ඇල්ෆ්‍රඩ් පෙරේරා දිවි රඟමඬලට සමුදෙයි

නොවැම්බර් 24, 2022

 

ප්‍රවීණ රංගන ශිල්පී, ගුවන් විදුලි ශිල්පී ඇල්ෆ්‍රඩ් පෙරේරා මහතා පසුගියදා අභාවප්‍රාප්ත වූයේය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති නිවේදකයකු වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කළ ඔහු ශ්‍රීලංකා පාර්ලිමේන්තුවේ එසැණ භාෂා පරිවර්තකයකු වශයෙන් ද කටයුතු කොට තිබේ.

ඔහු කලක් පිලිපීනයේ මැනිලා නුවර වෙරිටාස් ගුවන්විදුලි සේවයේ සිංහල අංශය භාරව කටයුතු කළේය.

ගුවන් විදුලියේ ඉතා ජනප්‍රිය විනෝද සමය වැඩසටහනේ නිර්මාතෘවරයා මෙන්ම ආරම්භක නිවේදකයා වූයේ ද ඇල්ෆ්‍රඩ් පෙරේරා මහතායි. සඳ නැඟ එද්දි, ළයට ළය, අබුද්දස්ස කාලේ, ලක්සෙට කොඩිය, මරුවා සමඟ වාසේ, ගැහැනියක්, ඉවලුම් ඔරුපෙන්, ටිල් ඩෙත් ඩූ අස් පාර්ට්, සඳමඬල, මධුරි, රාගිනි, ජැක් ඇන්ඩ් ජිල්, නුඹ නාඩන් අපට පිස්සු වැනි චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වූ අතර ටෙලි නාට්‍ය කිහිපයකද රඟපෑවේය.

ඔහු මිය යන විට අනූ තුන් වන වියේ පසුවිය. අවමගුල් අවසන් කටයුතු පසුගියදා දළුගම දේවස්ථාන සුසාන භූමියේදී සිදු කෙරිණි.