වර්ෂ 2023 ක්වූ March 28 වැනිදා Tuesday
‘90 සුපර් ටෙන්’ නොවැම්බර් 12 වැනිදා

ශ්‍රී ලාංකේය ගීත වංශයේ විවිධ දශක අපට හමු වේ. මේ එකින් එකෙහි ඇති විශේෂතා ද විවිධය. මේ අයුරින් 90 දශකයේ මෙරට ගීත කලාවට පැමිණි ගායක ගායිකාවන්ගේ විවිධ ගීත අපි රස වින්දෙමු.එහෙත් කාලය වසරින් වසර දශකයෙන් දශකය ගත වීමෙන් පසු ඒ ගීත අපිට නිතර අසන්නට නොහැකි විය. කාලයක් පුරා අතිශය ජනප්‍රිය වූ මේ ගීතවලට ආදරය කරන රසික රසිකාවන් තවමත් අපි අතර ඇත්තේය. එහෙත් ඔවුන් වෙනුවෙන් හෝ වර්තමාන ගුවන් විදුලි මාධ්‍යයන්වලින් මේ ගීත ඇසෙනුයේ ද ඉඳ හිටය. ඒ නිතර නොඇසෙන ගීත යළිත් ඇසෙන සංගීත ප්‍රසංගයක් එළැඹෙන 12 වැනිදා මහරගම යොවුන් රඟහලේදී පවත්වන්නට කටයුතු යොදා ඇත. ‘90 සුපර් ටෙන්’ යනුවෙන් නම්කොට ඇති මෙම ප්‍රසංගය නොවැම්බර් 12 වැනිදා සවස මහරගම යොවුන් රඟහලේදී පැවැත්වේ. ප්‍රසංගයේ ප්‍රධාන සංවිධායකවරයා වනුයේ 90 දශකයේ අතිශයින් ජනප්‍රිය ගීත රැසක් ගායනා කළ ගායකයකු වූ කුමාරසිරි පතිරණය.
ඔහු ගායනා කළ ‘ සිතින් පතා ඉන්නම්‘ , මගේ හදවත හැඳීනගත් ඔබ, සැමදා ඔබ ළඟ ඉන්නම් වැනි ගීත එකල යොවුන් හදවත් ආදරයෙන් වැලඳගත් ගීත විය. එහෙත් වත්මන් නව පරපුරේ ගීත ශ්‍රාවකයන්ට මෙම ගීත අද ආධුනික බවට පත්වී ඇත. ඒ නිසාම 90 දශකයේ රසිකයන් ආදරය කළ ගීත නැවත සිහි කැඳවීම පිණිස මෙම ගීත ප්‍රසංගය පවත්වන්නට ඔවුන් පෙලඹී ඇත. මේ පිළිබඳ අදහස් දැක්වූ ගායනවේදී කුමාරසිරි පතිරණ මෙම ප්‍රසංගය සංවිධානය කිරීමේ මූලික අභිප්‍රාය මේ බොහෝ ගීත වත්මන් පරපුරට අසන්නට දකින්නට නොමැති නිසා එම ගීත ඔවුන්ට හඳුන්වා දීම බව සඳහන් කළේය.
