අද මාධ්‍ය ලෝකයේ සියල්ල දත්ලා වැඩිවෙලා

ප්‍රවීණ ගුවන් විදුලි නිෂ්පාදිකා හසිතා තුෂාරී ගුණරත්න
නොවැම්බර් 24, 2022

 

කලා ක්ෂේත්‍රයේ බොහෝ ඇසූ පිරූ තැන් සොයා යන ඔබගේ මූලාරම්භය සිදුවන්නේ කොයි ආකාරයෙන්ද?

මම මුලික අධ්‍යාපනය ලැබූ හොරණ තක්ෂිලා ප්‍රාථමික විද්‍යාලයේ සංගීත ගුරුතුමා වූ ජී.එච්.පීරිස් මහතා මගේ ගායන හැකියාව ඔපමට්ටම් කරන්න මාව උනන්දු කළා. ඊට පස්සේ හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ මගේ සංගීත ගුරුතුමිය වුණේ සෝමාගුණතිලක මහත්මිය එතුමිය මගේ ගායනා හැකියාව තව තවත් ඔප මට්ටම් කරන්න උත්සුක වුණා. මේ පාසලේ නැටුම් ගුරුවරු වශයෙන් කටයුතු කළ රෝහණ බැද්දගේ මහතාත් සෝමා රන්වල මහත්මියත් මගේ නර්තන හැකියාව ඔපමට්ටම් කරන්න උදව් වුණා. මා තුළ තිබු ගායනා නර්තන වාදන හැකියාව නිසාම විද්‍යාලයට සමස්ත ලංකා ජයග්‍රහණ ඒකල හා සමුහ ගායන තරඟ රැසක ජයග්‍රහණ පාසලට රැගෙන එන්න මට හැකියාව ලැබුණා. සංගීතය පිළිබඳ පී.වී නන්දසිරි මහතා යටතේ වැඩිදුර අධ්‍යාපනයක් ලැබීමටත් මට හැකියාව ලැබුණා.

ගායන හැකියාවේ ඔබ සුවිශේෂී තැනැත්තියක්?

ගායනා අතුරින් මම ජන ගී ගායනයට සුවිශේෂීකමක් දක්වනවා.

රංගන ශිල්පිනියක් ලෙසත් ඔබ ගමනක් අරභනවා නේද?

රෝහණ බැද්දගේ මහතාගේ අලකංලචිය වේදිකා නාට්‍යයේ මේරි නැන්දාගේ චරිතය රඟපාමින් තමයි මම වේදිකා රංගනයට එක්වන්නේ. ඊට පස්සේ දයානන්ද ගුණවර්ධන මහතාගේ ජසයා හා ලෙන්චිනා, නරි බෑනා නාට්‍යවල ගායන කණ්ඩායමට හා රංගනයට දායක වෙනවා. සංස්කෘතික දෙපාර්තමේන්තුව යටතේ පැවති ලයනල් රන්වලයන් මෙහෙය වූ ජන ගී වේදිකා සංස්කෘතික කණ්ඩායමේ ගායන හා නර්තන ශිල්පිනියක් වීමේ අවස්ථාවක් මට ද උදාවෙනවා 1974 දී.

රාජ්‍ය නැටුම් හා සංගීත කණ්ඩායමේ ශිල්පිනියක් වීමේ වරමත් ඔබට උදාවෙනවා නේද?

සංස්කෘතික දෙපාර්තමේන්තුව යටතේ පැවති ඇහුම් බැලුම් සංස්කෘතික සංදර්ශන කණ්ඩායමේ ශිල්පිනියක් වීමේ භාග්‍ය මට 1974 දී උදා වුණා. එහීදි මට ඩබ්ලිව්.බී. මකුලොලුව මහතා හඳුනාගන්න ලැබුණා. එතුමා මට කිව්වා රාජ්‍ය නැටුම් සංගීත කණ්ඩායම සඳහා නවකයන් බඳවාගන්න යනවා. ඒ සඳහා තරඟ විභාගයක් තියෙනවා මටත් ඉල්ලන්න කියා. මේ පිළිබඳ පුවත්පත් දැන්වීමක් දැක තිබූ මගේ අම්මාත් මා වෙනුවෙන් මේ සඳහා අයදුම්පතක් මටත් හොරා යවලත් තිබිල තියෙනවා. තෝරාගැනීමේ තරඟ විභාගයට මාත් ඉදිරිපත් වුණා. ගායනය වාදනය, නර්තනය අංශ ත්‍රිත්වයෙන්ම එයින් මම සමත් වුණා. 1976 දී මම රාජ්‍ය නැටුම් සංගීත කණ්ඩායමේ සාමාජිකාවක් වුණා. මෙහිදී පෙරදිග බටහිර සංගීතය වාදනය පැත්ත භාරව තිබුණේ ෂෙල්ටන් පේ‍්‍රමරත්න මහතා මකුලොලුව මහතා එහි උපදේශක වශයෙන් කටයුතු කළා.

