන්තයන්ගේ ගිතත් ගුවන් විදුලියේ අතිශය ජනප්‍රිය වී තිබුණා. මෙතනදි ඉන්දියාවට අවශ්‍ය වෙන්නෙ රේඩියෝ සිලොන්වල මේ සංගීත ශෛලීන් නිසා තමන්ගෙ වැඩපිළිවෙළට බාධාවෙන එක නවත්වන්න.එතනදි ඉන්දීය රාගධාරී සංගීතය එකහෙළා පිළිගත්ත ලයනල් එදිරිසිංහ, වගේම තමන්ගේ ඉලක්කයක් සමඟ කටයුතු කරමින් සිටි සරච්චන්ද්‍රයන් වගේ අය ප්‍රයෝජනයට අරගෙන රතන්ජංකර් ලංකාවට එන්නෙ ගුවන් විදුලියෙ ශිල්පීය ශ්‍රේණිගත කිරීම් සඳහා කියමින් උපක්‍රමිකව මේ ඒකපුද්ගල විනිශ්චයේ අරමුණ දන්න සුනිල් සාන්තයන් ඒ සම්මුඛ පරීක්ෂණය සඳහා පෙනී සිටීම ප්‍රතික්ෂේප කරනවා. සුනිල් සාන්තයන්ගෙ සංගීතයට ගුවන් විදුලියෙ අගුළු වැටෙන්නෙ අර දැවැන්ත කලාපීය දේශපාලන ප්‍රතිපලයක් හැටියටයි. අසල්වැසි ඉන්දීය රාජ්‍යයේ දැවැන්ත කම නිසා එවක රජය පවා මේ ක්‍රියාවලියෙදි මැදිහත් වෙන්නෙ නෑ. ඒ නිසයි මෙම මැදිහත් වීම දේශපාලන ව්‍යාපෘතියක් මිස කළා සංස්කෘතික කටයුත්තක් නොවන බවට මා හට පෙනී ගියේ.
ඔබ කියන කාරණා පුළුල්. ඒවගෙම දිගුකාලීන දේශපාලන පරිවර්තනයක කිසියම් යටත් විජිත මනෝභාවයක ලක්ෂණවලට හසුවීමක් නිරීක්ෂණය කළ හැකියි.සුනිල් සාන්තයන්ගෙ ගී මග පාසල් මටිටමින් ප්‍රකට කරන අදහස එන්න හේතුවෙන්නෙ මොකක් නිසාද?
මේකට එක් හේතුවක් මං අර මුලින් කී ළමාවියේ අප තුළ ඇති කළ රසය. දෙවැන්න මේ පිළිබඳව විවිධ සාකච්ඡා සිදුකරද්දි මම වරක් ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය සමග කතා කළා. ඇය ඒ වෙලාවෙ කියපු දෙයක් තමයි ඇය උපන් කෑගල්ල, මීදෙනිය ගම්මානයේ අපූරු පරිසරය ගැන විවිධ විචිත්‍රත්වයන් ගැඹුරින් දකින්න සුනිලුන් ගේ ගීතවල තිබූ රසය ඉවහල් වුණා කියන කාරණය.මේ තුළ මට අවශ්‍ය වුණේ වර්තමාන පාසල් පද්ධතිය තුළ සුනිල් සාන්තයන්ගේ සංගීත රසය මතු කරන්න පුළුවන් වුණොත් ශිෂ්‍ය ප්‍රජාව තුළ යටපත්ව යන ගැඹුරු රසඥතාව යළි උද්දීපනය කරන්න. ඒ සඳහා මම සුනිල් සාන්ත සමාජයට “සාරවත් ආධ්‍යාත්මික සංස්කෘතික භාවිතාවක් උදෙසා - සුනිල් සාන්ත සොබා ගී සරණිය” කියන
යෝජනාවලිය ඉදිරිපත් කළා. එහිදී ඒ සඳහා සුනිල් සාන්තයන්ගේ පුතු ලංකා සාන්තයන්ගේ එකඟතාවත්, දායකත්වයත් ලැබුණා. මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයෙ ලේකම් නිහාල් රණසිංහ මහතාට සහ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ ආචාර්ය නිශාද් හඳුන්පතිරණ යන මහත්වරුන් සමග සාකච්ඡා කළාම ඔවුන් මෙහි ඇති කාලීන වැදගත්කම සලකා ඊට අවශ්‍ය අමාත්‍යාංශ අනුමැතිය ලබාදුන්නා. ඒ අනුවයි පසුගිය දෙසැම්බර් 20 වැනිදා අපි නියාමන ප්‍රසංගයක් පැවැත්වුයේ.
