හේරා පේරි කාර්තික්ට

නොවැම්බර් 17, 2022

ආක්ෂේ කුමාර්, සුනිල් ෂෙට්ටි සහ පරේෂ් රාවල් රංගයෙන් දායක වූ හේරා පේරි මීට දශක දෙකකට ඉහතදී තිරගත වූ හාස්‍ය මුස හින්දි චිත්‍රපටයකි. වඳුරු ව්‍යාපාරය යන අරුත ගෙන එන එය මුදල් අවශ්‍යතාවයෙන් පෙළෙන කුලී නිවැසියන් දෙදෙනෙකු වන රාජු, ශ්‍යාම් සහ ඉඩම් හිමියෙකු වන බාබුරාඕ වටා ගෙතුණු කතාවකින් යුතු විය. ආදායම් වාර්තා සමඟින් එහි දෙවැන්න 2006 වසරේදී රිදී තිරයට පැමිණියේ ප්‍රේක්ෂකයන් සිනා සයුරේ ගිල්වමිනි. මුල් චිත්‍රපටයෙන් වසර 22ට පසුව එහි තෙවැන්න පිළිබඳ පුවත රසික හදවත් තව තවත් බලාපොරොත්තු සහගත කිරීමට සමත් විය.

නමුත් රාජු ලෙසින් පණ පෙවූ ආක්ෂේ කුමාර් තෙවැන්නේදී එක් නොවන බවද වාර්තා විය. බොලිවුඩ් පුවත් ගෙන ආවේ ආක්ෂේ වෙනුවට කාර්තික් ආර්යන් පැමිණීමට නියමිත බවයි. මීට පෙර රාජු චරිතයට අභිෂේක් භච්චන්ගේ නමද යෝජනා වී තිබුණි. නිෂ්පාදක ෆිරෝස් නාදියද්වාලාගේ ප්‍රකාශයකට අනුව ආක්ෂේ ඔහුගේ අය කිරීම ඉන්දීය රුපියල් කෝටි 90 ක් වූ අතර කාර්තික්ගේ අය කිරිම වූයේ ඉන්දීය රුපියල් කෝටි 30කි. මෙම ලාභය හේතුවෙන් හේරා පේරි 3 චිත්‍රපටය වෙනුවෙන් කාර්තික් ආර්යන් තෝරා ගැනීමට නිෂ්පාදක කණ්ඩායම තීරණය කර ඇත. මේ අනුව කාර්තික් ආර්යන් සමඟ සුනිල් ෂෙට්ටි සහ පරේෂ් රාවල් ඔවුන්ගේ සුපුරුදු චරිත චරිත වෙනුවෙන් පණ පෙවීමට නියමිතය.

ආක්ෂේ කුමාර් පවසන්නේ හේරා ෆෙරි ඔහුගේ වෘත්තීය ජීවිතයේ කොටසක් බවයි. "ගොඩක් අයට වගේම මටත් හොඳ මතකයන් තියෙනවා. අවුරුදු ගාණක් තිස්සේ මෙහි තෙවැන්න හදලා නැති එක ගැන මටත් දුක හිතෙනවා" මේ පිළිබඳ අදහස් දක්වමින් ආක්ෂේ පැවසීය. චිත්‍රපටය තමාට පිරිනැමූ නමුත් පිටපත ගැන සෑහීමකට පත් නොවූ හෙයින් තමා ඉන් ඉවත් වූ බවත් ඔහු සඳහන් කළේය.