රාජ්‍ය නාටුම් හා සංගීත කණ්ඩායමේ සාමාජිකාවක වූ ඔබ ගුවන් විදුලි මාධ්‍යයට පිවිසෙන්නේ කොහොමද?

අපේ රැකියාව ඒ වන කොට ස්ථිර වුණේ නැහැ. අපිව භාරව හිටිය මකුලොලුව මහතා අපිට කිව්වා කැමති අය කැමති රස්සාවකට යන්න. හැමදාම නට නට ඉඳලා හරියන්නේ නෑ. ඔයාලටත් අනාගතයක් තියෙන්න ඕන කියලා. බොහෝ අය තමන්ට තිබු දැනුම නිසාම ගුරුපත්වීම්වලට ඉල්ලුම් කළා. නමුත් මට ඕනෙ වුණා. මම ළඟ තිබු දැනුමෙන් වෙනස් යමක් කරන්න. මේ වෙන කොට මම ගුවන් විදුලියේ නාට්‍ය අංශයේ ශ්‍රේණිගත නාට්‍ය ශිල්පිනියක් ලෙසත් කටයුතු කරමින් හිටිය වකවානුවක් ගුවන් විදුලියේ පී වැලිකල, සුගතපාල ද සිල්වා මහත්වරුන්ගේ ගුවන් විදුලි නාට්‍යවල මම සහභාගි වෙමින් සිටිය කාලයක් ඔය අතරේ මට ගුවන් විදුලියේ හිටිය ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු වූ ඉන්ද්‍රවංශ පෙරේරා මහත්තයා මට කිව්වා වැඩසටහන් සම්පාදන තනතුරු කීපයක් තියනවා ඒ සඳහා මටත් ඉල්ලන්න කියලා ඒ අනුව මාත් අයදුම් කළා. මගේම හිතවතෙක් වූ එවක රාජ්‍ය නැටුම් හා සංගීත කණ්ඩායමේ සිටි රංජීත් බාලසුරියන් සමඟ පරීක්ෂණ පහකින් පසු අපි පස් දෙනෙක් තෝරගත්තා සම්පාදන නිලධාරී හැටියට. ඒ අතරට මගේ හිතවතා වූ රංජීත්වත් මාවත් ඇතුළත් වෙලා තිබුණා. රාජකාරිය වශයෙන් මට පැවරුණේ ගුවන් විදුලියේ උදේ සිට රාත්‍රිය දක්වා විකාශය වන ගීත සම්පාදන කටයුතු සිදුකිරීමට 1980 වේදි ගුවන් විදුලියට එක් වූ මා මේ කාර්යයේ නියැළියා 1993 වර්ෂයේදී මම සංගීත අංශයේ නිෂ්පාදිකා තනතුරට පත්වුණා.

වෙළෙඳ සේවයේ වගේම ස්වදේශීය සේවයෙත් වසර තිහක් පුරා ඔබ ජනපි‍්‍රය වැඩසටහන් රාශියක නිෂ්පාදකවරියක් නේද?

1993 වසරේ සිට 2005 වසර දක්වා වැඩසටහන් නිෂ්පාදකවරියක්, නිවේදිකාවක් ලෙස මම ගුවන් විදුලි වැඩසටහන් රාශියකට දායකත්වය එක් කරනවා. ස්වදේශිය සේවය වෙනුවෙන් ටිකිිරි ළමා හමුව, හඳ මාමා ළමා වැඩසටහන, ළමා විවිධ ප්‍රසංගය, නුගසෙවණ සඟරාමය වැඩසටහන, ඉරිදා සංග්‍රහය, සාධනා සඟරාමය වැඩසටහන, සංරක්ෂිත ගී, කාන්තා සංකල්ප, පිබිදෙන ගායක පරපුර, නැවුම් මිහිර සංගීත වැඩසටහන, ගුවන් විදුලි රඟමඬල, ජගත් දේශපාලන ප්‍රවණතා, ළමා පිටිය, ළමා පාර්ලිමේන්තුව, සරස්වතී මණ්ඩපය හා වෙළෙඳ සේවය වෙනුවෙන් චිත්‍රපට තොරතුරු, කැසට් පට ප්‍රචාරක කටයුතු නිෂ්පාදනය, ජීප්සීස් සංගීත ප්‍රසංග නිෂ්පාදනය පෝලෝ සංගීත සැදැල්ල, ශ්‍රී මාලි ගීත තොරතුරු, සාරංගා ගීත මේලා, වෙළෙඳ සේවා සරල ගී, මියැසි මඟ වැඩසටහන් නිෂ්පාදනය කළා.