මෙතනදි කියන්න අවශ්‍යම කාරණය තමයි මේ සුනිල සොබා ප්‍රසංගයට ගීත තෝරාගැනීමෙදි සුනිල් සාන්තයන්ගෙ විවිධ සංගීත අදියරයන් නියෝජනය වෙන ආකාරයට තෝරාගත්තෙ. ඒ සඳහා පූර්වාකා පාඨ අප ඉදිරිපත් කරනවා. එම පූර්විකා ඉදිරිපත් කිරීමේ කාර්යය සිදුකරන්නෙත් සංගීතය පිළිබඳ ප්‍රාමාණිකයකු වගේම ඉතා ඉහළ භාෂා කථිකත්වයක් තිබෙන ලාල් ආනන්ද අබේධීර මහතා ගායනය පැත්ත ගත්තම සුනිල් සාන්තයන්ගේ සංගීත ආර පිළිබඳ ශාස්ත්‍රීය හැදෑමක් ඇති ටී.එම්. ජයරත්න, ඉන්දිකා උපමාලි, හර්ෂණ දිසානායක වගේ ශිල්පීන් තෝරාගන්න කටයුතු කළා. ඒ වගෙම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීතය හදාරන පිරිසකුත් මෙයට දායක වෙනවා. ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරයකු වන සුසිල් අමරසිංහයන් තමයි සංගීතය මෙහෙයවන්නෙ. මේ පිටුපස තවත් විශාල පිරිසකගෙ ශ්‍රමය සහ දැනුම දායකත්වය තිබෙනවා.
ප්‍රසංගයේ සම්පුර්ණ පිටපත සකස් කළේ මා විසින්.
මෙය පාසල් මට්ටමින් ඉදිරිපත් කරද්දි ගීත තෝරාගැනීම් සිදු කළේ කොහොමද?
මෙම ප්‍රසංගය සඳහා ගීත 20 ක් තෝරා ගෙන තිබෙනවා. එය සිදුකර තිබෙන්නෙ වර්ගීකරණයකට අනුවයි. සුනිලුන් ඉන්දීය ආභාස සමයේ කළ ගීත නිර්මාණ සහ රාගධාරී සංගීතය ඇසුරේ කළ නිර්මාණ ලෙස මුල් කොටස් ඉදිරිපත් කරන්නෙ. ඉන්පසු ශ්‍රී ලංකාවට පැමිණ සුනිලුන් නිර්මාණය කළ පර්යේෂණාත්මක ගී ඇතුළත් වෙනවා. තුන්වැනි කොටස තමයි හෙළ සංගීත කලාවේ පරිසර ප්‍රේමියා කියලා නම්කරලා තියෙන්නෙ. නූතනයට අර්ථ ගැළපූ අපේකම කියන හැඳීන්වීමත් එක්ක ඔහු නිර්මාණය කළ ගීත ආරත් මෙයට ඇතුළත්. එහිදී ඔහු කිසිම සංගීත ආරක් ප්‍රතික්ෂේප කළේ නෑ. ඒ සඳහා දේශියත්වය මුසු පූර්වාදර්ශයන් ඉදිරිපත් කළා. කණ්ඩායම් සංගීතය ජනප්‍රිය වූ වකවානුවෙ ඔහු ඊට පූර්වගාමී ගීත නිර්මාණය කර තිබීම හොඳම නිදසුන. අනෙක් කොටස තමයි හෙළ සලරූ විප්ලවය කියලා නම්කරලා තියෙන්නෙ. සිංහල සිනමා සංගීතය සම්පූර්ණයෙන්ම වගේ හින්දුස්ථානී රාගධාරී සංගීතයට යටවී තිබූ කාලයේ තමයි සුනිල් සාන්තයන් රේඛාව චිත්‍රපටයට දේශියත්වය මිශ්‍ර සංගීත ආරක් නිර්මාණය කරන්නෙ. තවත් කොටසක් තමයි විස්මිත පර්යේෂණ කියන සුනිලුන්ගේ ඔහුටම ආවේණික හැකියාවක් ප්‍රකට කළ ගී. උදාහරණයක් හැටියට සීගිරී ගී වලට තනු නිර්මාණය කරන්න ඒව කවුරුත් ඉදිරිපත් වුණේ නෑ. සුනිලුන් ඒම ගී සඳහා ස්වර නිර්මාණය කළා. ඒ වගෙම “ගුමි ගුම්” වැනි එක ස්වරයේ ගී තනු නිර්මාණය කර තිබෙනවා. ර්‍ණහත්පාටක් ගෑවෙන්නා” වගේ ළමයින් වෙනුවෙන්ම නිර්මාණය කළ ගීත තිබෙනවා. අවසන් කොටස තමයි දේශවාත්සල්‍ය ගී. “දකුණ - නැගෙනහිර”, “ලංකා ලංකා පෙම්බර ලංකා ” යන ගීතවලින් තමයි ප්‍රසංගය නිමා කරන්නෙ.
