අතපසු වූ කෘතගුණ

නොවැම්බර් 24, 2022

ප්‍රවීණ රංගන ශිල්පිනී මීනක්ෂි ශේෂාද්‍රි බොලිවුඩයේ ජනප්‍රියතම නිළියකි. ගතක්, දාමිණි සහ හීරෝ ඇයගේ රංගනයෙන් ඔපවත් වූ චිත්‍රපට කිහිපයකි. විවාහයෙන් පසු ඇය ක්‍ෂේත්‍රයෙන් ඉවත් වී තම පවුල සමඟ ඇමරිකාවට ගියාය. ඇය දැන් නැවතත් බොලිවුඩ් රිදී තිරයට පැමිණීමට සූදානමින් සිටී. මෑතකදී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මීනක්ෂි නැවතත් රංගනයට පැමිණීම පිළිබඳ වූ කතාබහ අතරේ සමාව අයැද සිටියාය.

ඇය මෙසේ සමාව අයැද සිටියේ බොලිවුඩ් නිළියක මෙන්ම අභාවප්‍රාප්ත බොලිවුඩ් නළු රිෂි කපූර්ගේ බිරිය නීතු කපූර්ගෙනි. "මම නීතු කපූර්ගෙන් සමාව ඉල්ලනවා" මීනක්ෂි පැවසුවාය. එයට හේතුව රිෂි කපූර්ගේ අභාවයෙන් පසු ඇය නීතු කපූර් පෞද්ගලිකව මුණගැසී හෝ දුරකතනයෙන් කතා නොකිරීමයි. රිෂි කපූර් 2020 වසරේ අප්‍රේල් 30 වැනිදා දිවියෙන් සමු ගත්තේ ලියුකේමියාව හේතුවෙනි. එම අවස්ථාවේදී මීනක්ෂි තිරයේ ඇගේ ප්‍රියතම සහකරුට උපහාරයක් පුද කරමින් එක්සත් ජනපදයේ සිට හෘදයාංගම වීඩියෝවක් පළ කළාය.

රිෂිගේ අභාවය සිදු වුයේ කොරෝනා වසංගත සමයේදී හේතුවෙන් එම අවස්ථාවට සහභාගි වූයේ පවුලේ ළඟම ඥාතින් පමණි. වසංගත සීමා පැනවීම හේතුවෙන් එම අවස්ථාවට ඔහුගේ දියණිය රිද්දිමා කපූර්හට පවා සහභාගිවීමට නොහැකි විය. "වසර දෙකකුත් ගත වෙලා. ඇත්තමට මේ වන විට මම නිතූ හමුවීම කළ යුතුව තිබුණා. ඒ ගැන මම ඇයගෙන් සමාව ඉල්ලනවා. ඉක්මණින් මම ඇයව මුණගැසෙන්නම්" මීනක්ෂි පැවසුවාය.