ඔබගේම මුල් නිෂ්පාදනයක් ලෙසින් ඇරඹි වැඩසටහනුත් මේ අතර සුවිශේෂී ඇති නේද?

ටිකිරි ළමා හමුව, දුෂ්කර පාසල්වල නරඹන්නන් ඉදිරියේ පටිගත කළ ළමා විවිධ ප්‍රසංගය, මාධ්‍යවේදී එච්.එච්. ගුණසේකර සමඟ ඉදිරිපත් කළ ඉරිදා සංග්‍රහය, සාධනා සඟරාමය වැඩසටහන මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, ධර්මසිරි ගමගේ මහත්වරුන් සමඟ කළ සංරක්ෂිත ගී වැඩසටහන මාලාවිතානගේ මහත්මිය සමඟ කළ කාන්තා සංකල්ප කාන්තා වැඩසටහන. අසන්නන් අතර මහත් ආන්දෝලනයට ලක් වූ දූෂණය සහ අසාධාරණය විවේචනය කරමින් එයට එරෙහිව සත්‍ය කරුණු ඉදිරි පත් කළ කාලයයි වැඩසටහන මගේ මුල්ම නිෂ්පාදන අතර කැපී පෙනෙනවා.

ගුවන් විදුලියට කොටු නොවන ඔබ රූපවාහිනි මාධ්‍යයටත් දායකත්වය එක්කරනවා නේද?

ජාතික රූපවාහිනියේ සංගීත වැඩසටහන් සඳහා තාම්පුරා සහ ස්වර මණ්ඩලයට වාද්‍ය භාණ්ඩ වාදනය (ඩබ්ලිව් ඩී. අමරදේව, ටී. ෂෙල්ටන් පෙරේරා සෝමසිරි ඉලේසිංහ, සචින් දන්කිට් සමඟ) ඔෂින් සඳහා හඬ කැවීම, ස්වාධීන රූපවාහිනියේ ස්ව සංගීත වැඩසටහන සඳහා සතිපතා ජනගායනා ඉදිරිපත් කිරීම, ස්වාධීන රූපවාහිනියේ කිංග් ක්ලෝඩ් සංගීත වැඩසටහන සඳහා නිවේදක ලියෝන් බෙනත් සමඟ නිවේදනයෙන් දායක විම.

ජාතික රූපවාහිනයේ මුල්ම තේමාගීතය ගායනය වන්නේත් ඔබේ හඬින් නේද?

සැලළිහිණි සංදේශයේ ඇතුළත් සැලළිහිණිය වදු පුරවර කැලණියට නමැති කවිය ගායනා කරන්නේ මම.

ඔබ වන් ශ්‍රී ලංකා චන්ද්‍රිකා රූපවාහිනී නාළිකාව ඔස්සේත් දැයේ දරුවන්ට සේම ලොවේ දරුවන්ටත් ආමන්ත්‍රණය කළ නිවේදිකාවක්?

මම 2010 වසරේ ගුවන් විදුලියෙන් විශ්‍රාම ගියාට පස්සේ 2013 වසර දක්වා වන් ශ්‍රී ලංකා චන්ද්‍රිකා රූපවාහිනී නාළිකාවේ නිවේදිකාවක් ලෙස ළමා වැඩසටහන් ඉදිරිපත් කළා. චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ රටවල් 125කට පමණ මෙය විකාශය කළා. විවිධ රටවල වෙසෙන ශි‍්‍ර ලාංකීක දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ සහභාගිත්වයෙන් ඉදිරිපත් කළ ගායන වාදන, නර්තන, කවි, ලිපි, රචනා ඇතුළත් සමනල හැන්දෑව ළමා වැඩසටහන මම ඉදිරිපත් කළා.විදේශගතව සිට ලංකාවට පැමිණි ඒ රටවල වෙසෙන දරුවෝ මේ වැඩසටහනට එකතු වුණා. අපේ රටේ දරුවන්ට අමතරව විදෙස් රටවල දරුවෝ අතර ගොඩාක් සමනල හැන්දෑව ජනපි‍්‍රය වුණා.