මේ සඳහා මූල්‍ය දායකත්වය සපයා ගන්නෙ කොහොමද?
මුලින්ම කියන්න ඕන මේ වැඩසටහනේ කිසිදු වාණිජ පරමාර්ථයක් නෑ. මේ සඳහා මූල්‍යදායකත්වය ලබාදුන්නෙ සුනිල් සාන්තයන්ගෙ පුත් ලංකා සාන්තයන්. ඔහු ඉංජිනේරුවෙක් වගේම ව්‍යාපාරිකයෙක් ලෙස ඇමරිකාවෙ ඉන්නෙ. ඉදිරියට මේ වැඩසටහන පාසල් මට්ටමින් දියත් කරන්න ඒ සඳහා සුදුසු අනුග්‍රාහකයින් සොයාගන්න බලාපොරොත්තු වෙනවා. නමුත් පාසල් තුළින් කිසිදු අයකිරීමක් අප කරන්නෙ නෑ. මොකද මේක අප කරන්නෙ පාසල් මට්ටමින් රසඥතාව දියුනු කරන දරුවන් පිරිසක් රටට දායාද කිරීම. ගම්බද පිහිටි කුඩා පාසල්, මධ්‍ය මහා විද්‍යාල වැනි පාසල් වගේම සුපිරි පාසල් ලෙස ඇති යම් හැකියාවක් සහිත පාසල් වෙතත් අප මේ ප්‍රසංගය ගෙනියනවා. හැකියාවක් ඇති පාසල්වල ආදී ශිෂ්‍ය සංගම් සම්බන්ධකර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.මේ කමන වැඩ පිළිවෙළ වුණත් අප ක්‍රියාත්මක කරන්නෙ සුනිල් සාන්තයන් ප්‍රකට කළ චින්තනයේ සිටයි.එයින් බැහැර කිසිදු පියවරක් අප තබන්නෙ නෑ. ඔහු සිය වෘත්තීය වටිනාකම මුදලට අලෙවි කළ අයෙක් නොවෙයි. සිය ජීවිතයේ බොහෝ දේ අත්හළ මුනිවර ජීවිතයක් ගත කළ කෙනෙක්. ඔහු ඇතැම් අවස්ථාවක පද රචනයක ඇතැම් වචනයක් වෙනස් කරන්න අවශ්‍ය වුණාම කිලෝ මීටර් 100 විතර තමන්ගෙ වාහනේ පෙට්‍රල් වැයකරගෙන රචකයා සොයාගෙන ගිය අවස්ථා තිබෙනවා.ඒ කර්තෘ අයිතිය උල්ලංඝනය කරන්න ඔුහ තුළ තිබූ අකමැත්ත නිසා.
මේ ප්‍රසංගයට අමතරව සුනිල් ගී මග ඉදිරියේ පර්යේෂණය කරන්න, අධ්‍යයනය කරන්න හැකියාව ලැබෙන විදියට පුළුල් කරන්න අදහසක් තියෙනවද?
ඔව්. අප බලාපොරොත්තු වෙන්නෙ ඉදිරියෙදි පාසල් මට්ටමේ ගායන දක්ෂතා තියෙන දරුවන් පුහුණු කර මෙහි අත්වැල් ගායනා සඳහා සහභාගී කරවන්න.ඊට අමතරව මුලින් පළාත් මට්ටමින් සහ ඊළඟ අදියරේ දිස්ත්‍රික් මට්ටමන් ලෙස අඥචතඪබර තරඟාවලියක් සංවිධානය කරන්න. ඒ ඒ පළාත්ව ඉන්න සංගීත ගුරුවරුන් දායක කරගෙන. ළමයි තුළට මේ චින්තනයන් කාවැද්දීම තුළින් අපට හැකියාව ලැබෙයි රසඥතාවක් සහිත ගැඹුරු සිතීමක් සහිත පුරවැසියන් පිරිසක් නිර්මාණය කරගන්න. සුනිලුන් කියන්නෙ කිසිම කැළලක් නැති පුද්ගලයෙක්. ඔහු අධ්‍යාපනය අතින් ඉහළම තැන සලකුණු කළ කෙනෙක්. ඒ වගෙම විවිධ තාක්ෂණ හැකියාවන් ඉගෙන එමඟින් වෘත්තිය නිපුණතා දැක් වූවෙක්. අභියෝග ජයගත් කෙනෙක්. පළිගැනීම් නොකළ කිසිදු දුෂ්චරිත ක්‍රියාවක නොයෙදුණ කෙනෙක්. මුදලට සිය ප්‍රතිපත්ති අලෙවි නොකළ සෘජු චරිතයක්. මේ හැම පාර්ශ්වයකින්ම ඔහු පරිපූර්ණ නිසා අපට ඔහුගෙන් උගත හැකි දේ අතිවිශාලයි.