‘‘ ඇත්තටම මට මෙවැනි ප්‍රසංගයක් සංවිධානය කිරීමට මුලිකවම හේතු වුණේ මට නිතර මුණ ගැසෙන මගේ රසික රසිකාවන් ගේ ඉල්ලීමකුයි . ඔවුන් නිතරම මට පැවසුවේ අපේ ගීත දැන් නිතර අහන්නට නොලැබෙන බවයි. ඒ වෙලාවේ මගේ හිතට ආව අපි 90 දශකයේ ගායක ගායිකාවන් එක් රැස් කරගෙන මේ වගේ ප්‍රසංගයක් කළොත් හොඳයි කියලා. ඊට පස්සේ මගේ අනෙක් සමකාලීන මිතුරන්ට කතා කරලා මේ ගැන කිව්වම ඔවුනුත් එක පයින්ම ඊට කැමැති වුණා.ඊට පස්සේ මීට මාස කිහිපයකට පෙර අපේ මේ ප්‍රසංග මාලාවේ ආරම්භක ප්‍රසංගය මහරගම යොවුන් රඟහලේදී පවත්වන්නට යෙදුණා. එය ඉදිරියට කරගෙන යන්න අපට හැකියාවත් ලැබුණේ නැත්තේ ඒ වනවිට රටේ තත්වය අයහපත් වෙමින් තිබුණ නිසයි. ඒ නිසා අපි ටික කලක් නිහඬව ඉදලා ආයෙත් සැරයක් පටන් ගත්ත ප්‍රසංගය පවත්වන්න. දැන් අපට රට වටා යන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. ඉදිරියේදි ලංකාවේ විවිධ ප්‍රදේශවල මේ ප්‍රසංගය පවත්වන්නට සැලසුම් කරලා තිබෙනවා.
ඒ වගේම මේ වනවිට අපට පිටරට ප්‍රසංග කිහිපයකුත් ලැබිලා තිබෙනවා.‘‘‘
මේ ප්‍රසංගය ඔවුන් සංවිධානය කර ඇත්තේ ඉතාම වර්ණවත් ප්‍රසංගයක් ලෙසිනි. ගෘහස්ත මට්ටමින් පමණක් මේ ප්‍රසංගය පැවැත්වීම ඔවුන්ගේ අරමුණයි. ඒ වගේම ප්‍රසංගයේ නිවේදන කටයුතු සිදුකරනුයේ ප්‍රවීණ නිවේදක ඉන්ද්‍රසිරි සුරවීර විසිනි. නර්තනයෙන් නිරෝෂා තලගල ප්රමුඛ යූ ඩාන්ස් කණ්ඩායම දායකත්වය ලබා දේ. සංගීතවත් කදරනුයේ ‘ රාවන්‘ සංගීත කණ්ඩායමයි. 90 දශකයේ සුපිරි ගායක ගායිකාවන් අතර ට මෙවර එක් වනුයේ නාමල් උඩුගම, කුමාරසිරි පතිරණ, අතුල ශ්‍රී ගමගේ, චන්දන ලියනාරච්චි, උරේෂා රවිහාරි, ග්‍රේෂන් ජයමහ, විජය බණ්ඩාර වැලිතුඩුව, අසංක ප්‍රියමන්ත පීරිස්, මධු මාධව අරවින්ද, ලක්ෂ්මන් හිල්මි යන ගායක ගායිකාවන්ය.
නාමල් උඩුගම යනු කලක් මෙරට ගීත ලෝකයේ ජනප්‍රියම ගායන තරුවය.
ඔහු ගේ ‘අප හමුවීම වෙන්වීම දෝ ආදරේ, සමුගන්නේ නෑ, වැනි ගීත අතිශයින්ම ජනප්‍රිය වූවා අපට මතකය. එකල යොවුන් වියේ රසික රසිකාවන් ඔහු කෙරෙහි උන්මාදයෙන් බැඳී සිටියේය. සමහරුන් ඔහු ගේ නම සිය සුරතේ කොටා ගන්නට තරම්ම එම උන්මාදය දරුණු විය. එහෙත් වර්තමානය වන විට ඔහු ගේ ගීතද අපට නොඇසෙන මට්ටමකට පැමිණ ඇත.
‘‘ඇත්තටම අපේ ගීත කෙරෙහි බැඳුණු රසික පිරිසක් මේ ගීත ශ්‍රාවකයන් අතරේ ඉන්නවා. ඔවුන් වෙනුවෙන් තමයි අපි මේ ගීත ප්‍රසංගය කරන්නේ. මේ ප්‍රසංගය සම්බන්ධයෙන් දැනගත් මොහොතෙම මම ඒකට කැමැති වුණේ ඒ නිසයි. අපි වගේම තවත් ඉන්නවා 90 දශකයේ මේ ක්ෂේත්රයට පැමිණි පිරිස් . ඉදිරියේදි ඒ අයත් මේකට සම්බන්ධ කර ගන්නවා නම් හොඳයි.‘‘
නාමල් එසේ පවසන විට අතුල ශ්‍රී ගමගේ පැවසුවේද එවැනිම කාරණයක්.