ජපන් භාෂා ගුරුවරියක් ලෙසත් ඔබ ගුරු වෘත්තියේ නියැළෙනවා?

මගේ පෞද්ගලික අවශ්‍යතාවන් වෙනුවෙන් මා වසර කීපයක් අපේ පවුලේ සාමාජිකයන් සමඟ ජපානයට ගියා. රැකියාවක් සඳහා වසර කීපයක් එහි ගත කර පැමිණීමත් සමඟ මට අවශ්‍ය වුණා. ජපන් භාෂාව පිළිබඳ හැදැරීමක් කරන්න. ඒ අනුව ජපන් තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන් සසකවා. මාධ්‍යස්ථානයේදී මම ජපන් භාෂාව පිළිබඳ දීර්ඝ හැදෑරීමක් කළා. ජපන් භාෂාව පිළිබඳ වෘත්තිය නිපුණතා සහතිකය ලබාගත්තා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ජපානයේ රැකියා සඳහා යන අයට ජපන් භාෂාව ඉගැන්වීම් මම ඊට පස්සේ ආරම්භ කළා. කුඩා කණ්ඩායම් වශයෙන් අදටත් ඒ ඉගැන්වීමේ කාර්්‍යයේ නියැළී ඉන්නවා. ජපන් භාෂාව ලියන්න කියන්න මම දරුවන්ට උගන්වනවා. ඒ වගේම තමයි පාසල්වල අන්තර් පාඨශාලීය නිවේදක තරඟාවලියේ වසර විසිපහකට වැඩි කාලයක පටන් මම එහි විනිසුරු මඩුල්ල නියෝජන කරනවා.

ගුවන් විදුලියට පැමිණීමත් සමඟ නර්තනය, ගායනය වාදනයට ඔබ විරාමයක් තිබ්බද?

නර්තනය නම් මගෙන් ඈත් වෙලාම ගියා. නමුත් ගායනය වාදනය මගෙන් ඈත් වුණේ නෑ. පාසල් අධ්‍යාපනය අවසන් වීමත් සමඟ නැටුම් පැත්ත මගෙන් ගිිලිහි ගියා. මගේ ආශාව තිබුණේ ගායන පැත්තට මම ගුවන් විදුලියේ බී ශ්‍රේණියේ ගායිකාවක්. පේ‍්‍රමදාස මුදුන්කොටුව මහතාගේ ඉල්ලීමක් මත මම සංගීතය පිළිබඳ වැඩිදුර හැදෑරීමක් කර භාත්ඛන්ඩේ සංගීත උපාධිය ගත්තේ. දැන් මම විශාරදවරියක්.

ගායිකාවක් ලෙස ඔබ වඩාත් ජනපි‍්‍රය වුණේ?

ශර්ලි වෛජයන්ත සමඟ මම ගායනා කළ ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ අතීතයක් පමණි... ගීතය තුළින්

තවත් ඔබේ ගීත ගායනා ඇති නේද? ශ්‍රාවකයන් අතරට එක් වූ ?

එම්.එම්. වංශා සමඟ මම ගැයූ ඉරට සඳට බැහැ.... එම් එස් සෙල්වරාජා සමඟ මම ගැයූ යායේ ඈතක... කුවින්ටස් අධිකාරී සමඟ මම ගැයු වාසන දේ සදා... අමරසිරි මුණසිංහ සමඟ මම ගැයූ නිසල සැදෑවක ප්‍රණීත් අභයසුන්දර පද රචනා කළ රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ ආදරය මේ මොහොත පමණයි. පුංචි දේට හිත රිදෙනා... අම්මට හංගන... ඉකි බිඳ හැඩුවා.... පෙනෙන නොපෙනන... අලුත් ගීත කිපයකුත් මම මේ වන විට ගායනා කරලා තියෙනවා.

මෑත කාලයේ ඔබ සම්මානනීය ඇගැයුමට පාත්‍ර වුණා නේද?

