‘මාරියා’ රුසියාවේ දී හොඳම චිත්‍රපටය වෙයි

ඔක්තෝබර් 20, 2022

අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ ඉන්ද්‍රජිත් සිල්වා නිෂ්පාදනය කළ ‘මාරියා’ චිත්‍රපටය පසුගියදා රුසියාවේ Yalta Eurasian Bridge අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය වශයෙන් සම්මානයට පාත්‍ර විය.

සම්මාන උලෙළේ තරඟකාරී අංශයේ අවසන් වටයට චිත්‍රපට අටක් තේරී පත් වී තිබූ අතර, ඒ අතරින් එම උලෙළේ හොඳම චිත්‍රපටය ලෙස තේරී පත් වුයේ ‘මාරියා’ චිත්‍රපටයයි.

මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණසිංහ, අශාන් ඩයස්, දර්ශන් ධර්මරාජ්, දසුන් පතිරණ, ප්‍රියන්ත සිරිකුමාර සහ සුරන් දසනායක යන අය මෙහි චරිත නිරූපණයෙන් දායක වෙති. චන්න දේශප්‍රිය කැමරාකරණයෙන්ද, ඩිලන්ත පෙරේරා සංස්කරණයෙන්ද, අසංක වික්‍රමසිරි වර්ණ සංයෝජනයෙන්ද, මැක්ලෙන් ඇඩම් සහාය කැමරාකරණයෙන්ද, චින්තක ජයකොඩි සංගීතයෙන්ද, සශික රුවන් මාරසිංහ ශබ්ද සැලසුම්කරණයෙන්ද, දමින්ද මඩවල සහාය අධ්‍යක්ෂණයෙන්ද, සුනිල් පේ‍්‍රමරත්න කලා අධ්‍යක්ෂණයෙන්ද, පි‍්‍රයංක රත්නායක අංග රචනයෙන්ද, ගිහාන් පෙරේරා නිෂ්පාදන කළමනාකරණයෙන්ද මේ චිත්‍රපටයට දායකත්වය සපයති.

මීට අමතරව මේ වන විට ලෝකයේ තවත් ප්‍රධාන චිත්‍රපට උලෙළෙක් වන වියට්නාමයේ හැනෝයි අන්තර්ජාතික සිනමා උලෙළේ තරඟකාරී අංශයට ද ‘මාරියා’ චිත්‍රපටය තේරී පත් වී ඇත. ඒ අනුව නොවැම්බර් මස මුල් භාගයේදී අධ්‍යක්ෂ අරුණ ජයවර්ධනට, නිෂ්පාදක ඉන්ද්‍රජිත් සිල්වාට සහ රංගන ශිල්පී හේමාල් රණසිංහට එම සිනමා උලෙළට සහභාගී වීමට ආරාධනා ලැබී ඇත.