‘‘ඇත්තටම අපේ පළමු ප්‍රසංගයට ඉතාම හොඳ ප්‍රතිචාර ටිකක් ලැබුණා . නමුත් රටේ පැවතුණු තත්වය නිසා අපිට ඉදිරියට මේ ප්‍රසංගය කර ගෙන යන්න බැරි වුණා. මට හිතෙනවා දැන් අපට හොඳ කාලයක් ලැබෙයි කියලා මේ ප්‍රසංගය රටවටා අරගෙන යන්න.‘‘ අතුල ගේ කඳුළක් දෙවන්නද, සුසුම වී මගේ වැනි ගීත ඒ කාලයේ අතිශයින් ජනප්‍රිය විය. ප්‍රේමයේ විරහව පදනම් කරගෙන ගැයූ ඔහු ගේ බොහෝ ප්‍රේම ගීත එකල තරුණ හදවත් තුළ ආදරයෙන් ලැඟුම් ගත්තේය.
එදා මෙන්ම අදටත් ජනප්‍රියත්වයේ හිණි පෙත්තේම සිටින චන්දන ලියනාරච්චි පැමිණියේද 90 දශකයේය. ජාතික තරුණ සේවා සභාවේ බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයෙන් බිහිවුණු ගායකයෙන් වන චන්දන ද මේ ප්‍රසංගය වර්ණවත් කරනුයේ ඔහු ගේ ආදරය දිනා ගත් එදා 90 දශකයේ රසිකයන් මෙන්ම මෙදා ඔහුට ආදරය කරන්නන්ටද සාධාරණය ඉටු කරමිනි.
‘පොල් රුප්පාවේ දඟකළ, කවි සීපද , සිතින් අදිනවා, මුතු මාල හතක්, ඇහල මල් පිපෙනා, ඇතුළු ඔහු ගේ ජනතා ආදරය දිනා ගත් ගීත රැසක් මේ මොහොතේ සිහියට පැමිණේ.
‘‘අපේ සංගීත ක්ෂේත්රයේ දැන් පවතින්නේ වෙනම රටාවක් නේ. නමුත් අපි පැමිණි 90 දශකයේ අපිටම අනන්‍ය වූ සංගීත ගමනක් තිබුණා. අපි ජනතා ආදරය දිනා ගත්තේ ඒ කාලයේ අපි ඉදිරිපත් කළ ඒ නිර්මාණ නිසා . ඒ ගීත කාලයත් සමඟ අමතක වෙමින් යනවා. ඉතින් ඒ නිර්මාණ නැවත වතාවක් අපේ අලුත් පරම්පරාවට රස විඳීන්න දෙන්නත් මේක හොඳ අවස්ථාවක්‘‘
විජය බණ්ඩාර වැලිතුඩුව, ග්‍රේෂන් ජයමහ වැන්නන් ද කාලයත් සමඟ ක්ෂේත්රයෙන් ඈත් වුණත් ඔවුන් අපේ ගීත ක්ෂේත්රයට දායාද කළ නිර්මාණ අපූරුයි . ග්‍රේෂන් ගේ ‘ සුදු මීදුම පීදුණු තොටිල්ලේ‘ ‘ වැනි ගීත අදටත් ඇසෙනවා නම් වර්තමාන පරපුර වුවද එය වැලඳ ගන්නවා නොඅනුමානයි. ප්‍රසංගය පිළිබඳ අදහස් දක්වමින් විජය බණ්ඩාර වැලිතුඩුව කියා සිටියේ මෙවැන්නක්.