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික දෙපාර්තමේන්තුව සංවිධානය කළ සාහිත අභිමන් 2022 සම්මාන උලෙළේදී සංගීත අංශය නියෝජනය කරමින් සංගීත ශිල්පීනි සම්මානය මට හිමි වුණා. මීට පෙර 1973දී ශ්‍රී ලංකාවේ දක්ෂතම ආධුනික ගායිකාව ලෙස මම සම්මාන ලැබුවා. වෙන්ඩෝල් ලංකා ප්‍රණාම සම්මානය, ළමා කුසලතා වැඩසටහන් සම්මානය, සත්සර ප්‍රසංග සම්මානය. රන් කැකුළු, හඳ මාමා ඇගැයුම් සම්මානය ආදී බොහොමයක් මට ලැබී තිබෙනවා.

ඔබේ කලාදිවියේ ආ ගමන් මඟ ගැන ආපසු හැරිලා බලන කොට මොකද හිතෙන්නේ?

ආමඟ දුෂ්කරයි. උදව් කරන්න හිටිය අය අඩුයි. මගේම ස්වඋත්සාහය තමයි මගේ ජයග්‍රහණයේ මංසලකුණු මම පෞද්ගලිකව සතුටු වෙනවා. මා ආ ගමන් මඟ ගැන. ඒ ගමනේ දිරිය ශක්තිය එක් කළ කීප දෙනෙක් ඉන්නවා. ඒ අතරින් මගේ අම්මා වයලට් තාත්තා ගේබ්‍රියල් ඇතුළු මගේ සහෝදර සහෝදරියෝ ගුවන් විදුලියට ආපු කාලයේ එච්.එම්. ගුණසේකර, බර්ටිගල හිටියාව, පාලිත පෙරේරා, සුජාතා ගුණවර්ධන,සුමනා ජයතිලක මහත්ම මහත්මීන්මට ගොඩක් උදව් කළා.

ශ්‍රව්‍ය කලාවේ මහ ගෙදර වූ ගුවන් විදුලිය ගැන ඔබට මොකද හිතෙන්නේ?

මම ගුවන් විදුලියේ අවුරුදු තිහක් රැකියාව කළා. 1980 සිට 2010 දක්වා මේ අවුරුදු තිහ පිළිබඳ ආපසු හැරිල බලන කොට මට සතුටුයි. ගුවන් විදුලිය නිසා මම බොහෝ දේ ලබාගත්තා. ගුවන් විදුලිය කියන්නේ බොහෝ අයට යන්න බැරි තැනක් කෙනෙකුට ඉගෙන ගන්න තියන තක්ෂලාවක් ගුවන් විදුලිය. කතාවක් තියෙනවනේ දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියලා. හරියටම හරි ඒ කතාව දැන ගියොත් ගුවන් විදුලියට නොදැන ගියොත් අතරමඟ. ගුවන් විදුලියට එක් වූ නවක පිරිස් පැරණි පුද්ගලයන් ඇසුරු නොකිරීමේ ඵලවිපාක අද අත්විඳිනවා. අපි මොන උපාධි ගත්තත් මොන තනතුරු තිබ්බත් මේ පැරණි ජ්‍යෙෂ්ඨයෝ ඇසුරු කළා. ඔවුන් සමඟ කතා බහ කළා. වැඩසටහනක් කරන්න පෙර ඒ ප්‍රවීණයන් ගේ උපදෙස් ගත්තා. අපි දන්නවා කියල සියල්ල දත්ලා වෙන්න අපි ගියේ නෑ. මම හිතන්නේ අද නවක පිරිස් හිතන්නේ අපිට උපාධිය තියෙනවා ජන මාධ්‍ය කරල තියෙනවා. අපිට ඉහළින් කවුරුවත් නෑ කියලා. අපි ගුවන් විදුලියේදී ඉගෙන ගත්ත පාඨයක් තියෙනවා. ඒක අපිට කියල දුන්නේ. බර්ටි ගලහිටියාව මහත්තයා අසන්නා අපිට වඩා බුද්ධිමත් යැයි සිතා කටයුතු කරන්න කියලා. මම ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස පුහුණුව ලැබ අවසානයේ එච් එම් ගුණසේකරත් බර්ටි ගලහිටියාව මහත්වරු කිව්ව මේ කියමන මම ගුවන් විදුලියේ සිටි වසර තිහ පුරාවට රැක්කා. කිකිළියක් තම බිජු රකින්නා සේ ගුවන් විදුලිය තමයි මගේ ජීවන අත්තිවාරම ඒක මත තමයි මම මගේ ජීවිතය සකස් කරගත්තේ. මගේ වෘත්තියට අදාළ සියලු දැන උගත්කම් ලබාගත්තා. වැටුප් ලබන රැකියාවක් ලබාගත්තා. අදටත් ලෝකයේ තියන හොඳම වටිනාම තැටි පුස්තකාලය තියෙන්නේ. ගුවන් විදුලියට මේ පුස්තකාලය මට රිසි සේ පරිහරණය කරන්න ලැබුණා. නිර්මාණශිලිත්වයක් නොමැතිනම් කවදාවත් මාධ්‍යවේදියෙක් වෙලා වැඩක් නෑ. අනුන්ගේ දෙයක් එකතු කරල නිර්මාණ පුරුද්දන එක නෙමේ සැබෑ නිර්මාණකරුවාගේ දක්ෂතාවය ඔළුවේ මැටි පිඩක් තියාගෙන මම වැඩකාරයා කියල කෑ ගැහුවට වැඩක් නෑ. ඔළුවේ තියන මැටි පිඩෙන් දෙයක් අඹන්න බැරි නම්. අද මාධ්‍යවේදියා බලන්නේ ඉක්මනින් ජනපි‍්‍රය වෙන්න. කරන වැඩසටහනේ ගුණාත්මක බව ගැන හිතන්නේ නෑ. අද වෙළෙඳපොළේ රැලි පටි වැඩි ගවුමට ඉල්ලුම තියෙනවා. බාහිර අටෝපය තිබුණට ගුණාත්මකභාවය නැත්නම් ඒ ගන්න දෙයින් කරන දෙයින් පළක් නෑ.

ඔබට ස්වාමි පුරුෂයා ලැබෙන්නේ ගුවන් විදුලිය නිසාවෙන් නේද?

මගේ ස්වාමියා මට හම්බවෙන්නේ 1986 දී ඔහු ගුවන් විදුලියේ අභ්‍යන්තර විගණන නිලධාරියෙක් ලෙස සේවය කළා. නමින් නිමල් ආරියසේන රත්වත්තේ. ගුවන් විදුලියෙන් ඔහු විශ්‍රාම යනකොට අධ්‍යක්ෂ අලෙවි ලෙසින් කටයුතු කරමින් හිටියා. මගේ සැමියා සින්දු ලිව්වා. වෙළෙඳ දැන්වීම් සඳහා හඬ මුසු කළා. මගේ පුතා මලිත් නිරංජන් රත්වත්තේ ජාතික රූපවාහිනියේ ළමා පුවත් නිවේදකයෙක් ලෙසත් කටයුතු කළා. දැන් ශි‍්‍ර ලංකන් ගුවන් සමාගමේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙක් ලෙස කටයුතු කරනවා. ඔහුගේ බිරිය ජාතික ජලපවාහන මණ්ඩලයේ සේවයේ නියුතු හේමාලි ඉෂාලංකා ගීගනගේ සමඟ විවාහ වෙලා ඉන්නවා. මට මනුදී සුහංසා සහ ඔවිදි නෙහන්සා නමින් මිනිබිරියන් දෙදෙනෙක් සිටිනවා. මේ පුංචි දරුවන් මැද්දේ මගේ විශ්‍රාම දිවිය සතුටින් ගෙවී යනවා.

ගුවන් විදුලියේ ළමා පිටිය ඔබේ හදවත කිව්වොත්?

ඒක හරි මම ළමා පිටියට ගොඩක් කැපකිරීම් කළා. ඒ කැප කිරිම් වෙනුවෙන් මාත් සමඟ වෙහෙසුණු සමස්ත ගුවන් විදුලි කාර්ය මණ්ඩලය මම ස්තූති පුර්වකව සිහිපත් කරනවා. මගේ මඟ පෙන්වීම යටතේ ගුවන් විදුලියේ ළමා පිටියෙන් බිහි වූ ළමා ශිල්පීන් බොහොමයක් මේ වන විට මාධ්‍ය ක්ෂේත්‍රයේ නිවේදක නිවේදිකාවන්, රංග ශිල්පීන් ශිල්පිණියන් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වැනි වෘත්තිකයන් ලෙස රටේ ඉහළ තලයේ වැජඹීම ගැන මට තියෙන්නේ හදපිරි සෙනෙහෙ බර සතුටක්.

 

chan[email protected]

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න