‘‘මේ ප්‍රසංගය බොහොම කාලයක් තිස්සේ අපේ හිතේ තිබුණු ප්‍රසංගයක්. දැන් අපි ඔක්කොම එකතුවෙලා රට වටේ යන්නයි හදන්නේ. අපේ ගීත අලුත් පරපුරට රසවිඳීන්න අවස්ථාවක් සලසමින් ඒවා නැවත ජනගත කරන්නයි අපේ වෑයම. මේ ගීත අපි ගායනා කරන්නේ ගෘහස්ථ ප්‍රසංගයක් විදියට විතරයි. ඉතින් මම ඔබ සියලු දෙනාට කියන්නේ මේ ප්‍රසංගය ඇවිත් නරඹන්න කියලයි‘‘ වර්තමානයේ ඔහු නිතර ගායන ක්ෂේත්රයේ දක්නට නොලැබුණද සංගිත ආචාර්යවරයකු ලෙසින් සුවහසක් දරුවන්ට ශාස්ත්‍රය කියා දෙමින් සිටියි.
උරේෂා රවිහාරි, ලක්ෂ්මන් හිල්මි, අසංක ප්‍රියමන්ත පීරිස් වැන්නෝද මෙරට කලා ක්ෂේත්රයට පිවිසුණේ 90 දශකයේදීය. මේ අතරින් උරේෂා රවිහාරි චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙසින් දුර ගමනක් ගිය තැනැත්තියකි. එහෙත් ඈ විසින් ගයන ලද වෙනත් ජනප්‍රිය සරල ගීත හා කැසට් ගීත ද බොහොමයක් වේ.
දැනට මෙම ප්‍රසංගය සඳහා සම්බන්ධව සිටින එකම ගායන ශිල්පිනියද ඇය වේ. ලක්ෂ්මන් හිල්මි ගායකයකු වශයෙන් පමණක් නොව සංගීතඥයකු වශයෙන්ද මෙරට සංගීත ක්ෂේත්රයට සම්බන්ධ වූවෙකි. ඔහු ගායනා කළ ‘කහ මල් අත්තක් සැලුණා ‘බොල්පිණි වෑහෙන , සිහින පාරාදීසේ වැනි ගීත මෙරට රසික ආදරය දිනා ගන්නට සමත් වූ ගීත අතර විය. ඔහු මෙම ප්‍රසංගය පිළිබඳ සිය අදහස් ප්‍රකාශ කළේය.‘
‘‘ 70 , 80, 90, දශකවල තාක්ෂණය අතින් ලොකු දියුණුවක් තිබුණෙ නැති වුණත්
ඉතාම ලස්සන කලාත්මක නිර්මාණ බිහිවුණා. 90 දශකයේ අග භාගයේ අපි කලාවට
එන්නෙත් ඒ ආභාසය ඇතුව ඊට පස්සේ තාක්ෂණය අතින් ඉතාම දියුණු ක්‍රමවේද ආවා. නිර්මාණ බිහිවුණා. නමුත් මට හිතෙනවා අපේ අලුත් පරපුරට අපේ පැරැණි නිර්මාණත් රස විඳීන්න පුළුවන් ක්‍රමවේදයක් හදලා දෙන එක හොඳයි කියලා . ඒකට මේ ප්‍රසංගය හොඳ අවස්ථාවක්.
කෙසේ වෙතත් 90 දශකයේ ගීත ප්‍රිය කරන අපේ ගීත ශ්රාවකයින්ටත් මෙම ප්‍රසංගය හොඳ අවස්ථාවක් වෙයි කියලා අපි හිතනවා. කුමාරසිරි පතිරණ ඇතුළු 90 දශකයේ සියලු දෙනා ඔබ සැමටද මෙම ප්‍රසංගය නරඹන්නට ආදරයෙන් ආරාධනා කර සිටිති.
සේයාරූ - නිශ්ශංක විජේරත්න